මොළය යනු මානව ශරීරයේ ඇති ප්‍රධානතම අවයවය යි. එය අපගේ ජීවන පැවැත්මට අත්‍යවශ්‍ය කාර්යයන් රාශියක් සිදු කරයි. අපගේ මතකයන් මෙන්ම කුසලතා, සංවේදනයන්, හැඟීම්, සහ ප්‍රතිචාර සඳහා හැකියාවන් දරන්නේ මොළය යි.

ඇමරිකාවේ වොෂිංටන් සරසවිය මාස හතක් වයසැති ළදරුවන් යොදාගෙන කළ පර්යේෂණයක් මඟින් ඔවුන්ගේ මොළයේ සිදුවන සිත්ගන්නාසුළු විපර්යාසයන් පිළිබඳ සොයාගෙන තිබේ. දරුවකු කථා කිරීමට පටන් ගැනීමට පෙර, ඔවුන්ගේ මොළය ඒ සඳහා අවශ්‍ය භෞතික අවශ්‍යතාවන් සපුරාගනියි. එනම්, ශබ්ද හඳුනාගැනීමට සහ ඊට අනුකූලව මුඛයේ චලනයන් දැක්වීමට අවශ්‍ය මූලික පසුබිම මොළය සකසා ගනියි. මෙම ක්‍රියාවලිය ‘සංශ්ලේෂණය මඟින් විශ්ලේෂණය’ ලෙස හැඳින්වේ.

මානව මොළය හැමවිටම අපව පුදුමයට පත් කරන අවයවයක් වන අතර ගතවූ දශක ගණනාව පුරාවටම අප එය ගවේෂණය කොට ඇත්තේ ඉතාම පටු පරාසයක් තුළ පමණි. අසාමාන්‍ය ලෙස අනුවර්තනය වීමේ හැකියාවක් මොළයට තිබෙනමුත්, එහි වඩාත් අවදානම් කාල සීමාව හෙවත් දරුවෙකු ඉපදී මුල් වසර තුන තුළ හොඳින් වර්ධනය කරලීම සඳහා විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වේ.

මෙම කාලය තුළමොළයේ 85%ක් පමණ වර්ධනය වන බැවින් මොළය වර්ධනයෙහි තීරණාත්මක කාල සීමාව දරුවාගේ මුල් වසර තුන බවට සනාථ වේ. එහෙයින්, සෞඛ්‍යමත් වර්ධනයක මුදුන් මුල බඳු මෙම කාල සීමාව තුළ හොඳ සැලකිල්ලක් දැක්වීම අත්‍යාවශ්‍ය යි. 

දරුවකුගේ මොළය ඔවුන් ඉපැදුණු අවස්ථාවේ දී සම්පූර්ණයෙන් වර්ධනය වී නොමැත. ‍එහි වර්ධනයට කාලය ගත වන අතර ඒ හා සමානව දරුවාගේ සංජානන හා සමාජ චිත්තවේගීය කුසලතාවන් ද වර්ධනය වේ.

ළදරු මොළය

දරුවකුගේ මොළය ඔවුන් ඉපැදුණු අවස්ථාවේ දී සම්පූර්ණයෙන් වර්ධනය වී නොමැත. ‍එහි වර්ධනයට කාලය ගත වන අතර ඒ හා සමානව දරුවාගේ සංජානන හා සමාජ චිත්තවේගීය කුසලතා ද වර්ධනය වේ.

දරුවන්ගේ මොළය වැඩෙන්නේ පහළ සිට ඉහළට යි. පාදම මඟින් ජීවිතය රැකගැනීමට අවශ්‍ය ක්‍රියාකාරිත්වයන් සපයන අතර පසුව වැඩෙන ඉහළ කොටස් මඟින් මානවරූපී සංජානනයන් දරුවාට දායාද කරයි.

ජීවිත් වීමට අවශ්‍ය මොළයේ සෛල හෙවත් නියුරෝන සියල්ල දරුවාගේ උපතේ දී ලැබෙන අතර නියුරෝන බිලියන 100ක් පමණ දරුවා සතු වෙයි. පසුව, මෙම නියුරෝන අතර සබඳතාවන් ඇති වීම ඇරඹෙන අතර, එමඟින් ජීවත් වීමට අවශ්‍ය හැකියාවන් දරුවාට උරුම කරනු ලබයි. 

පුද්ගලයකුගේ ජීවිත කාලය පුරාවටම මෙම නියුරෝන සබඳතාවන් ඇති වන නමුත් අධික වර්ධනයක් සිදු වන්නේ ළදරු සමය තුළ යි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය කුමුදිනී කුරේ පවසන්නේ මුල් තෙවසර තුළ දරුවාගේ මොළය අධික ලෙස නියුරෝන සබඳතාවන් ඇති කරගන්නා බැවින් එය පුද්ගල ජීවිතයෙහි තීරණාත්මකම කාල වකවානුව බව යි.

ඉන් අනතුරුව ගෙවෙන කාලය තුළදී භාවිතයට නොගැනෙන නියුරෝන සබඳතාවන් කපා හැරීමට පටන් ගැනෙයි. නියුරෝන සබඳතාවන් මඟින් නියුරෝන අතර රසායනික සහ විද්‍යුත් සන්නිවේදනයන් සිදු කරන අතර අඩු වශයෙන් හෝ කොහෙත්ම භාවිතයට නොගැනෙන සබඳතාවන් ඇතොත් ඒවා කප්පාදු කර දමයි. මොළය නිරන්තරයෙන් උත්තේජනය කළ යුත්තේ මේ නිසා යි. එවිට අත්‍යාවශ්‍ය සබඳතාවන් කප්පාදු වන්නට ඉඩ නොහැර රැකගන්නට හැකිවෙයි.

නොසලකා හැරීම, ශාරීරික හා චිත්තවේගීය හිංසනය, පවුල තුළ ඇතිවන ගැටළු සහ හුදකලාව යන කරුණු සියල්ලම දරුවන් වෙත අනවශ්‍ය ආතතියක් ඇති කරයි.

සැලකිලිමත් විය යුතු ම ඍණාත්මක සාධක

උප‍තේ සිට අවුරුදු 5ක් දක්වා දරුවා රැක බලා ගන්නා පුද්ගලයාගේ කාලය මිඩංගු කිරීම බෙහෙවින් අත්‍යවශ්‍ය වේ. නිසි ආකාර උත්තේජනයන් මොළයට නොලැබීම මෙන්ම නිසි පෝෂණයක් නොලැබීම හා හානිකර මානසික ක්‍රියාකාරකම් ද සංජානන හා සමාජ චිත්තවේගීය හැකියාවන් අඩාල කිරීමට බලපායි. 

අධ්‍යාතතිය ද සෞඛ්‍යමත් මොළයක් ලැබීමට ඇති මාවත අවහිර කරන තවත් සාධකයකි. දරුවා නොසලකා හැරීම, ශාරීරික හා චිත්තවේගීය හිංසනය, පවුල තුළ ඇතිවන ගැටළු සහ හුදකලාව යන කරුණු සියල්ලම දරුවෙකුට අනවශ්‍ය ආතතියක් ඇති කරයි. එමඟින් දිගු කාලීනව සංජානන ක්‍රියාවලීන් අඩපණ විය හැකි අතර සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරවයි.

Know Violence in Childhood සංවිධානය මඟින් 2017 දී නිකුත් කළ ගෝලීය වාර්තාවක් මඟින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ දරුවන් 19.4% කගේ නිවෙස්වල ළමා කතන්දර පොත් නොමැති බව යි. මුල් කාලීන උත්තේජනයක් වශයෙන් ‘කියවීම’ දරුවන්ට හුරු ‍වීමට මෙය මහත් බාධකයක් විය හැකියි.

එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ අවුරුදු 1-14 අතර දරුවන්ගෙන් 73.4%ක් තම දෙමව්පියන්ගේ පහරදීම්වලට මුහුණ දෙන බවත්, ඉන් ඔවුන්ට අධ්‍යාතතිය ඇතිවන බව සහ ඒ හරහා සෞඛ්‍යමය හා මොළයේ වර්ධනයට පමණක් නොව දරුවාගේ හැසිරීම්වලට හා ඉගෙනීමට ද අහිතකර බලපෑම් සිදුකර ඇති බව යි.

An interactive and healthy home environment provides the child with social skills and emotional stability

දරුවන්ගේ මොළය සෞඛ්‍යමත්ව වර්ධනය කළ හැක්කේ කෙසේ ද?

රැකියාවේ නියුතු මව්පියෙකු වශයෙන් දරුවා සමග සබඳතා වර්ධනයට තම කාලයෙන් 100%ක් ම වැය කිරීම අපහසු යි. එනමුත් නිවසේදීම දරුවාගේ සෞඛ්‍යය වර්ධනය කරලීමට කළ හැකි ක්‍රමෝපායන් බොහොම යි.

වෛද්‍ය කුමුදුනී යෝජනා කරන්නේ දෙමව්පියන් අවම වශයෙන් දිනකට සුළු වේලාවක් තම දරුවා සමග ගත කරමින් පොත් කියවීම හෝ ගායනා කිරීම වැනි ක්‍රියාකාරකම් කළ යුතු බවත්, ඇතැම් විට දෙමව්පියන්ට තම ගෙදර දොරේ වැඩවලට වුව දරුවන්ව සහභාගි කරගත හැකි බවත් ය.

ක්‍රීඩා කිරීම හා දරුවා සමග කාලය ගත කිරීමෙන් දරුවා සමග යහපත් සබඳතාවක් පවත්වා ගැනීමටත්, වැඩිහිටි විය වෙත දරුවාට මාර්ගෝපදේශනය කිරීමටත් හැකි වේ. කුමුදුනී වෛද්‍යතුමිය පෙන්වා දෙන්නේ එසේ කිරීමට අපොහොසත් වීමෙන් දරුවාගේ කුසලතා වර්ධනය අඩාල වීම, ආත්ම අභිමානය දුර්වල වීම සහ තවත් ගැටළු රැසක් දරුවන්ගේ වැඩිහිටිවිය දක්වාම ඇතිවන බව යි. අන්තර්ක්‍රියාකාරී හා සෞඛ්‍ය සම්පන්න නිවාස පරිසරයක් මඟින් දරුවාට සමාජ කුසලතා සහ චිත්තවේගීය ස්ථාවරත්වයක් උරුම කර දෙයි.

දරුවා වැඩෙත්ම, ද්විතීයික රැක බලාගන්නන් දරුවාව සමාජය වෙත යොමු කිරීම සිදු කරයි. ගුරුවරුන් සහ දරුවන් බලාගන්නන් විසින් දෙමාපියන් ගොඩනැගූ අඩිතාලම මත දරුවාට වර්ධනය වීමට අවකාශ සලසයි. දරුවාගේ අධ්‍යාපනය ඇරඹෙන ස්ථානය නිවස අභ්‍යන්තරය වුව ද බාහිර ක්‍රියාකාරකම් හා නිසි අධ්‍යාපනයක් දරුවාට ලැබීම ද අත්‍යාවශ්‍ය වේ.

ව්‍යායාම මඟින් දරුවාගේ මොළය සෞඛ්‍යමත්ව සහ සක්‍රීයව පවත්වා ගැනීමට දායක වන බැවින් දරුවන් බාහිර ක්‍රියාකාරකම් වෙත යොමු කරවීමෙන් භෞතික හා මානසික සංවර්ධනයට අත දීම ද අත්‍යාවශ්‍ය වේ. මුල් කාලයේ පටන්ම දරුවාට මෙලෙස පුළුල් අධ්‍යාපනයක් ලබාදීමෙන් ඔවුන්ගේ මුළු ජීවිතයම සාර්ථකත්වයට පත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමට ඔබට හැකි වේ.

දරුවන් අපේ අනාගතය යි. ඔවුන්ගේ මනසට අනාගත ගැටළු විසඳීමට, වේගයෙන් වෙනස් වන ලෝකයට අනුව හැඩ ගැසීම, සහ ලෝකය යහපත් ස්ථානයක් බවට පත් කිරීමට හැකියාව තිබේ. ඉතින් ඔවුන් අනාගත නායකයකු බවට පත් වීමට නම් ඉතා හොඳ ‍පෝෂණයක්, බුද්ධිමය උත්තේජනයක්, සහ යහපත් ‍පවුල් පසුබිමක් තුළින් ඊට අවශ්‍ය අඩිතාලම ඔවුන්ට පහසුවෙන්ම ලබා ගන්නට හැකි වේ.


දෙමව්පියන්ට ඔවුන්ගේ උපරිම දායකත්වය දරුවන් වෙත ලබාදීම සඳහා උපකාර වීමට UNICEF ශ්‍රී ලංකා විසින් සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි බසින් පුළුල් විශේෂඥ තොරතුරු සහිතව දරුවන් රැකබලා ගැනීම, ළමාවිය සංවර්ධනය, ආහාර හා පෝෂණය සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ලිපි, ඇනිමේෂන් සහ වීඩියෝ අඩංගු කරමින් www.betterparenting.lk වෙබ් අඩවිය දියත් කර ඇත.