බෙහෙත් හැදෙන්නේ කොහොම ද?

“මේ තරම් දියුණු ලෝකෙ කොරෝනාවලට බෙහෙත් හොයාගන්න බැරි ඇයි?” ඔබට සමහර විට හිතිලා ඇති.

එහෙම වෙන්න බලපාන හේතු කිහිපයක් අතරෙ තියෙන ප්‍රධාන හේතුවක් තමයි, අළුතෙන් බෙහෙතක් සොයාගැනීමේ ඉඳලා සාමාන්‍ය භාවිතයට එනකල් (ඒ කියන්නේ දැන් අපි පාවිච්චි කරන බෙහෙතක් වගේ, වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත, නැත්නම් අපට ෆාමසියෙන් ඉල්ලලා ගන්න පුළුවන් තත්ත්වයට) හැම බෙහෙතක්ම ඉතා සංකීර්ණ, වියදම් අධික වගේම, කල්ගතවන ක්‍රියාවලියක් හරහා ගමන් කළයුතු වීම.

එහෙම වෙන්නෙ ඇයි?

මේක පුංචි උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

ඔන්න ඔබට තේ එකක් හදන්න ඕනෙ වෙනවා. උණුවතුරට තේ කොළ එකතු කළාට පස්සෙ වතුරේ පාට සහ රසය වෙනස් වෙන බව ඔබ දන්නවා. ඒ වගේම එක තේ කෝප්පයක් හදාගන්න අවශ්‍ය වන තේ කොළ ප්‍රමාණය මොකක්ද කියලත් ඔබට අවබෝධයක් තියෙනවා. තේ එකට සීනි එකතු කිරීම සම්බන්ධයෙන් ගත්තත්, සීනි නිසා රසය වෙනස් වෙන බවත්, ඔබේ කැමැත්තේ හැටියට තේ කෝප්පයට අවශ්‍ය සිනි හැඳි ගණනත් ඔබ දන්නවා.

හැම බෙහෙතක්ම ඉතා සංකීර්ණ, වියදම් අධික වගේම, කල්ගතවන ක්‍රියාවලියක් හරහා ගමන් කළ යුතු යි/microbiozindia.com

ඒ වගේම බෙහෙතක් ශරීරයට එකතු වුණාම ශරීරයේ වෙන වෙනස්කම් මොනවා ද, අදාල බෙහෙතේ එක මාත්‍රාවකින් (පෙත්තක්, කරලක් වගේ) ඒ වෙනස්කම මොන තරම් වෙනවා ද කියලා ඔබට බෙහෙත නියම කරන වෛද්‍යවරයා දැනගන්න ඕන. ඊට අමතරව බෙහෙත නිසා මුහුණ පාන්නට ඉඩ ඇති අතුරු ආබාධ මොනවා ද, බෙහෙත ශරිරයේ කොයිතරම් කල් තියෙනවා ද, ශරීරයෙන් ඉවත් වෙන්නෙ කොහොම ද වගේ ප්‍රශ්න රාශියකට උත්තර දැනගෙන ඉන්න ඕන බෙහෙතක් නියම කරන්න කලින්.

උදාහරණයක් විදියට අපි හැමෝම දන්න පැරසිටමෝල් (පැනඩෝල්, පැරසිටෝල් කියන්නෙ වෙළඳනාම) කියන බෙහෙත ගත්තොත්, එක රෝගියෙකුට නිර්දේශ කරන්න කලින් පැරසිටමෝල්වලින් උණ සහ වේදනාව අඩු වෙන බවත්, එහෙම වෙන්න නම් සාමාන්‍ය පුද්ගලයකුගෙ බර කිලෝ ග්‍රෑම් එකකට පැරසිටමෝල් මිලිග්‍රෑම් 10-15 ප්‍රමාණයක් ලබාදෙන්න ඕන බවත් වෛද්‍යවරයා දැනගෙන ඉන්න ඕනෙ. මීට අමතරව ඉහතින් සඳහන් කළ ප්‍රශ්න හැම එකකටම වගේම තව ප්‍රශ්න රාශියකටත් උත්තර දැනගෙන ඉන්න ඕන (මේ ප්‍රශ්නවලට අදාල තොරතුරු තියෙන මූලාශ්‍රයයන් විශාල ප්‍රමාණයක් වෛද්‍ය කාර්යමණ්ඩලවල පහසුව වෙනුවෙන් සකස් කරලා තියෙනවා. British National Formulary (BNF) කියන්නේ ඒ වගේ එක මූලාශ්‍රයයක්)

ama.com.au

දැන් ඔබට පැහැදිලි ඇති බෙහෙතක් නිර්දේශ කරන්න කලින් වෛද්‍යවරයෙක් විසින් දැනගෙන සිටිය යුතු කාරණා රාශියක් ඇති බව.

කතාව එතැනින් ඉවර වෙන්නෙ නෑ. ඔය කරුණු හැම එකක්ම දැනගත්තට පස්සෙ වෛද්‍යවරයා තිරණය කරන්න ඕනෙ අදාල බෙහෙත රෝගියාට ලබා දෙනවා ද නැද්ද කියන කාරණය. මෙතන දී සලකා බලන ප්‍රධානම කාරණය තමයි, බෙහෙත ලබා දීමෙන් වන වාසි සහ හානි ප්‍රමාණය. බෙහෙත දීමෙන් වෙන වාසිය, එයින් ඇතිවිය හැකි හානියට වඩා සැලකිය යුතු විදියට වැඩි නම් තමයි වෛද්‍යවරයෙක් අදාල බෙහෙත නිර්දේශ කරන්න ඕනෙ. මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි සමහර පිළිකාවලට ලබාදෙන බෙහෙත් වර්ග. ඔබ දන්නවා පිළිකා මර්දනයට ලබාදෙන බෙහෙත් නිසා කෙස් හැලී යාම, අධික වමනය, උදර අපහසුතා වගේ අතුරු ආබාධ රැසක් ඇතිවන බව. ඒත් පිළිකාව මර්දනය වීමෙන් ලැබෙන වාසිය ඊට වඩා සැලකියයුතු විදියට වැඩි නිසා, අර විදියේ අපහසුතා ඇති කළත් එම බෙහෙත් රෝගීන්ට ලබා දෙනවා. මේ විදියට වාසි සහ හානි සලකා බලලා තමයි වෛද්‍යවරයෙකු රෝගියෙක්ට බෙහෙතක් ලබා දෙන්න නිර්දේශ කරන්නේ.

එතකොට කලින් කියපු කාරනාවලට අමතරව, බෙහෙතකින් වෙන්න පුළුවන් හානි මොනවා ද කියන එකත් වෛද්‍යවරයෙක් දැනගෙන ඉන්න ඕන කියන එකත් ඔබට දැන් පැහැදිලි ඇති.

බෙහෙතකින් ලැබෙන වාසි සහ හානි සලකා බලලා තමයි වෛද්‍යවරයෙකු රෝගියෙක්ට බෙහෙතක් ලබා දෙන්න නිර්දේශ කරන්නේ/ drivenxdesign.com

ඉතින් මේ හැම කරුණක්ම නිවැරදිව දැනගෙන හිටියොත් තමයි රෝගියාට හානියක් නොවී බෙහෙතකින් රෝගය සුව කරන්න පුළුවන් වෙන්නෙ. මේ කාරණා හැම එකක්ම හොයාගන්න වෙන්නෙ විද්‍යාත්මක පර්යේෂණවල දී පිළිපැදෙන විධිමත් නිරීක්ෂණ සහ නිගමනවලින්. ඒ විතරක් නෙවෙයි, එකම පරීක්ෂණය වුණත් කීප වතාවක් සිදු කරලා, ප්‍රතිඵල තහවුරු කරන්නත් සිද්ධ වෙනවා. මෙහිදී භාවිතා කෙරෙන, ලෝකෙම පිළිගත්ත පර්යේෂණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ හරහා ගිහින් තමයි ඕනෙම බෙහෙතක් බාවිතයට එන්නෙ.

බෙහෙතක් සාමාන්‍ය ජනතාව අතරෙ භාවිතයට අවසර දීම සම්බන්ධ ආයතනයක් දියුණු සෞඛ්‍ය සේවයක් තියෙන හැම රටකම වගේ තියෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ Food and Drug Administration (FDA) සහ යුරෝපා රටවලට අදාල European Medicines Agency (EMA) කියන්නේ ඒ වගේ ආයතන. මේ ආයතනවල මූලිකම කාර්යයක් තමයි කලින් සඳහන් කරපු පරීක්ෂණ ක්‍රියාවලිය නිසි විදියට සිද්ධවෙලා තියෙනවා ද කියලා හොයලා බලන එක. ඒ ක්‍රියාවලිය නිසි පරිදි සිද්ධවෙලා, නියමිත තොරතුරු වාර්තා කරලා තියෙනවා නම් තමයි ඕනම බෙහෙතක් ඒ රටේ සාමාන්‍ය බාවිතයට අවසර ලැබෙන්නෙ.

මොකක්ද මේ අලුත් බෙහෙතක් හදන ක්‍රියාවලිය

කලින් සඳහන් කළා වගේම මේ ක්‍රියාවලිය විශාල කාලයක්, ශ්‍රමයක්, සහ ධනයක් අවශ්‍ය වෙන කාර්යයක්. සාමාන්‍යය, එහෙම නැත්නම් මධ්‍යන්‍ය අගය ගණනය කළොත්, එක බෙහෙතක් අලුතෙන් නිර්මාණය කරන්න වසර 10 සිට 15ක් දක්වා කාලයකුත්, ස්ටර්ලින් පවුම් මිලියන 500කුත් (රුපියල් මිලියන 120,000ක් විතර) වැය වෙනවා.

මේ ක්‍රියාවලිය මූලිකව අවධි තුනකට බෙදන්න පුළුවන්

  • විද්‍යාගාර පරීක්ෂණ
  • සතුන් යොදාගෙන කරන පරීක්ෂණ
  • මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණ  විදියට

මේ එක එක අවධි ගැන වැඩිදුර තොරතුරු තවත් සටහන්වලින් ඉදිරිපත් කරන්නම්.

 

Related Articles