ලංකාවට මුලින් ම ටැලිපෝන් ආපු ම දවස්වල සමහරු උදේ පාන්දරින් අසල්වැසියන්ට දුරකථන ඇමතුම් අරගෙන, එයාලා “හලෝ” කිව්වා ම “ආපෝයි කට ගඳයි, තාම මූණ හේදුවෙවත් නැද්ද?” කියලා ෆෝන් එක තියනවලු. මේ වගේ දෙයක් විහිළුවට සිද්ධ වුණත්, හිතන්නකො මහා සභාවක එහෙමත් නැත්නම් උත්සව අවස්ථාවකදී ඉහළ පැළැන්තියේ යහළුවන් හෝ ව්‍යාපාර සගයෙක් ඔබත් එක්ක කථා කරන අතරතුර අතින් නාසය පිසදමමින්, මඳක් ඈතින් ඉඳගෙන කතා කරන්න උත්සාහ කරමින් සහ අඩු වේලාවක් කථා කරමින් ඔබෙන් ඉවත් වෙන්න හැදුවොත් ඔබට මොනවගේ දෙයක් හිතෙයි ද? හොඳ යාළුවෙක් නම් ආචාරශීලීව මින්ට් මොනාහරි දෙයි “මචං මේක කටේ දාගනින්” කියලා. මොකද ඔබට ඔබේ ම මුඛයේ දුර්ගන්ධය දැනෙනවාට වඩා කථා කිරීම නිසා මුඛයෙන් පිටවන වාතයෙන් අනිත් අයට එය දැනෙන ප්‍රමාණය වැඩියි. හරියට අපේ වැරදි වගේ. අපිට අනුන්ගේ වැරදි පෙනුණත් අපිට අපේ ම දේවල් පෙනෙන්නේ ම නැති තරම්. හොඳට නරකට දෙකට කටමය!

(hubspot.net)

මුඛ දුර්ගන්ධයට හේතු

මුඛයෙන් පිටවන දුර්ගන්ධ ශ්වාසයට බොහෝ විට හේතුවන්නේ මුඛයේ වියළි බව යි. ඔබ දුර ගමනක් යනවා නම් හෝ බොහෝ වේලාවක් නිදාගත්තා නම් ඔබට ජලය පානය කරන්නට ලැබෙන අවස්ථාව ඉතා ම අඩු යි. මේ නිසා මුඛයේ ඛේට නිෂ්පාදනය අඩාල වී මුඛයේ වියළි බව ඇති වෙනවා. මුඛය වියළි වුණා ම දිවේ සෛල මරණයට පත් වෙනවා. හරියට ම කිව්වොත්, බැක්ටීරියා විසින් සෛල මරණයට පත් කරවනවා. ඒ සමඟ තමයි දුගඳ හැමීම ඇරඹෙන්නේ.

දිව නිසා දුර්ගන්ධය ඇති වෙනවා වගේ ම ඉහත ක්‍රියාවලිය හරහා ම දත්වල රැඳී ඇති ආහාර කැබලි මත ද බැක්ටීරියා ක්‍රියා කරනවා. ඔබ හොඳින් දත් මැදලා හිටියේ නැත්නම් බැක්ටීරියා ඒ මත තවදුරටත් වර්ධනය වෙමින්, සංඛ්‍යාව ද වැඩි කරගනිමින් “සුවඳයි මුවේ මල් පැණී” කියන වර්ණනාව අපහාසයක් බවට පත් කරන්නට සමත් වෙනවා.

මේ වගේ සෞඛ්‍ය පුරුදුවලට අමතරව අපි ගන්නා ආහාර වර්ග සහ චර්යා රටාවන් නිසාත් මුඛ දුර්ගන්ධය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සුදුලූණු හෝ ලූණු වැඩි ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගත්තා ම මුඛයෙන් දැනෙන සැර ගඳට බොහෝ දෙනක් අකමැත්තක් දක්වනවා. නිතර ආහාර ගන්නේ නැත්නම්, කෑම වේල් මඟ හැරෙනවා නම් හෝ කිසියම් වෙනත් විශ්වාස ආදිය නිසා ඔබ උපවාස කිරීම් වැනි නිරාහාරව සිටීමේ පිළිවෙත් අනුගමනය කරනවා නම් එයත් මීට බලපානවා. මොකද, ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා මේදය සහ කීටෝන බිඳ හෙලීමේ ක්‍රියාවලිය නිසා ඉන් දුගඳක් ඇති වෙනවා. දුම් පානය, මත්පැන් පානය කිරීමෙන් ද මුඛයේ පමණක් නොවෙයි ඔබේ චරිතයේත් ඇති සුවඳ නසනවා.

මේවාට අමතරව ඖෂධමය හේතු සාධකත් බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇතැම් ඖෂධ නිසා හෝ වැඩි කාලයක් මුඛයෙන් හුස්ම ගැනීමෙන් මුඛය වියළීම නිසා ඇතිවන සෙරස්ටෝමියා අවස්ථාවෙන්, උගුරේ හෝ පෙනහළුවල ආසාදනයන්, වකුගඩු හෝ අක්මාවේ රෝග, දියවැඩියාව සහ තවත් බොහෝ දේ දක්වන්නට පුළුවන්. මෙවන් තත්වයක් නම් වෛද්‍ය උපදෙස් පිළිපැදීමයි වැදගත්.

අනෙකුත් සාමාන්‍ය අවස්ථාවන් සඳහා පිළියම් යොදන ආකාරය පිළිබඳව තමයි මේ ලිපියේදී කථා කරන්නේ.

පරීක්‍ෂා කරන්නේ මෙහෙමයි

(hubspot.net)

ළඟ ඉන්න කෙනාට කථා කරලා මගේ කට පොඩ්ඩක් ගඳද බලන්න කියලා මූණට පිම්බොත් නම් ආයෙ එහෙම අහන්නවත් කටක් ඉතුරු වෙන එකක් නැති නිසා අපිට මුඛයෙන් දුගඳක් හමනවාද කියා පරීක්‍ෂා කරගන්නට හොඳ ක්‍රමයක් අවශ්‍ය වෙනවා. මේකට බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ අත මුහුණ ඉස්සරහින් තියලා, කටින් පිඹලා නාසයෙන් එය ආඝ්‍රාණය කරන්නට යි. එහෙත් ක්‍ෂුද්‍රජීව විද්‍යාඥ සහ කැලිෆෝනියාවේ බ්‍රෙත් ක්ලිනික්හි නිර්මාතෘ, වෛද්‍ය හැරල්ඩ් කැට්ස් විසින් පවසන්නේ එම ක්‍රියාව සාර්ථක භාවයෙන් අවම බවත්, ඊට වඩා සුදුසු වන්නේ පිටි අල්ල හෙවත් අතේ පිටුපසෙහි දිව ගා මඳ වෙලාවකින් ඒ පෙදෙස ආඝ්‍රාණය කිරීම බවයි.

ඒ හැරුණා ම, සාර්ථක නමුත් පිරිසක් මැදදී කිරීමට නුසුදුසු, පිළිකුල් සහගත ක්‍රමයක් ලෙස හැන්දකින් දිවේ පසුපස කොටස සූරා වේලුණු පසු ආඝ්‍රාණය කිරීම දක්වන්න පුළුවන්. දෙයියන්ගෙ නාමෙට ඊට පස්සේ ඒ හැන්ද විෂබීජ නාශක දියරයක දාලා දවසක් විතර තියලා, තද අව්වෙ වේලලා, ප්‍රතිචක්‍රීකරණය කරලා, ඒකෙන් අළුත් හැන්දක් හදාගෙන මිසක් ආයෙත් නම් පාවිච්චි කරන්න එපා.

පිළියම

නරක ප්‍රවෘත්තිය මුලින් කියන්නම්: මේ සඳහා ස්ථිර විසඳුමක් නැහැ. ශරීරය පවත්වා ගන්න නිතර කනවා වගේ ම මුඛ සෞඛ්‍යයත් රැක ගැනීමත් දිනපතා කරන්නට ඕන. තවත් විධියකට කිව්වොත්, මෙයට ලබාදිය හැකි සියළු පිළියම් තාවකාලික නිසා ඒවා නිතිපතා කිරීම වැදගත් වෙනවා.

නිතර වතුර බොන්න

(authoritynutrition.com)

මුඛ අභ්‍යන්තරය වියළීම වළක්වා ගෙන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම කරගන්නට නම් නිතර ජලය පානය කිරීම අවශ්‍ය වෙනවා. මුඛය තෙත්ව ඇතිවිට ඛේට ජනනයත් ඉහළ යනවා. කෙළ නිතර තිබෙන විට ඒවායේ ඇති බැක්ටීරියා ක්‍රියාකාරීත්වයන් නැවතීමේ හැකියාවන් නිසා මුඛ දුර්ගන්ධය නැතිවෙනවා. ඉතින්, දැන් ඔබ කෙළෙහි ගුණ දන්නවා.

දිව පිරිසිදුව තබාගන්න

මුඛ දුර්ගන්ධය වළක්වා ගන්නට දිව පිරිසිදුව තබා ගැනීම ඉතා ම වැදගත්. ඒ සඳහා දත් මදින විට දිවේ මැද සහ පිටුපස පෙදෙස හොඳින් මදින්න. දිවේ සුදු පැහැ ගතිය වැඩි නම් දිව සූරන උපකරණයක් භාවිතා කරමින් හොඳින් පිරිසිදු කර ගන්නට ඕනෙ. රෝස පැහැති පැහැදිලි දිවක් කියන්නේ නීරෝගී සහ පිරිසිදු බවේ ලක්‍ෂණයක්. එමඟින් වාෂ්පශීලී සල්ෆර් සංයෝග අවම වන නිසා ඒවා නිසා හටගන්න දුර්ගන්ධය වළකිනවා.

මවුත් වොෂ් එකක් භාවිතා කරන්න

(netdoctor.cdnds.net)

අවස්ථානුකූලව, කාර්යාලය වැනි ස්ථානයකදී දත් මැදීමට නොහැකි නිසා ඒ වෙනුවට මුඛය සේදීම සඳහා ඇති දියර වර්ග වෙළඳපොළෙන් මිලදී ගන්නට පුළුවන්. මෙය දත් මැදීමෙන් ලැබෙන ප්‍රතිඵලය තරම් දිගු කාලයක් පවතින්නේ නැතිමුත් එය තත්පර 30ක් පමණ භාවිතයෙන් පසු විනාඩි 30ක්වත් ගතවන තුරු ආහාර ගැනීමෙන් වැළකුණොත් මුඛයේ නැවුම් බව වැඩි වේලාවක් යනතුරු පවත්වා ගත හැකියි.

මෙහි ඇති අවාසිදායක තත්වය නම්, සීනි සහිත මුඛ සේදුම් දියර වර්ග නිසා දත් දිරයාම, ඇල්කොහොල් අඩංගු ඒවා නිසා මුඛ පිළිකා අවධානම වැනි තත්වවලට පසු කාලීනව මුහුණ දීමට සිදු වීම යි. ඒ නිසා වැඩිපුර භාවිතය නම් නුවණට හුරු නැහැ.

මුඛ නැවුම්කාරකයක් කන්න

(euphoriaspice.com)

මුඛය නැවුම් කොට හොඳ සුවඳක් ලබා ගන්නට පුළුවන් ආහාරයක් ගැනීමෙන් ද ශරීර හිතකරව සහ අවස්ථානුකූල වශයෙන් ද පහසුවෙන් දුගඳ නැති කරගන්න පුළුවන්. එවිට නැවුම් සුවඳක් හමන නිසා අපි සමඟ කථා කරන අයටත් ප්‍රියතාවයක් දැනෙනවා.

මින්ට් වර්ග, අසමෝදගම් ඇට, එන්සාල්, සුදු දුරු (සූදුරු), මහ දුරු (මාදුරු), කුරුඳු, කරාබු නැටි, ආහාර හැඩ ගැන්වීමට භාවිතා කරන පාස්ලි වැනි දේවල් ස්වල්පයක් මුඛයේ තබාගෙන මඳ වේලාවක් විකීමෙන් ද මුඛය නැවුම් කරගන්නට පුළුවන්.

ඉතින් මේ විධියට මුඛය නැවුම්ව පවත්වා ගත්තොත්, හොඳට නරකට දෙකට ම බලපාන කට මහනෙල් වගේ සුවඳවත්ව තියාගන්න පුළුවන්. කට සුවඳව තබාගන්නවා වගේ ම කටෙන් පිටවෙන වචනත් කල්පනාවෙන්, සුන්දරව ගලාගෙන යන්න ඉඩ දුන්නොත් අපිට අපේ චරිතයට වගේ ම අනිත් අයගේ හිත් වලටත් සුවඳ ගල්වාගන්න හැකි වේවි. මොකද, කියපු වචනයක් ආයෙත් ගන්නට බැහැ.

Cover: ehow-blog.com