Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විකාශනයේ විප්ලවය

ලෝකය තුළ විකාශනය එහෙම නැත්නම් broadcasting කියන දේ මේ වෙනකොට නවමානයන් රැසක් පුරා පැතිරමෙන් තිබෙනවා. සාමාන්‍ය විදියට broadcasting කියලා හඳුන්වන්නේ යම් කිසි තරංගයක් හෝ අලෙවිකරණ පණිවිඩයක් යම් ප්‍රදේශයක් පුරා හෝ සම්බන්ධිත සියලුම පාර්ශවයන් වෙත විශේෂිත තෝරා ගැනීමකින් තොරව පතුරවා හැරීමයි. එදා එෆ්.එම් තරංගයේ සිට අද මේ ලිපිය ඔබ කියවන වෙබ් අඩවිය දක්වා එය දියුණු වී තිබෙනවා. ඇත්තටම broadcasting මෙතරම් විප්ලවයක් කළේ කොහොමද? මේ අපි කියන්න යන්නේ අන්න ඒ කතාවේ තැන් කිහිපයක්.

රේඩියෝ තරංගයෙන් පටන් ගත්තු ගුවන් විදුලියේ කතාව

රේඩියෝවේ අයිතිය හිමි වී ඇත්තේ ගුග්ලිඑල්මෝ මාර්කෝනි (Guglielmo Marconi) හටයි. ඉතාලියේ විසු මාර්කෝනි කේබල් රහිත තරංග සම්ප්‍රේෂණය ගැන පර්යේෂණ හා ලිපි රචනා කළ හෙන්රික් හර්ට්ස් ගේ කෘති කියවීමට පෙළඹෙනවා. ඉන්පසු එම පර්යේෂණ තනිවම තම නිවසේ අත්හදා බලන මාර්කෝනි ඔහුගේ අට්ටාලයේ සිට අනෙක් අට්ටාලය වෙත පණිවිඩයක් යවන්න සමත් වෙනවා.

තමන් සොයා ගත් දේ දියුණු කළ හැකි බව තේරුම් ගත් මාර්කෝනි මේ පිළිබඳව ඉතාලි රජය දැනුවත් කළත් ඔවුන්ගෙන් මෙයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු නිසා එංගලන්තයට ගොස් තම නව නිර්මාණයට පේටන්ට් බලපත්‍රය ලබා ගන්නවා. මාර්කෝනිට වැඩිපුරම අවශ්‍ය වී ඇත්තේ මේ හරහා යම් පණිවිඩ හුවමාරු කර ගත හැකි උපකරණයක් සෑදීම බවයි සදහන් වන්නේ.

මුල් කාලීනව මෙම උපකරණය භාවිත වී ඇත්තේ නාවික ගමනා ගමනයේදී ගොඩබිම් හා සම්බන්ධ වීමට වන අතර, මෙය එකල පෞද්ගලිකව දෙපිරිසක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් ලෙස ප්‍රකට වී තිබෙනවා. මෙය ක්‍රමයෙන් දියුණු මට්ටටමකට පැමිණෙන තෙක් කිසිවෙකු මෙමගින් එකවර බොහෝ දෙනෙකුට සම්බන්ධ විය හැකි යන්ත්‍රයක් සෑදිය හැකි බව නම් තේරුම් ගෙන තිබුණේ නෑ.

මාර්කෝනි රැහැන් රහිත විදුලි සන්දේශනයට කළ සේවය වෙනුවෙන් 1909 දී ඔහු නොබෙල් ත්‍යාගයකින් පවා පිදුම් ලැබුවා.

ගුග්ලිඑල්මෝ මාර්කෝනි (wikimedia.org)

රේඩියෝ විකාශනයේ ආරම්භය

මෙම තාක්ෂණය සොයා ගැනීමත් සමග රේඩියෝව අැතුළු එයට අදාළ තාක්ෂණික උපාංගයන් සීඝ්‍රයෙන් දියුණු වුණා. නවක ගුවන් විදුලි පාලකයන් තමන් වෙතට විශාල ශ්‍රාවකයන් ප්‍රමාණයක් ගෙන්වා ගත්තා. 1912 වන විටත් ගුවන් විදුලි නියාමනයට රජය පියවර ගෙන තිබුණා. තවද ඇමරිකාව 1917 වසරේ පළමු ලෝක යුද්ධයට එකතු වීමේදී මෙම නව ගුවන් විදුලි පාලකයන්ගේ සේවය තම යුද්ධ කටයුතු වෙනුවෙන්ද යොදා ගෙන තිබුණා.

පළමු ලෝක යුද්ධයේ රේඩියෝ භාවිතය (media.npr.org)

ලෝක යුද්ධයෙන් පසුව 1919 වන විට නැවත වරක් මේ ගුවන් විදුලි සේවාවල නව පිබිදීමක් ඇති වුණා. යුද්ධ කාලය තුළ රේඩියෝ තාක්ෂණයේ විවිධ තාක්ෂණික ප්‍රගමනයන්ද සිදු වූ අතර එ්වාද සමගිනුයි 1919 දී නැවත වරක් රේඩියෝවේ නව ගමන ආරම්භ වන්නේ. මුල් කාලීනව ආගමික, ක්‍රීඩා විස්තර හා ප්‍රවෘත්ති මේ මගින් ප්‍රචාරය වී තිබෙනවා.1922 මුල් කාලයේ නිව්යෝක් නුවර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ WGY නාලිකාව ගුවන් විදුලි නාට්‍යයක් ප්‍රචාරය කර තිබෙන අතර එය සජීවී ලෙස විකාශය කර තිබෙනවා.

රේඩියෝව ව්‍යාප්ත වීමත් සමඟ වෙළඳ දැන්වීම් කලාවේත් වෙනස්වීම් සිදු වුණා. එකල දැන්වීම් අද කාලයට වඩා බොහෝ වෙනස් මුහුණුවරක් ගත්තා. බොහොම අාචාරශීලී, තනි වාක්‍යයකින් පමණක් සමන්විත වූ මේවායේ භාණ්ඩවල මිල කියවුණේ නෑ.එසේම දැන්වීම් විකාශය වුණේත් රැකියා කාල රාමුවල දී පමණයි.

ගුවන් විදුලි තරංග සොයා ගැනීමේ හා ගුවන් විදුලියේ ආරම්භය සිදු වුණේ එලෙසයි.

1922 දී එංගලන්ත රජය ගුවන් විදුලි හිමිකම වෙනුවෙන් බලපත්‍රයක් හඳුන්වා දුන් අතර එය එකල සිලිං 10ක් වුණා. 1922 සිට 1971 දක්වා කාලය තුළදී එක්සත් රාජධානියේ කිසිවෙකුටත් බලපත්‍ර රහිතව ගුවන් විදුලියට ඇහුම්කන් දීමට හැකි වුණේ නෑ.

රේඩියොවකට කන් දෙන චීන මහලු කතක් (chinadigitaltimes.net)

1933 දී එඩ්වින් හොවාර්ඩ් ආම්ස්ට්‍රෝන්ග් විසින් FM රේඩියෝ තරංග යැවීමේ ක්‍රමය නිර්මාණය කිරීමත් සමඟ රේඩියෝ ක්ෂේත්‍රය විශාල පරිවර්තනයකට ලක් වුණා. මෙය හරහා රේඩියෝ නාලිකාවලට තමන්ගේම ස්වාධීන සංඛ්‍යාතයක පහසුවෙන් වැඩසටහන් විකාශනය කිරීමේ අවස්ථාව හිමි වූ අතර රේඩියෝ තරංග විකාශනයේ ගුණත්වය ඉහළ යාමද සිදු වුණා. 1940 – 50 කාලය තුල ගුවන්විදුලි තාක්ෂණය එන්න එන්නම වර්ධනය වුණා. 1954 දී Regency සමාගම ලොව ප්‍රථම පොකට් රේඩියෝව එළි දක්වනු ලැබුවේ වෝල්ට් 22.5 ක බැටරියක් ද සමඟයි. 1962 දී ලොව ප්‍රථම රේඩියෝ චන්ද්‍රිකාව වූ ටෙලිස්ටාර් ගුවන් ගත කළා.

ඇමරිකාව අන්තර්ජාලයට හා ඩිජිටල් යුගයට සම්ප්‍රාප්ත වීමත් සමඟම online රේඩියෝ ක්‍රමයත් ආරම්භ වුණා. ඒ 1980 මුල් කාලයේ වන අතර වර්ෂ 1994දී WXYC යන ගුවන් විදුලි නාලිකාව ලොව ප්‍රථම වරට අන්තර්ජාල රේඩියෝ විකාශනය ආරම්භ කළා. එසේ ආරම්භ වූ අන්තර්ජාල රේඩියෝ අද වන විට ස්මාර්ට් දුරකථන යෙදවුමක් බවට පත්ව ඔබට අවශ්‍ය දේ අවශ්‍ය ලෙස ඇහුම්කන් දෙන්නට හැකි තැනට පත්ව තිබෙනවා.

කටහඬට රූපත් එකතු කළ රූපවාහිනිය

රේඩියෝව නිර්මාණය වී ටික කාලයක් ගතවන තැන, එනම් 20 වන සියවසේ මුල් භාගයේදී බිහි වූ විප්ලවීයම නිර්මාණයක් ලෙස රූපවාහිනිය, එහෙමත් නැත්නම් ටෙලිවිෂනය හඳුන්වා දිය හැකියි. 1920 පමණ කාලයේ රේඩියෝ තරංග හරහා රූප යැවීමට විද්‍යාඥයන් උත්සාහ දරා තිබෙනවා.

රූපවාහිනියේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ ජෝන්ලෝගී බෙයාර්ඩ් මහතායි. ඔහු ලොව ප්‍රථම වර්ණ රූපවාහිනියෙද සොයා ගත් අතර ඒ 1928 වර්ෂයේ දීය. BBC ආයතනය 1929 – 1937 අතර කාලය දක්වා වැඩසටහන් විසුරුවා හැරීමට මොහුගේ මෙම තාක්ෂණය භාවිතා කර තිබෙනවා.

ලොව ප්‍රථම රුපවාහිනී නාලිකාව ලෙස සලකනු ලබන්නේ WRGB ලෙස අාරම්භ වී පසුව W2XB බවට පත්වූ නිව්යෝක් නුවර කේන්ද්‍ර කරගත් නාලිකාවයි.නමුත් එම නාලිකාව බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වුනේ “WGYTelevision” ලෙසයි.

ලොව ප්‍රථම රූපවාහිනිය (im.rediff.com)

NBC ටෙලිවිෂන් නාලිකාවට අනුබද්ධ WNBT (නිව්යෝක් නුවර කේන්ද්‍ර කරගත් නාලිකාවකි) නාලිකාව ලොව ප්‍රථම වෙළඳ දැන්වීම ප්‍රචාරය කර තිබෙනවා. ලොව ප්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම BULOVA අත් ඔරලෝසු සමාගම විසින් නිර්මාණය කරන ලද්දක්. මෙය ප්‍රචාරණය වුණේ 1941 ජුනි 1 වෙනිදා සවස 2.29 ටයි. Brooklyn Dodgers හා the Philadelphia Phillies කණ්ඩායම් දෙක අතර පැවති බේස් බෝල් තරගයට පෙර විකාශනය කළ මෙහි ධාවන කාලය තත්පර 10 ක්.

රූපවාහිනීයේ තාක්ෂණික පෙරලිය

ඇනලොග් පරිපථ සහිත රූපවාහිනී ක්‍රමයෙන් ඩිජිටල් තාක්ෂණයට මාරු වීමත් සමඟ රූපවාහිනිය තාක්ෂණික වෙනස්කම් බොහොමයකට ලක් වුණා .මෙම ඩිජිටල් රූපවාහිනීවල පවතින ඉහළ ගුණත්වයෙන් යුතු රූප රාමු, සිත්ගන්නා සුළු නිමාව හා අඩු විදුලි ප්‍රමාණයක් අවශ්‍ය වීම මත මේවා ජනතාව අතර ඉතා වේගයෙන් ජනප්‍රිය වුණා.

ඇනලොග් රූපවාහිනීවල සිට ඩිජිටල් රූපවාහිනීවලට මාරු වීමේදී ජනතාවට සිදුවන අපහසුතාව වළක්වා ගැනීමට තම පැරණි රූපවාහිනිය ඩිජිටල් රූපවාහිනියකට මාරු කරනවිට ඇමරිකානු රජය ඩොලර් 40 ක කුපන් පතක් ලබා දී තිබුණා.

මෙම ඩිජිටල් රූපවාහිනීවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පසුව high-definition හෙවත් HD රූපවාහිනී වෙළඳපොළට පැමිණි අතර මෙම රූපවාහිනී ඉතා සුපැහැදිලි රූප රාමු ප්‍රේක්ෂකයන්ට සමීප කළා.මේවායේ තිරය සාමානයෙන් 720 x 1280 පික්සල් ප්‍රමාණයේ හා 1080 x 1920 පික්සල් ප්‍රමාණයන්ගෙන් යුක්ත වුණා. ඉන්පසුව 4K ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන පික්සල් 2160 x 3840 ප්‍රමාණයේ රූපවාහිනීත් වෙළඳපොළට එක් වුණා.

මෙවැනි රූපවාහිනී පවා ප්‍රමාණවත් නොවූ ප්‍රේක්ෂකයන් වෙනුවන් මේ වන විට 8K රූපවාහිනී පවා නිර්මාණය කර තිබෙනවා. එවැනි රූපවාහිනී තිරයක් 7680 x 4320 විභේදනයකින් යුක්ත වෙනවා.

Smart රූපවාහිනියක් හා විනෝද වන ළමුන් (sworld.hu)

තාක්ෂණයේ වර්ධනය සමඟ බිහිවූ නවතම රූපවාහිනී වර්ගයක් ලෙස ස්මාර්ට් රූපවාහිනී හඳුන්වා දිය හැකි අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ අන්තර්ජාලය හා ජාලගත කර භාවිත කළ හැකි වීමයි. අද වනවිට තිබෙන සමහරක් රූපවාහිනී තිර ස්පර්ශක සංවේදී (touch) ආකාරයෙන්ද නිර්මාණය වී තිබෙනවා.

වීඩියෝ වෙනුවෙන්ම නිර්මාණය වූ Youtube

අද වනවිට බොහොමයක් දෙනා තමන්ගේ කාර්ය බහුලත්වය මත බොහෝ විට තමන්ගේ විනෝදාස්වාදය මගතොට යන එන විට හෝ වෙනත් කාර්යක නියැලෙන විටම සලසා ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒ අතරින් වීඩියෝ බැලීමට අප බොහෝ විට භාවිත කරන Youtube ආරම්භ වන්නේ ඊ-මේල් පණිවිඩයක් හරහා යැවීමට නොහැකිවූ රාත්‍රී සාදයක වීඩියෝවක් හුවමාරු කර ගැනීම සඳහායි. ඒ ස්ටෙව් චෙන්, චැඩ් හර්ලි, ජාවෙඩ් කරීම් යන මිතුරන් තිදෙනා අතරයි. ඒ වන විට ඔවුන් තිදෙනාම PayPal වෙබ් අඩවියේ සේවය කරමින් සිටි අයයි.

www.youtube.com වෙබ් අඩවිය උපත ලබන්නේ 2005 පෙබරවාරි 14 වනදායි. 2005 අප්‍රේල් 22 වෙනිදා ජාවෙඩ් කරීම් ප්‍රථම යූ ටියුබ් වීඩියෝව එළි දක්වනවා.එහි තිබෙන්නේ ඔහු සත්ව උද්‍යානයක අලි ඇතුන් පිරිසක් සමග සිටින තත්පර 18 ක වීඩියෝවක් වන අතර, එය මේ වනවිට මිලියන 40 ට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබෙනවා.

මේ වනවිට විනාඩියක් තුළදී පැය 400 කට ආසන්න කාලයකින් සමන්විත වීඩියෝ ප්‍රමාණයක් මෙම වෙබ් අඩවියට එකතු වෙනවා. දැනට ලොව තුන් වැනියට ඉහළම පරිශීලකයන් ප්‍රමාණයක් සිටින වෙබ් අඩවිය වන්නේද මෙයයි.

youtube (wordpress.com)

පෙරළියක් වූ Youtube

අද වනවිට මෙම වෙබ් අඩවිය තුළ පවතින වීඩියෝ බිලියන 5කට ආසන්න ප්‍රමාණයක් දිනක් තුලදී නරඹනු ලබනවා. බිලියන 1.3 ආසන්න සාමාජිකයන් ප්‍රමාණයක් Youtube සතුවන අතර ඉන් මිලියන 30 කට ආසන්න ප්‍රමාණයක් දිනකට මෙම වෙබ් අඩවියට පිවිසෙන අතර ඔවුන් මසකට පැය බිලියන 3.25ක වීඩියෝ නරඹනවා. මෙම වෙබ් අඩවියේ සාමාජිකයන්ගෙන් 62% ක්ම පුරුෂයන්.

යූ ටියුබ් භාවිතා කරන අයගෙන් අඩකටත් වඩා ජංගම දුරකථනවලින් එය හා සම්බන්ධ වනවා. Youtube වෙබ් අඩවියේ ඇති වීඩියෝ අතරින් වීඩියෝ 10,113 ක් නැරඹුම් වාර බිලියනය ඉක්මවා තිබෙනවා. Youtube වෙබ් අඩවිය භාෂා 76 කින් ක්‍රියාත්මක වන අතර Google හි දැන්වීම් ආදායමෙන් 6% ක ප්‍රමාණයකට හිමිකම් කියනවා.

තවත් වෙනස් වන විකාශනයේ අනාගතය

මේ වන විට අනෙක් හැම මාධ්‍යයක්ම අභිබවමින් අන්තර්ජාලයෙන් වීඩියෝ නැරඹීම ඉහළ යමින් පවතිනවා. 2020 වන විට අැමරිකා එක්සත් ජනපදය තුළ දිනකට අන්තර්ජාල වීඩියෝ නරඹන්නන් ප්‍රමාණය මිලියන 232 පමණ වෙතැයි අපේක්ෂා කරනවා. මේ වන විට නම් එක්සත් ජනපදය තුළ වැඩියෙන්ම නරඹනු ලබන්නේ පුද්ගලයන් හා විවිධාකාර වූ සන්නාමයන්ගෙන් මුදා හරින වීඩියෝ බවයි සැලකෙන්නේ.

නවතම වාර්තාවලට අනුව ලෝකය පුරාම බොහොමයක් අන්තර්ජාල පරිශීලකයින් මෙවැනි වීඩියෝවලට නැඹුරු වී සිටිනවා. දිනෙන් දින පරිශීලනය ඉහළ යන ජංගම දුරකථන හා ටැබ් පරිගණක හරහා මසකදී ටෙරා බයිට් මිලියන 4.4 ක පමණ වීඩියෝ ප්‍රමාණයක් හුවමාරු වෙනවා. අැමරිකාව තුල ජංගම සන්නිවේදන උපකරණවලින් අන්තර්ජාල වීඩියෝ නරඹන ප්‍රමාණය වර්ෂ 2020 පමණ වනවිට මිලියන 179 තරම් වනු ඇති බවට සැලකෙනවා. වයස අවුරුදු 18 – 24 ත් අතර පුද්ගලයන් සතියක් තුළ මිනිත්තු 85 ක කාලයක් මෙවැනි වීඩියෝ නැරඹීමට වැය කරන බව සොයා ගෙන තිබෙනවා.

විකාශනයේ නවතම හැඩය – Netflix (www.wired.com)

ජනප්‍රිය තලයේ වීඩියෝ කාටත් සපයන වෙබ් අඩවි හැරුණු කොට මේ වනවිට මුදල් ගෙවා තමන්ට අවශ්‍ය වීඩියෝ අන්තර්ජාලය හරහා නැරඹිය හැකි (Video on demand) අවස්ථා ජනතාවට උදා වී තිබෙනවා. එයට හොඳම උදාහරණයක් වන්නේ Netflix වෙබ් අඩවියයි. 2016 වසර අග වනවිට Netflix ඇමරිකානු ඩොලර් බිලියන 8.8 ක ආදායමක් උපයා තිබුණා.

මේ හරහා සිදුවූ තවත් විශේෂ දෙයක් වුණේ Netflix වැනි වෙබ් අඩවි තමන්ගේම නිෂ්පාදන එළි දැක්වීමටද කටයුතු කිරීමයි. House of Cards, Orange Is the New Black යන රූපවාහිනී කතා මාලා මෙයට උදාහරණ ලෙස ගත හැකි වනවා. Netflix හැරුණු කොට Amazon Prime Video සහ Hulu යන වෙබ් අඩවි ද මෙම සේවාවන් සපයනවා. එක්සත් ජනපදය තුල රූපවාහිනී නරඹන පුද්ගලයන්ගෙන් 37% මෙවැනි සේවා වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනවා.

ලොව විශාලතම විකාශ අායතනයක් වන BBC වෙත වැඩිම අාදායමක් උපයා දුන් Top Gear වැඩසටහන ඉදිරිපත් කළ Jeremy Clarkson අැතුළු පිරිස Amazon Prime හි Grand Tour වැඩසටහන හා එක් වීම මෙවන් අායතන ලෝක මට්ටමින් රූපවාහිනී ක්ෂේත්‍රයට කර අැති බලපෑමට හොඳ උදාහරණයක්.

ඉදිරි කාලය තුල මෙම විකාශන ක්ෂේත්‍රය කෙසේ වෙනස් වේවිද කියා කිසිවෙකුටවත් 100%ක් නිවැරදි අනාවැකි කරන්නට බැහැ. නමුත් අනාගතයේ දී අද අප දකින සම්ප්‍රදායක රේඩියෝව හා රූපවාහිනිය නම් අපෙන් ඈත්වන බවට නිසැකවම කිව හැකි කරුණක්. කෙසේ නමුත් තවමත් දියුණු වෙමින් පවතින රටවල් නම් මේ ආකාරයට හැඩගැසීමට තවත් සැළකිය යුතු කාලයක් ගත වේවි.

කවරයේ රූපය: www.consciousevolutionmedia.com

Related Articles