Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරපිරිමැස්මෙන් පොහොසත් ගෘහනියක් වෙන්නේ කොහොමද?

ගෘහනියක් කියන්නෙ නිවසක රැජින යි කියලා කියමනක් තියෙනවනේ. ඉතින්, සාර්ථක ගෘහනියකට නිවසේ ගේදොර වටපිටාව පමණක් නෙවෙයි, මිල  මුදල් ද නිසි ලෙස පරිපාලනය කිරීමෙන් නොහොත්; සාර්ථකව නිවසේ මුදල් කළමනාකරණය තුළින් මුළු පවුලම සාර්ථකත්වය කරා ගෙන යා හැකි බව ඔබ දැන සිටියා ද?

අපි අද ඔබට කියන්නේ; දක්ෂ නීතිවේදිනියක් මෙන්ම පෙරපාසල් ගුරුවරියක්, මවක් මෙන්ම කුසලතාපුර්ණ ගෘහණියක ද වන මධුවන්ති සුමනවීර මහත්මිය මුදල් කළමනාකරණය පිළිබඳ අප හා බෙදාගත් වටිනා අදහස් රැසක් ගැන යි. 

කොහොමද අදායම්-වියදම් කළමනාකරණය කරගන්නෙ?

මම මගේ වියදම්වලට පුංචි පොතක් තියාගෙන ඉන්නවා. මුලින්ම කරන්නේ මගේ අදායම් සියල්ල පොතේ එක් පැත්තක ලියා ගන්නවා. මට තියෙන්නෙ අමතර පන්තිවලින් ලැබෙන මුදල යි, මගේ සැමියාගෙන් මාසේ වියදමට ලැබෙන මුදල යි. ඉතින් ඒවා එක් පැත්තක සටහන් කර ගන්නවා. මීට අමතරව තවත් පුංචි අදායම් තියෙන්නට පුළුවන්. නිදසුන් විදියට; මාසික අදායම, නිවාස කුලී, අමතර අර්ධ කාලීන ව්‍යාපෘතිවලින් ලැබෙන අදායම, මල්පැල, පුංචි බඩු භාණ්ඩ විකිණීම, ඇඳුම් මැසීම වැනි ස්වයං රැකියාවලින් ලබන අදායම් ආදිය ගන්න පුළුවන්.

දැන් අනෙක් පැත්තේ ඔබ කරන සියලුම වියදම් සටහන් කරගන්න ඕනි. මේ ක්‍රමවේදය දෙදෙනා එකතුව කරන වියදම් කළමනා කිරීමට ද යොදාගන්නට පුළුවන්. මෙලස වියදම් සටහන් කිරීමේ දී ඒවා වර්ගීකරණය කිරීමෙන් මේ කටයුත්ත තවත් පහසු වනවා.

වියදම් මෙන්න මේ විදියට වෙන් කරගන්න- The Economics Time

දරුවන්ගේ වියදම්

පාසැල් වියදම්, අමතර පන්ති වියදම් ආදීය මෙහි දී සඳහන් කරගන්න පුළුවන්.

මාසික බිල්පත් සහ වාරික

ගෙදර දොරේ ජාල විදුලි බිල්පත්, ප්‍රවාහන වියදම්, සෞඛ්‍ය හා ඖෂධ වියදම්, ණය හා රක්ෂණ වාරික ආදී වශයෙන් සිදුවන වියදම් යනාදිය මාසික වියදම් වන අතර අපි මුලින්ම මේවට මාසිකව වැය වන මුදල පිළිබඳ සාමාන්‍ය අදහසක් ගන්නට මුල් මාසයේ මෙය අභ්‍යාසයක් විදියට හුරු වෙන්න වෙනවා.

මෙහි දී සඳහන් කළ බොහෝ වියදම් මසකට එක් වරක් කරන වියදම් වන අතර ඔබ සැලකිල්ලෙන් කළමනාකරණය කළ යුතු වියදම වන්නේ, ආහාර පාන සඳහා කරන වියදම යි.

ආහාර පාන සඳහා වියදම් පරිපාලනය

ආහාර පාන සඳහා කරන වියදම ද වර්ගීකරණය කිරීම ඉතා සුදුසු යි. මෙය මාස්පතා, සතිපතා සහ දිනපතා කරන වියදම් ලෙස වර්ග කළ හැකියි.

මාස්පතා මිල දී ගන්නා ආහාර

කිරිපිටි, පරිප්පු, සහල්, පිටි සැමන් ටින්, තෙල්, ජෑම් කිරිපිටි වැනි ආහාර ද්‍රව්‍ය මසකට වරක් ගන්නා ඒවා යටතට අයත් වෙනවා. නිදසුන් ලෙස; මසකට මේවා පැකට් හෝ කිලෝ කියක් අවශ්‍ය වේ ද යන්න ඔබ සොයා බැලිය යුතු යි. මේ අතර අනපේක්ෂිත ආගන්තුක සත්කාර ආදිය සඳහා සීනි, තේ කොළ, කිරිපිටි වැනි දෑ අවශ්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් නිවසේ තබාගැනීම නුවනට හුරු යි.

සතිපතා සහ දිනපතා මිල දී ගන්නා ආහාර

එළවළු, මස්-මාළු ආදිය සතිපතා මිල දී ගන්නා ආහාර අතරට එකතු වෙනවා. මේ අතර පාන් ඇතුළු අනෙකුත් බේකරි ආහාර වැනි එදිනෙදා මිල දී ගන්නා දේවල්, දිනපතා වියදම් යටතට යි වැටෙන්නේ.

අනෙකුත් වියදම්

මේ සඳහා මසකට යම් මුදලක් වෙන් කර තැබිය යුතු වෙනවා. බස් ගාස්තු, තෑගී-බෝග, ධාන-මාන සහ අනෙකුත් පුණ්‍ය ක්‍රියා සඳහා වන වියදම් ආදිය සඳහා මාසික අදායමෙන් යම් මුදලක් වෙන් කර තැබුවාට වරදක් නෑ තම තමන්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවය මත.

මෙම ලැයිස්තුවේ ඉතිරි කිරීම් සහ අනාගත ආයෝජනත්, එමෙන්ම වියදම් යටතේ ඇඳුම් ආයිත්තම්, රුපලාවන්‍ය කටයුතු ආදිය සඳහා යන මුදල් සටහන් කරන තීරුවක් ද තබා ගන්නටත් අමතක කරන්න එපා. 

ගෙදර ආදායම් සහ වියදම් කළමනාකරණය කිරීම

අදායම්, වියදම් අකුරටම සැලසුම් කරගන්න- US News Money

මුළුතැන්ගෙයි වියදම්

ගෙදර ඉවුම්-පිහුම්, කෑම බීමවලින් උපයන මුදලින් ලොකු ප්‍රමාණයක් වියදම් කිරීම හෝ ඉතිරි කිරීම තීරණය වනවා. ඔබේ දෛනික ආහාර රටාව ගැන අදහසක් ඇති කරගැනීම මුදල් කළමනාකරණය කිරීමට පමණක් නොවෙයි, සෞඛ්‍ය තත්ත්වය රැකගැනීමට ද ඉතා යෝග්‍ය යි. සාමාන්‍යයෙන් ගන්නා උදැසන ආහාර, දවල් සහ රාත්‍රී ආහාර ගැන සතිපතා සටහනක් තබා ගැනීමෙන් කල් තියාම අවශ්‍ය සතිපතා හා දිනපතා කළමනා ලැයිස්තුව ද නිරායාසයෙන්ම ඔබට පිළියෙල කරගන්න පුළුවන් පහසුවෙන්ම.

උදෑසන ආහාරය

බහුලව සහ පහසුවෙන් පිළියෙල කරගත හැකි උදැසන ආහාර ලයිතුවක් ලියා තබාගන්න. ධාන්‍ය වර්ග, කිරිබත්, ඉඹුල් කිරිබත්, පිට්ටු, ඉඳි ආප්ප ආදිය එවන් උදෑසන ආහාරවලින් කිහිපයක්.

දිවා ආහාරය

අප බොහෝ දෙනෙක්ට දිවා ආහාරය බොහෝ විට බත් සහ මාළු පිණි වනවා. මධුවන්ති මහත්මිය පවසන්නේ; ඇය දිනපතා බතට මාළු හෝ බිත්තර හෝ මස් වර්ගයක් හෝ කරවල/හාල් මැස්සෝ ව්‍යාංජනයකට අමතරව සාදා ගන්නේ එක් එළවළුවක් සහ පලා වර්ගයක් හෝ සලාදයක් බව යි. තවද, සතියකට වරක් සාදාගන්න කරවල, බටු වැනි යම් බැදුමක් නිතර පිළියෙල කොට තබාගැනීම නිසා ඇයට මුදල් පමණක් නොව, කාලය ද ඉතිරි කරගන්නට එය උපකාරී වනවා.

හැකි තරම් ඔබේ ගෙවත්තේ වගා කරන ආහාර පිළියෙල කරන්නට උත්සාහ කරන්න. මධුවන්ති මහත්මිය පවසන්නේ; ඇගේ ගෙවත්තෙන් කොස්, දෙල්, කෙහෙල් මුව, කොහිල, දඹල වැනි එළවළු නිරන්තරයෙන්ම දෛනික ආහාරයට එකතු වන බව යි.

රාත්‍රී ආහාරය

ඉඳි ආප්ප, ආප්ප, රොටි, පිට්ටු, නුඩ්ල්ස්, පැස්ටා වර්ග හදාගෙන කන්න හෝ පිටින් ආහාර ගැනීම තමයි බොහෝ විට අපි හුරු වෙලා තියෙන්නේ. මේවා සටහන් කර ගැනීමෙන් සතිපතා ආහාරවලට යන මුදල ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඔබට පහසුවෙන්ම හැකි වෙනවා. 

දැන් මේ විධිමත් ගණනය කිරීම තුළින් ඔබේ ආදායම් සහ වියදම් ගැන ඔබට හොඳ අවබෝධයක් ඇති වන්නට ඇති. අදායමට වඩා වියදම් අඩු නම්, එය හොඳ සලකුණක්. මෙසේ ඉතිරි වන වැඩිපුර මුදල තෝරාගත් දිනක විශේෂ යමක් කිරීම සඳහා වෙන් කරගන්න ඔබට පුළුවන්.

නමුත් අදායමට වඩා වියදම් වැඩි නම්, එය ඔබේ අවධානය යොමු කළ යුතු කරුණක් වනවා.

ආදායමට වඩා වියදම් වැඩි නම් ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

  • Credit Card නොහොත් ණයපත් පාවිච්චි කිරීමෙන් වළකින්න.
  • පිටින් කෑම ගැනීම මසකට වරක් පමණක් සිදුකරන තැනට අවම කරගන්න.
  • සති අන්තයේ පවුලේ සැමට නිවසේ දී ම විශේෂ ආහාරයක් පිළියෙල කරන්න.
  • විශාල ප්‍රමාණවලින් අඩු මුදලට ආහාර ද්‍රව්‍ය මිල දී ගන්න. විශේෂ වට්ටම් පාවිච්චි කරන්න. (මධුවන්ති මහත්මිය මාළු ලෙල්ලමට ගොස් අඩු මුදලට සතියට අවශ්‍ය මාළු වර්ග දෙකක් පමණ මිලදී ගැනීම ඊට නිදසුනක්.)
  • සතියට මිල දී ගැනීමේ දී ප්‍රමාණයට වඩා මිල දී ගන්න එපා. (නිදසුනක් ලෙස; සතියක් වෙනුවෙන් ගත් මාළු කලින් ඉවර වුණා නම්, ඊළඟ සතිය වන තුරු බිත්තර, කරවල වැනි දෙයක් ආදේශ කරගන්න.)
  • රූපලාවන්‍යාගාරවලට යනවා වෙනුවට, ගෙදරදීම රුපලාවන්‍ය කටයුතු කරගන්න. එකවර වැඩ කිහිපයක් කරගන්න. 
  • විදුලිය, ජලය, දුරකතනය ආදිය කල්පනාකාරීව, අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්න.

ඉතින් ඔබේ වියදමේ පැහැදිලි වෙනසක් ඇති කරගෙන හොඳ මුදලක් ඉතිරි කරගන්නට මේ ක්‍රමයට පුළුවන් වන බවට, අපි ඔබට සහතික වෙනවා. ආදායම ලද වහාම හදිසි අවස්ථාවකට පාවිච්චි කරන්නට විශේෂ කැටයකට යම් මුදලක් දමන්නටත් අමතක කරන්න එපා!

මේ අගනා ලිපිය ඔබ වෙත ගෙන ආවේ TheAsianparent Sri Lanka වෙතිනි.

කවරයේ පින්තූරය: Run The Money

Related Articles