මොරටුව කිව්වම කාගේත් හිතට එන්නේ ලී බඩු තමයි. ගහට ගහක් හමු වෙන මොරටුව ගැන, ලී බඩු ගැන නම ලක්දිව රන්දපු මොරටුව ගැන තියෙන ප්‍රස්තාව පිරුළු, ජනප්‍රවාද  වගේම සින්දුත් නිමක් නැහැ. මොරටුවේ ලී බඩු කියන්නේ රත්නපුරේ මැණික් තරමටම ලංකාවේ නගරයක් එක්ක බැදුණු සුවිශේෂී සංස්කෘතික අංගයක්. මනරම් කැටයම් පිරුණු පුරාණ පෙට්ටගම් වල ඉඳලාම පැවත එන, ලංකාවටම ආවේණික වූ විවේකී ගති පැවතුම් විදහා දැක්වෙන විදිහේ ලී බඩු වලට තමයි මොරටුව වඩාත් ප්‍රසිද්ධ. පුටුවක් හදන්නේ හවසට වැඩ ඇරිලා ඇවිත් විවේකයෙන් තේ එකක් බොන්න, දවස ගෙවුණු හැටි ගැන කතා කරන්න පුළුවන් වෙන්න හරිම සුවපහසු විදිහට; මේසයක් හදන්නේ බොහෝ දෙනෙක්ට වට වෙලා සතුටු සාමීචියේ යෙදෙන්න, ඉඩ ඇතුව වාඩි වෙලා බඩ පුරා කන්න සුදුසු විදිහට බොහොම ලොකුවට. ඝර්ම කලාපයේ තියෙන රටක් හැටියට දවස පුරා වෙහෙස වෙලා ගෙදර එන කවුරුත් හවස් වරුවේ බොහොම විවේකයෙන් ඉඳලා නැවුම් බවක් ලබා ගන්න එක අතීතයේ ඉඳන්ම එන සිරිතක්. ගිණි මද්දහනේ වෙහෙසිලා වැඩ කරන මිනිස්සු බහුල රටක ඒ වගේ දේවල් රටේ සංස්කෘතියට පවා ඇතුලත් වුණා.

ලන්දේසි යුගයට අයත් පෞරාණික පෙට්ටගමක්. රූපය : ශ්‍රී ලංකා රේගු කෞතුකාගාරය

ලංකාවේ තියන වටිනා කියන ඕනෑම ලී බඩුවක ඉතිහාසය හොයලා බැලුවොත් මුල් ගම තියෙන්නේ මොරටුවේ. කොළඹ කොටුවට කිලෝමීටර් විස්සක් වගේ දුරින් තියෙන මොරටුව ඇත්තටම කිව්වොත් ලංකාවේ ලී බඩු වල තිඹිරි ගෙය නෙවෙයි. ඒ ගෞරවය අයිති වෙන්නේ මොරටු මුල්ලට. වචනයේ අර්ථයට බොහොම සමීප විදිහට මොරටුවෙම මුල්ලක තමයි මොරටු මුල්ල තියෙන්නේ. පරම්පරා ගානක් තිස්සේ වඩු වැඩ තමන්ගේ ජීවිකාව කර ගත්තු “වඩු වැඩ්ඩො” ටික සේරම ඉන්නේ මොරටු මුල්ලේ කිව්වොත් වැරද්දක් නැහැ.

සටහන : අද වන විට මොරටුව ප්‍රදේශය පුරාම වඩු කර්මාන්තය ව්‍යාප්ත වෙලා තියෙනවා. නමුත් අදටත් හොඳම ලී බඩු හදවා ගන්න යන්න ඕනේ මොරටු මුල්ලට තමයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කරපු සමීක්ෂණයකට අනුව මොරටුවේ හැදෙන ලී බඩු ගාන මාසයකට 64000කට ලඟයි. (හරියටම ගාන 63,612) මේ ගානට අයත් වෙන ලී බඩු වර්ග 41ක් තියෙනවා. වැඩියෙන්ම හැදෙන්නේ තේක්ක ලී බඩු තමයි. තේක්ක ලී රාක්ක, අල්මාරි සහ පුටු වලටයි වැඩිම ඉල්ලුමත් සැපයුමත් තියෙන්නේ.

ටිකක් ඉලක්කම් පැත්ත ගැන හිතුවොත් මේ විදිහට ලී බඩු 64000කින් ප්‍රදේශයට ලැබෙන ආදායම මාසෙට කෝටි පහ හමාරකට ලඟයි. ඒ කිව්වේ අවුරුද්දට කෝටි 65කට කිට්ටු ආදායමක්. හැබැයි ඒක ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය එක්ක බැලුවම නම් 0.007%ක් විතරයි. මේ ඉලක්කම මම ලිව්වේ හොඳට හොයලා බලලා. ලංකාවේ හැටියටත් මොරටුවේ ලී බඩු ආදායම සොච්චමක් විතරයි. නමුත් මේකට හේතුවකුත් හොයා ගෙන තියනවා. ඒක අපි ප්‍රදේශයේ භාෂාවෙන්ම අහගමු නේද? “තාමත් මොරටුවේ මිනිහුන්ගෙන් වැඩි හරියක් තමුන්ට පිය පරම්පරාවෙන් උරුම වුණු දැනුමෙන්, තමන් ඉගෙන ගත්ත ආවුද වලින් තමයි කරුමාන්තේ කොරන් යන්නේ. මැෂින් වලින් වැඩ කොරන්නේ අද ඊයේ සල්ලි හොයා ගන්න වැඩට බැහැපු ඉලන්දාරි රෑන විතරයි.” ඉතින් ඒ නිසා ආදායම, ලාභය, කාර්යක්ෂමතාවය වගේ පොත් වල කුරුටු ගාල කියන ඉලක්කම් ගැන ගැන වැඩිහිටි වඩු බාස්ලා ලොකු තැකීමක් නැහැ. තමන් ඉගෙන ගත්තු දේ හරියට කරලා හම්බ කරන දෙයින් අත නොපා ජීවත් වෙන එකයි එයින් වැඩි දෙනෙක්ගේ එකම බලාපොරොත්තුව.

ලංකාවේ සාරවත් තේක්ක වගාවක්. මොරටුවේ ලී බඩු හදන ජනප්‍රියම ලී වර්ගය තේක්ක.

කලින් අපි කියපු අධ්‍යයනයේ තියෙන තවත් වැදගත් කාරණාවක් තමයි මොරටුවේ ලී බඩු හදන්න ගන්න ලී වර්ග. පේන විදිහට ප්‍රදේශයේ හැදෙන ලී බඩු වලින් 83%ක්ම හැදෙන්නේ තේක්ක වගේ බර ලී වලින්. සැහැල්ලු ලී වලින් හැදෙන බඩු තියෙන්නේ බොහොම ටිකයි. තේක්ක වලට අමතරව බුරුත, නැදුන් කියන ලී වර්ග දෙක තමයි ඕන දේකට වැඩිපුරම පාවිච්චි වෙන්නේ.

මොරටුවේ ලී බඩු හැදෙන විදිහේ මහා ලොකු විශේෂත්වයක් නැහැ. මොරටුමුල්ල හරහා වැටුණු මොරටුව පිළියන්දල බස් පාරේ දෙපැත්තේ පොඩි කඩ ලොකු කඩ ගණනාවක්ම තියෙනවා. මේ කඩ වලට ගිහින් හොයලා බලලා, තමන් කැමති ලී බඩුවක් දැකලා ගන්න කැමති නම් ඕඩර් එකක් දාන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමය නම් බඩුවේ හැටියට වටිනාකමෙන් 30%-50%ක ගානක් මුලින් ගෙවන එකයි. අද කාලෙට අනුගත වෙච්ච සමහර කඩ වල බැංකු කාඩ් වලිනුත් ගෙවන්න පහසුව තියෙනවා. කොහොම හරි ඒ ගනුදෙනු බේරා ගත්තාට පස්සේ කඩේ කෙනා ගිහින් වැඩේට හරි යන ලී වර්ගයක් හොයා ගන්නවා. ගබඩාවේ මුලින් බලලා ඕන කරන තරමට ලී නැතිනම් ලී මිලට ගන්නවා. කැමති කෙනෙක්ට ලී ගන්න පුළුවන් විවෘත වෙළඳාමක් ප්‍රදේශය පුරා තියනවා. ඕඩර් එක දාන කෙනාගේ කැමැත්ත, මිල, පෙනුම ගැන හිතලා තමයි පාවිච්චි කරන ලී වර්ගය තෝරලා ගන්නේ.

දක්ෂ වඩු වැඩ කරුවෙක්ගේ අතට ලී කෑල්ල ලැබුණාම ඒක ගානට කැපුණු කලා නිර්මාණයක් වගේ හැඩ වැඩ වෙන්නේ බලාගෙන ඉද්දීමයි. රූපය : gc-energo.com

ඊළඟ පියවර නම් බොහොම පිළිවෙලට සිද්ධ වෙන වැඩක්. ගත්තු ලී ටික මැනලා, කෑලි කපලා, එකට මුට්ටු කරනවා. කැටයම්, හැඩ වැඩ වගේ දාන්න තියෙන දේවල් දාලා හොඳ “නිමාවක්” ලබා දෙනවා ඊට පස්සේ. මෙතන “නිමාව” කිව්වේ එක වචනයක් වුණාට ඒක ඇතුලේ කෙරෙන වැඩ ගණනාවක්ම තියෙනවා; පිරිමැදලා, පිහ දාලා, පේන්ට් ගාලා, පොලිෂ් කරලා තමයි උසස් තත්වයේ ලී බඩුවක් හැදෙන්නේ. මේක තමයි බලාගෙන ගියාම තියෙන අමාරුම වැඩය. අවසානයේ කතා කර ගත්තු ක්‍රමයකින් ගනු දෙනු කාරයාට ලී බඩුව යවලා ඉතිරි මුදල ගන්නවා. තව ඉල්ලුම්කාරයෙක් ආවම අලුත් වටයකින් වැඩේ පටන් ගන්නවා. ජීවන චක්රේ ගෙවෙන්නේ ඔහොමයි.

මොරටුවේ වඩු වැඩ කරන කට්ටිය අලුත් මෝස්තරයකට ලී බඩුවක් හදන්න ක්‍රම තුනක් පාවිච්චි කරනවා;

  1. ගනු දෙනු කාරයාගේ කැමැත්ත අනුව එයා කියන හැඩයට හදනවා.
  2. පිය උරුමයෙන් ඉගෙන ගත්තු හැඩ වලට හදනවා.
  3. ලී බඩු වල පින්තුර බලලා ඒ අනුව හදනවා.

මෝස්‌තර දිහා බලලා අඳුර ගන්න පුළුවන් සියුම් ඇහැක් තියන කෙනෙක්ට ලේසියෙන්ම පේන දෙයක් තමයි සාම්ප්‍රදායික ලාංකීය නිර්මාණ බොහොමයක් ලන්දේසි යුගයට නෑකම් කියන බව. ඇත්තටම ලංකාවේ අද පාවිච්චි වෙන බොහොමයක් ලී බඩු වල හැඩතල වගේම නම් පවා ලන්දේසීන්ට කෙලින්ම සම්බන්ධයි.

කොහොම නමුත් දැන් මොරටුවේ දකින්න ලැබෙන අලුත් ලී බඩු මෝස්‌තර වලට සෑහෙන තරමට උඩරට සහ මහනුවර යුගයේ ආභාෂය තියෙන බවක් තමයි පෙනෙන්නේ. නමුත් මූලික ආකෘතිය තවමත් බොහෝ දුරට ලන්දේසි බඩු වල විදිහමයි. උදාහරණයක් විදිහට මල් කම් සැරසිලි පැහැදිලිවම උඩරට යුගයට අයත් වුණත් මේ පහලින් තියන රූපය වගේ උසින් අඩු පුටු වගේ හැඩතල අයිති වෙන්නේ ලන්දේසි නිර්මාණ ක්‍රම වලටයි.

ලන්දේසි යුගයට අයත් පෞරාණික පුටුවක්. රූපය : රසික සුරසේන / Serendib

ලංකාවේ කාලයක් තියා ගන්න පුළුවන් ලී බඩුවක් ගන්න ඔබ යන්න ඕනේ තැන කියල මොරටුව ප්‍රසිද්ධයි තමා. ඒත් ඇත්තටම මොරටුවේ පාරම්පරික ලී කර්මාන්තය අඩු මිල බඩු පැත්තෙන් සෑහෙන තරගකාරීත්වයකට මුහුණ දීලයි තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව කෘත්‍රීම ලී පාවිච්චි කරලා හදන බඩු. (මේ පැත්තේ කියන්නේ MDF බෝඩ් කියලයි) මේ බෝඩ් බොහොම මිලෙන් අඩුයි, බරින් අඩුයි, නමුත් කල් පවතින්නේ නම් නැහැ. කොහොම වුණත් අඩු ආදායම් පවුල් බොහොමයක් මේ ලී පාවිච්චි කරලා හදන බඩු ගන්නවා. ඒ හින්දා මිල අඩු බඩු ගොඩක් හදලා ලාභ උපයපු බොහෝ දෙනාට දැන් ආදායම අඩුයි. හැබැයි තත්වයෙන් උසස්, මිල අධික භාණ්ඩ හදලා විකුණන තැන් තවමත් හොඳට දුවනවා.

පෞරාණික ලී කවිච්චියක්. රූපය : srilankaantiques.com

ඉතින් ඊළඟ සැරේ ගෙදරට ලී බඩු ගන්න යනවා නම්, මොරටුව පැත්තේ ඇවිදලා බලන්න මතක තියා ගන්න. මේ පැත්තේ ලී බඩු මුදලාලිලාට කතා කරලා ගොඩක් දේවල් දැන කියා ගන්න පුළුවන්. මේ මිනිස්සු හොඳ බුද්ධිමත් පිරිසක්, ඒ වගේම ඔබට අවශ්‍ය දේ හොයා ගන්න පුළුවන් ඕනෑම උදව්වක් කරාවි. ඔවුන් හොයලා බලලා තමන් පෙන්නපු බඩුවේ හරි මිල කිව්වම අදිමදි නොකර ගෙවන්න පුළුවන් නම්, මුදලට වඩා කල් පැවැත්ම ගැන හිතනවා නම් අලුතෙන් ගත්තු ඇඳ, මේස, අල්මාරි ටික කවදා හරි බය නැතුව දරුවන්ට හරි දෙන්න ඉතුරු වෙලා තියේවි.

Cover image courtesy/කවරයේ පින්තුරය : lms.sjp.ac.lk