Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාගෙත් දෑස් සොරා ගත් මොනාලිසා සොරා ගත් හැටි

ලොව වැඩියෙන් ම කතාබහට ලක් වූ සිතුවමක් වේ නම් ඒ සුප්‍රසිද්ධ ‘මොනාලිසා’ සිතුවම බව විශේෂයෙන් කිව යුතු නොවේ. ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියකු වූ ලියනාඩෝ ඩාවින්චි ඇඳි එය මේ වන ලොව වටිනාකමින් වැඩි ම සිතුවම ලෙස සැලැකේ.

එහි ඇති අසීමිත කලාත්මක වටිනාකම නිසා ම එය ඕනෑම මිලක් ගෙවා තමන් සතු කරගැනීමට බොහෝ රටවල් සහ පුද්ගලයෝ උත්සාහ කරති.

මොනාලිසා සිතුවම – www.wikipedia.org

මුදල් ගෙවා එය තමන් සතු කර ගැනීමට උත්සහ කරන රටවල් සහ පුද්ගලයන් අතර එය සොරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙක් ද සිටී. ඉතාලි ජාතික කෞතුකාගාර සේවකයෙකු වූ වින්සෙන්සෝ පෙරුජියා එය 1911 අගෝස්තු 21 දින සොරා ගත්තේය. එම සිදුවීමෙන් පසුව මොනාලිසා සිතුවම පිළිබඳව සමාජය තුළ තිබූ කතාබහ විශාල වශයෙන් වැඩි විය.

පෙරුජියා මොනාලිසා සිතුවම අතැතිව – www.wine-searcher.com

පෙරුජියා එම සිතුවම සොරකම් කළේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳ මත ගණනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ අතරින් එක අදහසක් වන්නේ ඔහු සිය පෙම්වතියට ත්‍යාගයක් ලෙස ලබා දීමට මෙම සිතුවම සොරා ගත් බවට වන මතය යි. මෙම ලිපිය සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවම සොරාගැනීම සහ ඊට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ යි.

මොනාලිසා සිතුවම

ලියනාඩෝ ඩාවින්චි ඇඳි මොනාලිසා සිතුවම ඉතාලි පුනරුදයේ අතිශයින් ම වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලැකේ. ලොව වැඩි ම අවධානයට ලක් වූ සිතුවම ලෙස එය සැලකේ. ඒ පිළිබඳ පුවත්පත් ලිපි මිලියන ගණනක් පළ වී තිබේ. මොනාලිසා සිතුවම ක්‍රිස්තු වර්ෂ 1503-1506 අතර කාලයේ ඇඳි එකක් බව බොහෝ දෙනෙක්ගේ අදහස වන නමුත් එය සම්පුර්ණයෙන් අවසන් කිරීම සිදු වන්නට ඇත්තේ 1517 දී බව සමහරුන්ගේ මතය යි.

ලියනාඩෝ ඩාවින්චි – www.biography.com

ඉතාලි ජාතික ප්‍රභූ කාන්තාවකගේ රුව එහි සිතුවමට නගා ඇත. කෙසේ වෙතත් සිතුවම ඇයට හෝ එම ප්‍රභූ පවුලට ලබාදීමට ඩාවින්චි කටයුතු කළේ නැත. ඩාවින්චි සිතුවම ද රැගෙන ප්‍රංශයට සංක්‍රමණය විය. ඊට ටික කලකට පසු ප්‍රංශයේ පළමු ෆ්‍රැන්සිස් රජුට එහි හිමිකාරිත්වය පැවරිණි. මේ වන විට එය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. සිතුවමක් සඳහා ඇති වැඩි ම රක්ෂණාවරණයට ද හිමිකම් කියන මොනාලිසා සිතුවමේ රක්ෂණාවරණයේ වටිනාකම 1962 වසරේ දී අමෙරිකන් ඩොලර් මිලියන 100කි. එය 2021 වසරේ දී ආසන්න වශයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 870කට සමාන වටිනාකමක් වේ.

වින්සෙන්සෝ පෙරුජියා

1881 ඔක්තෝබර් 8 දින ඉතාලියේ උපත ලැබූ පෙරුජියා වෘත්තියෙන් කෞතුකාගාර සේවකයෙක් විය. ඔහු කලක් ඉතාලියේ පිහිටි කෞතුකාගාර කිහිපයක සේවය කළේ ය. ටික කලක් රැකියාවෙන් ඉවත් ව සිටි ඔහු සිය මිතුරකුගේ මාර්ගයෙන් ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ රැකියාවක් ලබාගත් බව කියැවේ.

එකල එක රටක සිට තවත් රටක රැකියාවකට යාම එතරම් දීර්ඝ ක්‍රියාවලියක් නොවූ බැවින් ඔහු සති කිහිපයක් ඇතුළත නව රැකියාවට සම්බන්ධ වී ඇත. කෙසේ වෙතත් මොනාලීසා සිතුවම සොරා ගැනීමට පෙර ඔහු ලූවර් කෞතුකාගාරයේ සේවයෙන් ඉල්ලා අස් වී තිබිණි.

පෙරුජියාගේ ඡායාරූපයක් – www.alchetron.com

සිතුවම සොරා ගැනීම

ප්‍රංශය පමණක් නොව මුළු ලොව ම කැලඹූ මොනාලිසා සිතුවම සොරකම සිදු වූයේ 1911 අගෝස්තු 21 වැනි දින ය. මේ පිළිබඳ විමර්ශනය කළ පොලිස් නිලධාරීන් සැක කරන්නේ 21 වැනි දින කෞතුකාගාරය වසා තබන දිනයක් බව දන්නා බැවින් පෙරුජියා ඊට පෙර දින රාත්‍රියේ කෞතුකාගාරය තුළ රැඳී සිටින්නට ඇති බව යි.

පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පෙරුජියා පවසා ඇත්තේ තමන් අගෝස්තු 21 වැනි දින උදෑසන 7ට පමණ කෞතුකාගාරයට ඇතුළු වූ බව යි. සේවකයන් සඳහා වෙන් වූ පිවිසුම හරහා තමන් කෞතුකාගාරය තුළට පැමිණි බව ද ඔහු පැවසුවේ ය. සාමාන්‍යයෙන් කෞතුකාගාර සේවකයන් අඳින සුදු පැහැති ලෝගුවක් හැඳ සිටි බැවින් කිසිවකුට ඔහු වෙන් කර හඳුනා ගැනීමට නොහැකි වී තිබිණි.

මොනාලිසා සිතුවම සොරාගැනීම පිළිබඳව පුවත්පත් වාර්තා කළ අයුරු – www.artsy.net

අනතුරු ව කෞතුකාගාරයේ සිතුවම එල්ලා තිබූ ස්ථානයට ගිය පෙරුජියා එම ස්ථානයේ කිසිවකුත් නොමැති වෙලාවක් බලා සිතුවම බිත්තියට සවි කර තිබූ යකඩ කූරු හතරෙන් එය ඉවත් කර තිබේ. ඊට පසුව අසල පිහිටි පියගැටපෙළක් වෙතට එය රැගෙන ගිය ඔහු සිතුවම වටා සවි කර තිබු ආරක්‍ෂිත රාමුව ඉන් ඉවත් කළ බව සඳහන් වේ. ඔහු, හැඳ සිටි ලෝගුව තුළ සඟවා ගෙන එය රැගෙන යන්නට ඇති බවට වාර්තා පළ වුවත් විමර්ශන කණ්ඩායම්වල අදහස එසේ වීමට හැකියාවක් නොමැති බවයි.

සෙන්ටිමීටර් 163ක් උස පෙරුජියාට, ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 53ක් පළල සහ සෙන්ටිමීටර් 77ක් උස සිතුවම ලෝගුව තුළ සඟවා රැගෙන යාමට හැකියාවක් නොමැති බව ඔවුන් පෙන්වා දී තිබේ. විමර්ශන කණ්ඩායම්වල අදහස තහවුරු කරමින් පෙරුජියා පාපෝච්ඡාරණය කර ඇත්තේ තමන් හැඳ සිටි ලෝගුව ගලවා සිතුවම ඉන් ආවරණය කරගත් බව යි. පසුව එය රැගෙන, තමන් ඇතුළුවීම සඳහා භාවිත කළ පිවිසුමෙන් ම පිටව ගිය බව ඔහු සඳහන් කළේ ය.

ලූවර් කෞතුකාගාරය තුළ මොනාලිසා සිතුවම වර්තමානයේ තබා ඇති අයුරු – www.bazzpost.com

සොරකමෙන් පසු තත්ත්වය

මොනාලිසා සිතුවම සොරා ගැනීමෙන් පසු එය පැරිස් නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඔහුට අයත් නිවස තුළ සඟවා තැබීමට පෙරුජියා කටයුතු කළේ ය. වසර දෙකකට ආසන්න කාලයක් එහි තිබූ ගමන් බෑගයක් තුළ එය සඟවා තබා ගත් ඔහු 1913 වසරේ දී සිතුවම ද රැගෙන ඉතාලියට පැමිණියේ ය. ෆ්ලෝරන්ස් නගරයේ පිහිටි සිය නිවස තුළ එය සැඟ වූ ඔහු ක්‍රම ක්‍රමයෙන් මානසික වශයෙන් පීඩාකාරී තත්ත්වයකට පත් විය. පසුව ෆ්ලෝරන්ස් නගරයේ ම පිහිටි කලාගාරයක හිමිකරුවකු සම්බන්ධ කර ගත් පෙරුජියා ඔහුට මොනාලිසා සිතුවම පිළිබඳ දැනුම් දුන්නේ ය. එම පුද්ගලයාට සිතුවම අලෙවි කර විශාල මුදලක් උපයාගැනීමට පෙරුජියා සැලසුම් කර තිබිණි.

අත්අඩංගුවට පත් වීම

ඉහත කී කලාගාරයේ හිමිකරු ජිඕවානි නමැති තවත් පුද්ගලයකුට මෙම සිදුවීම පිළිබඳ දැනුම් දුන්නේ ය. සුප්‍රසිද්ධ කලාගාරයක් පවත්වා ගෙන ගිය ඔහු එය සැබෑම මොනාලිසා සිතුවම බවට තහවුරු කර ගත්තේ ය. ඔවුන් දෙදෙනා එක් ව පෙරුජියා පිළිබඳ පොලිසිය දැනුම්වත් කළ අතර ඒ වන විට ඔවුන් වැඩි ආරක්ෂාවට බව පවසමින් පෙරුජියාගෙන් සිතුවම ලබාගෙන තිබිණි. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ගැනිණි.

මොනාලිසා සිතුවම ලූවර් කෞතුකාගාරයට නැවැත භාරදුන් අවස්ථාවේ ලබාගත් බවට සැලකෙන ඡායාරූපයක් – www.crimereads.com

ඉන් අනතුරුව මොනාලිසා සිතුවම ඉතාලියේ ප්‍රදේශ ගණනාවක් පුරා ප්‍රදර්ශනය කළ බවත්, වසර සිය ගණනක් තිස්සේ ඉතාලියට අහිමි වී තිබූ එය දැක බලා ගැනීමට ඉතාලි වැසියන් මිලියන ගණනක් පැමිණි බවත් කියැවේ. මාස කිහිපයක් පුරාවට ඒ අයුරින් ප්‍රදර්ශනය කළ සිතුවම 1913 වසරේ දී නැවැතත් ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයට භාර දීමට ඉතාලි බලධාරීහු කටයුතු කළහ. බොහෝ විචාරකයන් සඳහන් කර ඇත්තේ මොනාලිසා සිතුවම සොරා ගැනීමත් සමග ඒ පිළිබඳ සමාජය තුළ තිබු කතාබහ තවත් වැඩි වූ බව යි.

සොරාගැනීමට හේතු වූ කරුණු

පෙරුජියා මොනාලිසා සිතුවම සොරා ගැනීමට හේතු වූ කරුණු පිළිබඳ මේ වන විට මත කිහිපයක් ඉදිරිපත් වී තිබේ. කෙසේ වෙතත් ඒවා විවිධ පාර්ශව ඉදිරිපත් කර ඇති අදහස් පමණක් වන අතර තහවුරු කරගත් ඒවා නොවේ.

සමහරුන්ගේ මතය වන්නේ ඔහු ඉතාලියට අහිමි වූ මෙම අග්‍රගණ්‍ය සිතුවම නැවතත් ඉතාලියට රැගෙන ඒමේ අරමුණින් එය සොරාගත් බව යි. පෙරුජියා ද වරෙක සඳහන් කර ඇත්තේ ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයා ඔහුගේ පාලන සමය තුළ ඉතාලියට අයත් කලා නිර්මාණ ගණනාවක් පැහැරගෙන ආ බවට ලූවර් කෞතුකාගාරයේ සේවය කළ කාලය තුළ තමන්ට දැනගන්නට ලැබුණු බව යි.

කෙසේ වෙතත් ඉතිහාසඥයන් සඳහන් කරන්නේ 16 වැනි සියවසේ දී ප්‍රංශයට සංක්‍රමණය වූ ඩාවින්චි මොනාලිසා සිතුවම පළමු ෆ්‍රැන්සිස් රජුට තෑගි කර ඇති බව යි. තවත් පාර්ශව කිහිපයක් සඳහන් කරන්නේ පෙරුජියාට සැබැවින්ම මොනාලිසා සිතුවම ඉතාලියට නැවත ගෙන ඒමට අවශ්‍ය වූවා නම් ඔහු එය අලෙවි කිරීමට උත්සහ නොකර ඉතාලියේ කෞතුකාගාරයකට ලබා දිය යුතුව තිබූ බව යි.

සිතුවම සොරාගැනීම පිළිබඳව වාර්තා වූ තවත් පුවත්පත් ලිපියක් – www.artsy.net

පිටපත් සකස් කිරීමේ සැලසුමක්?

තවත් මතයක් වන්නේ Eduardo de Valfierno නම් පුද්ගලයකු මොනාලිසා සිතුවමේ පිටපත් ලබා ගෙන ඒවා අලෙවි කිරීමේ අරමුණින් එය සොරකම් කිරීමට පෙරුජියා පොලඹවන්නට ඇති බව යි. සිතුවම සොරාගත් පසු එහි පිටපත්, සැබෑ සිතුවම බවට  හඟවමින් අලෙවි කිරීම හරහා විශාල ආදායමක් උපයා ගැනීමට හැකි වෙතැයි ඔහු බලාපොරොත්තු වී තිබේ. සිතුවමේ පිටපත් සකස් කිරීම සඳහා ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියකුගේ කැමැත්ත ද ලබාගෙන තිබු බව ද කියැවේ.

සිතුවම සොරගත්තේ තරුණියකට ලබා දීමට යි

පෙරුජියා සිතුවම සොරා ගත්තේ සිය ප්‍රංශ ජාතික පෙම්වතියගේ සිත දිනා ගැනීමේ අරමුණින් බව තවත් සමහරුන්ගේ මතය යි. හෝටල් සේවිකාවක වූ ඔහුගේ පෙම්වතිය මොනාලිසා සිතුවමට බොහෝ සෙයින් ඇලුම් කළ බවත් ඇයට එය ලබා දී සිත දිනා ගැනීමේ අරමුණින් පෙරුජියා සිතුවම සොරා ගත් බවත් කියැ වේ. කෙසේ වෙතත් පසුව ඇය තමන්ට සැබැවින් ම ඇලුම් නොකරන බව දැනගත් ඔහු තමන් කළ වරද පිළිබඳ පොලිසිය හමුවේ පාපෝච්ඡාරණය කර තිබේ. ඔහු පොලිසියට පවසා ඇත්තේ තම මව්රට වූ ඉතාලියට නැවතත් සිතුවම හිමි කර දීමේ අරමුණින් එය සොරාගත් බව යි.

සිතුවම සොයාගත් අවස්ථාව – www.crimereads.com

නඩු විභාගය

මෙම සොරකම සම්බන්ධයෙන් වූ නඩු විහාගයේ දී පෙරුජියා සිතුවම සොරා ගත්තේ දේශානුරාගය නිසා බවට ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ තර්කය විනිසුරු මඬුල්ල යම් තාක් දුරකට පිළිගෙන තිබේ. එබැවින් ඔහුට වසරකුත් දින පහළොවක් වැනි කෙටි කාලයක සිර දඬුවමක් ලබා දුන් නමුත් මාස හතක වැනි කාලයක් තුළ ඔහුට සමාව ලැබිණි.

ඉන් අනතුරුව පළමු ලෝක යුද්ධය සමයේ ඔහු ඉතාලි හමුදාවේ සේවය කළේ ය. ඉතාලි ජාතික කාන්තාවක සමඟ විවාහ වූ ඔහුට සෙලෙස්තිනා නමින් දියණියක් ද විය. සිය බිරිය සහ දියණිය සමඟ ප්‍රංශයට සංක්‍රමණය වූ ඔහු චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළේ සිය උපන් නම වූ පියෙට්‍රෝ පෙරුජියා යන නමිනි.

අභාවය

1925 ඔක්තෝබර් 8 දින ඔහු රෝගී තත්ත්වයක් නිසා මිය ගියේ ය. එදින ඔහුගේ 44 වැනි උපන් දිනය වීම විශේෂත්වයකි. ඔහු ඒ වන විට පෙනීසිටියේ පියෙට්‍රෝ පෙරුජියා යන නමින් නිසා ඔහුගේ ගේ අභාවය පිළිබඳව වැඩි දෙනකුගේ අවධානයක් යොමු නොවීය. කෙසේ වෙතත් 1947 වසරේ දී වින්සෙන්සෝ පෙරුජියා නම් වෙනත් පුද්ගලයකු මිය ගිය බැවින් බොහෝ දෙනකු විශ්වාස කරන්නේ මොනාලිසා සිතුවම සොරාගත් පෙරුජියා මිය ගියේ 1947 වසරේ දී බව යි.

වර්තමානයේ මොනාලිසා සිතුවම දැකගැනීමට පැමිණෙන ජනතාව – www.scoopnest.com

කවරයේ ඡායාරූපය - මොනාලිසා සිතුවම සහ පෙරුජියා - www.allthatsinteresting.com

මූලාශ්‍ර:

www.npr.org

www.cnn.com

www.historytoday.com

www.historyhit.com

www.crimereads.com

Related Articles