ඉන්දීය “පවුලේ ටෙලිකතා” සම්ප්‍රදායේ අහිතකර පැතිකඩ​

අසල්වැසි ඉන්දියාවෙන් අපේ කලාවට, සංස්කෘතියට සිදුවූ බලපෑම සුළුපටු නැති බව අපි දන්නවා. ඒ බලපෑම අද ඊයෙක සිට නොව, වසර දහස් ගණනක් තිස්සේ අපි අත්විඳිමින් සිටිනවා. එයින් අපේ කලාව පෝෂණය වුණා වගේම, ඇතැම් කලා නිර්මාණවල තිබූ අපගේ අනන්‍යතාවය දුර්වල වී ගිය අවස්ථාත් නැතුවා නොවෙයි. කොහොම නමුත් අසල්වැසි රාජ්‍යයන්වලින් රටක සංස්කෘතියට​ බොහෝ පැතිකඩයන් හරහා බලපෑම් ඇතිවීම සාමාන්‍ය කරුණක්. නමුත් පාලනයකින් තොරව ඒ දේවල් අප උකහාගැනීම හෝ ‍යටත්වීම තුළින් සිද්ධ වෙන්නේ අපෙ අනන්‍යතාවය අහිමි වී යාම පමණයි.

ශ්‍රී ලංකාවේ චිත්‍රපටි නිපදවෙන වාට වඩා ටෙලි නිර්මාණ බිහිවීමේ ප්‍රවණතාවය වැඩියි. මීට දශක දෙකකට පමණ පෙර අපේ ටෙලි නාට්‍ය කලාව තුළ සුවිශේෂී ලක්ෂණ කිහිපයක්ම තිබුණා. එකල ටෙලි නාට්‍ය බොහෝමයක් කොටස විස්සකට තිහකට පමණක් සීමා වුණා. ඒ වගේම ටෙලි නිර්මාණ පාදක වූ මාතෘකාවල ඉතා හොඳ විවිධත්වයක් තිබුණා. රංගනය සහ දෙබස්වල තිබුණෙත් අතිශය ස්වභාවික ගතියක්. නමුත් 2000 වසරෙන් ඇරඹුණු දශකයේ මැදභාගය පමණ වන විට අපේ ටෙලි නාට්‍ය කලාව යම් යම් වෙනස්වීම්වලට ලක් වෙන්න පටන් ගන්නවා. ටෙලි නාට්‍යවල ගුණාත්මකභාවය සහ පාදක වන මාතෘකාවල විවිධත්වය එන්න එන්නම අඩු වන අතරේ ටෙලි නාට්‍යයක කොටස් ගණන පමණක් වර්ධනය වෙන්න පටන්ගන්නවා. මේ වෙනසට අනුගත වීමට නොහැකි වූ හෝ අකමැති වූ ඇතැම් නිර්මාණකරුවන්, මේ නව ප්‍රවණතාවය හමුවේ කලාවෙන් ඈත් වෙන්නත් පටන් ගත්තා. මේ විපර්යාසවලට මූලිකව බලපෑ කාරණය ලෙස ශ්‍රී ලංකාවට කඩා වැදුණු ඉන්දියානු ටෙලිකතා රැල්ල අපට පැහැදිලිව හඳුන්වන්න පුළුවන්. බරපතලම කාරණය වන්නේ මෙම ඉන්දියානු ටෙලිකතා රැල්ල වාණිජකරණය සමගම ලංකාවට කඩා වැදීම යි. ඒ තරගකාරී වාණිජකරණය හමුවේ ලංකාවේ නිර්මාණකරුවාටත් පැවැත්ම උදෙසා සටන්වදින්නට සිදු වුණා. ශ්‍රී ලංකාවේ ටෙලිකතා සම්ප්‍රදාය රැක ගනිමින් මේ අභියෝගයට මුහුණ දෙනවා වෙනුවට, අපේ නිර්මාණකරුවන් බොහෝ විට කළේ ඉන්දියානු ටෙලිකතා සම්ප්‍රදාය අනුව සැකසූ දේශීය මොඩලයන් භාවිතා කරමින් මෙම අභියෝගයට මුහුණදීම යි. අවසානයේ දී මොකද වුණේ ?

ඉන්දීය පවුලේ ටෙලි කතා තුළ අහිතකර බලපෑම් බොහෝමයක් තිබෙනවා/indiatoday.in

ජීවිතය පිළිබඳව සෘණාත්මක​ ආකල්ප ඇති කිරීමේ අවදානම

ඉන්දියානු පවුලේ ටෙලිකතා රැල්ලෙන් දේශීය ටෙලි නාට්‍ය කලාවට සිදුවුණ බලපෑම ගැන කතා කිරීමට මත්තෙන්, ඉන්දියානු ටෙලිකතා සම්ප්‍රදායේ එන අහිතකර ලක්ෂණ කිහිපයක් සාකච්ඡා කිරීම වැදගත්.  මේ ටෙලිකතා මාලාවන් හරහා ජීවිතය පිළිබඳ අපට ලබා දෙන සෘණාත්මක ආකල්පයන් මෙහිදී විශේෂිතවම සැළකිය යුතු වෙනවා. ජීවිතයේ සතුට විඳිය හැකි වන්නේ අනන්ත වූ පුද්ගල බැඳීම් එක්ක ගැටෙමින් සහ දුක් විඳීමෙන් පමණක් බව එක දිගට ඒත්තු ගන්වන පසුබිමක් තමයි මේ ඉන්දියානු පවුලේ ටෙලිකතා තුළ බොහෝවිට දකින්න ලැබෙන්නේ. තනි පුද්ගලයෙකු ලෙස තමාගේ ජීවිතයේ ඉලක්ක කරා යෑම, ජීවිතය තමාට අවැසි පරිදි විඳීම මෙම ඉන්දියානු ටෙලි නාට්‍යවලින් පෙන්වන පවුල ඇතුළේ ආත්මාර්ථකාමි ක්‍රියාපිළිවෙතක් ලෙස හැඟවෙනවා. සරලවම “පුද්ගලවාදය” මෙම සන්දර්භය ඇතුළේ වැරදි මතයක් ලෙස හුවා දැක්වීවෙනවා. නමුත් සාර්ථක පවුල් සංස්ථාවක් යනු පවුල තුළ පවා සිටින සාමාජිකයන් එකිනෙකාගෙන් වෙනස් බව තේරුම් ගනිමින්, ඔවුන්ගේ ජීවිතවලට ඉඩ දෙමින් කාලය සමග යන සාමූහික ගලා යෑමක්. මේ සමබරතාවය අපේ දේශීය ටෙලිකතා සම්ප්‍රදායේ කලකට ඉහත දක්නට ලැබුණා. එම සමබරතාවය පවත්වාගෙන යාමේ දී ඇතිවන ගැටීම් අපේ ටෙලි නාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයාට දකින්නට ලැබුණත්, එම ගැටළුවලට ධනාත්මක විසඳුම් අපේ ටෙලිකතා ඇතුළේ තිබුණා. එහි සාර්ථකත්වය කොතරම් ද කියලා “කන්දේ ගෙදර” වැනි අපේ පැරණි ටෙලි නාට්‍ය නැරඹුවා නම් ඔබට වැටහෙනවා ඇති. 

ළමුන් ඉලක්ක කරගෙන බිහිවන ඉන්දියානු ටෙලි කතා තුළත් තිබෙන්නේ ගැටළුකාරී ස්වභාවයක්/tellychakkar.com

සමාජය තුල පවතින්නේ තනිකරම සුදු සහ කළු චරිත පමණක් වීම යන කාරණය ද මේ ඉන්දියානු පවුලේ කතා හරහා අපගේ මනසට ඇතුල් කරන තවත් වැරදි ආකල්පයක්. සැබෑ පුද්ගල ස්වභාවයන් චරිත තුළට ආරූඪ කොට, සමාජයේ පවතින ප්‍රායෝගික තත්ත්වයන් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමේ වටිනා අවස්ථාවන් මේ කළු සුදු චරිත පමණක් අඩංගු කිරීම තුළින් අහිමි වී යනවා. මෙහි අවදානම තිබෙන්නේ තවමත් හරිහැටි සමාජ යථාර්තය ගැන අවබෝධයක් නැති කුඩා ළමුන් හට යි. මෙවැනි ඉන්දියානු කතා නැරඹන්නට ඔබේ දරුවාත් අසුන් ගන්නවා නම් සමාජ දැනුම සම්බන්ධයෙන් නොමඟ යෑමේ අවධානමක් තිබෙන්නට පුළුවන්.

 

මීට අමතරව පදනමක් නොමැති පවුල් ආරවුල්, පවුලේ සාමාජිකයන් අතරම වාසි තකා එකිනෙකා නැසීමට කරන කුමන්ත්‍රණ, ප්‍රේමය වැනි මානුෂීය හැඟීම් ඉදිරිපිට පුද්ගලයන් අසාමාන්‍ය ලෙස දුෂ්ටකම් සිදු කිරීම වැනි බොහෝමයක් අවර ගණයේ කාරණා ඉදිරිපිට කොහොමත් තරගකාරී පරිසරයක ජීවත් වන අපට ලැබෙන්නේ වින්දනයක් නොවන බව සැළකිල්ලට ගැනීම වැදගත් වෙනවා.

කාන්තාවන්ගේ ආත්ම විශ්වාසයට පහරක්

දකුණු ආසියාවේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව කාන්තාවන්ට සමාජය තුළ තිබෙන ස්ථානය, සහභාගීත්වය අතින් ශ්‍රී ලංකාව තුළ යහපත් වාතාවරණයක් තිබෙනවා. කාන්තාවන් අධ්‍යාපනය වෙත යොමුවීමේ ඉතා ඉදිරිගාමී පසුබිමකුත් ලංකාව තුළ දකින්නට ලැබෙනවා. නමුත් ඉන්දියාව තුළ ඔවුන්ගේ ටෙලි නාට්‍ය හරහා සාම්ප්‍රදායික ගැහැණිය උත්කර්ෂයට නංවන්න තවමත් උත්සහ ගන්නවා. ඉන්දියානු ටෙලිකතා මාලාවන් බොහෝවිට කාන්තාවන් කේන්ද්‍රීය වන ලෙස ගොඩනැඟී තිබුණත්, ගෘහස්ථව හා සමාජය තුළ ඇයට තිබෙන ස්ථානය තවදුරටත් එක තැනකටම ලඝු කරන්න උත්සහ ගන්නා පසුගාමී ස්වභාවයක් තමයි දකින්නට ලැබෙන්නේ. ඒ අනුව පුද්ගලික ආරක්ෂාව, තම පුද්ගලික ජීවිතයේ යහපැවැත්ම යන කාරණාවන් හමුවේ තනිව පෙනී සිටිනවාට වඩා එන සියළු පීඩනයන් සහ නින්දාවන් නිහඬව විඳ දරා ගැනීම අදාළ කාන්තාවගේ චරිතය යහපත්ව තබා ගැනීමට ඉවහල් කාරණා ලෙස හුවා දැක්වීම එතරම් හොඳ ආදර්ශයක් නොවෙයි.

මෑතක දී වෙනස් ආරේ දේශීය ටෙලිනාට්‍ය කිහිපයක්ම අපට රසවිඳින්න හැකි වුණා (පින්තූරය: කූඹියෝ ටෙලි නාට්‍යය)/youtube.com/watch?v=fYJxhC9SM-w&feature=youtu.be

මෙම පවුල කේන්ද්‍ර කොට ගත් ඉන්දියානු කතාවල මූලික වශයෙන් සාම්ප්‍රදායික ඇඳුමින් හා වස්ත්‍රාභරණයෙන් සැරසී සිටින ගැහැණිය ගෞරවනීය වන අතර ඇය බිරිඳ, දියණිය, මව යන සියළු භූමිකාවන් සියල්ල පරිපූර්ණව ඉටුකරන තැනැත්තියක් ලෙස පෙන්වීමේ ප්‍රවණතාවයක් ද තිබෙනවා. නමුත් කලිසමකින් සැරසී සිටින ගැහැණිය බොහෝ වේලාවට රූපණය කෙරෙන්නේ අයහපත් සේ ආධිපත්‍ය පතුරවන, චරිතය “හොඳ නැති”, සහ අවිවාහක විදියට යි. මේ ආකාර දෙක අතර ඝට්ටනයක් ඇතිවීමට සලස්වා ප්‍රේක්ෂකයාට අවිධිමත් විනෝදාස්වාදයක් සැපයීම යල් පැන ගිය ක්‍රමයක් බව වටහා ගැනීම උචිත යි. එය ඔවුන්ගේ සංස්කෘතියට​ අනුව උත්කර්ෂයට නැඟිය හැකි දෙයක්දැ යි අප නොදන්නා නමුත්, සාපේක්ෂව නිදහස් මානසිකත්වයක් ඇති අප හට එයින් ගත හැකි දෙයක් තිබේ ද යන්න අපෙන්ම ප්‍රශ්න කර ගැනීමට සිදු වෙනවා. අපේ මුල්කාලීන ටෙලි නාට්‍යවල බොහෝවිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පැත්තෙන් මෙලෙස ආන්තික ස්වභාවයක් දැක ගැනීමට හැකි වුණේ නැහැ. ඒ වෙනුවට ගැහැණියකගේ ගැටළු ප්‍රායෝගික තලයක සිට සාකච්ඡාවකට බඳුන් කළ අතර එයින් අපට සමාජ ආදර්ශ ලබා ගත හැකි පසුබිමක් නිර්මාණකරුවා සකසා දුන්නා.

නීරස කතා ගලායෑම් සමග එන අවදානම

ශක්තිමත් තිර රචනයක් තුළ සුවිශේෂී පරිකල්පන හැකියාවක් ගැබ් වෙලා තිබෙනවා. එමඟින් ප්‍රේක්ෂකයා අදාළ ටෙලි නිර්මාණය තුළ දිගින් දිගටම රඳවා තබා ගත හැකි වෙනවා වගේම ඔවුන්ට ආශ්වාදයක් ද ලබාගත හැකියි. බිලියනයකට අධික ජනගහනයක් වෙසෙන සහ විවිධාකාර සංස්කෘතීන් පැතිර ගොස් තිබෙන ඉන්දියාව වැනි රටක, දිගින් දිගටම එකම ආඛ්‍යානන් තුළ අස්වාභාවික ලෙස දීර්ඝ වූ ටෙලිකතා නිර්මාණය වීම එක අතකින් පුදුමයට කාරණාවක්. නමුත් ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව තරම් පැතිරුණ සංස්කෘතියක් හා ප්‍රේක්ෂක පදනමක් නොමැති වාතාවරණයක පවා අපට විවිධත්වයකින් යුතු ටෙලි නිර්මාණ රස විඳීමට අවකාශ ලැබුණා. මනෝකාය, දඩුබස්නාමානය, පළිඟු මැණිකේ, එකට ගැටුම, ඉසුරු යෝගය, අඹ යහළුවෝ වැනි ටෙලි නිර්මාණ බොහෝමයක මේ විවිධත්වය සහ නිර්මාණකරුවාගේ පරිකල්පන ශක්තියේ තරම අපට අත් විඳින්න හැකියාව ලැබුණා. එවැනි බුද්ධිමත් ප්‍රේක්ෂක පදනමක් සහිත ජනතාවක් සිටින රටක් පසුකාලීනව නීරස, නිසි ගලා යෑමක් නොමැති, අභව්‍ය ඉන්දියානු පවුලේ කතාවලට ඇබ්බැහි වීම එක්තරා අන්දමකින් ලාංකික සමාජය සෝදාපාලුවට යෑමක් ලෙස හඳුනාගත හැකියි. 

ශ්‍රී ලංකාව කියන්නේ බොහොම හරවත් ටෙලිකතා සම්ප්‍රදායක් තිබුණ රටක් (පින්තූරය: කන්දෙ ගෙදර ටෙලි නාට්‍යය)/dailymotion.com

කලාකෘතීන් හා විනෝදාස්වාද මාධ්‍යයන්හි ව්‍යාප්තිය සම්බන්ධයෙන් වර්ධනය, අත්හදාබැලීම් සහ නවෝත්පාදනයන් දක්නට ලැබෙන ඉන්දියාව වැනි රටකින් ලංකාවට පැමිණෙන්නේ එක ආකෘතියේ ටෙලිකතා පමණ යි.

ඇතැම් නාළිකාවල සවස් කාලයේ දරුවන් පෙන්වන වැඩසටහන් ගැන ද සැළකිලිමත් වීම වැදගත්. හරයක් නොමැති දේව කතා ආශ්‍රයෙන් ගොඩනැඟුණු කාටූන්, ළමා කාලය අනේකවිධ දුක් කම්කටොළුවලට මුහුණ දෙමින් අඬන මුහුණු පමණක් ධාවන කාලය පුරා දක්නට ලැබෙන ළමා කතාවල, දරුවන්ගේ ජීවිතවලට ලබාගත හැකි යහපත් උපදෙස් වේදැ යි අප සිතා බැලිය යුතු යි. වැඩිහිටියන්ගේ ප්‍රශ්න මැද තැලෙන පෙළෙන ළමා චරිත මූලික කොට ගත් “ළමා කතා” ලෙස එන මේ ඉන්දියානු කතාවලින්, කුඩා දරුවන්ගේ පෞරුෂත්වයට කිසිදු බලපෑමක් නැතැ යි කියන්නට බැහැ. 

අපට මින් මිදිය හැකි වේවි ද?

ඉන්දියානු පවුලේ ටෙලිකතා සම්බන්ධයෙන් ඉහත දැක්වූ සියළු කාරණාවල පදනම ලබාගත් ආකාරය මෙහිලා සඳහන් කිරීම වැදගත්. පෞද්ගලික අදහස් නොව, ඉන්දියාවේ විද්වතුන් විසින් ඔවුන්ගේ ටෙලිකතා සම්ප්‍රදාය ගැන දැක්වූ අදහස් මත පදනම්ව මෙම ලිපිය සම්පාදනය කළ බව සඳහන් කිරීමට කැමතියි. ඉන්දියාව තුළ පවා ඔවුන්ගේ ටෙලි නාට්‍ය, විශේෂයෙන්ම පවුලේ ටෙලිකතා සම්ප්‍රදාය සම්බන්ධයෙන් යහපත් ආකල්පයක් නොමැති බව මෙයින් අපට පෙනී යනවා. 

නව යෞවනයන් ඉලක්ක කොට පෙන්වූ රසවත් නිර්මාණවලින් අපේ ළමා කාලය පිරී තිබුණා (පින්තූරය : මායාබන්ධන)/spellbinder.fandom.com

 ඉහත පරිච්ඡේදයක සඳහන් කළ පරිදිම වාණිජකරණය සමග ලංකාවට පැමිණි මේ ඉන්දියානු කතා රැල්ල නිසා හටගත් තරගකාරීත්වය හමුවේ දේශීය නිර්මාණකරුවාටත් තම පැවැත්ම ගැන සිතන්නට සිදුවුණා. ඒ නිසා ඉන්දීය කතාවල ආභාෂය ලබා ගත් ලාංකික දීර්ඝ ටෙලිකතා සම්ප්‍රදායක් බිහි වෙන්න පටන් ගත්තා. යම්තාක් දුරකට ලාංකීය ටෙලි නාට්‍ය කලාව තුළ සිදුවූ මේ වෙනස නිසා ප්‍රේක්ෂකයන් ඉන්දීය කතා රැල්ලෙන් ගලවා ගෙන නැවත දේශීය නිර්මාණවලට ‍යොමු කරවා ගැනීමට මෙරට නිර්මාණකරුවන් සමත් වුණා. නමුත් එහි අහිතකර බලපෑම් ලෙස, එතෙක් අප රැකගෙන ආ නිර්මාණය කළ ටෙලිකතාවල අඩු විවිධත්වය, කතාවේ ගලායෑම නීරස වීම, සහ අනවශ්‍ය ලෙස දීර්ඝ වූ ටෙලි නිර්මාණ බිහිවීම ශ්‍රී ලංකාවේත් මුල් බැස ගත්තා.

කෙසේ නමුත් වෙනස් විදිහට හිතන පතන සහ වෙනස් වීමට කැමති අතළොස්සක් වූ නිර්මාණකරුවන් යළි යළිත් හිස ඔසවන කාලයක් තමයි අපි දැන් ගත කරමින් සිටින්නේ. මෑතක සිට අර්ථවත් සහ වෙනස් වෙනස් මාතෘකා ඔස්සේ බිහි වූ ටෙලි නිර්මාණ කිහිපයක්ම අපට රස විඳින්න ලැබුණා. ඒ වගේම පැරණි ටෙලි නාට්‍ය නැවත පෙන්වීමේ ප්‍රවණතාවයක් ද දැන් දැන් රූපවාහිනී නාලිකාවලින් දක්නට ලැබීම ද කාලීන අවශ්‍යතාවයක් වගේම හොඳ ප්‍රවණතාවක් ලෙස ද දකින්නට පුළුවන්.

cover photo: nettv4u.com

මූලාශ්‍රයයන්: thehindu.com/

scoopwhoop.com/

Related Articles