Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බොහෝ දෙනා අකමැති එළවළු තුනක සුපිරි ගුණ​

අද අපි එළවළු ආහාරයට ගන්නා විට ගුණයට වඩා පෙනුමට මුල්තැන දෙන බව පේනවා. සමහරවිට ගෙවත්තේ ගුණාදායක එළවළු තිබෙද්දී කඩෙන් වැඩිමිලට මිලදී ගන්නවා. මෙයට ප්‍රධාන හේතුව තමයි පුරාණයේ පටන්ම අපි ආහාරයට ගත් එළවළු ගොඩේ කෑම, නැත්නම් ලෙඩ කෑම කියලා තුනේ පංතියට දාලා සිතීම. එදා ගමේ ගොඩේ වැවුණු අද සමහරුන්ගේ සැලකිල්ලක් නැති එළවළු කීපයක ගුණ සොයාදීමට කළ උත්සාහයක් තමයි, මේ.

වැටකොළු

වැටකොළු ආහාරයට සකසමින් – Wikipedia.org

මෙහි වර්ග දෙකක් තිබෙනවා. නියං වැටකොළු නමින් හඳුන්වන්නේ දාර රහිත වියළි කලාපයේ හේන්වල ඉබේ වැවෙන වැටකොළු වර්ගයක්. එය වාත සමනය කරන බවත් රත්පිත් රෝගීන්ට ගුණදායක බවත් ආයුර්වේදවේ සදහන් වෙනවා. දැන් නියං වැටකොළුත් ඉඳහිට මාකට්වල විකිණීමට තිබෙනවා.

වැටකොළු සහ බිත්තර යොදා තැනූ තායි ආහාරයක්- seriousseats.com

වගාකරනු ලබන්නේ දාර වැටකොළු නමින් ඉස්සර හැඳින්වූ බෝගයයි.  ආයුර්වේදයට අනුව ඉන් පිත සමනය වෙනවා. බඩගින්න වඩවනවා. හතිය, උණ, කැස්ස රෝගීන්ට ඉතා සුදුසු ආහාරයක්. පණුවන් නසන මෙය මුත්‍ර දැවිල්ලටත් ගුණදායකයි. ළපටි වැටකොළු පොතු ද ආහාරයට ගත හැකියි. ආහාරමය තන්තු, විටමින් බී, රයිබොෆ්ලෙවින් හා සින්ක් බහුලව අඩංගුයි.

මේ එළවළුව කලකට පෙර උණ හැදුණම බතුත් එක්ක දුන් ආහාරයක්. වැටකොළු , පතෝල වගේ එළවළු කිරට උයලා තමයි එදා උණ සුවපත් වන විට බත් කෑමට දුන්නේ. මේවා පහසුවෙන් දිරවන නිසා ඉන් දුර්වල ශරීරයට ලොකු ශක්තියක් ලැබුණූ බව අද වන විට හෙළි වී තිබෙනවා. අද වුණත් පන්සලට දෙන දානෙ වේලක බොහෝවිට තිබෙන එළවළුවක් තමයි, කිරට හැදූ වැටකොළු. පහතරට වැවෙන මෙය පහසුවෙන් වගාකර ගත හැකි බෝගයක්.

වියළි කරල්- Wikipedia.org

මිලෙන් අඩු එළවළු ගණයේ තවමත් පවතින වැටකොළු විටමින් බී හා සී වලින් පෙහොසත්. යකඩ, සෝඩියම් සහ පොටෑසියම් මෙන්ම වෙනත්  ඛණිජ පෝෂක ද වැටකොළු තුළ තිබෙනවා. වැටකොළු සිසිල් එළවළුවක් ලෙස සැලකෙන්නේ එහි 96% ක්ම ජලය  තිබෙන නිසයි.

වැටකොළු තුළ ඇති තන්තු (කෙඳි) ප්‍රමාණය නිසා මලබද්ධයට ගුණදායකයි. වැටකොළු අක්මාවට ද ගුණදායී ආහාරයක්. අකලට හිසකෙස් පැසීම වළක්වන අතර රුධිරය පිරිසිදු කිරීමේ ගුණයද එහි තිබෙනවා.

වියළි කරල්වලින් නිපදවන ස්පොන්ජ්- freshome.com

තායිලන්තය, ඉන්දියාව වැනි රටවල වැටකොළු විවිධ ආකාරයට ආහාරයට සකස් කරනවා. මේ නිසා එම රටවලට එය ලෙඩකෑමක් වන්නෙ නැහැ. බිත්තර සමඟ වැටකොළු සකස් කිරීම ඒ අතර ජනප්‍රියයි.

වැටකොළු ස්පොන්ජ්වලින් තැනූ ටයිල්- freshome.com

කලකට පෙර නානවිට  සිරුර ඇතිල්ලීමට මෝරපු වැටකොළු කරල්වල කෙඳි ගත්තා සමහරවිට ඔබට මතක ඇති. අදනම් ඒ සඳහාද​ ප්ලාස්ටික් කෙඳි ඇවිත්. ඒත් ලොව සමහර රටවල්වල මේ කෙඳි ස්පොන්ජ් වශයෙන් නිපදවන අතර ඒවායින් ටයිල් පවා තනන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි.

කැකිරි

කැකිරි ලාබයි-  youtube.com

කැකිරි සංස්කෘත භාෂාවෙන් කර්කෝටකී නමින් හඳුන්වනවා. මුත්‍රා රෝගවලට ඉතා ගුණදායක බවට ගැමියන් අතර ප්‍රසිද්ධ මේ එළවළුව මිලෙනුත් අඩුයි. වියළි කලාපයේ වැඩිපුර පැතිරී ඇති එළවළුවක් වුණත් තෙත් කලාපයේ වුණත් වගාකළ හැකියි. මෙය ඉතා පහසුවෙන් වගාකර ගත හැකි බෝගයක්.

වසර 3000 කට පෙර ඉන්දියාවේ හටගත් මේ බෝගය ග්‍රීක ජාතිකයන් විසින් යුරෝපයට හඳුන්වා දී පසුව 9 වැනි සියවසේදී ප්‍රංශයට හඳුන්වා දී තිබෙනවා. 14 වැනි සියවසේදී එංගලන්තයටත් 16 වැනි සියවසේදී උතුරු ඇමරිකාවටත් මේ එළවළුව ළඟා වී තිබෙනවා.

කැකිරි වැලක්- zimbabweflora.co.zw

විටමින් වර්ග, සෝඩියම්, පොටෑසියම් සහ පොස්පරස් සුළු ප්‍රමාණයක් මෙහි අඩංගුයි. ආයුර්වේදයට අනුව උෂ්ණ වීර්ය ගුණ පවතින නිසා වාතය සහ සෙම සමනය කරනවා. බඩගින්න වඩවන එළවළුවක්. මලබද්ධය තිබෙන අයට මෙය ගුණදායක බව සඳහන්. ලේ පිරිසිදු කරන අතර ඉදිමුම අඩු කරනවා.

මුත්‍රාගල් දියකරන ගුණයක් තිබෙන නිසා එම රෝගීන්ට ඉතා ගුණයි. විශේෂයෙන් කැකිරි ඇටවල එම ගුණය ඉහළව පවතිනවා. ඒ නිසා කැකිරි ඇට අඹරා දියකර දීම වඩාත් සුදුසුයි. පණු රෝගවලටත් කැකිරි ඇට භාවිත කරනවා. පුරස්ථි ග්‍රන්ථි ආශි‍්‍රත රෝගවලට ගුණ ලබාදෙන එළවළුවක්. කිරට මෙන්ම මිරිසටද තුනපහ අඹරා මිශ්‍රකර කැකිරි රසවත්ව උයන්න අපේ ආච්චිලා දැන සිටියා. පොත්ත ඉවත් කළ කැකිරි බ්ලෙන්ඩර් කර රසවත් බීමක් හදා ගැනීමටත් පුලුවන්.

රාබු

නුවරඑළියේ වගාකරන වර්ණ රාබු- Wikipedia.org

බටහිර ආසියාතික හා යුරෝපීය සම්භවයක් සහිත කෘසිපරේසියේ කුලයට අයත් එළවළුවක් වන රාබු ලොව පුරා ඉතා බහුලව වගා කරනවා. ශ්‍රී ලංකාවේ සියලුම කෘෂි දේශගුණික කලාපවල සාර්ථකව වගා කළ හැකි හැකියි.

ගුණයෙන් පිරි රාබු ඇස්කෝබික්, ෆෝලික් අම්ල සහ පොටෑසියම් බහුල එළවළුවක්. එමෙන්ම විටමින් B6, රයිබොෆ්ලේවින්, මැග්නීසියම්, කොපර් සහ කැල්සියම් ප්‍රභවයක් ලෙස ද භාවිතා කළ හැකියි. කාබෝහයිඩ්‍රේට් බහුල නිසා ඉතා හොඳ ශක්ති ප්‍රභවයක් ද වෙනවා. මෙහි ශක්තිය ග්‍රෑම් 100කට ඇත්තේ කිලෝ කැලරි 20ක් .

බොහෝවිට සති පොළවල රාබු වෙළෙන්දා ළඟට යන්නේ කුඩා පිරිසක් පමණයි. එය එතරම්ම අඩුවෙන් මිලදී ගන්නා එළවළුවක් වීම එයට හේතුවයි.

අස්වැන්න ගැලවූ වගාවක්- chtrangi.wordpress.com

සංස්කෘතයෙන් මූලක නමින් හැඳින්වෙන රාබු පැරණි සිංහලයේ මූල පලා නමින් හැඳින්වුණා. රාබු කෑමට සමහරු අකමැති ඉන් පිටවෙන ගන්ධය ඔවුන්ට අප්‍රිය නිසයි. එලෙස ගඳක් නිකුත් වන්නේ එහි ගෙන්දගම් අධිකව තිබෙන නිසයි. ඒ නිසාම රාබුවලට රුධිරයේ විෂ ගතිය ඉවත්කර ලේ පිරිසිදු කිරීමේ හැකියාව ලැබෙනවා. ඉන්දියාවේ ළපටි රාබු අල අමුවෙන් කෑමට ගන්නවා. ජපන් ජාතිකයන්ද රාබු අල අමුවෙන් ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා.

මල හොඳින් පිටවීමට හේතුවන රාබු නිසා ආහාර රුචිය ඇතිවෙනවා. රෝග වළක්වන හා ඔරොත්තු දීමේ ශක්තිය ද ඉන් සිරුරට ලැබෙනවා. රාබු අල වගේම කොළත් ගුණදායකයි. එම දෙවර්ගයම එකට ගැනීමෙන් මුත්‍රා පෙරීම ද යහපත් වෙනවා. වකුගඩුවේ මල කොටස් නොරැඳීමටද එය හේතු වෙනවා. මුත්‍රා ගල් ඇති අයට රාබු අල සහ කොළ අමුවෙන් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. අර්ශස් රෝගීන්ට ද රාබු ගුණයි. සෙම නසන ශක්තිය ඇති නිසා පීනස, කැරස්ස, ඇදුම රෝගීන්ට හිතකරයි. ඔසප්වීමේ ප්‍රශ්න ඇති කාන්තාවන්ටත් මෙය ගුණදායක එළවළුවක්.

ආශ්‍රිත මූලාශ්‍ර

20 Surprising Benefits of Radish

www.dov.gov.lk

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක- සරත් රණවීර, රේඛා රණවීර

ආයුර්වේද දෙපාර්තමේන්තු ප්‍රකාශන, නාවින්න, මහරගම.

Cover: රාබු අස්වැන්න- Wikipedia.org

Related Articles