Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිරාන් අබේසේකර: ලොවක ඇගැයුණු ශ්‍රී ලාංකීය අනන්‍යතාව

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත්, ලෝක සිතියමෙහි කුඩා තිතක් වන් ශ්‍රී ලංකාව පිළිබඳ මුළු ලෝකයේ ම අවධානය යොමු වූ අවස්ථා කිහිපයක්  මෑත ඉතිහාසය පිරික්සීමේ දී අපට දැකගන්නට පිළිවන්. පසුගිය දිනවල මෙරට පිළිබඳ ව ලොව හමුවේ මැවුණු ප්‍රතිරූපය එතරම් සුබවාදී එකක් නොවූවත්, කළු වලාවක ඇඳි රිදී රේඛාවක් මෙන් එක්තරා සුවිසල් කීර්තියක් පසුගිය මාසයේ දී අපට ලැබුණා.

ලොව වේදිකා නළුවකුට ලබාගත හැකි ඉහළ ම සම්මානයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙක් සමත් වූයේ මේ කුඩා රටේ ඉතා දැවැන්ත ප්‍රතිරූප වර්ධනය වන බවට ලොවට ඉඟි සපයමිනු යි. ලන්ඩනයේ වේදිකා නාට්‍ය සමාජය පිරිනමන ශ්‍රීමන් ලෝරන්ස් ඔලිවියර් සම්මානයෙන් පුද ලබන්නට හිරාන් අබේසේකර නම් ශ්‍රී ලාංකීය කලාකරුවා සමත් වුණා. මෙය එදා මෙදා තුර ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත වේදිකා රංගන ශිල්පියෙක් ලබා ගත් ඉහළ ම ඝණයේ සම්මානයක් ද වෙනවා.

 හිරාන් අබේසේකර- hi.lk

 

ශ්‍රීමත් ලෝරන්ස් ඔලිවියර් සම්මානය 

ශ්‍රීමත් ලෝරන්ස් ඔලිවියර්, එංගලන්තයේ නාට්‍ය කලාවට අනුපමේය මෙහෙවරක් ඉටු කළ චරිතයක්. ඔහු සැලකෙන්නේ එදා මෙදා තුර එංගලන්ත වේදිකාව දුටු පතාක යෝධයෙක් ලෙසයි. ලන්ඩන් වේදිකා නාට්‍ය සමාජය ඔහු වෙත පිදෙන ගෞරවයක් ලෙස වර්තමානය වන විට ලන්ඩන වේදිකාවේ හොඳ ම රංගනය ඉදිරිපත් කරන්නා වෙත වසරකක් පතා පිරිනැමෙන මෙම සම්මානය 1976 වසරේ සිට පිළිගැන්වුවත්, එයට ‘ලෝරන්ස් ඔලිවියර් ‘ සම්මානය ලෙස නිල ලෙස නම් තැබුවේ 1984 වසරේ දී යි.

මෙය බ්‍රිතාන්‍යය තුළ වේදිකා රංගන ශිල්පියකුට ලබා ගත හැකි ඉහළ ම ගෞරවය හා ඇගයීම ලෙස ජාත්‍යන්තර ව සැලකෙනවා. කලා ලොව පතාක යෝධයන් අත නතර වී ඇති මෙම සම්මානය 2022 වසරේ දී සියත මත්තෙහි නතර කර ගන්නට හිරාන් අබේසේකර සමත් වූයේ ශ්‍රී ලාංකිකයෙක් එම සම්මානයට අත තැබූ ප්‍රථම වතාව සනිටුහන් කරමිනු යි. ඔහුට මෙම ඇගයීම හිමි වූයේ ‘ලය්ෆ් ඔෆ් පයි’ වේදිකා නාට්‍යයේ පයි පටෙල් ගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙනු යි.

 ලෝරන්ස් ඔලිවියර් සම්මානය- officiallondontheatre.com

 

හිරාන් අබේසේකර 

1986 වසරේ දී, ශ්‍රී ලංකාවේ උපත ලද හිරාන් අබේසේකර වර්තමානය වන විට 36 වන වියෙහි පසුවෙනවා. ඔහු සිය මූලික හා ද්විතියික අධ්‍යාපනය ලබා තිබෙන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනු යි. ඔහු තුරුණු වියේ දී ම ශ්‍රී ලංකා ළමා හා තුරුණු වේදිකා නාට්‍ය පදනමෙන් ඩිප්ලෝමාවක් හිමි කර ගන්නා අතර, 2007 වසරේදී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නිෂ්පාදනයක් ලෙස දොරට වඩින පීටර් ෂැෆර් ගේ ‘එක්වස්’ නාට්‍යයේ ප්‍රධාන චරිතය ද හිරාන් නිරූපණය කරනවා.

මෙය අති සාර්ථක ලෙස ඉදිරිපත් කිරීම නිසා ඔහුට බ්‍රිතාන්‍ය නාට්‍ය පාසල්වල දොරගුළු හැරෙන අතර, එහි රාජකීය නාට්‍ය කලා ඇකඩමියට බැඳෙන්න්නට ඔහුට අවස්ථාව ලැබෙනවා. 2011 වසරේ දී ඔහු එහි උපාධිය සම්පූර්ණ කරන අතර, ඔහු එම භාග්‍යය උදා කර ගන්නේ එලෙස සිදු කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමින්. ඉන් අනතුරු ව ඔහු බ්‍රිතන්‍යයේ වේදිකා නාට්‍යවල කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙනවා.

හිරාන් ‘ලයිෆ් ඔෆ් පයි’  හි රංගනයේ යෙදෙමින්- Johan persson

 

එංගලන්තයේ දී පෑ දස්කම්

හිරාන් අබේසේකරඑංගලන්තයේ වෘත්තීයමය වේදිකා නාට්‍යයකට  මුලින් ම සම්බන්ධ වූයේ 2011 වසරේදී යි. ඒ ‘ටාටූෆ්’ වේදිකා නිර්මාණය සමඟ යි. ඉන් අනතුරු ව ඔහු රාජකීය ෂේක්ස්පියර් සමාගම හා සම්බන්ධ වන අතර 2015 වසරේ දී ‘පීටර් පෑන්’ නාට්‍යයේ ප්‍රධාන චරිතය ද නිරූපනය කරනවා. ෂේක්ස්පියර්ගේ ‘මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම්’ නව නිෂ්පාදනයේ ‘පක්’ ගේ චරිතය 2016 වසරේ දී ඔහු නිරූපණය කරනවා.

මෙය රූපවාහිනී ‘ටෙලි චිත්‍රපටයක්’ ලෙස බී.බී.සී සේවය මඟින් නිෂ්පාදනය කර විකාශය කළා. අන් අනතුරු ව ‘සිම්බලීන්’ හා ‘හැම්ලට්’ නාට්‍ය ද්විත්වයේත් ඔහු චරිත නිරූපණය කළා. 2019 වසරේදී ‘හුලු’ සඳහා නිපැද වූ ‘ෆයින්ඩ් මී පැරිස්’ මාලා නාටකයේ ඉතා වැදගත් චරිතයක් නිරූපණය කළ ඔහු, සම්මානිත ‘ලයිෆ් ඔෆ් පයි’ නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම ආරම්භ කළේ 2019 වසරේ දී යි. මේ කාලයේ දී ම ‘බොටිසෙලී’ හා  ‘බිහයින්ඩ් ද බියුටිෆුල් ෆොරෙවර්ස්’ යන නාට්‍යවලටත් ඔහු සම්බන්ධ වුණා. 

සම්මානය ලබා ගත් පසු සිදු කළ කතාව

හිරාන් අබේසේකර පිළිබඳ 2022 වසරේ දී ශ්‍රීමත් ලෝරන්ස් ඔලිවියර් සම්මානයට පාත්‍ර වන තුරු, ඉංග්‍රීසි නාට්‍ය පිළිබඳ ව අවධානයෙන් පසු වන සුළුතරයක් දෙනා හැරුණු කොටගෙන ශ්‍රී ලාංකික බොහෝ දෙනා එතරම් දැන හුන්නේ නැහැ.

 ඔහු වෙනුවෙන් මේ මොහොත වන විටත් ශ්‍රී ලාංකික බලධාරීන් ඔහුට පිදිය යුතු නිසි ඇගැයීම ලබා දෙන්නේ දැයි යන්න විවාදිත යි. කෙසේ නමුත් සම්මානය ලබා ගෙන ඔහු සිදු කළ කතාව හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔහු පිළිබඳ ව දැන ගත්තා සේ ම ඔහු වෙත බැඳුණා.

 හොඳම නළුවාට හිමි ශ්‍රීමන් ලෝරන්ස් ඔලිවියර් සම්මානයෙන් පුද ලද හිරාන් අබේසේකර – twitter.com/OlivierAwards

 

නාට්‍ය කණ්ඩායමට මෙන් ම සිය සමීපතමයන්ට ස්තූති කරන අතරතුර, වර්තමානය වන විට ගැටලු රැසකට මුහුණපා සිටින සිය නිජභූමියෙහි තරුණ සොයුරු සොයුරියන් ආමන්ත්‍රණය කිරීමටද ඔහු අමතක කළේ නැහැ.

වර්තමාන පාලන තන්ත්‍රයට එරෙහි ව, යුක්තිය උදෙසා අරගල කරන ශ්‍රී ලාංකික තාරුණ්‍යය සමඟ ඔහු ද සිටින බැව් ශපථ කරමින් ‘මචංලා, මම උඹලට ආදරෙයි’ යනුවෙන් සිය මවු බසින් ම ඔහු විසින් ම ප්‍රකාශ කිරීම නිසා ශ්‍රීලාංකික ජනයා බහුතරයක් ඔහු වෙත තවත් ආසක්ත වුණා.

ගෝල්ෆේස් අරගල බිම පිරිසුදු කරන ඔලීවියර් සම්මාන දිනූ හොඳ ම නළුවා – හිරාන් අබේසේකර –  twitter.com

 

ඉන් නොනැවතී, වර්තමානය වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඔහු ද අරගලයට උරදෙන්නට පටන්ගැනීම නිසා, හිරාන් අබේසේකර ශ්‍රී ලාංකීය මිනිසුන් ඉදිරියේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් තිබෙනවා.

සම්මානය ලබා ගෙන ඔහු සිය කතාව නිමා කළ ‘සබ්බේ සත්තා  භවන්තු සුඛිතත්තා’ යන කරණීය මෙත්ත සූත්‍රයේ එන කොටස සමඟ යි. එහි අර්ථය වන්නේ සියලු සත්ත්වයෝ සුවයෙන් යුක්ත සිත් ඇත්තෝ වෙත්වා’ යන්න යි. එය ද ඉතා දැඩි ලෙස ශ්‍රී ලාංකිකයන් ග්‍රහණය කර ගෙන තිබෙනවා.

 හිරාන් අබේසේකර, ශ්‍රීමත් ලෝරන්ස් ඔලිවියර් සම්මානය අතැති ව- Ian West/PA-PA Wire

 

ජාතික සම්පතක්

හිරාන් අබේසේකර යනු කලාතුරකින් ශ්‍රී ලංකාවේ පහළ වන, ජාතික සම්පතක් ලෙස සැලකිය යුතු මට්ටමේ ගෞරවයක් සිය රට්ට අත් කර දුන් චරිතයක්. මෙවැනි අය රාශියක් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල පැවතගෙන එන ක්‍රමවේදයන්ගේ අඩුලුඬුකම් නිසා සිය ගමන් මගේ අතරමඟ සිර වී, සිය සිහින අතැර ගොස් තිබෙනවා වන්නටත් බොහෝ විට ඉඩ තිබෙනවා. දැන්වත් මෙවැන්නන්ට අත දී, නිසි ගෞරවයන් ඔවුන් හට ලබා දෙන්නට නිසි බලධරයින්ගේ ඇස් ඇරේවා යන්න බොහෝ ලාංකිකයින්ගේ පැතුම වෙනවා.

හිරාන් අබේසේකර – divaina.lk- u. k. Abeyratne

කවරයේ ඡායාරූපය - gettyimages.com

මූලාශ්‍ර:

Celebsagewiki.com

Popularnetworth.com

Officiallondontheatre.com

Related Articles