Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෙම්ප්‍ර‍තිශ්‍යාවට ලොව වටා භාවිතා වන අත් බෙහෙත්

පුංචි කාලෙ ඉඳලාම පොඩි කිවිසුමක් ගියත් ළඟට දුවගෙන ඇවිත් අපි බැහැ කියද්දීම වධ දිදී නානාප්‍රකාර බෙහෙත් ජාති, තිත්ත කසාය බලෙන්ම දීලා අම්මා සෙම්ප්‍රතිශ්‍යාව හොඳ කරලා දෙනවා. හොටු ලේන්සුවකුත් එල්ලාගෙන හුරුස් හුරුස් ගගා උඩට ඇද ඇද නාහෙ පිහදදා, ඇඳගෙන ඉන්න ඇඳුමේම අත පිහිදමින් අපි මෙලෝ සිහියක් නැතුව සෙල්ලම් කර කර ඉන්න අපි කැමති වුණත් අපිටත් වඩා ඒක ගැන වධ වෙන්නෙ අම්මා තමයි. ඒ කාලෙ පටන්ම අපේ ගෙවල්වල තිබුණු මේ අත් බෙහෙත් කලාව අද වන විට තව තවත් ලෙඩ ගෙන දෙන බටහිර බෙහෙත්වල ආධිපත්‍යයට නතුවී තිබුණත් අත් බෙහෙත් කෙරුණේ අපි ‘ගොඩේ’ කියලා හිතාගෙන ඉන්න අපේ ලංකාවේ විතරක්ම නෙවෙයි. වෙන රටවල්වලත් ඒක ජයටම කෙරුණා.

නැගෙනහිර යුරෝපය: ගොගොල් මොගොල්

(Flickr.com)

(Flickr.com)

නමේ සද්දෙත් එක්ක ‘මොන මගුලක්’ද කියලා හිතුණාට මේක කිරිවලින් හදන රසවත් අතුරුපසක්. රුසියාව, යුක්රේනය ආදී නැගෙනහිර යුරෝපයේ සහ ඇතැම් මධ්‍යම යුරෝපීය රටවල ප්‍රචලිත මේ ආහාරයට බිත්තර, කිරි, මී පැණි හෝ සීනි, බටර්, කොකෝවා සහ ඇතැම්විට රම් හෝ බ්‍රැන්ඩි වැනි මද්‍යසාරයක්ද එක් කරගනු ලබනවා. මෙය, උගුර සමනය කරගන්නා අතරතුරේ ශේප් එකේ සමරන්නත් භාවිතා වන අතුරුපසක් බවයි පෙනී යන්නේ.

චීනය: මුව විල්ලූද

මුව විල්ලූද ඉවත්ව යන අවස්ථාවේ ඇති අං සහිත මුවෙක්. (empagroup.net)

මුව විල්ලූද ඉවත්ව යන අවස්ථාවේ ඇති අං සහිත මුවෙක්. (empagroup.net)

ක්‍රි.පූ.168 පමණ තෙක් දිවයන අතීතයක් ඇති චීන ලේඛණවලද කියැවෙන සෙම්ප්‍රතිශ්‍යාව සඳහාවූ මෙම චීන අත් බෙහෙත ගෝනුන්ගේ, මුවන්ගේ අංවල ඇති ලෝම භාවිතා කොට සකසා ගැනෙනවා.

මේවා මුවන්ගේ අංවල අස්ථි සහ කාටිලේජ ආවරණය කරමින් ඇති ස්ථරයක්. කායබලය වඩවමින් ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපමුණුවන මෙය ඉහළ කොලෙස්ටරෝල් මට්ටම් හා අධි රුධිර පීඩන තත්ව පාලනය, හිසේ අමාරු (මයිග්‍රෙන්), පේශිවල කැක්කුම්, ඇදුම, අජීර්ණ තත්ව, ඔස්ටියෝපොරෝසිස්, අක්මා සහ වකුගඩු ආබාධ ආදීවූ ඉතා විශාල සංඛ්‍යාවක රෝග ප්‍රමාණයක් සුව කරගැනීමට භාවිතා වෙනවා. නික්ෂේපණයක් වශයෙන් හෝ කුඩු වශයෙන් මුව තබා ගන්නා මුව විල්ලුද දැනටද නවසීලන්තය වැනි රටවල මහා පරිමාණයෙන් උකහා ගැනෙනවා.

ස්පාඤ්ඤය: සුදුළූණු තේ

(healtheatingfood.com)

(healtheatingfood.com)

මී පැණි සහ දෙහි දැමූ තේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රචලිත අත්බෙහෙතක් නමුත් ස්පාඤ්ඤ වාසීන් නම් කියන්නේ ඊට සුදුළූණු බික් කිහිපයක්ද එක් කරගතහොත් ඉන් තවත් සුවදායී බව වඩවා ගතහැකි බවයි.

රෑට කිහිලිවල තියාගෙන නිදාගත්තාම උදේට බොරු උණක් අරගෙන ඉස්කෝලෙ නොයා ඉන්නට පිහිට වෙන සුදුළූණුවල දිලීර, බැක්ටීරියා සහ වෛරස වර්ධනය වළකන ගුණයක් මෙන්ම කොලෙස්ටරෝල් පාලනය කර දෙන ගුණයන්ද තිබෙනවා. මෙහි ගුණ පිටුපස ඇලිසීන් නම් ඔක්සිහාරකයද සිටින අතර පිසීම නිසා හානිවී යන මෙම ඇලිසීන් රැක ගැනීම සඳහා ඉහළ උෂ්ණත්වයට නිරාවරණය කිරීමට පෙර කැබලි කපා විනාඩි 10ක් පමණ තබාගැනීම සාර්ථක විසඳුමක්.

පිළිකා සඳහාද ප්‍රතිකාර ගෙනෙන සුදුළූණු ඕනෑවට වඩා ආහාරයට ගැනීමෙන් හෘද, අක්මා සහ වකුගඩු ආබාධ ඇතිකරවන අතර බොහෝ දෙනෙක් මෙහි සුවඳට ප්‍රිය කරන්නේත් නැහැ. හැබැයි Plants vs Zombies පරිගණක ක්‍රීඩාව අනුව නම් zombie ල තමයි සුදුළූණු වලට ආසා නැත්තේ. ඒ කොහොම නමුත්, ඔබේ තේ එකකට කපාගත් සුදුළූණු ටිකක් එක් කරගෙන රස වඩවාගන්නට මී පැණි සහ දෙහි ස්වල්පයක් එක් කරගතහොත් නව තේ රසයක් සමඟ සෙම්ප්‍රතිශ්‍යාවටත් විසඳුමකුත් ලැබේවි.

ජපානය: ලූණු සුවඳ

(leafimg-a.akamaihd.net)

(leafimg-a.akamaihd.net)

ෆුල්ෆේස් හෙල්මට් තහනම් කළාට පස්සේ අපේ අය ලූණු කපන්න ඒවා දාගත්තාට මොකද, සෙම්ප්‍රතිශ්‍යාව හැදුණාම ඊට අත් බෙහෙතක් විධියට ජපානයේ ආච්චිලා නම් කියන්නේ ලූණු ගෙඩියක් කපා අරගෙන එහි සුවඳ බලන්නට කියායි. කැපීමේදී අවට සිටියත් එහි සැර නිසා දෑසට කඳුළුත් එක්ක නහය බර කරවන්නට තරම් සැරක් ඇති ළූණු වලට නාස් කෝටරක පවිත්‍ර කරන්නට හැකියාවක් ඇති බවයි ජපානයෙන් අසන්නට ලැබෙන්නේ.

ඔන්න ඊළඟට කියන්න යන්නේ ටිකක් අමිහිරි අත් බෙහෙත් කිහිපයක් ගැන. මේවා ඒකාන්තයෙන්ම අපේ සංස්කෘතිය සහ ආහාර පුරුදු එක්ක ගැලපෙන්නේ නැහැ. ඒත් මේ ලිපියේ හැටියට මේවා ගැනත් සඳහන් නොකළොත් එය අඩුපාඩුවක්.

හොං කොං: කටුසු සුප්

(thisisinsider.com)

(thisisinsider.com)

අපි කෙට්ටු වෙනවා කියා පූසන්ට කටුස්සන් අල්ලන්නට ඉඩ නොදුන්නත් හෙම්බා හැදුණාම හොංකොං වාසීන්ට නම් කටුස්සෝ දෙතුන් දෙනෙක් නැතිව බැහැ. ප්‍රෝටීන් සහිතව නූඩ්ල්ස් ටිකක් සහිත අපි නිතර පානය කරන කුකුළු මස් සුප් එකට දැඩි සමානකමක් දක්වන මෙම අත්බෙහෙතේ වෙනස මස් වර්ගය විතරයි. කටුස්සන් මාළුවලට සමාන රසක් දරන බවයි දැනගන්නට ලැබෙන්නේ.

ජර්මනිය: ගොළුබෙලි සිරප්

(businessinsider.com)

(businessinsider.com)

කැස්ස පැණිය විධියට අපිට වෙද මහත්තුරු නොයෙක් දේවල් දෙනවා වගේ ජර්මනියේ කැස්ස පැණිය තමයි ගොළුබෙලි පැණිය. ඖෂධ ලෙස ගොළුබෙල්ලන් භාවිතය ග්‍රීක වෛද්‍යාචාර්ය හිපොක්‍රටීස්ගේ කාලය තෙක් දිවයන ඉතිහාසයක් දරනවා. සාමාන්‍ය කැස්සේ සිට දරුණු කැස්ස මෙන්ම බ්‍රොන්කයිටීස් තත්ව සඳහාද උචිත මෙම ඖෂධය සෙම ඉවත්කරලමින් ශ්වාසනාලය පිරිසිදු කිරීමට සමත්කම් දක්වනවා.

ගෙවත්තේ ඉන්නා ගොළුබෙල්ලන් දෙතුන් දෙනෙක් අල්ලා ගන්නවා වෙනුවට නූතනයේ නම් ගොළුබෙලි නිස්සාරණය කොට සැකසූ පැණියක් හෙවත් සිරප් එකක් ලෙස ගොළුබෙලි සෙම්ප්‍රතිශ්‍යා ඖෂධය ලබාගන්නට පුළුවන්.

හැමෝම දන්නා කොත්තමල්ලි හැරුණාම ලංකාවේ භාවිතා වන සෙම්ප්‍රතිශ්‍යාව සඳහා උචිත අත්බෙහෙත් ඔබ දන්නවාද? අපිත් එක්ක ඒ ගැන බෙදාහදා ගන්නත් අමතක කරන්න එපා.

මූලාශ්‍ර: WebMD, livestrong.com, The Huffington Post, parafarmacia.co.uk

කවරයේ පින්තුරය: welcomeqatar.com

Related Articles