Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෑතේ සුන්දරත්වය ඔප් නංවන නිය ආලේපන

නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට සහ ආකර්ෂණීය බව වැඩි කරගන්නයි. අද වන විට ඕනෑම වර්ණයක නිය ආලේපනයක් මිලට ගත හැකි තරමට මේවායේ වර්ණ පරාසය ඉහළයි. හැඩට වැඩට ඉන්න කැමති කාන්තාවන්ට නැතුවම බැරි මේ නිය ආලේපනවල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3000ටත් එහා ඈත අතීතයට දිවෙනවා. මුලින්ම නිය ආලේපන භාවිතා කරලා තියෙන්නෙ ඊජිප්තුවේ සහ චීනයේදියි.

ඒ කාලේ…

නෙෆර්ටිටි (wall.alphacoders.com)

බිත්තර සුදු මදය, මී ඉටි, ඇකේෂියා ගසේ ලාටු සහ සත්ත්ව ලාටු එක්කර සාදා ගත් මිශ්‍රණයක් අතීත චීනයේ නිය ආලේපනයක් ලෙස භාවිත කළා. මීට අමතරව ඕකිඩ් සහ රෝස මල්පෙති ඇලම් සමඟ මිශ්‍ර කරලත් නිය මත ආලේප කරලා තියෙනවා. චීනයේ “චෝවු” රාජවාංශික කාන්තාවන් රන් සහ රිදී වර්ණ තම නිය ආලේපන ලෙස යොදාගත් බවටත් වාර්තා වෙනවා. රාජකීයයන් වැඩිපුරම භාවිතා කරලා තියෙන්නෙ රතු සහ කළු වර්ණ.

සමකාලීනව ඊජිප්තුවේත් නිය ආලේපන භාවිතා කළ බවට සඳහන් වෙනවා. ඔවුන් අතර හෙනා සාරයෙන් උකහා ගත් රතු – දුඹුරු වර්ණය බොහොම ජනප්‍රිය වුණා. අතීත ඊජිප්තු සමාජය විසින් සමාජ මට්ටම, ධනවත් බව සහ සශ්‍රීකත්වය කියාපාන ප්‍රධාන සාධකයක් විදියට නියෙහි වර්ණය සලකනු ලැබුවා. ක්ලියෝපැට්‍රා මළකඩ පැහැයට හුරු තද රතු වර්ණයක් භාවිතා කළ අතර නෙෆර්ටිටි දීප්තිමත් රතු පැහැයක් නිය ආලේපන ලෙස භාවිතා කළා. ඒත් සාමාන්‍ය කාන්තාවන්ට පාවිච්චි කරන්න සිදුවුණේ දීප්තියෙන් අඩු පාණ්ඩු වර්ණයන්.

ඉන්කාවරු ඔවුන්ගේ නිය මත උකුස්සන්ගේ රූප ඇඳගත් බවට වාර්තා වන අතර සමහර මුල් කාලීන ඇමරිකානුවනුත් නිය වර්ණ ගැන්වීම කරලා තියෙනවා. 19 වන සියවසේදී කාන්තාවන් වර්ණවත් කුඩු සහ ක්‍රීම් නිය මත ආලේප කළ අතර දිස්නය ලබා ගැනීම සඳහා තෙල් වර්ග යොදාගෙන නිය මැදීම කරලා තියෙනවා.

නූතන නිය ආලේපන

මිෂෙල් මෙනාඩ් (www.notjustalabel.com)

අද ඔබ පාවිච්චි කරන නිය ආලේපන වාහනවල ආලේප කරන තීන්ත (car paint) වල අතුරුඵලයක්. ප්‍රංශ ජාතික රූපලාවණ්‍ය ශිල්පිණියක් වුණු මිෂෙල් මෙනාඩ් car paint නිපදවන ක්‍රමයටම නිය ආලේපනයක් නිර්මාණය කළ හැකිදැයි මුල්වරට අත්හදා බැලුවා. 1932දී රූපලාවණ්‍යාගාරවල පමණක් විකුණන්නට තිබුණු නිය ආලේපන 1937දී සාමාන්‍ය වෙළඳපොළත් ආක්‍රමණය කළා.

කොහොම නමුත් 20වන සියවසේ මුල් භාගය පමණ වන තෙක් ඇමරිකානු කාන්තාවන් කිසිදු කෘත්‍රීම රුව ඔප්නංවා ගැනීමේ ක්‍රමයක් අනුගමනය කළේ නැහැ. එවැනි ක්‍රම අනුගමනය කරන්නියන් එකල සමාජය ශිෂ්ට සම්පන්න යැයි පිළිගත්තේ නැහැ. 1940දී රංගන ශිල්පිනියන් නිය ආලේපන භාවිතයට යොමු වීමත් එක්කම චිත්‍රපට හරහා මේ සංකල්පය ඉක්මණින් සමාජගත වුණා. ඒත් එක්කම නිය ආලේපන අලෙවිය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියා වගේම පිරිමි පාර්ශවයත් නිය ආලේපන භාවිතයට යොමු වුණා! ඒ විතරක් නෙවෙයි ඔවුන් ඉලක්ක කරගෙනමත් ඒ කාලේ නිය ආලේපන නිෂ්පාදනය වුණා.

(netnevesht.ir)

සංඝටක

නිය ආලේපන වල අඩංගු ප්‍රධාන සංඝටකය වෙන්නෙ “නයිට්‍රොසෙලියුලෝස්”. මෙය “බියුට්‍රයිල් ඇසිටේට්” සහ “ඊතයිල් ඇසිටේට්” ද්‍රාවණවල දියවෙනවා. නිය ආලේපන නිෂ්පාදනයට යොදාගන්න සංඝටක මිශ්‍රණය ව්‍යාපාරික රහසක්. ලේබලයේ ඒ සංයෝගවල නම් සඳහන් වුණාට ඒවායේ ප්‍රතිශතයන් කිසි දිනෙක ප්‍රසිද්ධ කරන්නෙ නැහැ.

නිය ආලේපන ඉවත් කිරීම

නිය ආලේපන ඉවත් කරන nail polish remover වල අඩංගු වෙන්නෙ ඇසිටෝන්, ඊතයිල් ඇසිටේට් සහ ඇල්කොහොල් සංයෝග. Nail polish remover බඳුනක් විවෘත කිරීමේදී නිකුත් වන සැර ගන්ධය නිසා එය පාවිච්චියෙන් අතුරු ආබාධ තියෙනවද කියලා ඔබටත් හිතිලා ඇති. එ්ත් ඇත්තටම එහෙම වෙන්නෙ නැහැ.

මෙහි ඇති ඇසිටෝන් විෂ සහිතයි කියලා ඇතැමුන් හිතන නිසා මීට වසර 15කට විතර කලින් ඇසිටෝන් රහිත Nail polish remover වර්ගයක් හඳුන්වා දුන්නා. තවමත් සැකයක් තියෙනවා නම් ඔබට සෝයා සහ ඉරිඟු යොදාගෙන සකස් කළ ස්වභාවික Nail polish remover වර්ගයක් භාවිතා කළ හැකියි. ඒත් මෙයින් නිය ආලේපන ඉවත් කිරීමට ගතවන කාලය සාපේක්ෂව ඉහළයි.

නිය ආලේපන ඉවත් කිරීම.(www.lightinthebox.com)

Nail polish remover භාවිතයේදි ඔබ අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. පහසුවෙන් ගිනි අැවිලෙනසුළු නිසා අධික උණුසුම ඇති ස්ථානවලින් මේවා ඉවත් කර තැබිය යුතුයි. නාසයට ළංකර ආඝ්‍රාණය කිරීමත්, ඇස්වලට ළං කිරීමත් නොකළ යුතුයි. මොනයම් විදියකින් හරි නිය ආලේපන හෝ Nail polish remover ගිලුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. පුංචි දරුවන්ගෙන් මේ දේවල් ඈත් කර තැබීම තමයි සුදුසුම දේ.

මේවායින් නිය ආලේපන ඉවත් කළාට පස්සේ නියපොතු වියළි ස්වභාවයකට පත් වෙන නිසා සාමාන්‍යයෙන් nail polish remover වල විටමින් E, ලැවැන්ඩර් හෝ තේ දල්ලේ සාරය වගේ තෙතමනය රැකදෙන ද්‍රව්‍ය අඩංගු කරලා තියෙනවා. ඔබ නිතර නිතර නිය ආලේපන ගල්වන කෙනෙක් නම් වැඩි ආරක්ෂාවට nail polish remover භාවිතයෙන් පසු නියෙහි ආලේප කරන ක්‍රීම් වර්ගයක් හෝ තෙල් වර්ගයක් (ඔලිව් තෙල් වඩාත් සුදුසුයි) ගැල්විය හැකියි.

නිය ආලේපන ඉවත් කිරීමේදී nail removal වලින් පොඟවා ගත් පිරිසිදු කපු පුළුන් කඩක් තත්පර කිහිපයක්  නිය මත තබාගෙන හිඳීමෙන් පහසුවෙන් නියපොතු පිරිසිදු කර ගත හැකියි. මෙම ඉවත් කිරීම නියපොත්තෙන් ඉවතට සිදු කළ යුතු අතර කිහිප වරක් nail polish remover යොදා පිසදමනවාට වඩා එක්වරම එය ඉවත් කිරීම වඩාත් හිතකරයි.

නිය ආලේපන වර්ග

නිය ආලේපන ගල්වන්න කලින් Base Coat එකක් ආලේප කිරීමෙන් නියෙහි ආරක්ෂාව වඩාත් තහවුරු වෙනවා. මෙය විනිවිද පෙනෙන අතර ළා පැහැයකින් යුක්තයි. නිය ශක්තිමත් කිරීම, නැවත තෙතමනය ලබා දීම සහ ආලේප කරන වර්ණය හොඳින් උරා ගැනීමට සැලැස්වීම මෙමඟින් සිදු වෙනවා.

Base coat අාලේපනයෙන් පසුව නිය ආලේපන ගල්වලා වඩාත් හොඳ නිමාවක් ලබා ගැනීම සඳහා Top coat එක ආලේප කෙරෙනවා. නිය ආලේපන පතුරු වශයෙන් ගැලවී යාම සහ සීරීම මෙමඟින් වැළකෙනවා වගේම නියපොතුවලට දිස්නයක් ලබා දීමත් සිදු වෙනවා.

සති දෙකක් වැනි දිගු කාලයක් පවතින නිය ආලේපනයක් තමයි Gel polish. මෙය සාමාන්‍ය නිය ආලේපන ගල්වන විදියටම ආලේප කළ හැකියි. පාරජම්බුල ආලෝකය (ultraviolet) යටතේ වියලා ගත යුතු මේවා ඉවත් කරන්න නම් ටිකක් අමාරුයි. මිනිත්තු 8-15 ක් පමණ කාලයක් ඇසිටෝන් වල පෙඟවීමෙන් පස්සෙ ලී පතුරකින් ප්‍රවේශමෙන් ඉවත් කළ යුතුයි. Gel polish වලට සමාන, සති දෙකකටත් වඩා පවතින Shellac නමින් තවත් නිය ආලේපන වර්ගයක් වෙළඳපොලේ තියෙනවා.

Nail art (mosthdwallpapers.com)

දිස්නයකින් තොර නිමාවක් ලබා දෙන නිය ආලේපන වර්ගය වන Matte polish අද බොහෝ දෙනා අතර ජනප්‍රියයි. නිය සැරසීමේ කලාවේදී (Nail art) මෙය නැතුවම බැරි නිෂ්පාදනයක් වෙලා අවසන්. මීට අමතරව නිය සඳහා ලෝහයක නිමාවක් ලබා දෙන රන්, රිදී සහ තඹ පැහැති ආලේපනත් තියෙනවා. ලෝකයේ මිල අධිකම නිය ආලේපන වෙළඳ සන්නාම අතර Opi, China glaze, Revlon, Essie, L’Oréal Paris, Sally Hansen, CND, Nars, RGB සහ Bobby brown ප්‍රමුඛයි.

නිය ආලේපන තෝරා ගැනීම

(www.youtube.com)

මෙහිදී නියපොතුවල නිරෝගී භාවය ගැන වගේම නිය වර්ණ ගැන්වීමට වැය කළ හැකි කාලය ගැනත් සැලකිලිමත් විය යුතුයි. දුර්වල, ඉක්මණින් කැඩී යන නියපොතු සඳහා ඒවා ශක්තිමත් කළ හැකි සහ වර්ධනයට උපකාර වෙන නිය ආලේපන වර්ග තියෙනවා.

නිය ආලේපනයක් ගැල්වීමෙන් පසුව නියපොත්ත බාහිර පරිසරය සමඟ තියෙන ගනුදෙනු අඩාල වෙන නිසා නියපොතු වලට ලැබෙන ඔක්සිජන් සැපයුමත් නවතිනවා. මේ නිසා දවස් හතරකට හෝ පහකට වඩා නිය ආලේපන ගල්වාගෙන සිටීම සුදුසු නැහැ. අඩුම ගණනේ දින දෙකක්වත් නියපොතු කිසිදු නිය ආලේපනයකින් තොරව නිදහසේ තැබිය යුතුයි.

Nail spray (www.huffingtonpost.ca)

ඔබ පැහැපත් හෝ තලෙළු සමක් හිමි අයෙක් නම් තද වර්ණයන් වගේම ළා වර්ණයන්ද භාවිත කළ හැකියි. නමුත් එවැනි සමකට වඩාත් ගැලපෙන්නෙ රෝස සහ බේජ් වැනි වර්ණ පරාසයන්. අඳුරු පැහැ සමක් හිමි කාන්තාවන් රෝස, රතු මිශ්‍ර ආලේපනයන්ගෙන් ඉවත් විය යුතුයි. එයින් සමේ අඳුරු බව වැඩි කරනවා. ඒ වෙනුවට කෝපි පැහැය, බේජ්, ටොෆි බ්‍රවුන් වැනි වර්ණ භාවිතයෙන් ඔබට කැපී පෙනෙන සුන්දරත්වයක් ලබාගත හැකියි.

ඇඳුමට අනුව නිය ආලේපන තෝර ගන්නෙ මෙහෙමයි. එකිනෙකට හාත්පසින්ම වෙනස් දම් – කහ, රතු – කොළ,  නිල් – තැඹිලි, රෝස – ළා කොළ වගේ විසංගත වර්ණයන් ගලපා ගැනීමෙන් අපූරු ලස්සනක් මවන්න පුළුවන්. ඒ වගේම ඔබ අඳින්නෙ මුද්‍රිත (printed) ඇඳුමක් නම් වර්ණවත් නිය සැරසිලි (nail art) නොකර ගැළපෙන තනි වර්ණයක් ආලේප කිරීම වඩා සුදුසුයි. පළඳින ආභරණ සහ ගෙනයන අත් බෑගයේ වර්ණය අනුවත් නිය ආලේපන ගලපා ගත හැකියි.

කවරයේ පින්තුරය: mosthdwallpapers.com

මූලාශ්‍ර:

  1. www.beautifulwithbrains.com
  2. www.leaf.tv
  3. www.besthealthmag.ca
  4. www.wikipedia.org
  5. www.mostluxuriouslist.com
  6. ustany.com

Related Articles