Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2017 ෆෙයාවේ ගාලු සාහිත්‍ය උත්සවයට අලුතින් එක්වන සිංහල දිනය

කිසියම් නගරයක නමින් සාහිත්‍ය උළෙල හෝ සිනමා උළෙල පැවැත්වීම අන්තර්ජාතික වශයෙන් සැලකූ විට සුලබ අත්දැකීමක් වුවත් එබඳු උළෙල ලංකාවට එතරම් සමීප අත්දැකීමක් නොවේ. එවන් පසුබිමක් තුළ ගාල්ල ෆෙයාවේ අන්තර්ජාතික සාහිත්‍ය උළෙල යනු ලංකා‍වේ සංස්කෘතික අවකාශයට කිසියම් විචිත්‍රත්වයක් එක් කරමින් සංවිධානය වන්නකි. අන්තර්ජාතිකත්වය මූලික කරගනිමින් සංවිධානය වන්නක් වන මෙහි සිංහල බස සඳහා වෙන්වූ දිනයක් මෙවර එක්වී තිබීම විශේෂත්වයක් වන අතර සිංහල බසින් සාහිත්‍යය ඇසුරු කරන බොහෝ දෙනෙකුගේ අවධානය උළෙල වෙත යොමුවීමටද එය හේතුවක් වී තිබේ.

(1)

(1)

2007 සිට නොකඩවා පැවැත්වෙන ෆෙයාවේ ගාල්ල සාහිත්‍ය උළෙල 2017 වසර සඳහා ජනවාරි 11 සිට 15 වැනි දින දක්වා පැවැත්වෙනු ඇති අතර වැනි 14 වනදා සිංහල දිනය පැවැත්වීමට නියමිතය. ගාලු කොටුවේ සමුද්‍ර කෞතුකාගාර පරිශ්‍රයේදී එදින උදෑසන 9.00 සිට සවස 4.30 දක්වා සියළු දෙනා වෙනුවෙන් නොමිලේ මෙය පැවැත්වෙනු ඇති.

සිංහල දිනය මූලික වශයෙන් සාකච්ඡා මණ්ඩප කිහිපයකට බෙදා ඇති අතර උදෑසන 9.30 – 10.30 අතර සාකච්ඡාව වෙන් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ කවි පරපුර නියෝජනය කරන කවියන් සහ කිවිඳියන් කිහිප දෙනෙක් වෙනුවෙනි. එහිදී   මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, සුනන්ද කරුණාරත්න සහ ඉසුරු චාමර සෝමවීර විසින් සිය අදහස් සාකච්ජාවට ලක්කරනු ඇති. සිංහල කවියේ හරස් කඩක් යන තේමාව ඔස්සේ සිදු කිරීමට නියමිත සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි.  සුද, තාණ්ඩව සහ අප දෙදෙන මැද මහ මුහුද නමින් කාව්‍ය සංග්‍රහ පළ කොට ඇති ඉසුරු කෙටිකතා කරුවෙකු ලෙසින්ද පාඨක අවධානය දිනාගෙන තිබේ. කන්‍යා දියවරට එළැඹ සමගින් රාජ්‍ය සම්මානයට පත් වූ සුනන්ද කරුණාරත්න විසින් තවත් කාව්‍ය සංග්‍රහ කිහිපයක් පළ කොට ඇත. සයිබර් ලෝකයේ ලියන්නියක ලෙස ප්‍රකට මාලතී කල්පනා ඇම්බ්‍රෝස් මේ නිහඩ වෙරළට එන්න සහ ඔබ ගැඹුරු නින්දක යන කාව්‍ය සංග්‍රහ තුළින් ප්‍රතිභාව පළ කළ කිවිඳයකි.

(2)

(2)

10.30 – 11.30 අතර කාලයේ සංවාද මණ්ඩපය වෙන් කොට ඇත්තේ සිංහල නවකතාව පිළිබද ස්ත්‍රීවාදී දෘෂ්ඨියකින් බැලීම උදෙසාය. සිංහල නවකතාව සහ කාන්තාව යනුවෙන් පැවැත්වෙන මේ සංවාදය මෙහෙයවනු ලබන්නේ අනෝමා රාජකරුණා වන අතර ජාතික කෘතහස්ත ලේඛිකාවක ලෙසින් සම්මානිත සුනේත්‍රා රාජකරුණානායක ඇගේ කෘතිම දූපත් නවකතාව පිළිබඳවද, සේපාලි මායාදුන්නේ විසින් ඇගේ මහාසාමි නවකතාව පිළීබදවද මෙහිදී අදහස් දක්වනු ඇත. පසුගිය වසරේ ෆෙයාවේ සාහිත්‍ය සම්මානය හිමි කරගත්තේද ඓතිහාසික කන්ද උඩරට පදනම් කරගනිමින් ලියැවුණු ඇගේ මහාසාමි නවකතාවයි.

ඉන්පසු එළඹෙන 11.30 – 1.00 කාල පරිච්චේදය තුල සාකච්ඡාවේදී අවධානය යොමු වනු ඇත්තේ නූතන සිංහල නවකතාව පිළිබඳ තේමාවකටයි. ඒ අනුව පසුගිය වසරේ ෆෙයාවේ සම්මානය වෙනුවෙන් නිර්දේශිත කෘතිවල කතුවරුන් වන ලියනගේ අමරකීර්ති, එරික් ඉලයප්පාරච්චි, කපිල කුමාර කාලිංග, ටෙනිසන් පෙරේරා සහ සමන් වික්‍රමාරච්චි මෙහිදී එකම වේදිකාවක් මත සිය නිර්මාණ පිළිබඳ පිළිසඳරක නියැළෙනු ඇත. සංවාදය මෙහෙයවන්නේ සුනේත්‍රා රාජකරුණානායක විසිනි.

මීළග සංවාදය 2.00 සිට 3.00 දක්වා වන අතර කාලයේ සංවාදයෙන් අවධානය යොමු වන්නේ  නූතන සිංහල කෙටි කතාව කෙරෙහිය. කෙටි කතාකරණය, න්‍යායිකව හා ප්‍රායෝගිකව හදාරා ඇති මහාචාර්ය පියසීලි විජේමාන්නයන් සමග ප්‍රභාත් ජයසිංහ විසින් කරන කතාබහ මෙහෙයවනු ඇත්තේ තවත් ප්‍රවීණ කෙටිකතාකරුවෙකු වන පියල් කාරියවසමි විසිනි.

(3)

(3)

පස්වරු 3.00 සිට 4.00 දක්වා වන සිංහල දිනයේ අවසන් සාකච්ඡා අදියර වඩා සුවිශේෂී වන්නේ එය එක් තනි කෘතියක් සහ එහි නිර්මාණකරණයට අදාළ පුද්ගලයන් දෙදෙනෙකු වෙනුවෙන් වෙන්වන බැවිනි. ඒ අනුව චයිනමන් කෘතිය පිළිබඳ එහි රචක ෂෙහාන් කරුණාතිලක සහ දිලීප ඔබේසේකර විසින් සිය කතා බහ සිදු කරනු ඇති.

2000 වසරේ පළවූ චයිනමන් කෘතිය එදාමෙදා තුර වැඩිම ජාත්‍යන්තර සම්මානයට බඳුන්වූ කෘතියක් ලෙසින් සැලකිය හැකිය. එය සිංහල බසට පරිවර්තනය කොට ඇත්තේ දිලීප ඔබේසේකර විසිනි. ඉතාම නිර්මාණශීලී බසකින් සිංහලට නැගුණු චයිනමන් සිංහල පාඨකයන්ගේ නිසි අවධානයට යොමු නොවුණු සුවිශේෂී සාහිත්‍ය කෘතියකි.

විශේෂයෙන්ම ලංකාවේ සංස්කෘතිකාංගයක් තරමට දුර දිග ගිය ක්‍රිකට් පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරමින් ලියැවුණු පළමු කෘතිය ලෙසින් සැලකිය හැකි චයිනමන් විදෙස් විචාරකයන්ගේ පවා අවධානයට යොමුවූයේ එය ශ්‍රී ලාංකික ක්‍රිකට් පිලිබඳ මනාව දරාගත් කෘතියක් ලෙසිනි. නමුත් කුමක් හෝ හේතුවක් මත ක්‍රිකට් උනන්දුවට සාපේක්ෂව මේ ක්‍රිකට් නවකතාවට ලැබිය යුතු අවධානය මෙරටදී ලැබුණේ නැත.

ප්‍රදීප් මැතිව් නැමති ක්‍රිකට් ක්‍රීඩකයෙකු (පන්දු යවන්නෙකු) ගේ අපූර්ව ක්‍රීඩා දිවියක් ගැන කියැවෙන චයිනමන්හි කතාව ක්‍රිකට් ලෝකයේ සැබෑ ලෝකයේ ක්‍රිකට් විත්ති සමග ගලපා ඇත්තේ විස්මයජනක අයුරිනි. උද්වේගයෙන් පිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ රැසක් පැවති ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය පෙනෙන මානයේ සිට මහා ක්‍රිකට් නවකතාවක් පිළිබද එහි නිර්මාතෘවරු ගෙනෙන සංවාදයකට සවන් දීම ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම සාහිත්‍ය ලෝලීන්ටද මහත් උද්‍යෝගිමත් අත්දැකීමක් වනවාට සැක නැත.

(4)

(4)

මේ අයුරින් සංවිධානය වන ෆෙයාවේ ගාලු සාහිත්‍ය උළෙල සිංහල සාහිත්‍ය ලෝලීන් වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාව මේ ආකාරයෙන් වෙයි. නූතන සිංහල සාහිත්‍යයේ ගමන්මගට ක්‍රියාකාරීව දායක වන සාහිත්‍යකරුවන් රැසක් එකම බිමකදී මුණ ගස්වන ‍ෆෙයාවේ සාහිත්‍ය උළෙල වසරේ වඩාත්ම ක්‍රියාශීලී සාහිත්‍යමය කටයුත්තක් වනවාට සැක නැත.

ඉහත සවිස්තරව දක්වන ලද සිංහල දිනයට අමතරව 11 වැනිදා සිට දිනපතා සුවිශේෂී වැඩසටහන් රැසක් පැවැත්වෙනු ඇති. එමෙන්ම නම්දැරූ විදේශීය ලේඛක ලේඛිකාවන් රැසක්ද උළෙලේ විවිධ අංශ සදහා සහභාගීවේ.  ඒකක 120 කින් යුතුව සම්පූර්ණ උළෙල සංවිධානය වන අතර ළමයින් වෙනුවෙන්ම සංවිධානය වන විශේෂ වැඩසටහන්ද ක්‍රියාත්මක වීම සුවිශේෂීත්වයකි. ලාංකික සාහිත්‍ය රසවතුන්ට නැවුම් අත්දැකීමක් ගෙනෙන මේ 2017 ෆෙයාවේ ගාලු සාහිත්‍ය උත්සවය පිළිබඳ සියලු විස්තර galleliteraryfestival.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

ඡායාරූප – ෆෙයාවේ වෙබ් අඩවියෙනි.

Related Articles