Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටවල් 90ක රස පැතිරුණු රට දෙල්

දෙල් වාරය ඇවිල්ලා. මේ දවස්වල සතිපොළවල, එළවළු කඩවල දෙල් සුලබව දකින්න පුලුවන්. මේ දෙල් වලට අපි කියන්නේ රටදෙල් කියලයි. ඒකට හේතුව අපේ රටට ආවේණික වෙනත් දෙල් වර්ගයක් තිබෙන නිසයි. ඒ දෙල්වලට කියන්නේ “වල්දෙල්”, නැත්නම් “බැදි දෙල්” කියලා. ඒකත් ඉතාම ගුණදායක ආහාරයක් වුණත් දැන් වල්දෙල් ගස් පහතරට වනාන්තරවල හැර ගෙවතුවල දැකගැනීමට නම් අමාරුයි. ඒවා කපල දමල නිසා. නමුත් රටදෙල් ගස් නම්  සමහර ගෙවත්තක තිබෙනවා. ඒත් ඉබේ හැදෙනවා මිසක දෙල් ගස් වගා කිරීමට අපි හුරුවෙලා නැහැ.

ලෝකය පුරා පැතිරුණු ආහාරයක්

කොස්ටාරිකාවේ දෙල් – wikipedia.org

දෙල් අයත් වන්නෙත් කොස් අයත් ශාක කුලයටම යි. දකුණු පැසිපික් කලාපයේ නිව් ගිනියාවේ උපත ලැබූ බව සැලකෙන දෙල්ගස් ආහාර බෝගයක් ලෙස ලංකාවටත් වඩා අමෙරිකානු මහාද්වීපයේ ජනප්‍රිය බව ඔබ දන්නවා ද? දෙල් දකුණූ හා ගිනිකොන ආසියාවට ඇවිත් තිබෙන්නේ නාවිකයන් හරහා බවයි පැවසෙන්නේ. බ්‍රිතාන්‍ය හා ප්‍රංශ නාවිකයන් එය පොලිනීසියන් හා කැරිබියන් දූපත්වලට රැගෙන ගිහින් තිබෙනවා. අද එය ලොව රටවල් 90ක පැතිරි ගිය ශාකයක්. ඒ කියන්නේ ලෝකේ රටවලින් බාගයකම දෙල් ගස තිබෙනවා.

හවායිහි දෙල් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක්- ntbg.org

දකුණු සහ ගිනිකොණ ආසියාව, පැසිපික් සාගර රටවල්, කැරිබියන් හා මධ්‍යම අමෙරිකාව, අප්‍රිකාව ඒ අතරින් ප්‍රධාන යි. අමෙරිකාවේ හවායිවල දෙල්වලට වෙන්වූ පරික්ෂණ ආයතනයක් තිබෙනවා. දෙල් ගසේ අස්වැන්න, දෙල් ආහාරයක් ලෙස විවිධ ආකාරයෙන් සකසාගන්නා අන්දම ගැන පර්යේෂණ එහි කෘෂි විද්‍යාඥයන් සිදුකරනවා.

වෙදකමට දෙල්

හවායිහි දෙල් ගසක් –  wikipedia.org

දකුණු ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, චීනය, මලයාසියාව ඇතුළු රටවල දේශීය වෛද්‍ය කටයුතු  සඳහා දෙල් ශාකයේ නොයෙකුත් කොටස් භාවිතයට ගන්නවා. දෙල්වල කිරි (නැට්ටේ කිරි) අපේ රටේ දේශීය වෙදකමේ දී ඖෂධයක් ලෙස භාවිත කරනවා. ඒ හමේ තැන් තැන් වල ඇතිවන බිබිළි වැනි තත්ත්වයන්, කුෂ්ට වැනි රෝග නැසීම සඳහා යි.

මධ්‍යම අමෙරිකානු රටවල දෙල් පත්‍රවලින් හදාගන්නා තේ පානය අඩු රුධිර පීඩනය සහ දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස යොදා ගන්නවා. ජැමෙයිකාවේ දෙල් කොළ යුෂ තුවාලවලට ප්‍රතිකාර වශයෙන් භාවිත කරනවා.

ලංකාවේ මුල්ම දෙල් ගස ගාල්ලේ

ගාලු කොටුවේ පැරණිම දෙල් ගස – www.timeout.com

අපේ රටට දෙල් රැගෙන ආවේ ලන්දේසින් විසින් බව පිළිගැනීම යි. එලෙස මුලින්ම ගාලු වරායට රැගෙන ආ දෙල්  පැළ එවකට ගාල්ලේ ඕලන්ද කොටුව තුළ රෝපණය කර තිබෙනවා. ඒ දෙල් ගසේ මව් ශාකය ගාල්ල කොටුවේ වරාය නිවාඩු නිකේතනය අසල පිහිටි දෙල්ගස බවයි සැලකෙන්නේ. ලන්දේසින් ඕලන්දයේ සිට ලංකාවට දෙල් ගෙන එනු ලැබුවේ සිංහලයන්ගේ ශක්‌තිය හීන කරලා කුසීත ජාතියක්‌ කිරීමට බවට අපේ විශ්වාසයක් තිබෙනවා. අපේ අය ලන්දේසින්ගේ දෙල් කෑමටත් පොල් භාවිත කරපු නිසා ලන්දේසින්ගේ උපාය අසාර්ථක වුණා යයි ගැමියන් පවසනවා. වහල්ලුන්ට කන්න දෙන කෑමක්‌ හැටියට රට දෙල් හඳුන්වා දුන් බවටත් මතයක්‌ තියෙනවා.

කපිතාන් විලියම් බ්ලයි බවුන්ටර් කියන නෞකාව සමුදුරේ එන අතරතුරේ ශාන්තිකර සාගරය පසුකරද්දී කැරැල්ලක්‌ ඇති වෙලා නැව මූදුබත් වෙලා තියෙනවා. නැවේ තිබූ දෙල් පැළයක අංකුරයකින් මෙම දෙල්ගස හටගත් බවටත් මතයක්‌ තිබෙනවා. 70 ගණන්වල ගාලු කොටුවේ දෙල්ගස මැරෙන්න ගිහින් තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පැමිණි උද්භිද විද්‍යාඥයන් ඒ අවස්‌ථාවේ මේ දෙල්ගසට ප්‍රතිකාර කර තිබෙනවා.

දෙල් ගැන පිටරට පර්යේෂණ

හවායිවල දෙල් චිප්ස් – hawaiichips.com

අමෙරිකාවේ හවායිහි නිවර්තන කලාපීය උද්භිද උද්‍යානයේ ආචාර්ය ඩයන් රගෝනේ අවුරුදු 34ක් තිස්සේ දෙල් ගැන පර්යේෂණ කරපු විද්‍යාඥවරියක්. ලෝක ආහාර අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙස දෙල් යොදාගත හැකියැ යි ඇය පවසනවා. මේ අධ්‍යයනය සඳහාම ආචාර්ය රගෝනේ 2003 වසරේ දී හවායිහි මෝයි දිවයිනේ පර්යේෂණාගාරයක් විවෘත කිරීමටත් කටයුතු කළා.

ආචාර්ය රගෝනා පවසන්නේ ලෝකයේ මුලින්ම මිනිස් ආහාරය සඳහා එක්කැරගෙන ඇති දෙල් වර්ගය නිව්ගිනියාවේ වැඩෙන බ්‍රෙඩ්නටස් නමැති දෙල් වර්ගය බව යි.

මේ පර්යේෂණයෙන් පසු ශාන්තිකර දූපත්වල වෙසෙන වැසියන් හා විද්‍යාඥයින් දෙල් ශාක වැවීම කෙරෙහි වඩාත් නැඹුරුව සිටින බව වර්තා වෙනවා.

බරින් කිලෝග්‍රෑම් තුනක පමණ දෙල් ගෙඩියකින් මිනිසුන් පස් දෙනකුට දිනකට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ලබාගැනීමට හැකියාව ඇති බව නිව් සයන්ටිස්ට් සඟරාව සඳහන් කරනවා. දෙල් යනු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, සහ විටමින් වර්ග රැසකින් යුත් ආහාරයක්. දෙල්වල තිබෙන ප්‍රෝටීන් වලින් නිපදවන ඇමයිනෝ අම්ල සෝයා බෝංචි මගින් ලැබෙන ඇමයිනෝ අම්ල ප්‍රමාණයට වඩා අධික බව පර්යේෂකයන්ගේ අදහසයි.

පොලිනීසියාවේ දෙල් සමරුව

පොලිනීසියාවේ දෙල් මුද්දර-ebay.com

පොලිනීසියාවේ අපූරු සම්ප්‍රදායක් තිබෙනවා. ඒ සෑම ළමයකුගේම උපත සිහිවීම පිණිස, උපන් විගස දෙල් පැලයක් රෝපණය කිරීම යි. මේ සම්ප්‍රදාය අනෙකුත් ලෝකවාසීන් විසින් ආදර්ශයට ගත යුතු දෙයක් බව ආචාර්ය නයිරේ සිගේරා පවසනවා. පොලිනීසියානු වාසීන් දෙල්ගසට අපේ රටේ පොල් ගසට මෙන් ගෞරවයෙන් සලකනවා. ඔවුන් දෙල් ගස සැමරීමට මුද්දර ද නිකුත් කර තිබෙනවා.

දෙල්වල ගුණ

දෙල්කඳ පොළේ දෙල් -dhanesh wisumperuma facebook page

දෙල්වල බහුලව ඇත්තේ පිෂ්ටය යි. මේ නිසා කැලරි වැඩි ප්‍රමාණයක් ඉන් සිරුරට ලැබෙනවා. ප්‍රෝටීන්, මේදය සුළු වශයෙන්, සහ තන්තු ද මෙහි අඩංගුයි. විටමින් සී, පොටෑසියම්, තයමින්, මැග්නීසියම් විටමින් බී යන පෝෂ්‍ය පදාර්ථ ද එහි තිබෙනවා. ඊට අමතරව විටමින් ‘සී’ ද බහුල යි. දෙල් ඉහළ ශක්ති ප්‍රමාණයක් ඇති ආහාරයක්.  

උදේට දෙල් කමු

ජැමෙයිකාවේ රෝස්ට් කළ දෙල් -thesophisticatedcaveman.com

ඉහළ පෝෂණ මට්ටමක් ඇති නිසාත්, ශරීරයට වැඩි ශක්තියක් ලැබෙන නිසාත් උදෑසන ආහාරවේල සඳහා දෙල් වඩාත් සුදුසු බව පැවසෙනවා. දෙල් තම්බා පොල් සමග ආහාරයට ගැනීමෙන් පෝෂණ ගුණයෙන් සපිරි ආහාර වේලක් ලැබෙනවා පමණක් නොව පොල් නිසා දෙල්වල උෂ්ණ ගුණය ඇති කරනා විස නැසෙනවා.

නිවසේ දී දෙල් රෝස්ට් කිරීම ( ජැමෙයිකාව) thesophisticatedcaveman.com

දෙල් විවිධාකාරයෙන් සකසා ගැනීමට අපේ කාන්තාවන් අතීතයේ සිට පුරුදුව සිටියා. දෙල් කිරට, මිරිසට ව්‍යාංජනයක් ලෙස මෙන්ම, මැල්ලුමක් ආකාරයෙන් ද සකසා ගැනීමෙන් ආහාර වේලට ප්‍රණීත රසයක් ලැබෙනවා. දෙල්වල අධික උෂ්ණ ගතිය මඟහැරීමට දෙල් ව්‍යංජනයට නිවිති, අළු පුහුල් දළු හෝ, කතුරුමුරුංගා කොළ ටිකක් මිශ්‍ර කිරීමට ද සමහරු පුරුදු වී සිටියා. බැදුමක් ලෙස ද පිළියෙළ කර ගැනීමට දෙල් කදිම යි.

දෙල් සිහින්ව කපා තම්බා තද හිරුරැසේ වියළා ගැනීමෙන් කාලයක් ගිය පසුව ද ආහාරයට ගත හැකියි.  මෙසේ වියළාගත් දෙල් තීරු සීනි මිශ්‍රකර බැද ගැනීමෙන් රසවත් අතුරුපසක් සකසාගත හැකියි. ලොව බොහෝ රටවල මේ වනවිට දෙල්වලින් කල්තබාගත හැකි ආහාර වර්ග සකසනවා. හවායිවල දෙල් චිප් ඉතා ජනප්‍රිය කටගැස්මක්.

රෝග නසන ආහාරයක්

බැදපු දෙල් පෙති -thesophisticatedcaveman.com

සෙම් රෝගවලට ගුණදායක වන අතර ශරීරයේ ප්‍රදාහ නසන ගුණයක් ද පවතිනවා. තුවාලයක් පැසවීම හෝ ඒ නිසා සිදුවන ඉදිමීම වැනි තත්ත්වයන් වැළැකෙනවා. ප්‍රතිජීවකයක් ලෙස ද දෙල් ක්‍රියා කරනවා. වෛරස සහ දිලීර වනසා දමනවා. රුධිරගත මේදය අඩු කරනවා. ක්‍ෂයරෝගය, සන්ධි වේදනා, ආතරයිටිස්, පිළිකා රෝග, පටිපනු රෝගයට, මැලේරියාවට, පාචනයට, දියවැඩියාව වැනි රෝග රාශියකට දෙල් ආහාරයට ගැනීම ගුණයි.

අහිතකර ගුණයන් මොනවා ද?  

සමහරුන්ට දෙල් කෑවොත් වැඩේ දෙල්ම තමයි. එයට හේතුව සමහරුන්ට අසාත්මිකතා ඇති කිරීමට දෙල්වලට හැකි වීමයි. කටෙහි තුවාල දැමීම, තොල් පැලීම වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අයෙක් නම් දෙල් ආහාරයට ගැනීමෙන් එම රෝග තත්ත්වයන් වැඩි වෙනවා. බඩේ දැවිල්ලෙන් පෙළෙනා අයගේ දැවිල්ලත් දෙල් ආහාරයට ගැනීමෙන් වර්ධනය වෙනවා. මුත්‍රා දැවිල්ල, අත්පා දැවිල්ල ඇති අයට ද මෙම ආහාරය ගුණදායක නොවේ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

draxe.com/breadfruit/

Dailymail.co.uk

අද 2015. 9.25 පුවත්පත

www.youtube.com/watch?v=_GUtO0cnAls

www.youtube.com/watch?v=sKq0oVzCkt0

islandherbsandspices.com/breadfruit-leaves-artocarpus-altilis/

කවරයේ පින්තුරය: www.kickstarter.com

Related Articles