Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ක්‍රිකට් කුසලානයේ ඉතිහාසය

70 දශකය වන තුරු ක්‍රිකට් ලෝලීන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින්ට එක්දින සීමිත ඕවර තරඟ පිලිබඳ හිතන්න අවකාශයක් ලැබුනෙ නෑ. ඔවුන් ඒ වන විටත් ඉතාමත් තදින් ටෙස්ට් ක්‍රිකට් සඳහා ඇලී ගැලී සිටියා. අළුත් දෙයක් ගැන හිතන්න ඔවුන්ට තදින් උවමනාවක් දැනෙන්න නැතුවත් ඇති. නමුත් ජගත් ක්‍රිකට් පිටියේ යම් වෙනසක් ඇති කිරීමට උත්සහ කළ යුග පුරුෂයින් දෙදෙනෙක් නිසා ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ජේදයක් ආරම්භ වෙනවා. ඒ ඇති වූ වෙනසත් සමඟ ආරම්භ වුණු සීමිත ඕවර තරඟ අනතුරුව මුළු ලොවක දෑස අරවන්න සමත්වෙන ලෝක කුසලාන තරඟාවලියක් දක්වා ගමන් කරනවා. එසේ පටන් ගත් ලෝක කුසලාන තරඟාවලිය වෙනස් වෙමින් ක්‍රමයෙන් විකාශනය වූ ආකාරය ක්‍රිකට් ඉතිහාසය තුළ ලියවිලා තියන ආකාරය ගැන පොඩ්ඩක් හරා අවුස්සනයි අපේ මේ සුදානම.

ලෝකයේම නෙත් සිත් වසඟ කල ක්‍රිකට් ලෝක කුසලානයේ සුල මුල දැනගන්න ආශාවකින් ඉන්නෙ නම් දිගටම කියවන්න. මගහැරුණු දෙයක් තියනවනම් comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

වැස්ස නිසා උපන් සීමිත ඕවර ක්‍රිකට් තරඟ

එදා මෙදා තුර බිහි වූ ක්‍රිකට් දැවැන්තයා- සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පන්දුවට පහර දෙමින් (www.espncricinfo.com)

එදා මෙදා තුර බිහි වූ ක්‍රිකට් දැවැන්තයා- සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පන්දුවට පහර දෙමින් (www.espncricinfo.com)

මේක අපූරු කතා පුවතක්. 1971 ජනවාරි මාසයේදී ටෙස්ට් තරඟාවලියක් සඳහා රේ ඉලින්වත් ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවෙනවා. එකළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හසුරවන්නේ  බිල් ලෝරි ගේ නායකත්වයයි. අවාසනාවන්ත ලෙස තරඟයේ මුල් දවස් හතරම වැස්සෙන් සේදී ගොස් දෙපිලේම ක්‍රීඩකයින් සිටියේ ඉතාමත් කණගාටුවෙන් හා අලසවයි. මෙල්බෝන් ක්‍රීඩාංගණයට පැමිණි දහස් ගණන් ප්‍රේක්ෂකයනුත් බලාපොරොත්තු විරහිතව අහස් කුසට නෙත් යොමාගෙන සිටියා.

තරඟාවලියේ හතර වන දවසේදී ක්‍රිකට් ලොවේ පෙරළිකාර දැවන්තයෙකු වන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට අපූරු අදහසක් පහළ වුණා. මේ අදහස ඔහුගේ සිතට නැගුනේ එකළ එංගලන්ත  කණ්ඩායමේ කළමනාකරු ඩේවිඩ් ක්ලාක් සමඟ සුහද කතා බහක නිරත වෙලා සිටින විටයි. අනතුරුව තරඟ සංවිධායකයන්ට මේ අපුරු යෝජනාව ඉදිරිපත් කළා. වැස්ස නිසා කලකිරීමෙන් සිටිය ඔවුන් මේ යෝජනාවට එක පයින් කැමැත්ත ප්‍රකාශ කරනවා.

හරියටම 1971 ජනවාරි පස් වෙනිදා ඒ කියන්නේ තරඟයේ අවසාන දිනයේදී පන්දු ඕවර 40කට සිමා වූ සීමිත ඕවර තරඟයක් නිර්මාණය වුණා. මේ අදහසින් කුල්මත් වුනු ප්‍රේක්ෂකයන් 45000කට අධික ප්‍රමාණයකින් මෙල්බොන් ක්‍රීඩා පිටිය පිරී ඉතිරී යනවා. හැබැයි ඒ කාලයේ ඕවරයකට පන්දු වාර 8ක් තිබිල තියනවා. කෙසේ හෝ තරඟය ජයගන්න එකළ ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට හැකියාව ලැබෙනවා. ඔන්න ඔහොමයි සීමිත ඕවර තරඟ කරලියට ආවේ.

ලෝක කුසලානයේ උපත

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් හෙම්බත් වෙලා හිටිය ප්‍රේක්ෂකයින් අසාමාන්‍ය ආකාරයෙන් එක්දින තරඟ වලට ඇදී ගියා. කොතරම් දුරට සිමිත ඕවර තරඟ ජනප්‍රිය වුනාද කියනවනම් ඉන් පසුව පැවති එංගලන්ත ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරඟ වලදී සීමිත ඕවර 55 තරඟ කිහිපයක් ඇතුළත් කරන්න සංවිධායකයන්ට සිදු වුණා. අධික ජනප්‍රියත්වය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන සියළු රටවල් එක් කරලා 1975දී ලෝක කුසලාන තරඟයක් සංවිධානය කරන්න අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) තීරණය කරනවා.

සුදු මහත්වරුන්ගේ ක්‍රීඩාව තම අනසකට ගත් කොදෙව්වෝ – “පෘඩේන්ෂල් “පළමු ලෝක කුසලානය (1975)

පළමු පෘඩේන්ෂල් ලෝක කුසලානය ලබා ගන්නා කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් (guyaneseonline.wordpress.com)

පළමු පෘඩේන්ෂල් ලෝක කුසලානය ලබා ගන්නා කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් (guyaneseonline.wordpress.com)

1975 ජුනි 7 සිට 21 දක්වා පැවති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ පෘඩේන්ෂල් ලෝක කුසලානය ක්‍රිකට් ඉතිහාසයට  අමතක නොවන මතක සටහන් එක් කළ ලෝක කුසලානයක් ලෙස හදුන්වන්න පුළුවන්. මේ සඳහා අනුග්‍රාහකත්වය දැක්වුයේ පෘඩේන්ෂල් ඇෂුවරන්ස් සමාගමයි. මෙහිදී A හා B කණ්ඩායම් දෙකක් යටතේ රටවල් අටක් තරඟ වැදුනා. එකළ ටෙස්ට් වරම් හිමි කරනගෙන නොතිබුනේ ශ්‍රී ලංකාව හා නැගෙනහිර අප්‍රිකාවයි. පන්දු ඕවර 60ක තරඟ තමයි තිබුනේ.

A කණ්ඩායම – එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව, නැගෙනහිර අප්‍රිකාව

B කණ්ඩායම – ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය. බටහිර ඉන්දීය කොදෙව්වන්, ශ්‍රී ලංකාව

බිහිසුණු කැන්ගරුවෝ

ජෙෆ් තොම්සන්ගේ පන්දුව වැදී ඇද වැටුණු දුලිප් මෙන්ඩිස් (www.sportskeeda.com)

ජෙෆ් තොම්සන්ගේ පන්දුව වැදී ඇද වැටුණු දුලිප් මෙන්ඩිස් (www.sportskeeda.com)

එකළ ලොව බිහිසුණු වේග පන්දු යවන්නන් වන ඩෙනිස් ලිලී ,ගැරී ගිල්මෝර් හා ජෙෆ් තොම්සන් ගේ පන්දු යැවීම මෙම තරඟාවලියේදී කැපී පෙනුනා. පකිස්ථානය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟයේදී මනරම් පන්දු යැවීමක නිරතවූ ඕස්ට්‍රේලියානු වේග පන්දු බල ඇණිය පාකිස්ථාන කණ්ඩායමේ අවසන් කඩුලු හය සීමා කරන්නේ ලකුණු 24කට.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟයේදී ජෙෆ් තොම්සන්ගේ පන්දුව කොතරම් බිහිසුණු වුනාද කියනවනම් සුනිල් වෙත්තමුණි හා දුලිප් මෙන්ඩිස්ව පන්දුව ඇගේ වැදීම හේතුවෙන් රෝහල් ගත කරන්න පවා සිදු වෙනවා.

රෝහල් ගත කිරීමට ඔසවාගෙන යන දුලිප් මෙන්ඩිස් (www.sportskeeda.com)

රෝහල් ගත කිරීමට ඔසවාගෙන යන දුලිප් මෙන්ඩිස් (www.sportskeeda.com)

දිගට හරහට බැට දුන් කොදෙව්වෝ

කොදෙව් පිළ අපරාජිත කණ්ඩායමක් ලෙස අවසන් තරඟය දක්වා පැමිණ අවසන් තරඟයේදී ඕස්ට්‍රේලියාව පරදා ලෝක කුසලානය තමන් සතු කර ගන්නවා. එකළ වමත් කසකාරයා  ලෙස හැදින්වූ කොදෙව් කණ්ඩායමේ නායක ක්ලයිව් ලොයිඩ්ගේ අගනා පිති හරඹය තරඟාවලිය පුරාම කැපී පෙනෙනවා. අවසන් තරඟයේදී ඕස්ට්‍රේලියානුවන් දන ගස්වමින් අගනා ශතකයක් ලබා ගැනීමට උපැස් යුවලක් පැළදි විදුලි සැර එල්ල කරන නායකයාට හැකි වෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයේදී කොදෙව්වන් අපවත් අන්ත පරාජයකට පත් කරනවා. ඒ ලකුණු 86කට සියල්ල දවාලමින්. තරඟය නොසිතු ලෙසින් කලින් අවසන් වූ නිසා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දෙරට අතර ප්‍රදර්ශනාත්මක තරඟයක් පවා පවත්වන්න සිදු වෙනවා.

එංගලන්තය ලෝඩ්ස් පිටිය සිසාරා ප්‍රේක්ෂක හඩ ගිගුම් දෙන විට පළමු ලෝක කුසලානය එඩින්බරෝ ආදිපාදවරයාගේ සුරතින් බටහිර ඉන්දීය කොදෙව් නායක ලොයිඩ් විසින් ලබා ගන්නවා. පැවැත්වූ තරඟ ගණන 15 ක් වූ අතර ප්‍රේක්ෂකයන් 158000 පමණ එක් වූ බව තමයි වාර්තා වෙන්නේ.

සුද්දන්ට ක්‍රිකට් උගන්වමින් ලෝඩ්ස් පිටිය වර්ණවත් කළ කොදෙව් කසකාරයෝ -“පෘඩේන්ෂල් “ දෙවන ලෝක කුසලානය (1979)

දෙවන වරටත් ලෝක කුසලානය දිනා ගත් කොදෙව්වන් (www.sportskeeda.com)

දෙවන වරටත් ලෝක කුසලානය දිනා ගත් කොදෙව්වන් (www.sportskeeda.com)

සීමිත ඕවර තරඟ වල තිබු උණුසුම් තරඟකාරීත්වය හා අද්විතීය ජීවගුණය නිසා තවත් අවුරුදු හතරකට පසුව එංගලන්තයේදී නැවතත් ICC ය විසින් දෙවන ලෝක කුසලාන තරඟාවලිය සංවිධානය කරනු ලබනවා. මෙයටත් ඕවර 60ක් අඩංගු වෙනවා.

එවකට ටෙස්ට් වරම් ලබා තිබු රටවල් හයට අමතරව ශ්‍රී ලංකාව හා කැනඩාව තේරීම් තරඟ වලින් ලබාගන්නා ජයග්‍රහණ සමඟ රටවල් ගණන අට දක්වා ඉහළ යනවා. මෙහිදීත් රටවල් A හා B ලෙස කණ්ඩායම් දෙකක් යටතේ තරඟ වදිනවා.

A කණ්ඩායම – එංගලන්තය, පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව

B කණ්ඩායම – නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්වන්, ශ්‍රී ලංකාව, ඉන්දියාව

ඉන්දියානුවන්ට රිදෙන්න පහරදුන් සිංහයන්ගේ පළමු ලෝක කුසලාන තරඟ ජයග්‍රහණය

එකළ ඉතා ප්‍රබලයන් වූ ඉන්දියානු කණ්ඩායම පරදවා මුල්ම ජයග්‍රහණය ලබා ගන්න බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනවා. සුනිල් වෙත්තමුණි, රෝයි ඩයස් සමගින් දුලිප් මෙන්ඩිස් මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී ඉන්දියානු ප්‍රබල වේග පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දෙනවා. අලංකාර හයේ පහරවල් තුනක් සමඟින් ලකුණු 64ක් ලබා ගන්නා දුලිප් මෙන්ඩිස් තරඟයේ වීරයා ලෙස නම් කරනු ලබනවා.

දෙවන වරටත් එංගලන්තය හඩවා ලෝක කුසලානය කොදෙව්වන්ට

විවියන් රිචර්ඩ් අවසන් තරඟයේ වීරයා සම්මානය ලබා ගනිමින් (www.cricketcountry.com)

විවියන් රිචර්ඩ් අවසන් තරඟයේ වීරයා සම්මානය ලබා ගනිමින් (www.cricketcountry.com)

A කණ්ඩායමෙන් අපරාජිතයන් ලෙස මයික් බ්‍රෙයර්ලි ප්‍රමුඛ එංගලන්තයත්, B කණ්ඩායමෙන් ලෝක ශුරයන් ලෙස ලොයිඩ් ප්‍රමුඛ කොදෙව්වත් අවසන් තරඟය සඳහා ලෝඩ්ස් පිටියේදී  දෙවන වරටත් හමු වෙනවා. මෙම තරඟයේදී කොදෙව් ක්‍රීඩක විවියන් රිචඩ්ගේ මනහර පිතිහරඹය සදා මතකයක් ලෙස සටහන් කරන්න පුළුවන්. හතරේ පහරවල් එකොළහක් හා දැවැන්ත හයේ පහරවල් තුනක් සමඟින් රිචඩ්ගේ ලකුණු 138 සම්පුර්ණ විය. ලකුණු 286ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ක්‍රීඩකයන්ට ඕවරයක සාමාන්‍යක් ලෙස 7.18ක වේගයක් තිබිය යුතු වුණා. මේ හේතුවත් සමඟින් මානසිකව ඇද වැටුණු එංගලන්ත කණ්ඩායම ලකුණු 194කට සීමා කළ කොදෙව්වෝ දෙවන වරටත් ලෝක කුසලානය තමන් සතු කර ගන්නවා.

කොදෙව්වන්ගෙන් ලෝක කුසලානය උදුරාගත් ඉන්දියානුවෝ – “තෙවන ලෝක කුසලානය(1983)”

තුන්වන පෘඩේන්ෂල් ලෝක කුසලානය දිනූ කපිල් දෙව් ඇතුළු ඉන්දීය කණ්ඩායම (www.cricketcountry.com)

තුන්වන පෘඩේන්ෂල් ලෝක කුසලානය දිනූ කපිල් දෙව් ඇතුළු ඉන්දීය කණ්ඩායම (www.cricketcountry.com)

මෙවරත් එංගලන්තයේ පැවති ලෝක කුසලානය සඳහා අනුග්‍රාහකත්වය දැක්වුයේ පෘඩේන්ෂල් ඇෂුවරන්ස් සමාගමයි. ශ්‍රී ලංකාව මෙම තරඟාවලියට සහභාගී වන්නේ ටෙස්ට් වරම් දිනූ කණ්ඩායමක් ලෙසයි.

ටෙස්ට් වරම් ලැබූ රටවල් හතට අමතරව සිම්බාබ්වේත් ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වෙනවා. මේ අනුව රටවල් අට A හා B ලෙස කණ්ඩායම් දෙකකට වෙන් කරනු ලබනවා.

A කණ්ඩායම – එංගලන්තය, පාකිස්ථානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව

B කණ්ඩායම – බටහිර ඉන්දීය කොදෙව්වන්, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, සිම්බාබ්වේ

මෙවරත් මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තිබුනේ කොදෙව් කණ්ඩායම දෙසට වුවත් ඒ විශ්වාසයන් පුස්සක් බවට පත් කරමින් හදවතින්ම ක්‍රිකට් වලට කැපවූ කපිල් දෙව් ප්‍රමුඛ ඉන්දියානු ක්‍රීඩකයින් විසින් තුන් වන ලෝක කුසලානය දිනාගනු ලබනවා. ඉන්දියානු පන්දු යවන්නෙක් වන මොහින්දර් අමරනාත් විසින් කොදෙව් ඉනිම සම්පුර්ණයෙන් කඩා බිද දමනු ලබනවා.

මේ ආකාරයට තුන් වන ලෝක කුසලානය අවසාන වනවාත් සමඟම ඊලග කුසලානය සඳහා අනුග්‍රහකත්වය දරන්නට පෘඩේන්ෂල් ඇෂුවරන්ස් සමාගමට නොහැකි වුණා. එත් සමගින් පෘඩේන්ෂල් ලෝක කුසලාන නාමය ඉවත් වී වෙනත් සමාගම් වල නම් ලෝක කුසලානය සදහා එක් වුණා.

ඉන්පසු පැවැත්වුණේ රිලයන්ස් කුසලානයයි. අනතුරුව පැවති ලෝක කුසලානය වන්නේ බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලානයයි. පසුව 1996 පැවතුනේ ශ්‍රී ලංකාව අත් කරගත් විල්ස් ලෝක කුසලානයයි. ඉතින් මේ කුසලානයන් පැවතුණු අයුරුත් ඒවායේ රසබර සිදුවිම් සියල්ල ඉදිරි ලිපි වලින් ගෙන එන්න අපි සුදානමින් සිටිනවා.

කවරයේ පින්තුරය: espncricinfo.com

Related Articles