ඉන්දියාවෙන් අපට ලැබුණු සාරිය

ඉන්දියාවෙන් අපිට ලැබුණු සංස්කෘතිකමය දායාදයක් විදිහට සාරිය හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම සාරිය හා බැඳී ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී එය ඉතාමත් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා.

ඉතිහාසයෙන් හමුවන සාක්ෂි

shatika.co.in (වසර ගණනාවකට පෙර සාරිය ඇඳි වනිතාවන්)

පුරාණ ඉන්දීය කාන්තාවන් සාරිය ඇඳීම සිදු කර තිබෙන බවට සාක්ෂි බොහොමයක් හමු වෙනවා. ඒ අනුව ක්‍රි. පූ. 100 දක්වා මෙය දිව යන බව දැක්වෙනවා. ඉන්දියාවේ ෂුංගා නමැති පාලන යුගයේ මැටි පුවරු විශේෂයක එම යුගයේ කාන්තාවන් සාරිය වැනි ඇඳුමක් ඇඳ තිබෙන රූප රාමු තිබෙන බව දැක්වෙනවා. ඒ වගේම ග්‍රීක ගන්ධාර ශිෂ්ටාචාර වකවාණුවලදී කාන්තාවන් මුළු ශරීරයම වැසෙන ආකාරයට සාරිය ඇඳි බවටත් වාර්තා වනවා. එම යුගයේ දී ඉදිකරන ලද කාන්තා ප්‍රතිමා වලින් මේ බව තහවුරු වීමක් සිදු වෙනවා. අජන්තා ලෙන් ගුහා කැටයම් ද අතීතයේ සාරි ඇඳි බවට සාක්ෂි දරනවා.ඒ වගේම සාරියේ සම්භවය සම්බන්ධයෙන් ඉදිරිපත් වන තවත් මතවාදයක් වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළින් උපත ලබා ඇති බවයි. ක්‍රිස්තු පූර්ව 5000 පමණ කපු වගා කර ඇති බවත්, මෙම වකවානුවල දී ඉන්දියානුවන් විසින් කපු වලින් වස්ත්‍ර මසා තිබෙන බවත් සඳහන් වෙනවා. ඒ වගේම මෙසේ මසන් ලද වස්ත්‍ර වර්ණ ගැන්වීමක් ද සිදු කර තිබෙනවා. ඒ අනුව එළඹෙන නිගමනය වන්නේ සාරිය මුල්වරට ඉන්දු නිම්න ශිෂ්ටාචාර තුළින් සම්භවය වී තිබෙන බවයි.

මෑත ඉතිහාසය

මෑත කාලයේ සාරි භාවිතය ගැන අවධානය යොමු කිරීමේදී එය 1500 වසර දක්වා දිව යනවා. ඒ අනුව ඉන්දියාවේ සංචාරයක නිරත වූ පෘතුගීසි ජාතිකයෙකුගේ සටහන් මඟින් තහවුරු වනවා. ඒ වගේම එම යුගයේ දී සාරි විවීම එරට ප්‍රධාන ආදායම් මාර්ගයක් වී තිබෙනවා. නමුත් එම යුගයේ සාරි කර්මාන්තය අද තරම් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීමක් සිදු වී නැහැ. ඒ හා සමඟ සසඳා බැලීමේ දී වර්තමානයේ විශාලතම සාරි වෙළෙඳ සැල්වලට වගේම නිෂ්පාදනාගාර වලට උරුමකම් කීමට ඉන්දියාවට හැකි වී තිබෙනවා.

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන සාරි වර්ග

youtube.com(කංචිපුරම් සාරියකින් සැරසුණු කාන්තාවක්)

ඉන්දියාව සාරි විවීමේ දී යොදා ගනු ලබන ශිල්පීය දැනුම, තාක්ෂණය, භාවිතා කරනු ලබන මෝස්‌තර ආදිය එහි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා. ඒ වගේම සාරි වලට යොදනු ලබන නම යෙදීම සිදු වන්නේ ද මෙම ප්‍රාන්තය අනුව බව දැක්වෙනවා. සාරි කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බරණැස වන අතර වර්තමානයේ එය වරණාසි බව දැක්වෙනවා. මෙම ප්‍රදේශයේ වියනු ලබන සාරි බෙනාරීස් ලෙස දැක්වෙනවා. ඒ වගේම කාශ්මීර ප්‍රදේශයේ වියනු ලබන සාරි ‘කැෂ්මියර්’ යන නමින්ද, කංචිපුරම් හි වියන ලද සාරි කංචිපුරම් සාරි ලෙසද, බැංගලෝර් මයිසූරයේ වියන ලද ඒවා මයිසූර් සිල්ක් සාරි ලෙස ද, ගඩ්වාල් ප්‍රදේශයෙන් වියන ලද සාරි ගඩ්වාල් සාරි යනුවෙන් ද හඳුන්වනු ලබනවා.

සාරි වියන්නන්ගේ ජිවිත හා සාරිවල ඇති සුවිශේෂිතා

youtube.com (සාරියක් වියන අතරතුර)

සාරි වියනු ලබන අයගේ ජිවිත බොහොමයක් ම ඒ හා සමඟ බැඳී තිබෙනවා. උදාහරණයක් ලෙස ගඩ්වාල් ප්‍රදේශයේ සාරි විවීම සඳහා පවුලකින් අවම වශයෙන් එක් අයෙකු හෝ සම්බන්ධ වී තිබෙන බව දැක්වෙනවා. ඒ කුඩා දරුවෙකු  හෝ මහල්ලෙකු විය හැකියි. කංචිපුරම්වල සාරි විවීම ආරම්භ වීම සිදු වී තිබෙන්නේ මීට වසර 400කට පමණ පෙරාතුව බව දැක්වෙනවා. ඒ අන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණියා වූ දෙවන්ගා හා සාලිගාර් නමැති දෙපරපුරෙන් වනවා. මෙම කංචිපුරම් සාරිවල තිබෙන විශේෂත්වය වන්නේ සාරියේ යට කොටස සඳහා වූ වියමනට රත්තරන් හා රිදී වතුරේ පොඟවනු ලැබූ සිල්ක් නූල් භාවිතා කිරීම යි. මේ හේතුවෙන් මෙම සාරි විශේෂය ලොව අගනාම සාරි විදිහටත් පිළිගනු ලබන බව දැක්වෙනවා. මෙම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගෙන් 75% පමණ තම ජිවිත සරි කර ගනු ලබන්නේ සාරි විවීම මඟිනුයි. මේ හේතුවෙන් සිල්ක් නගරය ලෙස ද මෙම නගරය අන්වර්ථ වී තිබෙනවා. ඒ වගේම සාරි විවීමට භාවිතා කරන යන්ත්‍ර උපකරණ දහස් ගණනක් මෙම ප්‍රදේශයේ තිබෙන බවත් දැක්වෙනවා. මේ සඳහා දායක වී තිබෙන පවුල් ප්‍රමාණය 7000 ඉක්මවනවා. මෙම ප්‍රදේශයේ සුලභ දසුනක් ලෙස සාරි බැලීමට ආරාධනා කරන පිරිස් නිවෙස්වල දොරකඩවල්වල සිටිනු දැකිය හැකි බව දැක්වෙනවා.මයිසූර් ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ සේද සාරි වලටයි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ පට නූලෙන් මැසීම වනවා. නමුත් නගරයේ ශබ්ද දූෂණය සිදු වෙනු ඇතැයි හේතුවෙන් සාරි විවීම සඳහා භාවිතා කරන යන්ත්‍ර යම් සීමාවකට ලක් කර තිබෙන බව දැක්වෙනවා. මේ හේතුවෙන් නගරයෙන් පිට වෙනත් ප්‍රදේශ වලට රැගෙන යාම සිදු කරනු ලබනවා. ඒ වගේම මේ ආකාරයට සාරියක් නිම කිරීම උදෙසා පුද්ගලයන් දොළොස් දෙනෙකුගේ පමණ දායකත්වයක් අවශ්‍ය බව දැක්වෙනවා. ඒ අනුව මෝස්‌තර සකස් කිරීම, නූල් පාට දැමීම, යන්ත්‍රයට මෝස්තරය ඇතුළු කිරීම, ආදී කටයුතු සිදු කිරීම කරනු ලබන්නේ විවිධ පුද්ගලයන් ආධාරයෙනු යි.

වර්තමානයේ කාන්තාවන්ගේ සාරි භාවිතය

pinterest.com( නවීන විලාසිතාවක් ආකාරයෙන්)

සාරිය ඉන්දියානු කාන්තාවන්ගේ ඇඳුමක් ලෙසින් ආරම්භ වුණ ද අද වන විට බොහෝ විට නේපාලය, බංගලාදේශය, පකිස්ථානය, හා ශ්‍රී ලංකාව වන අපේ රටෙත් කාන්තාවන් අතර නිරන්තරයෙන් භාවිතා වනවා. ලංකාවේ දකුණු ඉන්දීය බලපෑම් බහුලව සිදු වූ මහනුවර යුගයේ සාරිය ඇඳීම සිදු වී තිබෙනවා. ඒ වගේම අද වන විට වෙනත් රටවලට පවා ඉන්දියාවෙන් සම්භවය ලැබූ සාරිය ව්‍යාප්ත වීම සිදු වී තිබෙනවා.ඒ වගේම නූතනයේ විවිධ විලාසිතා සඳහාද සාරිය යොදා ගන්නවා.

කවරයේ පින්තුරය: peachmode.com

Related Articles