Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෘහ ආලෝකකරණයේ දී භාවිතා වන ක්‍රම කීපයක්

ආලෝකකරණය යනු, ඕනෑම පුද්ගලයෙකුගේ අවකාශයක් හඳුනාගැනීමේ හැකියාව සඳහා ඉවහල් වන ප්‍රධාන සාධකයකි. එකම අවකාශයක් වුව ද විවිධ ආලෝකකරණ ක්‍රම භාවිතයෙන් ආලෝකකරණය කළ විට මිනිස් මනස එම අවකාශය හඳුනාගන්නේ විවිධ ස්වරූපවලිනි. මෙවන් ආලෝකකරණ ක්‍රම රාශියක් ගෘහ සහ උද්‍යාන නිර්මාණ ශිල්පයේ දී භාවිතා වන අතර මෙම ලිපියෙන් කතා කෙරෙන්නේ එයින් කිහිපයක් පිළිබඳව යි.  

පහතට එල්ල කළ නොවිහිදුණු ආලෝකය

මෙහිදී ආලෝකය විසිරී යන්නේ ඉතා සුළු වශයෙන් වන අතර ආලෝක ධාරා අංශක 30කට අඩු කෝණයකින් පැවතෙන ප්‍රදේශයේ පමණක් පැතිර තිබේ. අඩු උස මට්ටමකින් පිහිටි සිවිලිම්වල මෙවන් ආලෝකය විහිදුවන ප්‍රභවයක් සවි කළහොත් පොළව මත ආලෝකමත් රවුම් ප්‍රදේශ සහ ඒ අතර ඇති අඳුරු පැහැ ප්‍රදේශ දැකිය හැකිය. එබැවින් මෙය සිවිලිම වැඩි උසකින් යුක්ත වන කාමර තුළ භාවිතා කිරීම සඳහා වඩා යෝග්‍ය වන අතර, මෙම ආලෝක කදම්භවල විසිරීම අවම බැවින් එවිට කාමරයේ බිත්ති අඳුරු පැහැයෙන් ද, පොළව සහ මේස මතුපිට වැනි තිරස් පෘශ්ඨයන් ආලෝකමත්ව ද දැකිය හැකිය. මෙය එක් වස්තුවක් පමණක් ඉස්මතු කර පෙන්විය යුතු අවස්ථාවල දී භාවිතයට ගත හැකි ආලෝකකරණ ක්‍රමයකි.

පහතට එල්ල කළ නොවිහිදුණු ආලෝකය(AliExpress.com)

පහතට එල්ල කළ විහිදුණු ආලෝකය

මෙය කාමරයක් ආලෝකමත් කිරීමේ දී වඩා සුලබව භාවිතා වන ක්‍රමය යි. මෙහිදී ආලෝක ධාරා අංශක 80 සිට 120 දක්වා ප්‍රදේශයක පැතිර පවතින අතර, මෙවැනි ආලෝක ධාරාවක් පතුරුවන ප්‍රභවයක් කාමරයක් තුළ යොදාගැනීම මඟින් එම කාමරයේ සිරස් සහ තිරස් සියලු මතුපිටවල් ආසන්න වශයෙන් ඒකාකාරී ලෙස ආලෝකමත් කරගත හැකිය.

ඉහළට එල්ල කරන ලද නොවිහිදුණු ආලෝකය

මෙහිදී ආලෝක ධාරාව සිවිලිම දෙසට විහිදෙන්නේ අංශක 30කට අඩු කෝණයක් ඔස්සේ ය. සිවිලිමට ආසන්නව ආලෝක ප්‍රභවයන් සවි කළහොත් සිවිලිම මත ආලෝකමත් වූ රවුම් ප්‍රදේශයන් පැහැදිලිව දැකගත හැකි නමුත් වඩා පහළ මට්ටමකින් ප්‍රභවයන් සවි කළහොත් සිවිලිම ආලෝකමත් වී, සිරස් මතුපිටවල්වලින් වෙන්වී පැහැදිලිව දිස් වේ. මෙය ප්‍රතිමා සහ විසිතුරු ශාඛ ආලෝකකරණයට යොදා ගත හැකි වන්නේ මේමඟින් ප්‍රතිමාවේ හෝ ශාඛයේ ඇති හැඩතල ඉස්මතු කොට පෙන්වන බැවිණි.

ඉහළට එල්ල කරන ලද නොවිහිදුණු ආලෝකය(www.Pinterest.com)

ඉහළට එල්ල කරන ලද විහිදුණු ආලෝකය

මෙමඟින් සිවිලිම සහ බිත්තිවල ඉහළ කොටස් ආලෝකමත් කරගත හැකි අතර මෙම ක්‍රමය සම්පූර්ණ සිවිලිම ඒකාකාරී ලෙස ආලෝකමත් කරගැනීමට උපකාරී වන්නකි. මෙය සිවිලිමේ ඇති අලංකාර මෝස්තර සහ බිත්තිවල කැටයම් කරන ලද ඉහළ කොටස් ඉස්මතු කර පෙන්වීමට සහාය වන අතර වීඩියෝ දර්ශන පර්යන්තයන්හි ආලෝකය නිසා ඇසට සිදුවන අපහසුතාව අවම කිරීමට ද භාවිත වේ. 

බිත්ති මතුපිට දිගේ එල්ල කරන ලද ආලෝකය

බිත්ති මතුපිට ආසන්නයේම සවි කරන ලද ආලෝක ප්‍රභවයක් බිත්තිය මතුපිට දිගේ පැතිර යන පරිදි එල්ල කරන ලද ආලෝකය මඟින්, බිත්තියේ මතුපිට නිමාවේ ස්වභාවය පැහැදිලිව ඉස්මතු කරයි. බිත්ති මතුපිට ඇති හැඩතල මත පතිත වන ආලෝකය මඟින් එම හැඩතලවල සෙවණැලි ඉස්මතු කරවීම හේතුවෙන් මෙය සිදුවේ. මෙම ආලෝකකරණ ක්‍රමය පිටතට නෙරීම් සහ කඩතොළුවීම් සහිත වන ලෙස හිතා මතා නිර්මාණය කරන ලද බිත්ති මත හෝ, විසිතුරු කැටයම් කරන ලද බිත්ති මත පමණක් යොදා ගත යුතු ය. පැහැදිලි සුමට මතුපිටක් සහිත බිත්තියක් මත මෙම ආලෝකය යෙදීම එම බිත්තියේ ඇති ඉතා කුඩා කඩතොළු පවා ඉස්මතු කොට පෙන්වන බැවිනි ඒ.

බිත්ති මතුපිට දිගේ එල්ල කරන ලද ආලෝකය(www.john cullen lighting.com)

ආලෝකයෙන් නැහැවී යන පරිදි බිත්තියට එල්ල කරන ලද ආලෝකය

මෙම ආලෝකකරණ ක්‍රමය සුමට මතුපිටක් සහිත බිත්ති ආලෝකමත් කිරීමේ දී භාවිතා කළ හැකි අතර, මෙමඟින් බිත්තිය මත ඇති කුඩා කඩතොළු වීම් ඉස්මතු නොවී සම්පූර්ණ බිත්තිය ඒකාකාරී ලෙස වර්ණ ගැන්වීම සිදුවේ. කැටයම් කෙරූ බිත්ති මත හෝ සිතා මතා නෙරීම් සහ කඩතොළුවීම් සහිත වන ලෙස නිර්මාණය කළ බිත්ති මත මෙම ආලෝකකරණ ක්‍රමය භාවිතා කිරීම නුසුදුසු වන්නේ, එමඟින් බිත්තියේ අලංකාර මතුපිට ස්වභාවය සැඟව ගොස් ඒකාකාරී මතුපිටක් ලෙස පෙනෙන බැවිනි.

ආලෝකයෙන් නැහැවී යන පරිදි බිත්තියට එල්ල කරන ලද ආලෝකය (www.mgm householdservices.com)

චන්ද්‍රාලෝකය

මෙය ප්‍රධාන වශයෙන්ම භූමි නිර්මාණකරණයේ දී භාවිතා වන අතර ආලෝක ප්‍රභවය ගසක ඉහළ අතු අතර රඳවා ආලෝකය බිමට වැටෙන පරිදි සකස් කරනු ලැබේ. මෙහිදී ගසේ අතු සහ පත්‍රවල සෙවණැලි පොළව මත දැකිය හැකි අතර ගස අවට සඳ එලිය වැටී ඇති බවක් පෙනේ. මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන්ම උද්‍යාන, සක්මන් මළු ආදිය ආලෝකමත් කිරීමේ දී යොදාගැනේ.

චන්ද්‍රාලෝකය (www.marylandlighting.com)

සෙවණැලි ආලෝකකරණය

බිත්තියක් ඉදිරිපස ඇති වස්තූන්ගේ සෙවණැලි බිත්තිය මතට පතිත වන අයුරින් එම වස්තූන්වලට ඉදිරියෙන් බිත්තිය දෙසට එල්ල වන පරිදි ආලෝක ප්‍රභවයක් ස්ථානගත කිරිම මඟින් මෙම ආලෝකකරණය සිදු කරනු ලැබේ. සියුම් රේඛා මඟින් නිර්මාණය වුණු මූර්ති සහ අතු බෙදුණු විසිතුරු ශාඛ වැනි වස්තූන්හි සෙවණැලි බිත්තිය මතට වැටීමට සැලැස්වීමෙන් අලංකාර සෙවණැලි සහිතව බිත්තිය ආලෝකමත් කරගත හැකිය.

සෙවණැලි ආලෝකකරණය (www.BazaarGadgets.com)

 

Related Articles