Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ රූගත කළ බටහිර චිත්‍රපට 4 ක්

ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය කාලයක පටන් තිබෙන්නේ එතරම් හොඳ අඩියක නොවේ. විශේෂයෙන් චිත්‍රපට කර්මාන්තය උදෙසා රජයේ සහ නිසි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ අල්ප වශයෙන් වන අතර, මෙය එහි උන්නතියට එතරම් හිතකර ව බලපාන්නේ නැහැ. ශ්‍රී ලංකාව වැනි, ස්වභාවික පසුතල මොනවට ඇති රටක, අඩු වියදමින් හොඳ චිත්‍රපට තැනීම පහසුවෙන් කළ හැකි මුත්, ඒවාට අවශ්‍ය නිසි රාජ්‍ය අනුග්‍රහයෙන් කොටසක්වත් නොලැබීම කනගාටුවට කරුණක්.

රොබට් ස්ටැන්ඩිෂ් රචනා කළ ‘එලිෆන්ට් වෝක්’ කෘතිය හා සිංහල පරිවර්තනය – kbooks.lk

 

ශ්‍රී ලංකාවේ සොබා සෞන්දර්යය සහ ස්වභාවික පසුතල පිළිබඳ ව අතීතයේ පටන් ඉන්දියානු සහ බටහිර චිත්‍රපටකරුවන්ගේ අවධානය යොමු වුණා. මෙහි සිටින රංගන සහ කාර්මික ශිල්පීන්ගේ දක්ෂතාව පිළිබඳත් ඔවුන් දැන සිටියා.

මේ නිසා සාධාරණ මුදලකට, උසස් චිත්‍රපට මෙහි රූගත කළ හැකි බැව් ඔවුන් දැන සිටි අතර, ඉන්දියානු මෙන් ම බටහිර චිත්‍රපට ගණනාවක් ම මෙරට රූගත කරන්නට කටයුතු යෙදුණා. මේ ලිපිය වෙන් වන්නේ එලෙස මෙරට රූගත කළ බටහිර හෙවත් ඉංග්‍රීසි චිත්‍රපට 4 ක් පිළිබඳ කතාබහකට යි.

එලිෆන්ට් වෝක් – 1954 – groundviews.org 

 

 1). එලිෆන්ට් වෝක් – 1954 

පැරමවුන්ට් පික්චර්ස් වෙනුවෙන් විලියම් ඩීටර්ලි අධ්‍යක්ෂණය කළ ‘එලිෆන්ට් වෝක්’ චිත්‍රපටය, ලංකාවේ මුලින් ම රූගත කළ හොලිවුඩ් චිත්‍රපටයක් වෙනවා. මෙය මුළුමනින් ම පාහේ ලංකාව තුළ රූගත කළ අතර, මෙයට පාදක වී ඇත්තේ රොබට් ස්ටැන්ඩිෂ් රචනා කළ ‘එලිෆන්ට් වෝක්’ (1948) නම් කෘතිය යි. මෙහි තිර රචනය ජෝන් ලී මහිම් සිදු කළ අතර අර්වින් ඈෂර් එය නිෂ්පාදනය කළා.

මෙහි එලිසබෙත් ටේලර්, ඩානා ඇන්ඩෲස්, පීටර් ෆින්ච්, ඒබ්‍රහම් සෝෆර්, ඇබ්නර් බයිබර්මන් වැනි එවක හොලිවුඩයේ නම ඉහළින් ම රැන්දූ රංගන ශිල්පීන් ශිල්පිණියන් කිහිප දෙනක් ම රංගනයෙන් දායක වුණා. ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් ද මෙහි රංගනයෙන් සහ කාර්මික අංශයෙන් දායක වුණා. මෙය මුලින්ම තිරගත කළේ 1954 වසරේ අප්‍රේල් මස 21 වන දින යි.

මෙහි රූගත කිරීම් 1953 වසරේ පෙබරවාරි මස ආරම්භ වූ අතර සති කිහිපයක් ඒ සඳහා ගත වුණා. කෙසේ නමුත් මෙය ආර්ථික වශයෙන් එතරම් සාර්ථක වූයේ නැහැ.

බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි – 1957 – taylorholmes.com

 

2). බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි – 1957 

ශ්‍රී ලංකාවේ රූගත කළ බටහිර චිත්‍රපට අතුරින්, ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ චිත්‍රපටයක් ලෙස ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ (1957) හෙවත් ක්වායි ගඟේ පාලම හැඳින්විය හැකි යි.  හොරයිසන් පික්චර්ස් වෙනුවෙන් ඩේවිඩ් ලීන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය දෙවන ලෝක යුද සමයේ තායිලන්තයේ සිදු වූ සිදුවීම් සමුදායක් අනුසාරයෙන් ලියැවුණු පියරේ බෝල් ගේ ‘ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ (1952) නවකථාව අනුව නිපදවා තිබෙනවා. මෙය තායිලන්තයේ රූගත කරන්නට මුලින් ම සැලසුම් කළත්, කරුණු රාශියක් නිසා අවසානයේ ලංකාවේ කිතුල්ගල ප්‍රදේශය ඒ සඳහා තෝරා ගැනෙනවා. 

කාල් ෆෝමන් සහ මයිකල් විල්සන් මෙහි තිර රචනය සිදු කළ අතර,  සෑම් ස්පීගල් එය නිපදවූවා. විලියම් හෝල්ඩන්, ඇලෙක් ගිනස්, ජැක් හෝකින්ස්, සෙසූ හයකවා වැනි ශිල්පීන් මෙහි රංගනයෙන් දායක වූ අතර, ශ්‍රී ලාංකිකයන් රාශියක් ද මෙයට කාර්මික සහ රංගන අංශයෙන් දායක වුණා.

පසු කාලීන ව ප්‍රවීන අධ්‍යක්ෂකවරයකු වූ චන්ද්‍රන් රත්නම් මෙහි නිෂ්පාදන අංශයේ ක්‍රියා කළ අතර, කාර්මික ශිල්පියෙක් ලෙස පසුකාලීනව ශ්‍රී ලාංකීය සිනමා සක්විති බවට පත් වූ ගාමිණී ෆොන්සේකා ක්‍රියා කළා. මෙහිදී ලැබුණු පරිචය රංගන ශිල්පියෙක් ලෙස දියුණු වන්නට තමන්ට මහෝපකාරී වූ බැව් පසුකාලීන ව ඔහු පවසා සිටියා.

මෙම චිත්‍රපටයේ උද්වේගකර ම අවස්ථාව වන්නේ දුම්රිය සමඟ පාලම පුපුරවා හරින දර්ශනය යි. එය පුපුරණ ද්‍රව්‍ය යොදා සිදු කළ අතර, එකල ශ්‍රී ලංකාව තුළ සිදු කළ අපහසු ම රූගත කිරීමක් ද වුණා. මෙම පාලමෙහි කොටස් අදටත් කිතුල්ගල, දර්ශන තලය තිබූ ස්ථානයේ දැකගන්නට පිළිවන්.

මෙම චිත්‍රපටය 1957 වසරේ ඔක්තෝබර් මස දෙවැනි දා මුල් ම වතාවට ලන්ඩනයේ දී තිරගත වූ අතර, එය වාණිජ වශයෙන් ද අති සාර්ථක වුණා.

ද මවුන්ටන් ඔෆ් කැනිබල් ගෝඩ් – 1978 – gbhbl.com

 

3). ද මවුන්ටන් ඔෆ් ද කැනිබල් ගෝඩ් – 1978

ඉතාලි ජාතික සර්ජියෝ මාටිනෝ අධ්‍යක්ෂණය කළ ‘ද මවුන්ටන් ඔෆ්  ද කැනිබල් ගෝඩ්’ (1978) චිත්‍රපටයේ බොහෝ කොටස් රූගත කළේ ශ්‍රී ලංකාවේ යි. මෙය ඉතාලියේ මෙඩුසා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ලයින් සිනමා සමාගම්වල නිෂ්පාදනයක් වූ අතර, ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවුණා.

සර්ජියෝ මාටිනෝ සහ සෙසාරේ ෆෘගොනි රචිත මෙහි අන්තර්ගතය වන්නේ සිය සැමියා සොයා නව ගිනියාවට යන බිරියකගේ කතාවකු යි. එහිදී ඔවුන් මිනී කන ගෝත්‍රික ප්‍රජාවකට කොටු වෙනවා.

මෙහි උර්සුලා අන්ඩ්‍රෙස්, ස්ටේසි කීච්, cලෝඩියෝ කැසිනෙලි, ඇන්ටෝනියෝ මාසිනා සහ ෆ්‍රැන්කෝ ෆැන්ටසියා වැනි විදේශීය ශිල්පීනුත්, ඩඩ්ලි වානගුරු, අකුෂ්ලා සෙල්ලයියා වැනි ශ්‍රී ලාංකික ශිල්පීනුත් රංගනයෙන් දායක වුණා. මීට අමතර ව ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් සෙසු චරිත හා කාර්මික අංශයෙන් සිය දායකත්වය එම සිනමා පටයට සැපයූවා.

ද මවුන්ටන් ඔෆ් ද කැනිබල් ගෝඩ් මුල් ම වරට 1978 වසරේ අගෝස්තු මස 10 වන දින ඉතාලියේදී තිරගත වූ අතර වාණිජ වශයෙන් යම් පමණකින් සාර්ථක වූවා.

ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් – 1984 – flickr.com

 

4). ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් – 1984

පැරමවුන්ට් පික්චර්ස් වෙනුවෙන් විශිෂ්ට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’ (1984) හි කොටස් ඉන්දියාවේ මෙන් ම ශ්‍රී ලංකාවේ දී ද රූගත කෙරුණා.

ජෝර්ජ් ලූකා රචිත මෙහි කතාවේ පසුබිම ඉන්දියාව ඔස්සෙ දිග හැරුණ ද, යම් කාරණා කිහිපයක් නිසා එහි කොටසක් ශ්‍රී ලංකාවේ ද රූගත කෙරුණා.

 හැරිසන් ෆෝඩ් කේට් කැප්ෂෝ වැනි හොලිවුඩ් රංගන ශිල්පීන් ද, අම්‍රිෂ් පූරි වැනි බොලිවුඩ් ශිල්පීන් ද, ඩී. ආර් නානායක්කාර, දෙනවක හාමිනේ, රූබි ද මැල්, අයිරාංගනී සේරසිංහ වැනි ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකීය ශිල්පීන් ද මෙහි චරිත මැවුවා. විශේෂයෙන් ගෝත්‍ර නායකයා ලෙස ඩී.ආර් නානායක්කාර සිදු කළ රංගනය ස්පිල්බර්ග් පසුකාලීන ව අගයා තිබුණා.

මෙම චිත්‍රපටය 1984 වසරේ මැයි මස 8 වනදා මුලින් ම තිරගත වූ අතර, වාණිජ වශයෙන් අති සාර්ථක වුණා.

කවරයේ පින්තූරය - බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ දසුනක්- lk.lakpura.com

මූලාශ්‍ර:

Imdb.com

Diethelmtravel.com

india.com

Related Articles