Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෘක්ක පිළිබඳ අපූරු තොරතුරු

මානව ශරීරයෙහි පැවැත්මට වෘක්කවලින් සිදුවන කාර්යය අති මහත්. මානව ශරීරයට අත්‍යවශ්‍ය වැදගත් මෙහෙයන් රාශියක් ඒවා මඟින් සිදුකෙරෙනවා. මිනිසෙකුගේ උදර කුහරයේ පහළට වන්නට යුගලක් වශයෙන් පිහිටා ඇති මේවා බෝංචි ඇට හැඩැතියි. වෘක්ක පිළිබඳ පහත දැක්වෙන අපූර්ව තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් දැයි බලන්න.

රුධිර පෙරීමේ මධ්‍යස්ථානය

වෘක්ක නිරන්තරයෙන් මානව ශරීරයේ රුධිරය පෙරීමට ලක් කරනවා. මෙහිදී රුධිරයේ අඩංගු අතිරික්ත තරල හා ශරීරයට අනවශ්‍ය අපද්‍රව්‍ය රුධිරයෙන් වෙන් කිරීම සිදුවෙනවා. මෙලෙස දිනක් තුළ දී මානව වෘක්ක යුගලකින් සාමාන්‍යයෙන් පෙරෙන රුධිර ධාරිතාව කෝප්ප 600ක් පමණ වෙනවා. මෙය ගැළුම් 45ක් පමණ පමණ ප්‍රමාණයක්. මෙලෙස පෙරෙන අතිරික්ත තරල හා අපද්‍රව්‍ය මුත්‍රාශය කරා යොමු කෙරෙනවා.

මිනිස් වෘක්කවල පිහිටීම හා හරස්කඩක්- Blausen.com staff (2014). “Medical gallery of Blausen Medical 2014”. WikiJournal of Medicine 1 (2). DOI:10.15347/wjm/2014.010. ISSN 2002-4436

වෘක්ක යුගලෙහි ප්‍රමාණය

මිනිස් සිරුරේ පවතින වෘක්ක යුගල උදර කුහරයේ පහතට වන්නට පිහිටා ඇති බැව් මේ ලිපිය ආරම්භයේ දී අප දැක්වූවා. සාමාන්‍යයෙන් සිරුරේ යුගල වශයෙන් පවතින් අනෙකුත් අවයව බොහෝ සෙයින් එකිනෙකට සමාන වන නමුත් වෘක්ක යුගලය නම්, විශාලත්වය හා පිහිටීම අතින් සැලකිය යුතු ප්‍රමාණයකින් එකිනෙකට වෙනස් වෙනවා.

මිනිසෙකුගේ දකුණු වෘක්කය සාමාන්‍යයෙන් වම් වෘක්කයට වඩා මඳක් කුඩා වන අතර, එය උදර කුහරයේ පිහිටන්නේ ද වම් වෘක්කයට වඩා මඳක් පහළිනුයි. ඒ, අක්මාව උදර කුහරයේ දකුණු පසට බරව පිහිටා තිබීම නිසායි. වම් වෘක්කය ආශ්‍රිතව පිහිටන්නේ ප්ලීහාව වන අතර එය අක්මාව තරම් විශාල නැති නිසා, මඳක් ප්‍රමාණයෙන් විශාලව පිහිටන්නට දකුණු වෘක්කයට වඩා වම් වෘක්කයට අවකාශ තිබෙනවා.

වෘක්කයෙහි අනෙකුත් කාර්යයභාරයන්

මානව වෘක්ක යුගලයක ප්‍රධාන කාර්යයභාරය වන්නේ රුධිරය පෙරා, එහි ඇති අතිරික්ත තරල මෙන්ම අපද්‍රව්‍ය ඉවත් කිරීම වුව ද, ඒවා මඟින් තවත් වැදගත් කාර්යයන් රාශියක් සිදුකෙරෙනවා. විශේෂයෙන් ශරීරයේ සෝඩියම් හා පොටෑසියම් වැනි අයන සමතුළිත කරගැනීමට මෙන්ම රුධිර පීඩනය යාමනය කිරීම සඳහා උපයෝගී වෙන හෝමෝන ශ්‍රාවය කිරීමට ද වෘක්ක ක්‍රියා කරනවා. එමෙන්ම අස්ථිවල යහ පැවැත්මට මෙන්ම රතු රුධිරාණුවල උත්පාදනය පාලනය වීම සඳහා වැදගත් විටමින් ඩීවල ක්‍රියාකාරී ප්‍රභේදයක් ද ඒවා මඟින් නිපදවෙනවා. 

සැබෑ මානව වෘක්ක යුගලක්- Nutrition facts.org/ youtube.com

මිනිසෙකුට තනි වකුගඩුවකින් ජීවත් විය හැකියි

ලොව ජනිත වන අති බහුතරයක් මිනිසුන් හට වෘක්ක යුගලක් පිහිටනවා. කෙසේ නමුත් එක් නිරෝගී වකුගඩුවක් පමණක් සහිතව වුව ද යමෙක් හට සෞඛ්‍යමත් දිවි පෙවෙතක් ගත කළ හැකියි. එක් වෘක්කයක වෘක්කාණු නම්, රුධිරය පෙරන ඒකක මිලියන 1.5ක් පමණ පිහිටනවා. සාමාන්‍ය මානව ශරීරයක පවතින රුධිරය ප්‍රමාණවත් ලෙස පෙරීම සිදුකරන්නට මෙවැනි ඒකක 300,000ක සංඛ්‍යාවක් ප්‍රමාණවත්. නිරෝගී මානව වෘක්කයක එමෙන් කිහිප ගුණයක වෘක්කාණු පිහිටනවා. මේ හේතුව නිසා, යම් කාරණයක් නිසා වෘක්කයක් අහිමි වූ අයවළුනට, බාහිර පෙරුම් යන්ත්‍රයක පිහිටක් නොමැතිව, නිරෝගීමත්ව එක් වකුගඩුවක් ආධාරයෙන් තම ජීවිතය පවත්වාගෙන යා හැකි වෙනවා.

වෘක්කවල ගල්

වෘක්කවල ගල් ඇතිවීම ලෙස හඳුන්වන්නේ, කාලයත් සමග වෘක්කවල ඛණිජ හා ලවණ තැන්පත් වී ඒවා ඝණීභවණය වී ස්ඵටික ඇතිවීම යි. මේවා ඉතා කුඩා නම් අපහසුවකින් තොරව මුත්‍රා මාර්ගය ඔස්සේ ගමන් කොට මුත්‍රා සමග පිටවනවා. කෙසේ නමුත් වෘක්කවල ඇතිවන මේ සමහර ස්ඵටික ගොල්ෆ් බෝලයක් තරම් විශාල විය හැකියි. මේවා සමහර අවස්ථාවල දී වෘක්ක ඔස්සේ ගමන් කොට මුත්‍ර මාර්ගයේ කොහේ හෝ රැඳී, එම මාර්ගය අවහිර කරනවා. මේ තත්ත්වය ඉතා වේදනාකාරී හා භයානක රෝග ලක්ෂණ ඇති කිරීමට සමත් අතර, ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

වෘක්කවල ගල්- medicalnewstoday.com

පමණ ඉක්මවා ජලය පානය හා වෘක්ක

සාමාන්‍යයෙන් පවතින මතය වන්නේ වැඩිපුර ජලය පානය කිරීම සෞඛ්‍යාරක්ෂිත බව යි. ප්‍රශස්ථ මට්ටමකට නිතිපතා ජලය පානය කිරීම මඟින් ශරීරයේ තෙතමනය හොඳින් ආරක්ෂා වන අතර වෘක්කවල යහපත් ක්‍රියාකාරීත්වයටත් එය ඉවහල් වෙනවා. එමෙන්ම මුත්‍රා ගල් ඇතිවීමේ අවදානමත් අවම වෙනවා.

පමණට වඩා අඩුවෙන් ජල පානය කිරීම වෘක්කවල ගැටළුවලට මඟ පාදන අතර, පමණ ඉක්මවා නිතිපතා ජලය පානය කිරීමත් ප්‍රශ්නකාරී විය හැකියි. මෙවැනි අවස්ථාවක දී වෘක්කවලට කඩිනමින් අතිරික්ත තරල සියල්ලම පෙරා ශරීරයෙන් ඉවත් කිරීම අපහසු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ සෝඩියම් ලවණ සාන්ද්‍රණය අඩු වෙනවා. මේ නිසා වකුගඩුවල සෛල ඉදිමීම ඇතුළු සංකූලතා රැසකට ලක් විය හැකියි. කෙසේ නමුත් මේ තත්ත්වය එතරම් සුලබ නැහැ. මෙය වඩාත් දැකිය හැකි වන්නේ ඉතා වෙහෙසකර ක්‍රියාකාරකම්වල නිරතවන ක්‍රීඩකයින් වැනි අය අතරයි. එක් වරම ජලය විශාල ප්‍රමාණවලින් ශරීරගත කරගැනීම නිසා මේ තත්ත්වය ප්‍රතිඵල වෙනවා.

අකර්මන්‍ය වෘක්ක වෙනුවට වෘක්කයක් බද්ධ කිරීම

විවිධ හේතූන් නිසා මිනිසෙකුගේ වෘක්ක දෙකම අකර්මන්‍ය විය හැකියි. මෙවැනි අවස්ථාවක දී වෛද්‍යවරුන් එවැනි රෝගීන්ට නිරෝගී වෘක්කයක් බද්ධ කිරීමට නිර්දේශ කරනවා.

නව වෘක්කයක් බද්ධ කළ පසු (මෙහි පහළ වම් පස් පවතින්නේ බද්ධ කරන ලද වෘක්කය යි)- ucl.ac.uk

බොහෝ දෙනෙකු සිතන පරිදි වෘක්කයක් බද්ධ කිරීමේදී බොහෝ විට අකර්මන්‍ය හෝ දුර්වල වූ වෘක්ක දෙක ගලවා ඉවත් කිරීමක් සිදුවන්නේ නැහැ. එම පුද්ගලයාගේ වෘක්ක දෙක එසේම තිබිය දී, ඊට පහළින් නව වෘක්කය ස්ථානගත කරන අතර, ඊට රුධිර වාහිනී, මුත්‍ර ප්‍රනාල වැනි දේ සම්බන්ධ කරනවා. නීරෝගී පුද්ගලයෙකුගෙන් ලබාගන්නා මෙම නව වෘක්කය ඉන් පසු රෝගී වී සිටි පුද්ගලායාගේ ශරීරයට යම් ප්‍රමාණයකින් අනුගතව ක්‍රියාකාරී වෙනවා. කෙසේ නමුත් ඉන් පසු එම නව වෘක්කය තම ශරීරය මඟින් ප්‍රතික්ෂේප වනු වළක්වනු වස් ජීවිත කාලය පුරාම එම පුද්ගලයා ඖෂධ හා ප්‍රතිකාර නිවැරදිව ලබාගත යුතු යි.

කවරයේ පින්තූරය- blog.mamashealth.com

මූලාශ්‍රයයන්

Mentalfloss.com

Healthination.com

Factslegend.org

Related Articles