Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇබ්බැහි වුණු නරක පුරුදු නැති කරගන්නට පියවර 7ක්

අපි හැම කෙනෙක්ට ම වගේ කුමක් හෝ නරක පුරුද්දක් තිබෙනවා. දුම්බීම, පැණි රස වැඩිපුර කෑම, නියපොතු සැපීම, ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි නිතර බැලීම, අසභ්‍ය වීඩියෝ බැලීම, නිතර නිදා ගැනීම ආදී බොහොමයක් ඒ අතරෙහි දක්වන්නට පුළුවන්. නමුත් කෙතරම් උත්සාහ ගත්තත් මේවා නවත්වා ගැනීමට ඔබ මේ වන විට අපොහොසත් වී තිබෙන්නට පුළුවන්.

ඇත්තෙන් ම එය අමාරුයි තමයි, එහෙත් මහන්සි වුණොත් අනිවාර්යයෙන් ම කළ හැකියි. අපිට මෙතෙක් කල් මඟහැරුණු, අතහරින නරක පුරුද්දක් වෙනුවට තවත් හොඳ පුරුද්දක් ඊට ආදේශ කිරීම වැනි වැදගත් දේවල් ඇතුලත් ඉතා කුඩා මාර්ගෝපදේශයක් මේ ලිපිය හරහා ගෙන එන්නට Roar අපි බලාපොරොත්තු වෙනවා.

මේ සෑම පියවරක් ම පිළිවෙලින් හෝ සියල්ල ම වශයෙන් ඔබ අනුගමනය කළ යුතු වන්නේ නැති නමුත් වැඩි ප්‍ර‍මාණයක් කරන තරමට ඉන් වඩාත් සාර්ථක ප්‍ර‍තිඵල ලැබෙන බවට අපි නිර්දේශ කරනවා.

දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න

(buzzfeed.com)

බොහෝ වෙලාවට අපි පුරුදුවෙලා තිබෙන්නේ “නොසන්සුන් වෙලාවට මම කකුල් වනන නරක පුරුද්ද නවත්වා ගත්තා නම් හොඳයි” කියා මඩේ හිටවපු ඉන්නක් වගේ ඒ ගැන කල්පනා කරන්නට යි.

මෙය ඉතා දුර්වල සිතුවිල්ලක්.

අපිට හරියට කරගන්නට නම් ඒ සඳහා තර්කානුකූල දැඩි සිතුවිල්ලක්, අධිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා. “මම දුම්පානය නවත්වන්නට ඕන. මොකද, එය මාව ටිකෙන් ටික මරනවා. මම නැවැත්තුවෙ නැතිනම් මගේ දරුවනුත් ඊට යොමුවෙලා ජීවිතය විනාශ කරගනීවි.” වශයෙන් නැවැත්වීමෙන් ළඟා කරගත හැකි වාසි පිළිබඳ සිහිපත් කරන්න. පවත්වාගෙන යාමෙන් ඔබට සිදුවන අවාසි පිළිබඳ නිතර සිහිපත් කරන්න.

හැමෝටම කියන්න

(centeredrichmondacupuncture.com)

ඔබට දැන් උනන්දුවක්, අධිෂ්ඨානයක් තිබෙන නිසා සම්පූර්ණයෙන් ඊට කැප වෙන්න. “මම අද ම නවත්වනවා” කියලා කී වාරයක් මේ වනවිට කියලා ඇතිද?

ඒත් ඒ “අද” කවදාවත් උදාවෙලා නැතිව ඇති. මොකද, අවශ්‍යතාවයක් ඇති වන විට ම නරක පුරුද්දේ දම්වැල් ලිහලා දමනවා නම් මොනතරම් පොරොන්දු දුන්නත් කවදාවත් නවත්වා ගන්න බැහැ. ඒ වෙනුවට, අපිට වඩාත් සමීප ආදරණීය කෙනෙක්ට, කාර්යාලයේ හෝ පාසලේ ළඟ මිතුරන්ට ඔබ මෙවන් තීරණයකට එළැඹුණු බවත්, නිරන්තරයෙන් එහි ප්‍රතිඵලත් කියන්නට පටන් ගත්තොත් ඔබට ඔවුන්ගේ ද සහායෙන් මින් ගැලවෙන්නට හැකි වේවි.

පෙළඹවීම් ගැන අවධානයෙන් ඉන්න

නරක පුරුදු කවදාවත් අහේතුකව සිදු වෙන්නේ නැහැ. ඒවාට හැමවිටම පෙළඹවීමේ සාධකයක් තිබෙනවා. මිතුරන් දුම්පානය කරනවිට දුම්පානය කරන්නට හිතෙනවා, හිත එකලස් නැති වුණා ම ෂොපින් කරන්නට හිතෙනවා, දුක හිතුණා ම පැණිරස කන්න හිතෙනවා, තනියම ඉන්න විට අසභ්‍ය වීඩියෝ බලන්නට හිතෙනවා, දවස සම්පූර්ණ කරගන්නට ෆේස්බුක් යනවා ආදී වශයෙන් මේ හැම එකකට ම ඔබව යොමු කරන හේතුව හොයාගැනීම අත්‍යාවශ්‍ය යි.

දින කිහිපයක් මෙම හඳුනාගැනීම සිදුකිරීමෙන් පෙළඹවීමක් සිදුවන විට ඔබට සිහියෙන් ඒ ගැන කල්පනා කිරීමේ හැකියාව ලැබේවි.

පුරුද්ද හරහා බලාපොරොත්තු වන දේ හඳුනාගන්න

(eoffice.net)

අනවශ්‍ය පුරුද්දකට බොහෝ විට අපි යොමු වන්නේ අපේ දුර්වලතාවයක් වසා ගන්නට හෝ ප්‍රශ්ණවලින් පැන යාමට යි. ඉහත සඳහන් කළ පෙළඹවීම් සොයාගැනීමෙන් අනතුරුව ඒ සමඟ සසඳමින් ඔබ නරක පුරුද්ද හරහා සිත යටින් බලාපොරොත්තු වන දේ හඳුනාගැනීම වඩාත් පහසු වෙනවා. තනිකමෙන් මිදෙන්නට, සිතේ නොසන්සුන් බව මැඩගන්නට, සමාජයෙන් කොන්වීමට ඇති බිය නැතිකර ගැනීම, මානසික ආතතියෙන් මිදීමට වැනි හේතු ඒ අතර තිබෙන්නට පුළුවන්.

එය හඳුනාගත්විට සැබැවින් ම අපේ පුරුද්ද නිසා ඒ දේවල් විසඳෙනවාදැයි විමසා බැලිය හැකියි. නියපොතු හැපුවාම ඒවා බඩට යනවා මිසක් හිතේ තිබෙන ප්‍රශ්ණය විසඳෙන්නේ නැහැ.

නරක පුරුද්ද වෙනුවට හොඳ පුරුද්දක් ආදේශ කරගන්න

(ytimg.com)

බොහෝ කාලයක් නිතැතින් ම කරන්න පුරුදුවී සිටි දෙයක් එකවර ම නවතා දැමුවහොත් ඒ වේලාවේදී අපිට කරන්නට දෙයක් නැතිව යනවා. ඉතින් එයින් ඇති වන අඩුපාඩුව මඟහරවා ගන්නට අපි නැවතත් පෙර පුරුද්දට ම යොමු වෙනවා.

එනිසා ඒ වෙනුවට වෙනත් හොඳ පුරුද්දකින් එය ආදේශ කළොත් අඩුපාඩු පිරවෙනවා වගේ ම අපිටත් යහපතක් සැලසෙනවා. විශේෂයෙන් අපි පෙර හඳුනාගත් පෙළඹවීම් මඟහැර සිටීම සඳහා කිසියම් වෙනත් දෙයක් යොදාගත හැකියි. තනියෙන් සිටීමෙන් ඔබව උත්තේජනය වෙනවා නම් එළියේ ඇවිදලා එන්නට, අනවශ්‍ය ලෙස ෂොපින් කරනවා නම් තමන්ගේ වියදම් ලැයිස්තුගත කිරීමට, මානසික ආතතිය ඇති අවස්ථාවලදී සිත නිවෙන ගීත ශ්‍රවණය කිරීම වැනි දේවල් ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකියි.

පෙළඹවීම ඇතිවන හැටි දකිමින් මඟහරින්න

(entrepreneur.com)

නරක පුරුද්ද සඳහා හේතුවන පෙළඹවීම් ඇතිවෙද්දී ඒවා කෙමෙන් කෙමෙන් උග්‍රවී යමින් ඔබව නොමඟට ගන්නා ආකාරය ඊට අවනත නොවී බලා හිඳින්න. එය උග්‍රවී යනවා සේ ම ඊටත් වඩා වේගයෙන් ඔබ එය ගණන් නොගන්නා නිසා වියැකී යනවා.

මෙම කාලය අතරතුර ඔබ ආදේශ කරගත් අනෙකුත් හොඳ පුරුද්ද කරමින් සිටින නිසා ඊට යොමුවන්නට කොහොමත් ඔබට අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. මොකද, ඔබ නුපුරුදු වෙනස් දෙයක් කරන්නට අවධානය යොමු කරගෙන සිටිනවා. මෙම කාලය තුළ ඔබේ සිතුවිලි පිළිබඳවත් දැඩි අවධානයක් යෙදිය යුතු වෙනවා.

මන්ද ඔබට පරණ පුරුද්ද නැවත කරන්නට එය සාධාරණීකරණය කරමින් විවිධ සිතුවිලි ඇතිවෙන්නට පුළුවන්. ඒවාට ඔබේ අධිෂ්ඨානය සුණු විසුණු කරන්නට ඉඩ දෙන්න එපා.

සෙමින් නවතමින් අඩුපාඩු වලට සමාව දෙන්න

බෑවුමක යන වාහනයක් වුවත් එකවර තිරිංග යොදා එකතැන නතර කරන්නට බැහැ. එහෙම කරන්නට ගියොත් වෙන්නේ මහත් විනාශයක්. අපේ පුරුදුත් එහෙමයි. දුම්පානය 20, 15, 10, 5 ආදී වශයෙන් ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් යන්නට පුළුවන්. එසේ ම මෙම අතහැරීමේ ක්‍රියාවලිය තුළදී ඕනෑතරම් අතපසුවීම් වලට ඔබට මුහුණ දෙන්නට සිදුවේවි. ඒත් ඒවාට සමාව දෙමින්, අඛණ්ඩව නරක පුරුද්ද අතහැරීම සඳහා ඇති කරගත් තීරණය ක්‍රියාත්මක කරන්නට ඔබ යොමු වුණොත් වෙනදා වගේ නැතිව ඔබේ ම යහපත වෙනුවෙන් එය නවතාගන්නට හැකි වේවි.

ඔබ දැනටමත් එවන් පුරුද්දක් තිබී නැසූ කෙනෙක් ද? එය කරගත් හැටිත් මෙතන  බෙදාහදාගත්තොත් බොහෝ දෙනෙක්ට එය වැදගත් වේවි.

Related Articles