Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංස්කරණයේ විස්මයෙන් බිහිවුණු ‘හයිබ්‍රිඩ් චිත්‍රපට’

ඔබ දන්නවා ද Hollywoodහි ප්‍රථම පූර්ණ හයිබ්‍රිඩ් (Live Action/Animation) සිනමාපටය අධ්‍යක්ෂණය කළේ සුප්‍රසිද්ධ “Back to the Future” සිනමාපට පෙළේ අධ්‍යක්ෂකවරයා ම බව? ඔබ හයිබ්‍රිඩ් සිනමාපට ගැන අසා තිබුණා ද? මේ ලිපිය ඔබ බොහෝ දෙනෙක් නොදත් එම සිනමාපට විශේෂය ගැන යි. 

මොනව ද මේ හයිබ්‍රිඩ් සිනමාපට?

හයිබ්‍රිඩ් සිනමාපට යනු සජීවී රංගන චිත්‍රපට (live-action) හා සජීවීකරණ චිත්‍රපට (animated) යන දෙපාර්ශවයේ මුසුවකි. බොහෝ දුරට මෙම චිත්‍රපටවල සජීවී රංගන ශිල්පීන් හා සජීවීකරණය කළ කාටුන් චරිත එක ම පසුතලයක හැසිරෙනු දැකගත හැකි යි. මෙහිදී අවධානය යොමු කළ යුතු එක් කරුණක් වෙයි. එනම්, අප හොඳින් ම දන්නා පරිදි “Jurassic Park” වැනි සිනමාපටවල සජීවී රංගන ශිල්පීන් සමඟ සිටින ඩයිනෝසරයන් සජීවීකරණයට (animated) ලක්කොට තිබුණ ද, ඔවුන් සැබෑ ලෝකයට වඩාත් සමීප වන පරිදි නිර්මාණය කොට ඇති බවයි ඒ.

මෙම ලිපියේ සාකච්ඡාවට බඳුන් වන හයිබ්‍රිඩ් සිනමාපටවල සජීවීකරණය කළ චරිත සියල්ල ම කාටුන් චරිත ලෙස පැහැදිලි ව වෙන්කොට හඳුනා ගත හැකි ලෙස නිර්මාණය කළ අය ගැන ය. 

හයිබ්‍රිඩ් සිනමාපටවල මූල බීජය

වර්තමානයේ සුප්‍රසිද්ධ The Walt Disney සමාගමේ නිර්මාතෘ වන වෝල්ට් ඩිස්නි එම සමාගම නිර්මාණය කිරීමට පෙර Laugh-O-Gram යනුවෙන් කුඩා සජීවීකරණ චිත්‍රාගාරයක් (Animation Studio) පවත්වාගෙන යන අවධියේ අත්හදාබැලීමක් ලෙස “Alice Comedies” හයිබ්‍රිඩ් කෙටි චිත්‍රපට පෙළට අඩිතාලම දැමී ය.

‘ඇලිස්ගේ විස්මලන්තය’ ළමා කතාව ඇසුරින් නිමැවුණු එහිදී ඇලිස් ලෙස කුඩා දැරිවියක් රඟපෑ අතර අනෙකුත් පසුතල හා චරිත සජීවීකරණයට ලක් කළ ඒවා විය. එමගින් ඩිස්නි බලාපොරොත්තු වූයේ ඇලිස් පිවිසෙන  කාටුන් ලොව සැබෑ ලෝකයෙන් වෙන්කර ඉස්මතු කර දැක්වීමට ය. පසුව වෙනත් නිෂ්පාදකවරයකු යටතේ Disney Brothers Studio ඉදිරිපත් කිරීමක් ලෙස මෙම කෙටි චිත්‍රපට පෙළ නිර්මාණය වූ අතර එම චිත්‍රපට යම් ජනප්‍රියත්වයක් අත්කරගැනීමට ද සමත් විය. 

“Alice Comedies” කෙටි චිත්‍රපටයක දර්ශනයක් – d23.com

 

Disney සිනමාපටවල හයිබ්‍රිඩ් දර්ශන

පසුකාලීන ව හොලිවුඩයේ සාර්ථක චිත්‍රාගාරයක් බවට පත්වූ පසු Walt Disney Animation Studio මගින් නිමැවුණු පූර්ණ කාලීන සජීවීකරණ කාටුන් චිත්‍රපට සඳහා අත්හදාබැලීමට සැබෑ රංගන ශිල්පීන්ගේ දර්ශන කාටුන් චරිත හා සුසංයෝග කරමින් ඇතුළත් කෙරිණි. “Saludos Amigos”, “The Three Caballeros” යන  චිත්‍රපටවල මෙවැනි දර්ශන අඩංගුව තිබිණි. ඩිස්නි ම නිෂ්පාදනය කළ “Song of the South” සහ “So Dear to My Heart” යන සජීවී රංගන චිත්‍රපටවල සජීවීකරණයට ලක් කළ දර්ශන තල ද ඇතුළත් විය. ප්‍

රේක්ෂක හා විචාරක යන දෙපාර්ශවයේ ම විශේෂ අවධානය යොමු වූ සජීවීකරණ දර්ශන පෙළක් ඇතුළත් වූයේ “Mary Poppins” සිනමාපටයේ ය. එහි ප්‍රධාන චරිත චිත්‍රයක් තුළට ඇතුළු වීමෙන් ඇරඹෙන මෙම සිදුවීම් දාමය බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ මනසේ රැඳිණි. මෙවැනි ම දර්ශන කිහිපයක් “Bedknobs and Broomsticks” සිනමාපටයට ද ඇතුළත් වුණු අතර “Pete’s Dragon” (1977) චිත්‍රපටය මෙම අත්හදාබැලීම් තවදුරටත් ඉදිරියට ගෙනයමින් එහි ප්‍රධාන චරිත සියල්ලට සැබෑ නළු නිළියන් එක්ර කර ගත් අතර මකරා පූර්ණ කාටුන් චරිතයක් විය.

(හයිබ්‍රිඩ් චිත්‍රපට සහ සජීවීකරණ චරිත අඩංගු අනෙක් සිනමාපට අතර වෙනස හඳුනාගැනීමට 1977 හා 2016 “Pete’s Dragon” චිත්‍රපට ද්විත්වය සන්සන්දනය කරන්න.) 

අවධානය දිනූ
අවධානය දිනූ “Mary Poppins” චිත්‍රපටයේ සජීවීකරණ දර්ශනය – eonline.com

 

හයිබ්‍රිඩ් සිනමා කලාවේ පෙරළිය – “Who Framed Roger Rabbit”

1988 වසරේ තිරගත වූ “Who Framed Roger Rabbit” චිත්‍රපටය එම වසරේ දී ප්‍රේක්ෂකයන් අතිශය විස්මයට පත්කළ සිනමා පටයක් විය. මීට පෙර සඳහන් කළ චිත්‍රපට මෙන් දර්ශන කිහිපයක පමණක් නොව මුළු සිනමා පටය පුරා ම කාටුන් චරිත හා සැබෑ චරිත අතර ගනුදෙනු සිදුවුණු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත පමණක් නොව අමතර චරිත හා⁣ පසුබිම් චරිත රැසක් කාටුන් චරිත විය.

ඒ බොහෝ චරිත ද නව චරිත නොව ඒ දක්වා අමෙරිකානු සජීවීකරණ කර්මාන්තයේ නිමැවුණු කාටුන් චරිත විය. Walt Disney ආයතනය යටතේ වූ Touchstone Pictures ලේබලය යටතේ මෙම සිනමා පටය ඉදිරිපත් කෙරුණ ද එකල රජැයූ අනෙකුත් සජීවීකරණ චිත්‍රාගාරවල කාටුන් චරිත ද එයට ඇතුළත් ව තිබීම බෙහෝ දෙනාගේ අවධානයට ලක් විය. මෙවැනි සිනමා පටයක සාර්ථකත්වය සඳහා ඍජුව ම බලපාන සංස්කරණයේ සාර්ථකත්වය නිසා ම හොඳ ම සංස්කරණය සඳහා වන Oscar සම්මානය මෙම සිනමාපටයට හිමි විණි. 

“Who Framed Roger Rabbit” චිත්‍රපටයේ දර්ශනයක් – d23.com

 

“Who Framed Roger Rabbit” හා බැඳි කතන්දර කිහිපයක් 

1) මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය වන Roger Rabbitගේ චරිතය එකල ජනප්‍රිය ව සිටි කාටුන් චරිත ගණනාවක සංකලනයකි.

2) ළමයින්ගේ ආකර්ෂණය දිනාගත් කාටුන් චරිත ගණනාවක් සිටි හෙයින් ම ළමයින් ආකර්ෂණය වන අයුරින් මෙම සිනමාපටය පිළිබඳ විස්තර ප්‍රචාරය කෙරුණ ද  මෙහි අඩංගු වූ ඇතැම් දර්ශන නිසා ළමයින්ට සුදුසු චිත්‍රපටයක් ලෙස මෙය නොසැලකිණි.

3) මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කළේ Robert Zemeckis වන අතර ඔහු අධ්‍යක්ෂණය කළ ඓතිහාසික සිනමාපට වන “Back to the Future”, “Forrest Gump”, “Contact”, “Cast Away” අතරට මෙම සිනමාපටය ද ඇතුළත් වෙයි. “The Polar Express”, “A Christmas Carol” මෙන් ම ඉදිරියේ දී පැමිණීමට නියමිත Disney “Pinocchio” සජීවී රංගන චිත්‍රපටය ද ඔහුගේ අධ්‍යක්ෂණ වෙයි.

4) The Walt Disney සමාගමේ හා ඔවුන්ගේ විරුද්ධවාදී සමාගම වන Warner Brothers ආයතනයේ චරිත එක ම පසුතලයක දැකිය හැකි එක ම සිනමාපටය වන්නේ ද මෙය යි. Mickey Mouse හා Bugs Bunny, Donald Duck සහ Daffy Duck එලෙස එයට ඇතුළත් වූ චරිත වෙයි.

5) මෙම චිත්‍රපටය රූගත කෙරෙන අවස්ථාවේ දී කාටුන් චරිතවලට අදාළ හිස්තැන් පිරවීම සඳහා රොබෝ යන්ත්‍ර හා රූකඩ භාවිත කර ඇත. 

Warner Brothers සමාගමේ හයිබ්‍රිඩ් චිත්‍රපට පෙළ

විචාරක අවධානයට පාත්‍ර වූ “Who Framed Roger Rabbit” චිත්‍රපටය ආදායම් වාර්තා තැබීමට සමත් වූ නිසා ම Warner Brothers සමාගම හයිබ්‍රිඩ් චිත්‍රපට කිහිපයක් ම නිෂ්පාදනය කරන්නට විය. ඒ අනුව, 1996 වසරේ දී Warner Brothers සමාගමට අයත් Looney Tunes කාටුන් චරිත අඩංගු කරමින් “Space Jam” චිත්‍රපටය තිරගත විය.

ප්‍රවීණ පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් එනමින් ම පෙනී සිටි මෙම චිත්‍රපටය ද වාණිජමය සාර්ථකත්වයක් අත්කරගැනීමට සමත් විය. පසුව 2003 වසරේ දී තිරගත කළ “Looney Tunes: Back in Action” චිත්‍රපටය ද, 1996 චිත්‍රපටයේ ම දිගුවක් ලෙස 2021 වසරේ නිකුත් වූ පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස් රඟපෑ “Space Jam: A New Legacy” චිත්‍රපටය ද Warner Brothers සමාගමේ නිෂ්පාදන විය. 2021 වසරේ “Tom and Jerry: The Movie” සිනමාපටය ද මෙවැනි ම වූ හයිබ්‍රිඩ් චිත්‍රපටයකි. 

“Space Jam” චිත්‍රපටයේ දර්ශනයක් – rogerebert.com

 

හයිබ්‍රිඩ් චිත්‍රපටවල නව මානය – “Chip ‘n Dale: Rescue Rangers”

“Who Framed Roger Rabbit” නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව හයිබ්‍රිඩ් සිනමාපටවලින් දිගු කාලයක් ඈත් වූ The Walt Disney සමාගම 2022 වසරේ දී තම Streaming සේවාව වන Disney+ හරහා වෙනස් මානයක හයිබ්‍රිඩ් සිනමාපටයක් නිකුත් කරන්නට විය. ඒ, “Chip ‘n Dale: Rescue Rangers” චිත්‍රපටයයි. පළමු වතාවට 2D, 3D, Stop motion, Motion capture යනාදී වූ විවිධ සජීවීකරණ මාධ්‍යයන්ගේ චරිත එකවර අඩංගු වූ මෙම චිත්‍රපටයට රූකඩ වර්ග වන Muppets, Sock puppets යන අංශවල චරිත ද සැබෑ ලෝකයේ චරිත ලෙස අඩංගු විය.

සජීවීකරණ කාටුන් චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවන්ට අමතර ව පරිගණක ක්‍රීඩා ඇසුරින් හමු වන සජීවීකරණ චරිත මෙන් ම, 21වන සියවසේ මුල් දශකයේ හමුවන අසාර්ථක වර්ගයේ 3D සජීවීකරණ චරිත ද අඩංගු විය. අමෙරිකානු සජීවීකරණ කර්මාන්තයේ සමස්ත ඉතිහාසය එක් සිනමා පටයකට ගෙනා අවස්ථාවක් ලෙස සැලකෙන මෙම චිත්‍රපටය “Who Framed Roger Rabbit” චිත්‍රපටයට පසු විවිධ චිත්‍රාගාරවල චරිත එකවර ගෙනහැර පෑ චිත්‍රපටය ද වෙයි. 

“Chip ‘n Dale : Rescue Rangers” චිත්‍රපටයේ සජීවීකරණ චරිත වර්ග තුනක චරිත තුනක් – wizarddojo.com

 

“Chip ‘n Dale: Rescue Rangers” හා බැඳි කතන්දර කිහිපයක් 

1) “Chip ‘n Dale: Rescue Rangers” යනු 1989 වසරේ දී Disney Channel නාළිකාවේ විකාශය වූ ළමා කාටුන් කතා පෙළකි. මෙම චිත්‍රපටය, එම කතා පෙළෙහි නැවත ආගමනයක් ලෙස ඉදිරිපත් කෙරුණු අතර එම කතා පෙළෙහි චරිත මෙම චිත්‍රපටයේ රංගන ශිල්පීන් බවට ද පත්විය.

2) 2020 වසරේ නිකුත් වූ “Sonic the Hedgehog” චිත්‍රපටයේ මුල් ම පූර්ව ප්‍රචාරක පටයේ අඩංගු වූ සොනික්ගේ හැඩරුව අධික ලෙස විවේචනයට හා අප්‍රසාදයට පත්වූ නිසා එම චිත්‍රපටය නිෂ්පාදනය කළ Paramount Pictures සමාගම සොනික්ගේ හැඩරුව වෙනස්කම්වලට භාජනය කොට චිත්‍රපටය නිකුත් කළේ ය. කෙසේ නමුත් සොනික්ගේ මුල් හැඩරුව ඇති චරිතය Ugly Sonic යන නමින් “Chip ‘n Dale: Rescue Rangers” චිත්‍රපටයේ විශේෂ චරිතයක් ලෙස ඇතුළත් කර තිබීම එහිදී බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

3) චිත්‍රපටයේ දුෂ්ටයා වන Sweet Pete නොහොත් වැඩිවියට පත් Peter Pan එලෙස දුෂ්ටයකු වීමට හේතුව ලෙස දක්වන්නේ කුඩා කාලයේ ළමා නළුවකු වී හිඳ වැඩිවියට පත් වීමෙන් අනතුරුව චිත්‍රාගාර මගින් ප්‍රතික්ෂේප කිරීම නිසා වැරදි ක්‍රියාවන්ට යොමුවීම නිසා බව යි. කෙසේ නමුත්, විචාරකයන් පවසන්නේ Disney “Peter Pan” (1953) චිත්‍රපටයේ පීටර් පෑන්ට හඬ කැවූ Bobby Driscoll ළමා නළුවාට ද අත්වූයේ මෙවන් ඉරණමක් බව යි.

කවරයේ ඡායාරූපය :- "Who Framed Roger Rabbit" චිත්‍රපටයේ දර්ශනයක් - matthewjex.wordpress.com

මූලාශ්‍ර :

'Walt Before Mickey' චිත්‍රපටය

d23.com

Related Articles