Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවිතය ජයගන්න ධනාත්මක පෞරුෂයක් ගොඩනගා ගන්නා හැටි

“මේ ලිපිය එච්චර හොඳ නැති පාටයි පේන්නෙ නැද්ද මාතෘකාවෙ හැටි. පින්තූරත් වැඩිය නැති හින්දා මේක කියවන්න කම්මැලි එකක් වෙන්න ඇති. ලියපු කෙනා බොරුවට ලියපුවාද කවුද දන්නේ.” මේ වගේ අපේ පුරුද්ද බොහෝ අවස්ථාවලදී අපිට මුණගැහෙන දේවල් දිහා සෘණාත්මක  විධියට දකින්නටයි. මේ නිසාම අපිට ලබාගත හැකි ගොඩක් අවස්ථාවන්, ජයග්‍රහණයන් මඟහැරී යනවා විතරක් නෙවෙයි, එයින් අපේ ජීවිතය මෙන් ම සෞඛ්‍යයත් ඒ ක්‍රමයම අනුගමනය කරන්නට පටන් ගන්නවා.

ක්‍රීඩාවක් සඳහා හෝ විෂයයක දක්‍ෂයෙක් වෙන්නට නම් එ් සඳහා දිනපතා පුරුදු පුහුණු වෙන්නට ඕන. අපි ඒ වගේ දේට කාලය යොදවන්නේ පැය කිහිපයක් වුණාට ගතවෙන හැම තත්පරයකදීම සෘණාත්මක  විධියට හිතමින් කාලය ගත කළාම අපි ඇත්තටම දක්‍ෂයෙක් වෙන්නේ “සෘණාත්මක ව සිතීම” කියන විෂයේයි. ඉතින් ඒ අඳුරු යුගයට තිත තියලා, තිත තියන්න හදන පෑනේ තීන්ත නැත්නම් අඟුරු කෑල්ලක් හරි හොයාගෙන තිතක් තියලා, ආලෝකය කරා මංපෙත් පාදගන්න දැන් කාලය හරි. ඔන්න දැන්නම් හිතන්න එපා, මට එහෙම කරගන්න පුළුවන් වෙයිද දන්නෑ කියලා.

ඔබ සෘණාත්මකද කියලා සොයාගන්නේ මෙහෙමයි

(investors.com)

(investors.com)

බොහෝ දෙනෙක් දන්නෙම නැතුව නැහැ, බැහැ කියලා හිතන්නට යොමු වෙලා තිබුණත් තමන් සෘණාත්මක  සිතුවිලි තිබෙන කෙනෙක් කියලා පිළිගන්න කැමති නැහැ. ඒකට කියන්නෙත් ‘නැහැ’ කියලාම තමයි. හැබැයි අපි හිතනවා ඔබට මිණුම් දණ්ඩක් දුන්නොත් ඔබවම තේරුම් ගන්නට පහසු වෙයි කියලා.

සෘණාත්මක  අය,

  • හැමවිටම කුමක් හෝ ගැන මැසිවිලි නගනවා.
  • ලෝකෙ තියෙන වැරදි ගැන හොයනවා මිසක් තිබෙන හරි දේවල් සොයන්නේ නැහැ.
  • හැම දෙයක් ම විවේචනය කරනවා මිසක් හදාගන්න ක්‍රමය පෙන්වා දෙන්නේ නැහැ.
  • තමන්ගේ ජීවිතයේ ලැබෙන ප්‍රතිඵල වෙනස් කරගන්නට පුළුවන් කියා හිතන්නේ නැහැ.
  • ජීවිතයේ සතුටක් ලබන්නට නම් මේ මේ වෙනස්කම් කරගන්න ඕන, එහෙත් මට එහෙම බැහැ කියලා හිතනවා.

ඔබ ඔබව දකින හැටි වෙනස් කරගන්න

(scoopwhoop.com)

(scoopwhoop.com)

අනිත් අය ඔබ ගැන සිතන නානාප්‍රකාර දේවල් වලට කලින් මුලින්ම ඔබ කල්පනාකාරී වෙන්නට ඕනෙ ඔබ ඔබව හඳුන්වා දෙන්නේ මොන ක්‍රමයට ද කියලා. ඇත්තට ම අපි විඳින සතුටට, සාර්ථකත්වයට සහ අනිත් අය අපි හිතන දේවල් වලට හේතු වෙන්නේ අපි අපිව අර්ථකථනය කරගන්නා ආකාරය අනුව යි.

ඔබ අද, මේ මොහෙත වෙනකම් කවුරුන් වෙලා හිටියත් මින් පස්සේ ඔබ ජීවිතය ගැන අළුතින් හිතන්න පටන් ගන්න. ඔබ ළඟ තිබෙන දේවල් එකින් එක බලලා, ඒවා නැති අය ඒ දේවල් ලබාගන්න දුක් වෙන හැටි ගැන හිතන්න. ඔබ අඟුරු කැබැල්ලකින් තිතක් තබද්දී අතේ තිබෙන කෝටුව දල්වා ගන්න ගින්දර නැතිව හිතේ ගින්දරෙන් ඉන්න අය බොහොමයි කියලා හිතන්න.

එවිට ඔබට දැනේවි, ඔබත් යමක් කමක් තිබෙන කෙනෙක් කියලා. ඉන් ගොඩනැගෙන පෞරුෂය වැරදි දෙයක් කරන්නට යද්දි, යම් දෙයක් අපහසුයි කියලා හැඟෙද්දී ඔබට පෙන්වා දේවි මම මේ විධියේ කෙනෙක් නම්, මට මේ දේවල් සුදුසු නැහැ. මට මේ දේට මුහුණ දෙන්නට පුළුවන් මොකද මට මෙතරම් හැකියාවන් ප්‍රමාණයක් තිබෙනවා කියලා. අන්න ඊට ළඟා වෙන්නට නම් ඔබ ඔබට ම ආදරය කරන්න, ගෞරව කරන්න සහ ධෛර්යය ලබා දෙන්නට ඕන. ඔබ ඒ දේවල් වලින් සන්නද්ධ වුණා ම අවට ඉන්නා අයටත්, තියෙන ප්‍රශ්ණවලටත් ඒවා ශක්තියක් සහ විසඳුමක් බවට පත්ව නැගී සිටීවි. මේ දේවල් වෙනත් වෙලාවට සෘණාත්මක ව සිතමින් ඉන්නවා වගේ පුරුදු පුහුණු කරන්න. එතකොට ඉබේ ම ඒවා ජීවිතයේ කොටසක් වේවි.

ඉතින් ඔබ මේ විධිය ඔබටම ගොඩනගා දෙන ධනාත්මක ප්‍රතිරූපයක් එක්ක ඔබේ සැඟවී තිබුණු, ඔබ ගණන් නොගත් හැකියාවන් අවධි වීමෙන් ජීවිතයේ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට මුහුණ නෙවෙයි, මුළු ඇඟ ම දෙන්න තරම් ඔබ සූදානම් කෙනෙක් බවට පත් වෙනවා.

ඔබේ තීරණ වෙනුවෙන් ඔබ ම නැගී සිටින්න

(2.bp.blogspot.com)

(2.bp.blogspot.com)

අපි බොහෝදෙනෙක්ට අපි ගන්නා තීරණ ගැන විශ්වාසයක් නැහැ. ඊට වැඩිපුරම හේතුව වෙන්නේ අපි මේ වෙනතෙක් ගත්තු තීරණ වලින් කිසිම හොඳක් සිදුනොවුණු නිසායි. හැබැයි, ඒ එහෙම වෙන්නේ අපි ඒ තීරණ එක්කෝ අරගෙන තිබෙන්නේ දෙගිඩියාවෙන්. එහෙමත් නැත්නම් හිතුමනාපෙට. මේ දෙවිධියෙන්ම ගන්නා තීන්දු තීරණ කවදාවත් හරි මඟකට අපිව ගෙන යන්නේ නැහැ. ඒත්, ඔබ දැන් ඔබට ආදරය කරන, අනිත් අය ගැන ඒ වගේ ම නැවතිල්ලේ හිතන, ගෞරවණීය පුද්ගලයෙක්. ඉතින් දැන් ගන්නා තීරණ කවදාවත් ම වරදින්නේ නැහැ.

කාර්යාලයේ තීරණයක් වුවත්, ගෙදර හෝ කිසියම් ජීවිතය සම්බන්ධ වැදගත් දෙයක් වුවත් ඔබ දැන් ගොඩනගාගෙන තිබෙන නව පෞරුෂය නිසා ඔබ සවිමත් සහ වඩාත් ආරක්‍ෂිත බවක් හැඟේවි. සෘජුව තීරණ ගන්නා කෙනෙක් වුණාම ඔබේ සිහින සැබෑ කරගන්නට වෙර දරන සජීවි කෙනෙක් බවට ඔබව පත්වීම නිතැතින්ම සිදුවෙනවා.

පරාජය බියවිය යුතු දෙයක් නෙවෙයි, අත්දැකීමක්

(hushmoneyclothing.com)

(hushmoneyclothing.com)

අපි පොඩි කාලේ හරියට ඇවිද ගන්න බැරුව කොයි තරම් වැටිලා, තැලීම් සිදුවෙලා තුවාල වෙලා සහ දැඟලිල්ල වැඩියි කියලා වැඩිහිටියන්ගෙන් බැණුම් අහලා ඇත්ද? ඒත් අපි අම්මෝ ඇවිදින එක භයානක වැඩක්, ඒක කළා ම වැටෙනවා කියලා හිතමින් හිටියා නම් කවදාවත් පොළොවෙ පයගහලා ඉන්නට බැරි වෙනවා.

ඒ, අපි නොදැනුවත්ව ධනාත්මකව හිතපු අවස්ථාවක්. ඔබ ඔබට වැදගත් කෙනෙක් සහ ඔබ ඔබේ හැකියාවන් අගයන කෙනෙක් විධියට පරාජය කියන්නේ තවදුරටත් භයංකර දෙයක් නෙවෙයි. ඔබ මහන්සිවෙලා කරගෙන ගියපු දෙයක් එක්වරම අසාර්ථක වුණොත්, අසාර්ථක වුණේ ඇයි කියලා හිතලා බලන්න. නැගපු පුවක් ගහේ තිබෙන්නේ දෙබලක් නම් කරන්නට ඕනේ ආයෙත් බහින එක නෙවෙයි, ඒ දෙබලෙන් වාඩි වෙලා වටේ තියෙන අනිත් පුවක් ගස් ගැන විපරම් කරන එකයි. ඒ වගේ ම මුහුදේ ඉන්නේ එක මාළුවයි, නොලැබුණාට ඌට විතරයි කැමති කියලා සීමා වෙන්නේ නැතිව විවෘත මනසකින් හිතන්න. මුහුදේ විතරක් නෙවෙයි ගෙදර මාළු ටැංකියෙත් ලස්සන මාළු ඉන්නට පුළුවන්. මොකද, දිනපතා දකින කුකුළාගෙ කරමලය සුදු නිසා ගෙදර ළඟ ම තිබිලාත් ඔබට එය හසු නොවී තිබෙනවා වන්නට පුළුවන්.

එක එක කෙනා කියන දේවල් කරන්න යන්න එපා

(wikimedia.org)

(wikimedia.org)

“ඔබ කවුරුන්දැයි නිවැරදිව හඳුනාගන්නට නම් අනිත් අයගේ පදයට යටත් වීමෙන් ඔබව මුදවා ගන්න” – මහත්මා ගාන්ධි

අහලා තියෙනවාද “අන්තර්ජාලයේ තිබෙන හැමදේම විශ්වාස කරන්න එපා” කියලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියලා තිබෙන බව? ඒ නිසා ඔබ අහන දකින හැම දේ ම ඒ හැටියෙන් ම විශ්වාස කළ යුතු නැහැ. මොකද, ඔබට යමක් සිතා විශ්ලේෂණය කරන්නට අයිතියක් වගේම බුද්ධියක් තිබෙනවා.

“බූරුවා, පියා සහ පුතා” කථාවෙ වගේ අනිත් අයට ඕනෑ හැටියට ම දේවල් කරන්නට ගියොත් කිසිම දෙයක් කරගන්නට බැරි වෙනවා. හැබැයි, ඒ අය කියන දේට ඇහුම්කන් දෙන්න. මොකද, ඇතැම් විට ඔබ නොදකින පැත්තක් ඔවුන්ට පෙනෙනවා වෙන්නට පුළුවන්. ඉතින් ඒවා ගැන හොඳින් කල්පනා කරලා හොඳ තීරණයක් ගන්න. ඒත් කළයුතු නොවන්නේ, විවිධ අය ලබාදෙන විකල්ප වලට හිරවෙලා ඒවා අතර දෝලනය වෙමින් සිටීමයි.

මෙහෙම කරන්න: හා කියන්න, හිනා වෙලා ඔළුව වනන්න, නිවැරදි දේ කරන්න. මොකද, බුද්ධියෙන් පහසුවෙන් විසඳිය හැකි දේවල් කථාවට ගිහින් පරුෂවචන දක්වා ගෙන ගිහින් තවත් නරක තත්වයට පත්කරගත යුතු නැහැ.

“ඔබ කවුරුන්දැයි නිවැරදිව හඳුනාගන්නට නම් අනිත් අයගේ පදයට යටත් වීමෙන් ඔබව මුදවා ගන්න” මහත්මා ගාන්ධි පවසනවා.

මේ ජීවිතය ජයගන්න ඉතා ම සුළු උපදෙසක් විතරයි. මීට වඩා තවත් බොහෝ දේවල් තිබෙනවා කරන්න. ඒත් බැහැ කියලා අතහරිනවාට වඩා චුට්ටකින් හරි පටන්ගන්නට ඔබට උපකාර වීමයි Roar අපේ උත්සාහය. තවත් බොහෝ දේවල් ඔබට ඉදිරියට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍ර: දියුණුවේ රන් දොරටුව – දයා රෝහණ අතුකෝරළ, entrepreneur.com, forbes.com,

කවරයේ පින්තුරය: addiction.com

Related Articles