Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බුකර් ත්‍යාගයෙන් පිදුම් ලද පළමු ඉන්දීය නවකතාව: ද ටූම්බ් ඔෆ් සෑන්ඩ්

ලොව හොඳ ම නවකතාවට පිදෙන අන්තර්ජාතික බුකර් ත්‍යාගයෙන් යම් කිසිවෙක් පිදුම් ලැබීම ඔහු හෝ ඇය සිය ලේඛක දිවියෙහි ලබාගන්නා ඉහළත ම ගෞවරවයක් වෙනවා. එය දෙගුණ තෙගුණ වන්නේ එය තම රටෙහි වැසියෙක් එම ත්‍යාගයෙන් පිදුම් ලබන පළමු අවස්ථාව වීමෙනු යි. ඉන්දියානු ජාතික ගත්කතුවරියක වන ගීතාංජලී ශ්‍රී පසුගියදා එම ගෞරවයට පාත්‍ර වුණා.

ඇය රචනා කළ ‘ද ටූම්බ් ඔෆ් සෑන්ඩ්’ හෙවත් ‘වැලි සුසානය’ නම් නවකතාව පසුගියදා 2022 වසර වෙනුවෙන් වූ ලොව හොඳ ම නවකතාව ලෙස බුකර් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. ඒ එදා මෙදා තුර එම ත්‍යාගයෙන් පිදුම් ලැබූ පළමු ඉන්දියානුවා වෙමිනු යි. ඇය හින්දි භාෂාවෙන් රචනා කළ මෙම කෘතිය ඩේසි රොක්වෙල් ඉංග්‍රීසියට  පරිවර්ථනය කළ අතර. මෙම ත්‍යාගය ඔවුන් දෙදෙනා අතර සම ව බෙදී ගියා.

 ද ටූම්බ් ඔෆ් සෑන්ඩ්- mixindia.com

 

කෘතීන් 13 ක් අතර තරගයකින් පසු

ජාත්‍යන්තර බුකර් ත්‍යාගය වාර්ෂික ව පිරිනැමෙන්නේ එක් කෘතියකට පමණයි. එයට සුදුසුකම් ලැබීමටනම් එම කෘතිය ඉංග්‍රීසි භාෂාවෙන් මහා බ්‍රිතාන්‍යයේ හෝ අයර්ලන්තයේ පළ විය යුතු අතර, එසේත් නැතිනම් වෙනත් භාෂාවකින් මුල් කෘතිය පළ වී අනතුරු ව ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය වී මහා බ්‍රිතාන්‍යයේ හෝ අයර්ලන්තයේ එළි දැක්වී තිබිය යුතු යි. මෙවර භාෂා 11 කින් රටවල් 12 ක ලියැවී, පසුව ඉංග්‍රීසියට පරිවර්නතය වුණු එවැනි කෘතීන් 13 ක් බුකර් ත්‍යාගය ලබාගැනීම සඳහා වූ තරඟයේ අවසන් වටයට තේරී පත්ව තිබුණා.

මින් කෘති 4 ක් මීට පෙර බුකර් ත්‍යාගයෙන් පිදුම් ලැබූ අයගේ වීමත් සුවිශේෂී වෙනවා. ජෙනිෆර් ක්‍රොෆ්ට්, ඩේවිඩ් ග්‍රොස්මන්, ජෙසිකා කොහෙන් සහ ඔල්ගා ටොකාසුක් ඒ සිවු දෙනා යි. මේ වසරේ බුකර් ත්‍යාගය සඳහා වූ අවසන් තරගයට තේරී පත් වූ කෘති වැඩි ගණනක් ‘ටිල්ටඩ් ඇක්සිස්’ නම් පොත් ප්‍රකාශන සමාගමේ එළිදැක්වීම් වූ අතර, ටෝම්බ් ඔෆ් සෑන්ඩ් ද ඔවුන්ගේ ප්‍රකාශනයක් වෙනවා.

ටූම්බ් ඔෆ් සෑන්ඩ් හි සුවිශේෂී බව

බුකර් ත්‍යාගය සඳහා කෘති තෝරා ගන්නා කමිටුව පවසන්නේ ‘ටූම්බ් ඔෆ් සෑන්ඩ්’ ඉතා ප්‍රබල පණිවිඩයක් සහ හැඟීම් සමුදායක් පාඨකයාට ලබා දෙන, කියැවීමට ගත් විට ඉවත ලන්නට නොසිතෙන විශිෂ්ට නවකතාවක් බව යි. ඩේසි රොක්වෙල් එය ඉතා සුමට ලෙස, රසය අඩු නොවන පරිදි ඉංග්‍රීසියට පරිවර්ථනය කර තිබීමත් එය මේ ත්‍යාගය ලැබීමට හේතු වී තිබෙනවා.

මෙම කෘතියෙහි අන්තර්ගතය වන්නේ අසූ වියැති මහලු කාන්තාවකගේ, ජවයෙන් සහ අධිෂ්ඨානයෙන් සපිරුණු අතීතය පිළිබඳව යි. ඇගේ දිවියෙහි සිද්ධි සමුදායක් මේ කෘතිය මඟින් ප්‍රේක්ෂකයාට ගෙනහැර පා තිබෙනවා. ඉන්දියානු කාන්තාව මෙන් ම, සමස්තයක් ලෙස ජගත් කාන්තාවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව මොනවට මෙහි සඳහන් කොට තිබෙනවා.

 ගීතාංජලී ශ්‍රී (වමේ ) ඩේසි රොක්වෙල් සමග- sangbadpratidin.in

 

‘ටූම්බ් ඔෆ් සෑන්ඩ්’ ගීතාංජලී ශ්‍රී විසින් මුල්ම වතාවට එළිදක්වනු ලැබුවේ ‘රේත් සමාධි’ නමින් හින්දි භාෂාවෙනු යි. ඒ 2018 වසරේදී යි. මෙම නවකතාවේ පරිදි 80 හැවිරිදි කාන්තාවක සිය සැමියාගේ වියෝවෙන් පසු පාකිස්තානයේ සංචාරයක නිරත වන අතර, එහිදී ඇගේ නව යොවුන් වියේ ඇය මුහුණපෑ කම්කටොළු, ඉන්දු පකිස්තාන බෙදීම නිසා ඇය මුහුණපෑ අමිහිරි අත්දැකීම් පිළිබඳ ව ස්මරණය කෙරෙන අතර. ඒවා මතින් නැගී සිට ඇය දියණියක්, මවක් සහ කාන්තා විමුක්ති කාමිනියක බවට පත් වූ ආකාරය මින් නිරූපිත වෙනවා.

ගීතාංජලී ශ්‍රී හා ඩේසි රොක්වෙල්  

ගීතාංජලී ශ්‍රී උපත ලබා ඇත්තේ 1957 වසරේදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී දී යි. පසුව ඇය දිල්ලියට සංක්‍රමණය වී ඇති අතර, මේ වන විට නවකතා 5 ක් සහ කෙටිකතා කිහිපයක් ම රචනා කොට තිබෙනවා. මීට අමතර ව, ප්‍රවීණ ගත්කතු ප්‍රේම්චාන්ද් ඇතුළු රචකයන් කිහිපදෙනකුගේ ම කෘති සම්බන්ධයෙන් විචාරකයකු ලෙස ද ඇය කටයුතු කර තිබෙනවා. මේ වන විට ඇගේ කෘතීන් ඉංග්‍රීසි. ප්‍රංශ, ජර්මන්, සර්බියානු සහ කොරියානු භාෂාවලට පරිවර්නතය වී තිබෙනවා.

ඩේසි රොක්වෙල් ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්මොන්ට් හි වෙසෙන අතර, ඇය ගත්කතුවරියක්, කෘති පරිවර්කතයෙක් හා චිත්‍ර ශිල්පිණියක වශයෙන් කටයුතු කරනවා. හින්දි හා උර්දු භාෂා පිළිබඳ ව පෘථුල දැනුමක් ඇති ඇය එම භාෂාවලින් පළ වූ කෘති කිහිපයක් ම ඉංග්‍රීසියට පරිවර්නතය කර තිබෙනවා. උපේන්ද්‍රනාත් අශ්ක් ගේ ‘ෆෝලින්ග් වෝල්ස්’, බිෂාම් සානි ගේ ‘තමාස්’ හා ක්‍රිෂ්ණ සොබ්ති ගේ ‘අ ගුජරාට් හියර්, අ ගුජරාට් දෙයාර්’ ඒ අතර වෙනවා. රොක්වෙල්ට අනුව ‘ටූම්ඩ් ඔෆ් සෑන්ඩ්’ ඇය පරිවර්නතය කළ, තමන් වඩාත්ම ප්‍රිය කරන කෘතියක්. එය ලියැවී ඇති භාෂා විලාසය සහ අන්තර්ගතය පිළිබඳ ව ඇයට ඇත්තේ ඉතා සතුටුදායක අදහසක් වන අතර, එය පරිවර්නතය කිරීම එක්තරා ආකාරයක පර්යේෂණයක් බවත් ඇය පවසනවා.

2022 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය සඳහා වූ සම්මාන- prhinternationalsales.com

 

දකුණු ආසියාවට අත්කර දුන් කීර්තිය

ජාත්‍යන්තර බුකර් සම්මානයට නිර්දේශ වී එය දිනා ගත් පළමු දකුණු ආසියාතික, හෙවත් දකුණු ආසියාතික භාෂාවකින් මුල් කෘතිය ලියැවුණු ප්‍රථම නවකතාව වන්නේ ‘රේත් සමාධි’ හෙවත් ‘ටූම්බ් ඔෆ් සෑන්ඩ්’ කෘතිය යි. මෙය ඉන්දියාවට ගත්කතුවරියක මෑත ඉතිහාසයේ ඉහළ ම ගෞරවයක් අත්කර දුන් අවස්ථාවක් ලෙස විචාරකයන් පවසනවා. මෙමගින් එම කලාපයේ අනෙකුත් ගත්කතුවරුන් දිරිගැන්වෙන අතර, දකුණු ආසියාතික භාෂා වල කෘතීන් වැඩි වැඩියෙන් ඉංග්‍රීසියට පරිවර්තනය වීමේ ප්‍රවණතාවක් ඇතිවනු ඇති බවත් ඔවුන්ගේ මතය යි.

ජාත්‍යන්තර බුකර් ත්‍යාගය වෙනුවෙන් වූ ස්ටර්ලිං පවුම් 50,000 ක මුදල ගීතාංජලී ශ්‍රී සහ ඩේසි රොක්වෙල් අතර බෙදී යනු ඇති අතර, අවසන් වටයට නිර්දේශ වූ අනෙකුත් කෘති 12 ට පවුම් 2500 බැගින් වන ත්‍යාග පිරිනැමුණා.

 කවරයේ ඡායාරූපය - ගීතාංජලී ශ්‍රී ටූම්බ් ඔෆ් සෑන්ඩ් සහ මුල් කෘතිය වන 'රේත් සමාධි' අතැතිව- aishe ghosh/Twitter

මූලාශ්‍ර:

Timesofindia.indiatimes.com

Indianexpress.com

Business-standard.com

Related Articles