කොරෝනා සමයේ දරුවන්ගේ මානසික ව්‍යාකූලතා හදුනාගමු

යුනිසෙෆ් සංවිධානය විසින් සිදුකෙරුණු සමීක්ෂණයකින්, අවුරුදු 11ත් 19ත් අතර වයසේ පසුවන ළමුන් කොරෝනාවෛරසය පිළිබඳ බියෙන් පසුවන බව හෙළි වී තිබෙනවා. ඊට අමතරව දීර්ඝ කාලයක් තිස්සේ නිවසේ රැඳී සිටීම හේතුවෙන් බොහෝ ළමුන්ට විෂාදය, දැඩි ආතතිය වැනි තත්ත්වයන්, පාලනය කරගත නොහැකි මට්ටමට පැමිණි ඇති බව ද මානසික සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කරනවා. පාසල් වසා දැමීම නිසා රටවල් 145ක දරුවන් බිලියන 1.6කට (කෝටි 160) විවිධ බලපෑම් එල්ල වී තිබෙන බව එම වාර්තාවල සඳහන්. 

ඒ අනුව හුදෙකලා වීම නිසා මානසික පීඩනයකින් සිටින දරුවන් කොට්ඨාශයක් මෙන්ම කොරෝනාවෛරසය වැළදෙනු ඇති බියෙන් හා කනසල්ලෙන් පසුවන දරුවන් කණ්ඩායමක් ද ලෝකය පුරා විසිර සිටින බව යුනිසෙෆ් සංවිධානය සඳහන් කරනවා.

දරුවන් තුළ ආතතිය හා පීඩනය ඇති වීමට හේතු 

දිනපතා පාසල් ගිය දරුවන්ට නිවාස තුළ රැදී සිටීමට සිදුව තිබෙනවා (cdn)

කොරෝනාවෛරසය ලෝකය තුළ පැතිර යාමත් සමග බොහෝ රටවල් සිය පළමු ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රාථමික හා ද්විතියික පාසල් වසා දමනවා. ඒ හේතුවෙන් දෛනික ක්‍රියාවලියක් ලෙස පාසල් ගිය දරුවන්ට සිය නිවාස තුළ රැඳී සිටීමට සිදු වෙනවා. පළමුව එය ඉතා ප්‍රීතිදායක කටයුත්තක් බව දරුවන් විසින් වටහාගෙන සිටියත්, දීර්ඝ කාලයක් තිස්සේ පාසල් වසා දැමීමෙන් ඔවුන් හුදෙකලාභාවයට පත්ව තිබෙනවා. දිගින් දිගටම තම මිතුරන් දැක ගැනීමට නොහැකි වීමෙන් සහ සුපුරුදු සමාජ ආශ්‍රය නොලැබීමෙන් ඔවුන්ට විවිධ මානසික බලපෑම් එල්ල වීමේ හැකියාව පවතිනවා. යුනිසෙෆ් මේ සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ මිතුරන්ගෙන් හුදෙකලා වී සිටීම පිළිබඳ බොහෝ දරුවන් ප්‍රමාණයක් පසුතැවිල්ලෙන් හා කනස්සල්ලෙන් පසු වෙන බව යි.

දරුවන්ට තම මිතුරන් හා ගුරුවරුන් සමග අන්තර්ජාලය, දුරකථන හා ඊමේල් හරහා සම්බන්ධ විය හැකි නමුත් ඔවුන් වැළඳගැනීමේ හැකියාව මෙන්ම ඔවුන් හා සමීපව කටයුතු කිරීමේ හැකියාව මෙමඟින් උදා වන්නේ නෑ. ඒ හේතුවෙන් දරුවන් තුළ පවතින පීඩනය පහව නොයන බව පර්යේෂණ කණ්ඩායම් සඳහන් කරනවා. පාසල් වසා දමා ඇති බොහෝ රටවල ගුරුවරුන් අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට නිවසේ සිට සම්පූර්ණ කිරීමට පැවරුම් ලබා දෙනවා. නමුත් දරුවන් ඉගෙනීම පිළිබඳ අවධානය යොමු කිරීමට පෙර මානසික වශයෙන් ශක්තිමත් විය යුතු බව පර්යේෂණවල වැඩි දුරටත් සඳහන් වෙනවා 

ඒ හේතුවෙන් බොහෝ රටවල් මේ වන විට නිවසේ සිටින දරුවන්ට අධික පැවරුම් ප්‍රමාණයක් ලබා දීම සිදු කරන්නේ නෑ. කොවිඩ් 19 වසංගතය පහව ගොස් නැවත පාසල් ආරම්භ වූ පසුව එම විෂය කොටස් නිම කිරීමට ඔවුන් තීරණය කර තිබෙන්නේ මෙම කාලය තුළ ළමුන්ගේ මාසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම උදෙසා යි. 

ඉගෙනීම සම්බන්ධයෙන් දෙමාපියන්ගෙන් හා පවුලේ සාමාජිකයන්ගෙන් එල්ල වන පීඩනය හමුවේ මෙම කාලය නිකරුනේ අපතේ යාමෙන් තමන්ගේ ඉගැනුම් දක්ෂතා අඩු වේදැ යි යන්න බියෙන් පසුවන දරුවන් ද මෙම කාල සීමාව තුළ වාර්තා වන බව යුනිසෙෆ් සංවිධානය සඳහන් කරනවා.

දරුවන් පෙන්නුම් කරන ලක්ෂණ 

දරුවාගේ චර්යා රටා මේ කාලය තුළ වෙනස් වී ඇත්නම් ඒ පිළිබඳව ඔබ සැළකිලිමත් විය යුතු වෙනවා (cdn)

මෙම කාලය තුළ දරුවන් තුළ ඇතිවෙන මානසික පීඩනය හා ව්‍යාකූලත්වය දරුවාගේ වයස, සමාජ ඉගැනීම, මානසික සංවර්ධන අවස්ථාව, හැගීම් පිළිබඳ බුද්ධි මට්ටම, හා මනෝ ස්භාවය යන කරුණු මත රඳා පවතින බව ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස සඳහන් කරනවා.

දරුවන් තුළ මේ සමයේ ඇතිවන ආතතියේ හා මනෝ ව්‍යාකූලත්වයේ ලක්ෂණ ලෙස වෛද්‍යවරයා පහත සඳහන් ලක්ෂණ සඳහන් කරනවා. 

  1. නිතරම පාහේ තරහා යාම 
  2. සිටිනවාට වඩා ළාබාල දරුවෙකු ලෙස හැසිරීම 
  3. නිතර කනස්සලෙන් සිටීම 
  4. නින්දේ හා ආහාර රටාවේ වෙනසක් ඇති වීම 
  5. අවධානය අඩු වීම හා කලබල ගතිය 
  6. පෙර කැමැත්තෙන් කළ දේවල් ප්‍රතික්ෂේප කිරීම 
  7. හේතුවක් නැති හිසරදය හා කැක්කුම් 
  8. වැඩිහිටියන්ගේ උපදෙස් නොතැකීම හා ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියා 

දෙමාපියන් හා වැඩිහිටියන් ලෙස දරුවන් වෙනුවෙන් කළ යුත්තේ මොනවා ද?

නිවස තුළ ඔවුන් ආරක්ෂිත බව කියන්න (verywellfamily)

කොරෝනාවෛරසය සම්බන්ධව අනවශ්‍ය බියක් දරුවන් තුළ ඇති නොකිරීම මේ සම්බන්ධයෙන් ගත යුතු ප්‍රධානම පියවරක් ලෙස විශ්ලේෂකයන් සඳහන් කරනවා. කොරෝනාවසංගත තත්ත්වය හා පවතින සමාජ දුරස්ථකරණය සම්බන්ධයෙන් ඒ ඒ වයසට ගැලපෙන ලෙස දරුවන් සමග කතාබහ කළ යුතු වෙනවා. බිය පහ කිරීම සම්බන්ධයෙන් චිත්‍ර, වීඩියෝ සහ වෙනත් ආකාරයේ ප්‍රකාශන දරුවන් අතර හුමාරු කිරීම ද වැදගත් 

වසංගතය හා වත්මන් සමාජ තත්වය පිළිබඳව දරුවන් සමග කතාබහ කිරීමට ප්‍රථම පිළිගත් ආයතනවල නිර්දේශ මඟින් තමන් හොඳින් දැනුවත් විය යුතු වෙනවා (උදා – ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා යුනිසෙෆ් සංවිධානයේ නිවේදන, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිවේදන). ඊට අමතරව දරුවන් සමග කටයුතු කිරීමේ දී පහත උපදස් ද අනුගමනය කළ යුතු යි. 

  1. ඉතා වැදගත් මූලික කරුණු පමණක් දරුවන්ට කියා දෙන්න 
  2. ඔබට පාලනය කළ හැකි දේ හා නොහැකි දේ පිළිබඳව කියා දෙන්න (නිවසින් පිටතට යාම/ කඩ කෑම) 
  3. නිවස තුළ ඔවුන් ආරක්ෂිත බව කියන්න 
  4. මෙවැනි අවස්ථාවක බිය හා කනස්සල්ල ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බව කියන්න 
  5. දරුවන් සමග කොරෝනා පිළිබඳව අනවශ්‍ය තරමින් ප්‍රවෘත්ති නැරඹීම හා තොරතුරු බෙදා ගැනීම සීමා කරන්න 

ඒ වෙනුවට 

දරුවා තිරවලින් ඈත් කර වෙනත් නිර්මාණශීලි ක්‍රියාකාරකම් සඳහා යොමු කරන්න (weillcornell)

මෙම කාලය තුළ දරුවන්ව ගී ගැයීම, සංගීත භාණ්ඩ වාදනය, හා චිත්‍ර ඇඳීම වැනි කටයුතු සඳහා යොමු කිරීම සිදු කළ යුතු වෙනවා. පරිගණක, ටැබ් වැනි තිර අනවශ්‍ය ලෙස භාවිතයෙන් දරුවාව ඈත්කර තබා ගැනීම ද වැදගත්. ඒ වෙනුවට දරුවන්ට කතාන්දර කියා දීම, ඔවුන්ව නිර්මාණශීලි කතාන්දර ගෙතීමට යොමු කිරීම යහපත් බව යි පර්යේෂකයන් සඳහන් කරන්නේ. ඊට අමතරව මෙම කාලය තුළ දරුවා කරන සෑම දඟ වැඩකටම දෝෂාරෝපණ එල්ල නොකළ යුතු අතර, ඔහු හෝ ඇය කරන සෑම කුඩා හෝ හොඳ වැඩක්ම ඉතා ඉහළින් අගය කළ යුතු වෙනවා.

කවරයේ පින්තූරය - indiabioscience

මූලාශ්‍රයයන් 

BBC

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාසගේ සටහනක් 

Unicef.org

Related Articles