Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපිට පොඩි කාලේ (අම්මලා බලෙන්ම දීපු) අපි අකමැතිම දේවල් පහක්

“දොස්තරලා මොකටද? කොයි ලෙඩේටත් බෙහෙත් කුස්සියේම තියෙනවා.” කියන කතාව ශ්‍රී ලංකාවේ ගොඩක් අම්මලා අතර තියෙන අදහසක්. අපි පොඩි කාලේ අපිට නිතර හැදුණු ලෙඩ රෝග වලට අම්මලා නිතරම ගෙදර තියෙන දේවල් වලින් බෙහෙත් හදලා දෙනවා ඕනෑම කෙනෙක්ට මතක ඇති. ගෙදර කුස්සියේ හරි, සමහර විට ගෙවත්තේ හරි තියෙන ජාති වලින් හදලා දෙන මේ වගේ බෙහෙත්වලට පුංචි අපි නම් කැමතිම නැහැ. නමුත් සමහර විට බය කරලා හරි, එහෙමත් නැතිනම් චුට්ටක් රවටලා හරි මේ අත්බෙහෙත් දෙන්න අපේ අම්මලා හරිම දක්ෂයි.

නිතර හැදෙන ලෙඩ රෝග වගේම වෙනත් ප්‍රශ්න වලදී වුණත් අම්මලා ළඟ “ඒකට කරන්න ඕනේ මේකයි” කියලා පැහැදිලි උත්තරයක් තියෙනවා. බඩේ අමාරුවක් හැදුණත්, සීතලක් ඇල්ලුවත්, ඔලුව රිදුණත්, ඔලුවේ ඉස්සොරි ඇති වුණත් ඒ ගැටලුවෙන් මිදෙන්න මොකක් හරි බෙහෙතක් අම්මට / ආච්චිට කියපු ගමන් හොයා ගන්න පුළුවන්. කිසිම ලෙඩක් නැති වුණත් අම්මලාගේ වදෙන් බේරෙන්න නම් ලේසි නැහැ. “මේවා ඇස් වලට හොඳයි”, “මේවා කෑවම හම ලස්සන වෙනවා” වගේ දෙයක් හරි, නැත්නම් සරලව කිව්වොත් “මේවා බොහොම ගුණයි” කියලා අපිට දෙන අපි ඒ තරම් ආස නැති දේවල් ඉතින් කන්න බොන්න වෙනවාමයි. (උදේට අමාරුවෙන් හරි බොන්න වුණු කොළ කැඳ එක, දවල්ට කන්නම වෙන මැල්ලුම වගේ දේවල් ගැන කාටත් මතක ඇති)

මේ වගේ කාරණා නිසා පුංචි කාලේ අපිට බලෙන් කවපු පොවපු එක අපි වැඩි දෙනෙක්ට තේරුණේ නොකරපු වැරැද්දකට දීපු දඬුවමක් විදිහටයි. දැන් ටිකක් වයසින් වැඩිලා පෝෂණය වගේ දේවල් ගැන දැනුවත් වුණාට පස්සේ තමයි අම්මලා තාත්තලා අපිට බලෙන් හරි ඒවා කවපු එක කොච්චර දෙයක්ද කියලා හිතෙන්නේ. ඒ දවස් වල අමාරුවෙන් හරි ඒ කෑම වර්ග ආහාරයට ගත්තු නිසා අපි වැඩි දෙනෙක්ට දැන් අමාරුවක් නැතිව ඇඟට ගුණ කෑම වර්ග කන්න පුළුවන් වෙලා තියෙනවා. වෙලාවකට හිතෙනවා පොඩි කාලේ තේරුණු තරම් මේ කෑම බීම අමිහිරි නැහැ කියලත්. (පුංචි කාලේ වැඩි දෙනෙක්ට කොළ පාට, ඇඟට ගුණ දෙයක් කන්න පුදුම අකමැත්තක් තියෙන්නේ)

ඉතින් අපි මේ ලිපියෙන් කියන්න යන්නේ මේ වගේ අකමැත්තෙන් කාපු බීපු, ඒ නිසාම ටිකක් හරි වැඩිපුර නිරෝගී වෙන්න හේතු වුණු වට්ටෝරු 5ක් ගැනයි.

1 කොළ කැඳ

මොන තරම් පරිපූර්ණ, ගුණදායක දෙයක් වුණත් පුංචි ළමයි බොහෝ දෙනෙක් අකමැතිම දෙයක් තමයි කොළ කැඳ. රූපය : akkiskitchen.com

මොන තරම් පරිපූර්ණ, ගුණදායක දෙයක් වුණත් පුංචි ළමයි බොහෝ දෙනෙක් අකමැතිම දෙයක් තමයි කොළ කැඳ. රූපය : akkiskitchen.com

කොළ කැඳ කියන්නේ අද කාලේ ජනප්‍රියම ආහාර වලින් එකක්. තරු පහේ හෝටල් වල පවා අද වර්ග ගණනාවක කොළ කැඳ දකින්න පුළුවන්. පාසල් වල ආපනශාලා වල කොළ කැඳ අනිවාර්යයෙන්ම විකුණන්න කියලත් නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙනවා. කොළ කැඳ අපිට ආවේණික දේශීය වට්ටෝරුවක් නිසා අපේ පැරැන්නෝ ආදි කාලේ ඉඳන්ම කොළ කැඳ බොන්න ඇති කියලත් හිතන්න පුළුවන්.

කොළ කැඳ කියන්නේ බොහෝ දුරට කොළ ජාති වලින් හදන සුප් එකක් කිව්වත් වැරැද්දක් නැහැ. බත් ඇට, පොල් කිරි සහ වර්ග ගණනාවක කොළ ජාති මේ සඳහා යොදා ගන්නවා. විශේෂයෙන්ම කරපිංචා (murraya koenigii), ගොටුකොළ (centella asiatica) සහ හාතාවාරිය (asparagus racemosus) වලින් හදන කොළ කැඳ බොහොම ජනප්‍රියයි. මීට අමතරව වැල් පෙනල (cardiospermum halicacabum) සහ තවත් කොළ වර්ග රාශියක් කොළ කැඳ හදන්න ගන්න අවස්ථා තියෙනවා.

සෞඛ්‍යයට ඉතාම හිතකර, පරිපූර්ණ, ගුණදායක වට්ටෝරුවක් වුණු කොළ කැඳ වර්ග ශ්‍රී ලාංකිකයන් දන්න කියන අතීතයේ ඉඳන්ම ආහාරයට ගන්නවා. කොළ වර්ග ගණනාවක් එකතු කරලා හදන කොළ කැඳ කෝප්පය ආයුර්වේදයට අනුව අපිට ලබා ගන්න පුළුවන් හොඳම බෙහෙත් වර්ගයක්. දැන් කාලේ ගුණදායක දේවල් කෑමට ගන්න ඇති වෙලා තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක උදෑසන ආහාර වේල විදිහට කොළ කැඳ කෝප්පයක් විතරක් බොන එකත් බොහොම ජනප්‍රියයි.

ගොඩක් වෙලාවට හකුරුත් එක්ක බොන්න ගත්තත් කොළ කැඳ වල තියෙන්නේ තරමක තිත්ත රසයක්. (කොළ වර්ග වලට ආවේණික රසයක්) ඒ වගේම දැක්ක ගමන් බොන්න හිතෙන පෙනුමකුත් කොළ කැඳ එකක නැහැ. ඉතින් පුංචි ළමයි නම් කොළ කැඳ බොන්න ආසම නැහැ. අම්මා තරවටු කළොත් විතරයි අකමැත්තෙන් හරි ටිකක් බඩට දා ගන්නේ.

කොළ කැඳ වල ගුණය

කොළ කැඳ මොන තරම් ගුණද කියන එක ලේසියෙන් කියලා ඉවර කරන්න බැහැ. නමුත් වැදගත්ම දේවල් කිහිපයක් කෙටියෙන් දැක්වුවොත් මේ වගේ-

කොළ කැඳ එකේ තියෙන වටිනාම දේ තමයි නැවුම් පලා වර්ග ටික. මේ නිසාම කොළ වර්ග විශාල ගණනක් එකතු කරලා හදන කොළ කැඳ එකක් ස්වභාවයෙන්ම වඩාත් ගුණදායකයි. අපේ ශරීරයේ නීරෝගී කම රැකදෙන ප්‍රතිඔක්සිකාරක කොළ කැඳ වල බහුලව අඩංගු වෙනවා. විශේෂයෙන්ම අහිතකර ආහාර ගැනීම නිසා ශරීරයේ ඇති වෙන මුක්ත ඛණ්ඩක විනාශ කරන්න මේ ප්‍රතිඔක්සිකාරක වලට පුළුවන්. (මුක්ත ඛණ්ඩක, නැතිනම් free radicals කියන්නේ අපේ ශරීරයේ සෛල වලට හානි කරන්න, DNA දාම වෙනස් කරන්න වගේම පිළිකා ඇති කරන්නත් හේතු වෙන අණු වර්ගයක්) මේ නිසා ප්‍රතිඔක්සිකාරක බහුල කොළ කැඳ වගේ දේවල් නිතර ආහාරයට ගත්තාම ජීවිත කාලය දීර්ඝ වීම, තරුණ පෙනුම වැඩි කාලයක් පැවතීම වගේම පිළිකා ඇති වීමේ අවධානම අඩු වීම වගේ ප්‍රයෝජන ගණනාවක් ලැබෙන බව විද්‍යාත්මකවත් සනාථ වෙලා තියෙනවා.

මීට අමතරව කොළ වර්ග වල පවතින ෆ්ලේවනොයිඩවලට අපේ ශරීරයේ ඉදිමුම් අවම කරන්නත්, ආසාත්මිකතා ඇති වීම පාලනය කරන්නත්, විෂබීජ විනාශ කරන්නත් හැකියාව තියෙනවා. කොළ පාට ශාක වල අඩංගු බීටා කැරොටීන්, විටමින් K, විටමින් C, ෆෝලික් අම්ලය සහ යකඩ වගේ පෝෂක වර්ග ඕනෑම කොළ කැඳ වර්ගයක බහුලව අඩංගු වෙනවා. ඒ ඒ කොළ වර්ගයට අයිති අතිරේක පෝෂකත් කොළ වර්ග ගණනාවක් අඩංගු කොළ කැඳ වලින් ලබා ගන්න පුළුවන්.

කොළ වර්ග වල විතරක් පවතින ශාක පෝෂක (phytonutrients) ලබා ගන්න තියෙන අවස්ථාව වගේම අඩු ග්ලයිසීමික අගය නිසාත් කොළ කැඳ කියන්නේ දියවැඩියා රෝගීන්ට වුණත් ඉතාම ගුණදායක ආහාරයක්.

මීට අමතරව බත් ඇටත් සාමාන්‍යයෙන් එකතු කරන නිසා කාබෝහයිඩ්‍රේටත් කොළ කැඳ එකකින් ලබා ගන්න පුළුවන්. කොළ කැඳ වල අඩංගු දිය වුණු බත් ඇට සාමාන්‍ය බත් වලට වඩා පහසුවෙන් ශරීරයට උරා ගන්නා නිසා ශරීරයට අවශ්‍ය ශක්තිය පහසුවෙන්ම ලැබෙනවා. රතු බත් වල නම් විටමින් Bත් අඩංගුයි. ඒ වගේම පොල් කිරිත් එකතු කරන නිසා මේදයේ විතරක් දිය වෙන විටමින් වර්ගත් ශරීරයට උරා ගන්න පහසු වෙනවා. මේ නිසා කොළ කැඳ කියන්නේ හැම අතින්ම ගුණදායක උදෑසන ආහාරයක් කිව්වොත් වරදක් නැහැ. ඔබත් නිතරම උදේ කාලයේ නිදි මත දැනෙන කෙනෙක් නම් උදේට කොළ කැඳ වීදුරුවක් බොන එක පුරුද්දක් කර ගන්න. දවසම ප්‍රබෝධමත්ව ඉන්න පුළුවන් වේවි.

2 සූදුරු

සූදුරු වලින් බඩේ අමාරු හොඳ වෙනවා කියන එක අම්මලා නිතරම කියන දෙයක්. මේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. ayurveda.org

සූදුරු වලින් බඩේ අමාරු හොඳ වෙනවා කියන එක අම්මලා නිතරම කියන දෙයක්. මේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. ayurveda.org

අපිට පුංචි කාලේ නිතරම හැදෙන ලෙඩේ තමයි බඩේ අමාරුව. ඒ නිසාම වෙන්න ඇති අම්මලා ළඟ බඩේ අමාරුවට බෙහෙත් වර්ගත් ඕනෑ තරම් තියෙනවා. මේ අතරින් සූදුරු දාලා හදන වට්ටෝරු වඩාත් විශේෂයි.

යන්තමින් කරවෙන තුරු රත් කරපු සූදුරු ටිකක් උතුරන වතුරට දාලා පැයකට විතර පස්සේ පෙරලා බොන එක තමයි බඩේ අමාරුවට තියෙන ජනප්‍රියම විසඳුම. මේ විදිහට බැදපු සූදුරු කුඩු කරලා මී පැණිත් එක්ක කෑමට ගන්න එක තවත් ක්‍රමයක්. සූදුරු, ගම්මිරිස්, මිංචි කොළ, පෙරුම්කායම්, සුදු ළූණු සහ ලුණු එකට කොටලා වතුරේ දිය කරලා බොන එකත් සමහර පැති වල දකින්න පුළුවන්. ඔබත් පොඩි කාලේ සූදුරු රසට ආස නැති කෙනෙක් නම් මේ වගේ බෙහෙත් වට්ටෝරු බොන එක එපා වෙන්නත් ඇති. ඒත් අම්මලා හදලා දෙන අනෙක් බොහෝ අත් බෙහෙත් වගේම මේ වට්ටෝරු බිව්වාම බඩේ ලෙඩේ නම් ගොඩක් වෙලාවට හොඳ වෙනවා.

නමුත් ඇත්තටම සූදුරු වලට බඩේ අමාරු හොඳ කරන්න හැකියාවක් තියෙනවාද කියලත් අපි හොයලා බලන්න හිතුවා.

සූදුරු වල ගුණය

පුංචි කාලේ බඩේ අමාරුව කියලා අම්මා ලඟට ගියාම නිතරම හදලා දෙන “සූදුරු කසාය” බොන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න පුළුවන්. ඒත් සූදුරු තුල ඇත්තටම බඩේ අපහසුතා වලට ගුණදායක සංයෝග ගණනාවක් අඩංගු වෙන බව තහවුරු වෙලා තියෙනවා. සූදුරු කියන්නේ වාත නාශකයක්, එහෙමත් නැතිනම් බඩේ වාතය පිරිලා ඇති වෙන අපහසුතා දුරු කරන්න හේතු වෙන ඖෂධයක් බව බොහෝ පරීක්ෂණ වලින් පෙන්නුම් කරනවා. සූදුරු වල බහුලව අඩංගු තයිමෝල් කියන්නෙත් අපේ ආමාශයික යුෂ ශ්‍රාවය වීම ක්‍රමවත් කරන සංයෝගයක් නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය මනාව සිදු වෙන්න උදව් වෙනවා. සූදුරු වලටම ආවේණික සුවඳ ලබා දෙන කමැල්ඩිහයිඩ් (cumaldehyde) කියන සංයෝගයත් ආහාර ජීර්ණය පහසු කරන්නක්.

අපි මෙතෙක් කතා කළේ සූදුරු වලින් ඔබේ ආහාර ජීර්ණය පහසු කරන්න දායක වෙන විදිහ ගැන විතරයි. නමුත් ඇත්තටම සූදුරු වල අපේ නිරෝගී බව රැක ගන්න උදව් වෙන වෙනත් පෝෂක වර්ගත් ගණනාවක්ම අඩංගු වෙනවා. මේ අතරින් යකඩ, මැන්ගනීස්, විටමින් C සහ විටමින් B1 ප්‍රධානයි.

3 කොත්තමල්ලි

තවත් අවුරුදු සිය ගණනක් ගියත් ශ්‍රී ලාංකිකයන් සීතලට හෙම්බිරිස්සාවට කොත්තමල්ලි බොන එක නම් අඩුවක් නැති වේවි. කොත්තමල්ලි කියන්නේ අපේ පරම්පරා ගණනක විශ්වාසය දිනා ගත්තු සාර්ථකම අත් බෙහෙත් වලින් එකක්. රූපය : foodapprentice.com

තවත් අවුරුදු සිය ගණනක් ගියත් ශ්‍රී ලාංකිකයන් සීතලට හෙම්බිරිස්සාවට කොත්තමල්ලි බොන එක නම් අඩුවක් නැති වේවි. කොත්තමල්ලි කියන්නේ අපේ පරම්පරා ගණනක විශ්වාසය දිනා ගත්තු සාර්ථකම අත් බෙහෙත් වලින් එකක්. රූපය : foodapprentice.com

නිකමට හිතන්න ඔබට තද හෙම්බිරිස්සාවක් හැදිලා කියල. ඔලුව පැලෙන්න කකියනවා; නහයෙන් දිගටම හොටු බේරෙනවා; හොඳටම සීතලයි; බෙඩ් ශීට් එකක් පොරවාගෙන ඇඳේ ගුලි වෙලා විතරයි ඉන්න පුළුවන්; මැරුණා නම් මීට වඩා හොඳයි කියලා හිතෙන තරමට ඇඟට අමාරුයි. ඉන්නම බැරි තැන දොස්තර කෙනෙක් හම්බෙන්න ඕනේ කියලා හිතෙන්න ඇති. නමුත් අම්මලා නම් එක පාරටම ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉංග්‍රීසි බෙහෙත් ඇඟට දාගන්න කලින් ගෙදර කුස්සියේම තියෙන බෙහෙතක් කරලා බලමු කියන එක තමයි අම්මාගේ අදහස. වැඩි වෙලාවක් යන්න කලින් අම්මා උතුරන වතුර මුට්ටියකට කොත්තමල්ලියි, ඉඟුරුයි දාලා තම්බන සුවඳ දැනෙන්න පටන් ගන්නවා. විනාඩි දහයකින් පස්සේ අමාරුවෙන් හරි කොත්තමල්ලි කෝප්පය නම් බොන්නම වෙනවා.

මම මේ කිව්වේ අපි කාට වුණත් පොඩි කාලේ තියෙන අත්දැකීමක්. පුංචි ළමයින්ට හැදෙන නිතර හැදෙන ලෙඩ අතරින් අමාරුම වෙන ලෙඩක් තමයි හෙම්බිරිස්සාව. කොහොමටත් ඉංග්‍රීසි බෙහෙත් වලින් වෛරස් රෝග හොඳ වෙන්නේ නැති නිසා ඇඟට දැනෙන අපහසුව අඩු කර ගන්න තියෙන හොඳම ක්‍රමය කොත්තමල්ලි ටිකක් බොන එක තමයි. පරම්පරා ගණනාවක් තිස්සේ හෙම්බිරිස්සාවට තිබුණු හොඳම බෙහෙත විදිහට අපේ රටේ කවුරු අතරත් කොත්තමල්ලි බොහොම ප්‍රසිද්ධයි.

ඉස්සර කාලේ අපේ අම්මලාගේ අමුතු අත් බෙහෙත් වලින් එකක් විදිහට සැලකුවත් ඇත්තටම කොත්තමල්ලි නම් වෛද්‍යවරුන් පවා පිලිගත්තු බෙහෙතක්. ඕනෑම ඉංග්‍රීසි දොස්තර කෙනෙක් වුණත් හෙම්බිරිස්සාවක් තියෙනවා නම් කොත්තමල්ලි බොන්න කියලා නිතරම කියනවා.

කොත්තමල්ලි සතු ගුණ

සරලව හිතලා බැලුවොත් අපි කොත්තමල්ලි කියලා බොන්නේ තරමක් කර කරපු කොත්තමල්ලි ඇට තම්බන වතුර ටික. සාමාන්‍යයෙන් කොත්තමල්ලි වලට අමතරව ඉඟුරු, ගම්මිරිස් වගේ තවත් දේවල් එකතු කරලා තමයි මේක හදන්නේ. මේක අහද්දී කොත්තමල්ලි කෝප්පය මැජික් වට්ටෝරුවක් වගේ නොහිතුණාට ඇත්තටම ඒ තුල හෙම්බිරිස්සා අමාරුව සුව කරන්න දායක වෙන පෝෂක වර්ග ගණනාවක් අඩංගු වෙනවා. අපි මීට කලින් ලිපියකිනුත් කොත්තමල්ලි කෝප්පයකින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන ඔබව දැනුවත් කළා. ඇත්තෙන්ම කොත්තමල්ලි, ඉඟුරු සහ ගම්මිරිස් තුල අපේ ශරීරයට හිතකර පෝෂක විශාල ගණනක් අඩංගුයි. ඒ නිසා මීට පස්සේ කොත්තමල්ලි ටිකක් බොන්න හෙම්බිරිස්සාවක් හැදෙන කල් ඉන්න ඕනේ නැහැ. කිසිම ලෙඩක් නැතිව වුණත් නිතරම කොත්තමල්ලි ටිකක් බොන එක නීරෝගී ජීවිතයක් ගෙවන්න ලොකු උදව්වක් වේවි.

4 කරවිල

තිත්ත රස කරවිල දැක්ක ගමන් කන්න ආස හිතෙන, සුවඳ හමන කෑමක් විදිහට හදලා පිළිගන්වන වැඩේ අපේ අම්මලා ප්‍රගුණ කරලා තිබුණා. ආසාවෙන් ඇවිත් කටේ දාගෙන හපන කල්ම පුංචි අපිට මේක තිත්තයි කියලා හිතුණේ නැහැ. රූපය : kamalascorner.com

තිත්ත රස කරවිල දැක්ක ගමන් කන්න ආස හිතෙන, සුවඳ හමන කෑමක් විදිහට හදලා පිළිගන්වන වැඩේ අපේ අම්මලා ප්‍රගුණ කරලා තිබුණා. ආසාවෙන් ඇවිත් කටේ දාගෙන හපන කල්ම පුංචි අපිට මේක තිත්තයි කියලා හිතුණේ නැහැ. රූපය : kamalascorner.com

කරවිල කියන්නේ ඒ තුළ තියෙන ඖෂධීය ගුණය නිසා ආයුර්වේදයේ ඉහළම සැලකිල්ලක් ලබන ශාක වලින් එකක්. අමුවෙන් කද්දී එපා වෙන තරම් තිත්ත කෑමක් වුණත් රසට හදලා සුවඳ හමන විදිහට පිළිගන්වන්න අපේ අම්මලාට හොඳ හැකියාවක් තිබුණා. ඖෂධීය ගුණයෙන් පිරුණු කරවිල අපිට ආහාරයට ගන්න පුළුවන් වුණේ අපේ අම්මලාගේ දක්ෂතාව නිසාමයි කිව්වොත් වැරැද්දක් නැහැ.

තිත්ත රස තිබුණත් දැක්ක ගමන් කන්න හිතෙන විදිහට කරවිල හදන වට්ටෝරු ගණනාවක් ඔබේ අම්මාත් දැනගෙන ඉන්න ඇති. නමුත් පුංචි ළමයින් රවට්ටන්න ලේසි නැහැ. මොන තරම් සුවඳට හදලා තිබුණත්, කන්න ආස හිතෙන විදිහට සරසලා තිබුණත්, මොන ජාති දාලා ව්‍යංජන හදලා තිබුණත් කරවිල වල තියන තිත්ත රස සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැහැ. ඒ නිසා කොහොම හැදුවත් අම්මලා අපිට කරවිල කවන්නේ නම් වදෙන් පොරෙන්ම තමයි.

කරවිල කියන්නේ අපිට ලෝක ස්වභාවය තේරුම් ගන්න පුළුවන් ආහාරයක්, මොකද මේ තරම් ගුණදායක වුණත් කන්න හිතෙන රසක් නැති නිසා. අපේ ශරීරයට අහිතකර කෑම නම් වැඩි හරියක් අපිට කන්න ගත්තොත් නවත්වා ගන්නත් අමාරු තරම් රසයි. කරවිල වගේම ගුණදායක බොහොමයක් දේවල් රසින් හරිම අඩුයි.

කරවිල මොන තරම් ගුණද?

කරවිල වල තියෙන පෝෂක ගුණය පර්යේෂණ විශාල ගණනකින් තහවුරු වෙලා තියෙනවා. ඖෂධීය ගුණයෙන් පිරුණු අපිට අත්‍යාවශ්‍ය පෝෂක සංයෝග විශාල ගණනක් කරවිල තුල අඩංගු වෙනවා. කරවිල ගෙඩිය විටමින් වලින් පිරිලා; විටමින් A, විටමින් C, විටමින් E වගේම විටමින් B1, B2, B3 හා B9 ත් ඒ තුළ අඩංගුයි. ඒ වගේම කැල්සියම්, මැග්නීසියම්, යකඩ සහ සින්ක් වගේ අපේ ශරීරයට අත්‍යාවශ්‍යම ඛනිජ ලවණ බොහෝ සෙයින් කරවිල වල අඩංගු වෙනවා. මීටත් අමතරව පොලිපෙප්ටයිඩ්-P කියන ශාක පෝෂකයත්, ශරීරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය පහත හෙළන ශාකමය ඉන්සියුලින් වර්ගයකුත් කරවිල වල තියෙනවා. (ඒ නිසාම දෙවැනි කාණ්ඩයේ දියවැඩියාවට කරවිල ඉතා හොඳ බෙහෙතක්) මේ සේරටම අමතරව කැලරි වලින් ඉතාම අඩු, (ග්‍රෑම් 100කටම තියෙන්නේ කැලරි 17යි) ප්‍රතිඔක්සිකාරක වලින් පිරුණු ආහාරයක් වන කරවිල වල ආහාරමය තන්තු ප්‍රමාණයත් ඉහළයි. ඉතින් කොහොම බැලුවත් තිත්ත ඉවසාගෙන කන්න පුළුවන් නම් කරවිල වලට වඩා පෝෂ්‍යදායි ආහාරයක් නැති තරම්.

දැනට වුණත් අපි කියපු කාරණා ටික කියවද්දී කරවිල මොන තරම් ගුණදායකද කියන එක ඔබට හිතෙන්න ඇති. මේ හැම පෝෂකයක් නිසාම අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජනත් ගණනාවක්ම තියෙනවා. ඉතින් කරවිල ටිකක් කන කන සැරේට ඔබට ලැබෙන ගුණය හිතාගන්න පුළුවන් නේද?

ඉතින් අපේ අම්මලා මොන සෙල්ලම් දාලා හරි අපිට කරවිල කවන එක ගැන අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ.

5 පොල්තෙල්

මේ ලිපිය කියවන ඔබත් කාන්තාවක් නම් මේ වගේ කොණ්ඩයක් ලබා ගන්න ආසාවෙන් ඇති. කරන්න තියෙන්නේ අම්මා කියන දේ අහලා පොල්තෙල් පාවිච්චි කරන එකයි. රූපය : usefulhomeremedies.com

මේ ලිපිය කියවන ඔබත් කාන්තාවක් නම් මේ වගේ කොණ්ඩයක් ලබා ගන්න ආසාවෙන් ඇති. කරන්න තියෙන්නේ අම්මා කියන දේ අහලා පොල්තෙල් පාවිච්චි කරන එකයි. රූපය : usefulhomeremedies.com

මේ දක්වා අපි කතා කරපු හැම බෙහෙතක්ම කන බොන දේවල් වුණත් දැන් කියන්න යන්නේ බාහිර ආලේපයක් විදිහට වැදගත් වෙන පොල්තෙල් ගැනයි. කෑම පිසින්නත් පොල්තෙල් යොදා ගත්තට ඇත්තටම ලොකුම ප්‍රයෝජනය ලැබෙන්නේ කොණ්ඩේ ගාන එකෙන්.

පොල්තෙල් උයන්න ගන්නකොට හොඳ සුවඳක් ආවත් කොණ්ඩේ ගාල තියෙද්දී නම් තත්ත්වය හාත්පසින්ම වෙනස්. විශේෂයෙන්ම කාන්තාවන්ට මේ ප්‍රශ්නය ගොඩක් බලපානවා. මුලින් තරමක සුවඳක් ආවත් වැඩි වෙලාවක් යන්න කලින් ඔළුවයි බෙල්ලයි තෙල් බේරිලා ඇලෙන්න ගන්නවා. ටිකක් වෙලා තියෙද්දී කොණ්ඩෙන් එන්නේ කුස්සියේ තෙම්පරාදු කරන සුවඳ. මේ නිසා ගොඩක් දෙනා පොල්තෙල් ගාන්න කැමතිම නැහැ. ඒත් අපි වැඩිය ආස නැති දේවල් බලෙන්ම කවන පොවන විදිහටම අම්මලා අපිට කොණ්ඩේ පොල්තෙල් ටිකක් නොගා එළියටවත් යන්න දෙන්නේ නැහැ.

විශේෂයෙන්ම ඉස්කෝලේ යන දවස් වල පොල්තෙල් ගාන එක අපිට අනිවාර්ය කරලයි තිබුණේ. කොණ්ඩේ මොන ප්‍රශ්නයක් තිබුණත් එකම විසඳුම විදිහට අපේ අම්මලා වගේම ආච්චිලාගේත් විශ්වාසය දිනාගෙන තිබුණේ පොල්තෙල් තමයි. කොණ්ඩේ දුඹුරු වුණත්, අග පැලුනත්, මළානික වුණත්, ඉස්සොරි ආවත් කරන්න කියලා කියපු එකම දේ “ඔළුවට තෙල් ටිකක් දාන එක”. ඇත්තටම කොණ්ඩේ කිසිම ප්‍රශ්නයක් නොතිබුණත් බේරිල්ලක් නම් නැහැ. නිතරම පොල්තෙල් හැඳි දෙක තුනක් ඔලුවට දාලා මසාජ් නොකළොත් අවුරුදු විසි ගාණක් වෙනකොටම කොණ්ඩේ පැහෙනවා කියන එක ඔවුන් නිතරම කියපු දෙයක්.

පොල්තෙල් වලින් ලැබෙන ප්‍රයෝජන

ඇත්තටම අපිට ඒ තරම් වටින්නේ නැති පොල්තෙල් දැන් ලෝකයේම ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙන්නේ. පසු ගිය අවුරුදු කිහිපයේදී ලෝකය පුරාම ප්‍රසිද්ධ අය ගොඩක් දෙනෙක් පොල්තෙල් වල තියෙන පුදුමාකාර ගුණය ගැන කතා කරනවා. වෙන එකක් තියා ලෝක ප්‍රසිද්ධ කිම් කාඩෑෂියන් පවා කියන්නේ තමන් කොණ්ඩේට පොල්තෙල් දානවා කියලයි. (මේකෙන් කියන්නේ එයාව අනුගමනය කරන්න කියලා නෙවෙයි, නමුත් කිම්ගේ කොණ්ඩේ ලස්සනයි කියන එක කවුරුත් පිළිගන්නවා)

පොල්තෙල් නිතර පාවිච්චි කරන එකෙන් හිස කෙස් වලට පෝෂණය ලබා දෙන බව, ප්‍රෝටීන් ඉවත් වීම අඩු වෙන බව, කෙස් වලට හානි වෙන්න තියෙන ඉඩ අඩු වෙන බව, කැඩුණු කෙස් වැඩෙන්න උදව් වෙන බව වගේම නීරෝගී කෙස් වර්ධනය උත්තේජනය කරන බවත් විද්‍යාත්මක පරීක්ෂණ විශාල ගණනකින් තහවුරු වෙලා තියෙනවා. ඔලුවට පොල්තෙල් දාල මසාජ් කරන එක ඉස්සොරි ඇති වීම වළක්වන්නත්, උකුණන් සහ වෙනත් පරපෝෂිතයන් බෝ වෙන එක වළක්වන්නත් හේතු වෙනවා. නිකමට මේ කියපු ටික ආයෙත් සැරයක් කියවලා බලන්න. ඔබ තමන්ගේ කොණ්ඩය ගැන වද වෙන කෙනෙක් නම් ඔබට තියෙන්න ඉඩ තියෙන හැම ප්‍රශ්නයකටම වගේ පිළිතුරු මෙතන තියෙනවා. ඒ කියන්නේ සරලව හිතුවොත් ඔබේ කොණ්ඩයට කරන්න තියෙන හොඳම දේ අම්මා කියන විදිහට පොල්තෙල් ටිකක් නිතරම කොණ්ඩයට දාන්න පුරුදු වෙන එකයි!

අපි මේ වන තුරු කිව්වේ අපි පොඩි කාලේ බෑ කියද්දී බලෙන්ම කන්න, බොන්න, පාවිච්චි කරන්න කියලා අපේ අම්මලා අපිට කියපු දේවල් පහක් ගැන විතරයි. ශ්‍රී ලාංකික අම්මලා කවුරුත් එක විදිහටම විශ්වාස කරන මේ වගේ දේවල් තවත් ඕනෑ තරම් ඇති. නමුත් අපි මෙතෙක් හොයපු දේවල් වලින් එක දෙයක් නම් පැහැදිලියි; අපේ අම්මලා කියපු දේවල් ඒ දවස් වල අපිට මොන තරම් එපා වුණත් ටිකක් කල් යද්දී ඒවායේ වටිනාකම අපිටම තේරෙන්න පටන් අරගෙන තියෙනවා.  ඒ නිසා මෙතනින් එහාට ඔබේ අම්මා ඔබ අකමැති මොනවා හරි කරන්න කියලා කිව්වොත් එක පාරටම ප්‍රතික්ෂේප කරන්නේ නැතිව ටිකක් කල්පනා කරන්න බලන්න. අපි නොහිතන ගොඩක් වෙලාවල් වලදී අම්මලා කියන දේවල් හරි බව කාලයක් ගිහින් තේරෙන්න පටන් ගන්නවා.

“හොඳම දේ දන්නේ අම්මා” කියන කියමන මොන තරම් ඇත්තද කියන එක වැඩි දෙනෙක්ට වැටහෙන්නේ කල් ගියාමයි.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

Related Articles