Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවස අභ්‍යන්තරය හැඩකරගන්න උපක්‍රම 5ක්

නිවසේ ප්‍රමාණය කුඩා වුණත්, විශාල වුණත් එයින් කොතරම් පෙනුමක් ලැබෙනවාද කියන දේ තීරණය වෙන්නේ අපි අභ්‍යන්තරය හැඩකරගන්නා ආකාරය අනුවයි. හැමදාම එකම ක්‍රමයක් තියන්නේ නැතිව අවම වශයෙන් අවුරුද්දකට සැරයක්වත් බඩු එහා මෙහා කරමින්, බිත්තිවල වර්ණ, සැරසිලි වෙනස් කරලා නවමු හැඩයක් ගෙන දෙන්න පුළුවන් නම් ඒකාකාරී බවින් මිදී නිවසට නව පණක් දෙන්නට වගේම ඔබට විනෝදාංශයක් ලබාගන්නටත් හැකි වෙනවා.

අඳුරු මුළු ආලෝකමත් කරන්න

අ‍ාලෝකය සමග බිත්තියට රටාවක් (ytimg.com)

නිවසේ කෙතරම් ඉඩකඩ තිබුණත් අඳුරු මුළු තිබුණොත් ඉන් ඉඩකඩ ඇහිරුණු බවක් පිළිබිඹු වෙනවා. විශේෂයෙන් කුඩා ප්‍රමාණයේ කුලී නිවෙස්වල මේ ගැටළුව වැඩි වශයෙන් ඇති වෙනවා. මෙයට හොඳම විසඳුම නිසි පරිදි නිව‍සට ආලෝකය ලබා ගැනීමයි.

නිවස සැකසීමේදී ජනේල, කවුළු ආදිය යොදා මෙවන් ස්ථාන ඇතිවීම වළක්වා ගත යුතු නමුත් දැනටමත් නිමකළ නිවසකට කළ හැකි පහසුම දේ විදුලි බුබුළු වලින් ආලෝකමත් කිරීමයි. පිටතට දර්ශනය නොවන ආ‍කා‍රයේ LED විදුලි බුබුළු යොදා ගත්තාම විදුලි බලය වැඩිවීම ඉතාමත්ම අඩු නිසා දිවා කාලයේ වුවත් ඒවා අඛණ්ඩව දල්වා තබන්නට පුළුවන්.

බිත්ති මතට විසරිත ආලෝකය (homestratosphere.com)

නිවස වර්ණ ගන්වද්දී සුදු පැහැයට හුරු වර්ණ යොදා ගැනීම හෝ ආලෝකය පතිත නොවන බිත්තියක් වෙතට සිවිලිමේ ‍සිට පැමිණෙන විසරිත ආලෝකයක් පතිත කරවීම මේ සඳහා යොදාගත හැකි තවත් උපක්‍රම වෙනවා.

දර්පණ භාවිතය

අලංකරණයට විවිධ ආකාරයේ දර්පණ සැලසුම් (homebnc.com)

නාන කාමරයට සහ නිදන කාමරයට පමණක් කණ්ණාඩි සීමා නොකර, විසිත්ත කාමරයට යොදා ගැනීමෙන් නිවස ඇතුලතට වැඩි පෙනුමක් ලබා ගත හැකි වෙනවා. කැටයම් සහිත, වර්ණ ගැන්වූ අලංකාර දාරයක්/රාමුවක් සහිත කණ්ණාඩියකින් ඔබේ නිවසේ අනෙකුත් වර්ණයන්ට වැඩි අගයක් ලබා දෙන්න පුළුවන්.

බිත්තියේ තීන්තවල වර්ණය අඳුරු පැහැ නම් සුදු පැහැයට හුරු රාමුවකුත්, සුදු පැහැති බිත්තිවලට කළු හෝ දුඹුරු වැනි පැහැයකුත් ගැල‍පෙනවා. නිවසේ අනෙකුත් ගෘහ භාණ්ඩ කැටයම් රහිත චාම් ඒවා නම් කණ්ණාඩි රාමුවත් ඊට ගැලපෙන සේ සාමාන්‍ය නමුත්, කැපී පෙනෙන ලෙස තෝරාගත යුතු වෙනවා.

මී වද හැඩැති රාමු (ytimg.com)

ජනේල ආසන්නයේ කණ්ණාඩි යෙදීමෙන් ආලෝකය වැඩිකර ගැනීම මෙන්ම, ඔබට ලස්සන ගෙවත්තක් තිබෙනවා නම් ඒ බාහිර පරිසරය නිවස තුළට ගෙන එන්නටත් හැකි වෙනවා. නිවසේ මුළුවල ඇති ලාම්පු (සිටවන ලද මේස ලාම්පු ආකාරයේ ඒවා) පසුපසට දර්පණයක් යොදාගත්තාම බිත්තිය මතට පතිත වන අනවශ්‍ය ආලෝකය නැවත නිවස තුළට විසුරුවා හරින්නට හැකි වෙනවා.

ඉවතලන දෙයින් ප්‍රයෝජනයක් ගන්න

තේ පෝච්චියක් මල් බඳුනක් ලෙස (johnsviccellio.com)

ඇඳුම් පැළඳුම්, කුස්සියේ උපකරණ, නිවසේ පිටත වැඩට යොදාගන්න‍ා උපකරණ ඇතුළු බොහෝ දේවල් අපි ඉවත දමනවා. ඒත් මේ දේවල් හැඩ කරලා ගත්තාම විසිත්ත කාමරය, නිදන කාමර, කොරිඩෝව සරසන්න උචිත බව ඔබට කල්පනා නොවෙන්න ඇති.

බිඳුණු ඒවා බිත්තියේ එල්ලන්න (home-designing.com)

කුස්සියෙන් ඉවතලන තේ පෝච්චියක් අරගෙන පියන ඉවත් කරලා ඒකට ලස්සන මල් ටිකක් දාලා විසිත්ත කාමරයේ සෝෆාව ඉදිරියේ ඇති කුඩා මේසය මත තබන්නට පුළුවන්. ඔබ දැන් නොපළඳින මාල තිබෙනවා නම් ඒවා දොර රෙදි හකුළුවා තබන්නට රඳවනයක් සේ ගැටගැසීමට යොදා ගන්නට පුළුවන්. ලී වලින් සැකසූ අයනිං බෝඩ් එක අලුත්වැඩියා කර සාලයේ මේසයක් ලෙසත්, A හැඩයේ ඉනිමඟක් සපත්තු රැක් එකක් ලෙසත් පාවිච්චි කරන්නට පුළුවන්.

කුඩා මේස වලින් වැඩි වෙනසක්

කාමරයේ ප්‍රමාණයට ගැලපෙන මේසයක් (qanvast.com)

කකුල් හතරේ මේස හැම නිවසකම පොදු දෙයක්. ඒත් කකුල් තුනේ මේස බොහොම කුඩාවට මුල්ලක ඉඳගෙන නිවස ඇතුලත හැඩ කරන්නට දායක වෙනවා. නිවසේ අනෙකුත් ගෘහ භාණ්ඩ සමග ගැලපෙන සේ මේවා ලී, වර්ණ ගැන්වූ යකඩ හෝ වේවැල් වශයෙන් තෝරා ගන්න පුළුවන්. විසිත්ත කාමරයේ යොදා ගන්නවා නම් මතුපිට වීදුරු වලින් සකසා තිබීම වඩාත් හොඳයි.

ඇඳ හෝ සෝපාව පසෙකින් තබන කුඩා මේසයක මේස ලාම්පුවක් තබන්නට පුළුවන්. තට්ටු කිහිපයක් සහිත මඳක් උස මේසයක් නම් සාලයට වඩාත් ගැලපෙනවා. එවිට එහි යටින් ඇති තට්ටුවල පොත්පත් හෝ සඟරා ආදිය තබන්නට පුළුවන්. ඊට අමතරව, පාළුවට ගිය මුල්ලක මෙවන් මේසයක් මත විසිතුරු භාණ්ඩ රඳවන්නටත්, රැහැන් සහිත දුරකතනය හෝ ටැබ් එකක් වැනි පවුලේ පොදුවේ භාවිතා කරන උපාංග තබන්නටත් හැකියාව තිබෙනවා.

අපිළිවෙළට සැරසූ පින්තූර ටිකක්

චාම් සහ ඇසට ප්‍රිය සැලැස්මක් (framesnow.com.au)

බිත්තයක පාළු මකන්න හොඳම ක්‍රමය පින්තූර වලින් එය අලංකාර කිරීමයි. පවුලේ අයගේ පින්තූර හෝ ඇඳි සිතුවම් මේ සඳහා යොදා ගන්නට පුළුවන්. අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් ලබා ගත් තරුවල දර්ශන, යුරෝපීය සිතුවම්, භාවාත්මක චිත්‍ර ආදිය සිත්ගන්නා සුළු, නිවසේ අනෙකුත් වර්ණවලට හා ගෘහ භාණ්ඩවල නිර්මිතයට ගැලපෙන රාමු වලින් සැරසිය හැකියි.

මේවා රැඳවීමේදී කොටු ජාලයක් සේ එකම ප්‍රමාණවලින් පිළිවෙලට එල්ලන්නේ නැතිව

විවිධ ප්‍රමාණ වලින් (මැද විශාල ඡායාරූපයක්, වටේ කුඩා ඒවා රවුමක් ආදී ලෙස)  රටාවක් සකසා ගැනීමෙන් වෙනස් පෙනුමක් ගෙන දෙන්නට හැකි වෙනවා. එනමුත් ඕනෑවට වඩා යොදන්නේ නැතිව බිත්තියේ ප්‍රමාණයට ගැලපෙන සේ ඡායාරූප උපරිම 8ක් හෝ 10ක් පමණ යොදාගැනීම නුවණට හුරුයි.

ඉඩකඩ අඩු නිවසකට දිගටි රාමු (runforthehills.com)

ඉඩකඩ අඩු නිවසක් නම්, ඡායාරූප සඳහා නිවසේ හරස් අතට ඇති ඉඩ වෙනුවට බිත්තියේ රාක්ක යොදා ඉහළට ඇති ඉඩකඩ හොඳින් භාවිතා කරන්නට පුළුවන්. පින්තූර බිත්තියේ එල්ලනවා නම් පළලට වඩා දිගින් වැඩි ඡායාරූප යොදා ගත්තාම නිවසට උසැති පෙනුමක් ගෙන එන්නටත් අවස්ථාව ලැබෙනවා.

කවරය: bglam.com

Related Articles