Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් හදවත ගැන රසබර තොරතුරු

හදවත මිනිසාට නැතිවම බැරි අවයවයක්. ඒ නිසාම තම ජීවිතයේ නැතිවම බැරි සමහර දේ වලට හදවත උපමා කර තිබෙනවා. විශේෂයෙන්ම සංවේදී හැඟීම් දැනීම් හා සම්බන්ධ කරුණු කාරණා වල දී සාහිත්‍යධරයින් ඒ හා සම්බන්ධ කරන්නේ මොළය නොවේ, හදවත යි.

ඇත්තෙන්ම හදවත කියන්නේ පේෂීමය අවයවයක්. මිනිසාගේ උරස් කුහරයේ වම්පසට වන්නට පිහිටා ඇති මෙහි ප්‍රධානතම කර්තව්‍යය වෙන්නේ මිනිස් සිරුරෙහි සංසරණය විය යුතු රුධිරය සිරුර පුරා පොම්ප කිරීමයි. මේ සඳහා උපන් දා සිට නොනැවතී යන්ත්‍රයක් මෙන් හදවත ක්‍රියාත්මක වෙනවා. ‘ලබ් ඩබ්’ හඬින් යුතුව රිද්මයකට ක්‍රියාත්මක වන මේ හදවත නිරෝගී පුද්ගලයෙකුගේ නම් මිනිත්තුවකට සාමාන්‍යයෙන් 60-80 වාරයක් ගැහෙනවා.

medibank.com.au

මිනිස් හදවතෙහි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ගැන නම් අප බොහෝ දෙනා දැනුවත්. ඒ නිසා ඒ ගැන වැඩි හැඳින්වීමක් නොකර මිනිස් හෘදය පිළිබඳව බොහෝ දෙනා නොදන්නා හෝ ඒ තරම් අවධානයක් නොයොදන රසබර කාරණා කිහිපයක් පාඨක ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළා.

හදවත ක්‍රියා කරන ආකාරය

සෑම දිනකම සාමාන්‍ය මානව හදවතක් 100,000 වාරයක් පමණ ගැහෙනවා. මේ කාල පරාසය තුල දී ශරීරයට හදවත මඟින් රුධිරය ලීටර 7570ක් පමණ පොම්ප කරනවා. ඒ වාගේම හදවත මගින් ශරීරය පුරා රුධිරය සංසරණය කරවීමට තැනී ඇති රුධිර වාහිනී ප්‍රමාණයත් සුළුපටු නැහැ. සාමාන්‍ය මිනිසෙකුගේ රුධිර වාහිනී වල මුළු දිගෙහි එකතුව කිලෝමීටර 96 560ක් පමණ වෙනවා! මෙය පෘථිවියේ පරිධිය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයක්. හදවතෙහි සිදුවන සුළු හෝ අකර්මණ්‍යතාවයක් එහි පොම්ප කිරීමේ කාර්යයක්ෂ්මතාවය හීන වීමට හේතු විය හැකියි. ශරීරයේ රුධිර සංසරණ අවශ්‍යතාවය සැපිරීම සඳහා වැඩි වෙහෙසකින් ක්‍රියාත්මක වීමට හදවතට සිදුවීම හේතුවෙන් හදවත කාලයත් සමඟ දුර්වල වෙනවා. ඒ නිසා ඕනෑම අයෙක් තම හදවතේ මනා ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට දැඩි ලෙස උනන්දු විය යුතුයි.

හදවත හා පරිවාර රුධිර වාහිනී දැක්වෙන ග්‍රැෆික් නිර්මාණයක් – Shutterstock

හදවතේ ශක්තිය

හදවතට තමන් විසින්ම නිපදවාගන්නා විද්‍යුත් බලයක් තිබෙනවා. මිනිස් සිරුරකින් ඉවත් කළ ද නිසියාකාර ඔක්සිජන් සැපයුමක් තිබෙන තුරු හදවතක් ස්ඵන්දනය වන්නේ එහෙයින්. මීට අමතරව මිනිසෙකුගේ ජීවිත කාලය පුරාවටම හදවත ක්‍රියාකාරී වන අතර හදවතේ ක්ෂමතාවය වොට් 1 සිට 5 දක්වා වෙනවා. හදවතක් වොට් 1 ක ක්ෂමතාවයකින් වසර 80ක් ක්‍රියාත්මක වුවහොත් නිපදවෙන ශක්ති ප්‍රමාණය ගිගා ජූල 2.5 ක් වෙනවා.

හදවතේ ප්‍රමාණය

මිනිස් හදවතක සාමාන්‍ය ප්‍රමාණය මිටි මොලවාගත් අතක් තරම් වෙනවා – Rainer Elstermann/ Stone /Getty Images

මානව හදවතක ප්‍රමාණය එය අයිති මිනිසාගේ ප්‍රමාණය මෙන්ම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අනුවත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න හදවතක් එය අයිති තැනැත්තාගේ මිට මොලවා ගත් අතක ප්‍රමාණය තරම් වෙනවා. කෙසේ වෙතත් විවිධ සෞඛ්‍යමය ගැටළු හමුවේ පුද්ගලයෙකුගේ හදවත් ප්‍රසාරණය වීමට ලක් විය හැකියි.

පුරුෂ හා කාන්තා හෘදයාබාධ ලක්ෂණ

පුරුෂයා හා කාන්තාව ජීව විද්‍යාත්මක වශයෙන් සර්වසම වන්නේ නැහැ. ව්‍යුහයෙන් සමාන වුවත් පුරුෂ හා කාන්තා හදවත් ප්‍රමාණයෙන් හා බරින් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් පුරුෂයෙකුගේ හදවතක් ග්‍රෑම් 283ක බරින් යුතු අතර කාන්තා හදවතක් ග්‍රෑම් 226ක පමණ බරින් යුතු වෙනවා.

කාන්තා හෘදයාබාධ ලක්ෂණ පුරුෂයෙකුට ඇති වන ඒවායින් වෙනස් විය හැකියි – blog.aarp.org

පුරුෂයෙකුට කා කාන්තාවකට හෘදයාබාධයක් වැළඳී ඇති විට ප්‍රකට කරන රෝග ලක්ෂණ වලත් යම් යම් වෙනස්කම් තිබෙනවා. සාමාන්‍යයෙන් පුරුෂයෙකුට හෘදයාබාධයක් වැළඳීමේ දී බොහෝවිට පපුවේ වේදනාව ප්‍රකටව දැනෙන අතර, කාන්තා පාර්ශවයට පපුවෙහි වේදනාවත් සමඟම ඔක්කාරය, අජීර්ණ තත්ත්වයන්, හා උරහිස් වේදනාව වැනි දේ ද දැනෙන්නට පිළිවන්. මේ නිසා ස්ත්‍රීයක නම් හෘදයාබාධ ලක්ෂණ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ඒවා පරිවාර රෝග ලක්ෂණ අනුව වෙනත් රෝගයක ලක්ෂණ යැයි වරදවා වටහා ගත හැකි නිසායි.

රුධිරාණුවකට ශරීරය පුරා යාමට ගත වන කාලය

විවේකීව සිට්න විට යම් රුධිරාණුවකට පෙනහළු කරා ගොස් නැවත පැමිණීමට තත්පර 6ක කාලයක් ගත වන අතර, මොලයට ගොස් නැවත පැමිණීමට තත්පර 8ක් ගත වෙනවා. එලෙසම රුධිරාණුවකට වැඩුණු මිනිසේකුගේ පාද වල ඇඟිලි වලට හෘදයේ සිට පරිවහනය වී නැවත පැමිණීම සඳහා තත්පර 16ක පමණ කාලයක් ගත වෙනවා.

නින්ද හා හෘද ස්ඵන්දනය

නින්දේ දී හෘද ස්ඵන්දන වේගය අඩු වෙනවා -Youtube.com

නින්දට ගිය විට මිනිසෙකුගේ හෘද ස්ඵන්දනය සාමාන්‍යයෙන් අවදියෙන් සිටිනවාට වඩා අඩුයි. අවදියෙන් සිටින විට විවේකීව සිටියත් සාමාන්‍ය මිනිසෙකුගේ හෘද ස්ඵන්දන වේගය මිනිත්තුවකට 60 වාරයකට වඩා අඩු වීම බොහෝ අවස්ථාවන් වල දී අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැළකුණත්, නින්දට ගිය විට සමහර සෞඛ්‍යමත් පුද්ගලයින්ගේ හෘද ස්ඵන්දන වේගය මිනිත්තුවකට 50 වාරයකටත් වඩා අඩු වෙන අවස්ථා තිබෙනවා. මෙසේ සිදු වන්නේ නින්දේ දී අප සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වේගය අඩු වීම නිසා විවිධ අවයව වලට රුධිරය අවශ්‍ය වන සීඝ්‍රතාව අවම වීමයි. මේ නිසා මොළය මඟින් ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය ඔස්සේ හදවතට ආවේගයන් නිකුත් කර එහි ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩු කිරීම සිදු කරනවා.

සිනහව – හදවතට ඖෂධයක්

අද වන විට සිනහව හදවතේ පැවැත්මට ඉතා හිතකර බව පර්යේෂණ වලින් ඔප්පු කර තිබෙනවා. විශේෂයෙන් සිරුරම සෙලවෙන පරිදි සිනාසීමක දී සිරුරෙහි රුධිර සංසරණය 20% කින් පමණ ඉහළ යනවා. මේ නිසා ශාරීරික හා මානසික ආතතිය ද අඩු වන අතර, හාස්‍යෝත්පාදක චිත්‍රපට නරඹන විට සිරුරේ රුධිර සංසරණය හොඳින් සිදුවන බවත් සොයාගෙන තිබෙනවා.

සිනහව හදවතට ඔසුවක් -psych2go.net

පුද්ගලයෙක් සිනාසෙන විට ඔහුගේ හෝ ඇයගේ රුධිර නාල වල බිත්ති ඉහිල් වී ප්‍රසාරණය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර සංසරණය වඩා කාර්යයක්ෂ්ම වෙනවා. (1)

හිඳගෙන සිටීම හා හදවතේ සෞඛ්‍යය

වැඩි වේලාවක් හිඳගෙන සිටීම හෘද සෞඛ්‍යට අහිතකරයි – cyano66/Getty Images/iStockphoto

වර්තමානය වන විට බොහෝ දෙනා වැඩි කාලයක් ගත කරන්නේ හිඳගෙනයි. අපි කරන රැකියාවේ ස්වභාවය ඊට හේතු වී තිබෙනවා. කෙසේ නමුත් මෙය හෘදයේ සෞඛ්‍යයට නම් එතරම් හිතකර චර්යාවක් නොවෙයි. නවතම පර්යේෂණ වලට අනුව දවසේ වැඩි කාලයක් පුටුවක් මතට වී කල් මැරීම දීර්ඝකාලීන රෝග වලට හේතු විය හැකි බව ඔප්පු වී තිබෙනවා. ඊට හෘද රෝගත් ඇතුලත්. මීට අමතරව සුළු හෝ ක්‍රියාකාරී බවක් දිනයේ වැඩි කාලයක දී දක්වන පුද්ගලයින්ගේ ශරීර වල අභ්‍යන්තර පරිසරය වඩා සෞඛ්‍යමත් ලෙස සැකසෙන බවත්, ඔවුන්ගේ රුධිර ග්ලූකෝස් හා කොලෙස්ටරෝල් යාමනය වඩා හොඳින් සිදු වෙන බවත් සොයාගෙන තිබෙනවා. මේවායේ ප්‍රතිඵල ලෙස හෘද රෝග වැළඳීමේ අවදානමත් අඩු වෙනවා.

කවරයේ පින්තූරය- (factretriever.com)

මූලාශ්‍ර

  1. webmd.com
  2. mercola.com
  3. everydayhealth.com

Related Articles