තෛපොංගල් උත්සවය සැමරෙන්නේ මෙහෙමයි

තෛපොංගල් උත්සවය, හින්දු ජනයා සමරන සාම්ප්‍රදායික අස්වනු නෙළීම සංකේතවත් කරන උත්සවය යි. ලොව පුරා සිටින හින්දු දමිළ ජනයා, සහ හින්දු නොවන ජාතීනුත් තෛපොංගල් උත්සවය සමරයි. ලොව වටා බොහෝ රටවල ජනයා විසින් වසන්ත සෘතුවේ දී හින්දු තෛපොංගල් උත්සවයට සමාන උත්සවයන් සමරනු ලැබේ. මෙය සමරනු ලබන්නේ ඉරු දෙවි, මහී කාන්තාව (පොළොව), වැසි දෙවි, සහ අස්වනු නෙලාගැනීමට උපකාරී වූ ගවයන් ස‍ඳහා ස්තුති කිරීම, කෘතඥ වීම සඳහා වේ.

“පොංගු” යනු පිරී ඉතිරී යෑම වැනි තේරුමක් දෙන වදනකි. පොංගල් බත් ඔවුන්ගේ ප්‍රධානම උත්සව ආහාරය යි. එය හකුරු, ගිතෙල්, කිරි, මුද්දරස්පලම් ආදී දේ යොදා පිසින පැණි රස බතකි. 

මෙම උළෙල පැවැත්වෙන්නේ ‘තායි’ මාසයේ (දෙමළ දින දර්ශනයේ දහවන මාසය) පළමු දිනයේ දී ය. සූර්යයාගේ උතුරු දෙසට ගමන් කිරීම ‘උත්තරායන’ ලෙස හැඳින්වේ. මෙම උත්තරායනය ඇරඹෙන්නේ තෛපොංගල් දිනයෙනි. පොංගල් උත්සවයේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා නව මැටි බඳුනක පොංගල් පිසීම සිදුකරයි. මුට්ටිය උතුරා යන විට ඒ වටා රැස්ව සිටින්නෝ “පොංගලෝ පොංගල්!” කියති. කිරිබත උතුරා ගැලීම (සිංහලයින් කිරි ඉතිරවීම වැනි) සුබ ලකුණක් බව ඔවුන් සලකයි.

පොංගල් පිසීමට සූදානම් වෙමින්

පොංගල් උත්සවය දින කීපයක් පුරා සමරයි. 

භෝගි පොංගල්

මෙය තෛපොංගල් උත්සවයේ පළමු දවස වේ. නිවාස පිරිසිදු කිරීම, සුද්ධ පවිත්‍ර කිරීම, කෙසෙල්, අඹ අතු, මල් මාලා සවිකර උත්සවය සඳහා ලැහැස්ති වීම මෙම දවස තුළ සිදු කරයි. මෙදින ඉන්ද්‍ර දෙවියන්ට පූජා පැවැත්වීම ද සිදුකෙරේ.

පවුලේ සාමාජිකයන් නව ඇඳුම් මිල දී ගැනීම හෝ මැසීම සිදුවේ. පසුදා උදෑසන පොංගල් පූජා පැවැත්වීම සඳහා සෑම දෙයක්ම සූදානම් කර ඇති අතර, පරම්පරා ගණනාවක් තිස්සේ අනුගමනය කෙරුණු සම්ප්‍රදායට අනුව බොහෝ දුරට කෙසෙල් සහ අඹ කොළවලින් සාදන ලද සැරසිලි දොරටුවේ තබා ඇත. නව අයිතම මිල දී ගෙන, පැරණි ඒවා ඉවතලනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ පසුගිය අවුරුද්ද තුළ ඇති වූ නරක නොමනා පුරුදුවලින් ඈත් වීම යි. භෝගි පොංගල් පරණ අවුරුද්දේ අවසන් දිනය යි.

සූර්ය පොංගල් – ජනවාරි 14

මෙදින උදෑසනින්ම කාන්තාවන් නිවස ඉදිරිපිට අතුගා පිරිසිදු කොට කෝලම් රටා අඳියි. කෝලං රටා ඇඳීමේ දී බොහෝවිට ඔවුන් හාල් පිටි භාවිතා කරන්නේ, ඒවා කුහුඹුවන් වැනි සතුන් හට ආහාර වීමට ය. එය මෙම උත්සවය සොබාදහම හා බද්ධ වී ඇති ආකාරය මැනවින් කියා පායි. එලෙසම පොංගල් දා උදෑසන මෙලෙස කෝලං අඳින්නේ ද අලුත් වස්ත්‍රාභරණවලින් සැරසී නා පිරිසි‍දු වීමෙනි.

ඉන්පසු පොංගල් බත් ඉවීම සඳහා සූදානම් වෙයි. මෙය සිදුකරන්නේ නිවසින් පිට අලුත් ලිපක් බැඳ වීම විශේෂ වේ.

පොංගල් පිසිමින්

පොංගල් සෑදීම සඳහා හාල්, කිරි, මුං ඇට, හකුරු, කජු, මුද්දරස්පලම් සහ ගිතෙල් ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබයි. බත පිසූ පසු එහි මුල්ම කොටස ඉරු දෙවියන්ට, ඉන්ද්‍ර දෙවියන්ට, සහ උපේන්ද්‍ර දෙවියන්ට පූජා කරනු ලබයි. ඒ සඳහා උළුඳු වඩේ ද, වෙම්නත් රසකැවිලි ද යොදාගනියි.

මාට්ටු පොංගල්

මාට්ටු පොංගල් සමරනු ලබන්නේ තෛපොංගල් දිනයට පසු දා වේ. “මාට්ටු” යනු දමිළ භාශාවෙන් ගවයන්ට කියනු ලබන නම ය.

තම අස්වැන්න ලබාගැනීමට උපකාරී වූ ගවයන් සඳහා කෘතගුණ සැලකීම මෙදින උත්සවයේ දී සිදු කරයි. මෙම සතුන්ව නහවා පිරිසිදු කොට, මල් මාලාවලින් අලංකාර කොට, කහ වතුර ගල්වා, කුංකුම ආලේප කිරීම ද සිදු කරනු ලබයි. ඔවුන්ගේ අං ඔපදමා වර්ණ ගැන්වීම හෝ දිලිසෙන පිත්තල කොපු සවිකිරීම ඇතැමුන් සිදුකරයි. මෙදින ගවමඩු ද සෝදා පිරිසිදු කෙරෙන අතර, ගවයින්ට නැවුම් තණකොළ, උක්, හකුරු, මී පැණි ආදිය ද, පොංගල් බත් ද ආහාරයට ලබා දෙයි. 

මාට්ටු පොංගල්

මෙදින ඇතැම් ගැමියන් පොල් අත්තකින් හුළු අත්තක් පත්තු කර ගවයා වටා ගෙනගොස්, ඉන්පසු එය රැගෙන ගමේ කොණකට දිවගොස් හුළු අත්ත අතහරියි. එය ගවයින්ට වැටී ඇති ඇස්වහ, සහ අමනුෂ්‍ය බැල්ම සමනය කිරීමට සිදුකෙරෙන බව කියැවේ. 

කානුම් පො‍ංගල්

මෙය තෛපොංගල් උත්සවයේ අවසාන දවස යි. මෙදින වෙන් වී ඇත්තේ, නෑගම් යෑම, නෑ හිතමිතුරන් සමග තෑගිබෝග හුවමාරු කරගැනීම සඳහා වේ.

ශ්‍රී ලංකාවේ තෛපොංගල් උත්සවය සාමාන්‍යයෙන් සැමරෙන්නේ දවස් දෙකක් පමණක් වන අතර, පොංගල් පළමු දවසේ දී පිළියෙල කරනු ලැබේ. නමුත් මෙහිදී පිසින්නේ පොංගල් පමණක් නොවේ. කිරි, රුලං, පිරිසිඳු ගිතෙල් බොහෝ ලෙස යොදාගන්නා විවිධ ආහාරයන් මෙහිදී පිළියෙළ කෙරේ. වේන් පොංගල් තරමක් සැර ආහාරයක් වන අතර සාම්ප්‍රදායික පොංගල් බත මිහිරි රසක් ගෙන දේ. තෛපොංගල් උත්සවය සඳහා වේන් පොංගල්, පොංගල් බත්, චක්කර පොංගල්, පාල් පායසම්, සාම්බාරු, කේසරී, වඩේ, සහ බර්ෆි වැනි ආහාර බහුලවම යොදා ගැනේ.

කෝලම්/webneel.com

 

තෛපොංගල් උත්සවය ප්‍ර‍ධානතම අරමුණ වෙන්නේ අලුත් සහල්වලින් දෙවියන් පිදීම යි. මෙය සිංහල අවුරුද්දට සමාන වේ. අවුරුදු 2000ක ඉතිහාසයක් ඇති මෙම උත්සවය ලොව පුරා එක හා සමාන ආකාරයෙන් සමරනු ලබයි. ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක විවිධාකාර නම්වලින් හඳුන්වන තෛපොංගල් උත්සවය වැඩිමනක් සැමරෙන්නේ දමිළ ජනයා වැඩියෙන් වෙසෙන සිංගප්පූරුව, කැනඩාව, හා ඇමරිකාවත්, ශ්‍රී ලංකාවත් වැනි රටවල ය. එනමුත් තෛපොංගල් සැමරුම ඉහළින්ම සිදුවන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ය.

තෛපොංගල් ගොවිතැන වටා බැඳුනු සංස්කෘතියක් සශ්‍රිකත්වය සමරන ආකාරයටත්, එවැනි සංස්කෘතීන්හි ජනයා සොබාදහම හා බැඳී ඇති ආකාරයටත් හොඳ නිදසුනකි.

කවරයේ ඡායාරූපය: Nishant Aneja/Pexels

මූලාශ්‍ර සහ ඡායාරූප : හින්දුස්ථානී ටයිම්ස්, NDTV, Daily News Sri Lanka

 

Related Articles