Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“සහෝදරයා” විලාසිතාමය වමට ප‍්‍රශ්නයක් වෙයි…

 

පසුගියදා විකාශය ඇරඹූ, නාමල් ජයසිංහ විසින් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබූ සහෝදරයා ටෙලි නාට්‍යය පිළිබඳව සමාජය තුළ යම් කතා බහක් ඇති වී තිබේ. එබැවින් එම ටෙලි නාට්‍යයේ සාකච්ඡාවට ගැනෙන කරුණු කාරණා සම්බන්ධයෙන් එහි රචකයා වන නාමල් ජයසිංහ සමග කතා බහ කළෙමු.

සහෝදරයා  පිටපත ලියන්න මූලික පදනම වැටෙන්නෙ කොහොමද , සහ ඊට පෙළඹුම හැදෙන්නෙ කොයි වගේ පසුබිමක් ඇතුළෙ ද ?

පළවෙනිම කාරණය, මම මෙතෙක් රචකයෙක් හැටියටයි ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ වැඩ කළේ. එතකොට මම හැම වෙලාවෙම මගේ පිටපත බාරගන්න අධ්‍යක්ෂවරයාගේ අභිමතය ගැනත් කිසියම් ප‍්‍රමාණයකට කල්පනා කරනවා, සහ කල්පනා කරන්න සිද්ධ වුණා. මම මේක කලකිරීමකින් නෙමෙයි කියන්නෙ. ඒ කරපු දේවල් සම්බන්ධයෙන් මම අතිශයින් සතුටුයි. නමුත් මගේ හිඩැසක් තිබුණා. මම ආසම කරන මගේම මමම හිතන විදියේ එකක් කළේ නැහැ නේද වගේ එකක්. කාලයක් ගියාට පස්සෙ එහෙම හිතෙන තැනක් ආවා. ඊට අමතරව මම හිතුවා මම කතා කරන කාරණාවෙ රිස්ක් එක අධ්‍යක්ෂවරයෙකුට දෙන්න  ඕනෙ නැහැ කියලා. මම හිතන එක සාමාජයීයව නරක ප‍්‍රතිචාර දැක්වෙන්න පුළුවන් ජාතියේ සංවාද හැදෙන එකක් නම්, ඒ අයිඩිලොජි එක අධ්‍යක්ෂවරයගෙත් නෙමෙයි නම්, මම ඒක එයාට බාර දෙන්න ඕන නැහැ රචකයෙක් විදියට කියන මතයේ මම හැමවෙලේම හිටියා ලියද්දී. එතකොට මම අධ්‍යක්ෂවරයාගේ අයිඩිලොජි එකත් එක්ක ගැලපෙන, නමුත් මටත් සේන්දු වෙන්න පුළුවන් ඉසව්වක තමයි ලිව්වෙ. ඉතින් “සහෝදරයා” ලියනකොට මට  ඕන වුණා ඒකෙ අවදානමක් තිබ්බත් ඒක ගන්න ජාතියේ වැඩක් ලියන්න  ඕන කියලා. ඒක තමයි සහෝදරයා ලියන්න ගනිද්දි ආපු පළවෙනි පෙළඹුම.

සහෝදරයා ලියද්දි ඒකෙ ඇතුළෙ කතන්දරයට ආවොත් මම ගත කරපු ජීවිතය තුළ හමුවුණ මනුෂ්‍ය සම්බන්ධතා ගැන තමයි බොහෝ දුරට රචනය ඇතුලෙදි වැඩ කරලාම තියෙන්නෙ. එතකොට මේක ඇතුලෙදි නොලියවෙච්ච එක්තරා කතන්දරයක් තිබුණා කියලා මට හිතුණා සහෝදරත්වය ගැන. අනිත් ඒවා ලියලා ඉවරයි නෙමෙයි, නමුත් මාත් එක්ක කාලයක් හිටපු, වැඩ කරපු, අපි විශ්වාස කරන මත වලදි සහ කලාවෙදි අපිත් එක්ක එකට හිටපු මට හයියක් වෙච්ච එක්තරා සහෝදර සහෝදරියෝ පිරිසක් ඉඳලා තියෙනවා මට. ඒ සම්බන්ධතාවය ගැන ලියන්න  ඕනෙ කියලා අදහසක් තිබුණා. ඔය කාරණා දෙක තුනම එකතු වෙලා තමයි “සහෝදරයා” ලියවෙන්නෙ.

‘සහෝදරයා’ යනුවෙන් ආමන්ත‍්‍රණය වෙන්නෙ වැඩිපුර වමේ දේශපාලන කවුරු තුළ. ඇත්තටම සහෝදරයා කියන ආමන්ත‍්‍රණය ඔබ මේ නිර්මාණය සඳහා පාවිච්චි කළේ කුමන අරමුණකින්ද ?

කාට හරි කෙනෙකුට පේන්න පුළුවන් ‘සහෝදරයා’ කියන වචනය නාමකරණය වෙලා තිබෙන විදිය අනුව, වර නැගෙන විදිය අනුව ඒක දේශපාලන අර්ථයකින්ම කෙරිච්ච එකක් කියලා. හැබැයි මා තුළ කතන්දරය ගොඩනැගෙන්නම එහෙම දේශපාලන අරමුණකින් නෙමෙයි. පුද්ගල කේන්ද්‍රීය අදහසකින් තමයි කතන්දරය ගොඩ නැගෙන්නෙ. මේකෙ සහෝදරයො කියලා කියන්නෙ සමාන හදවත් ඇති සමාන මිතුරන් දෙදෙනෙකුට. ඒක එක බඩවැල කඩාගෙන ආවට වඩා, ‘සහෘද’ කියන අදහස ඇතුළෙ තමයි අර්ථ ගැන්වෙන්නෙ. එතකොට මෙහි සිටින සහෘදයො දෙන්නා එක සමාන දෙන්නෙක් නෙමෙයි. පංතිමය වශයෙන්, ආර්ථික වශයෙන්, අධ්‍යාපනික වශයෙන් හාත්පස වෙනස් දෙන්නෙක්. නමුත් ඒ දෙදෙනා එක්තරා අදහසක් වෙනුවෙන්, අරමුණක් වෙනුවෙන් සමාන හදවත් ඇත්තෝ. කතාව ඇතුළෙදි සහෝදරයා කියන වචනය දේශපාලන අර්ථයකින් හැ‍ඟ‍ෙවුවාට    ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි විලාසිතාමය වමට ප‍්‍රශ්නයක් වෙයි, මේක ඇතුළෙ කතා බහ කරන දේවල් එක්ක ගත්තාම.

ඔබ කියනවා ‘සහෝදරයා’ කියන වචනය දේශපාලන අර්ථයකින් හැඟ‍ෙවුවාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම ඔබ කියනවා මේ තුළ සිටින සහෝදරයින් දෙදෙනා එක්තරා අදහසක් වෙනුවෙන්, අරමුණක් වෙනුවෙන් සමාන හදවත් තිබෙන අය බව. එතකොට මේ තුළ අපිට පෙනෙන්නෙ වාමාංශික ලක්ෂණ. ඇයි ඉතින් ඒ කතාව කියන්න වමේ දේශපාලනයම පාවිච්චි කළේ ?

මෙහෙමයි. මේ කතාව ඇතුළෙ යහපත් සමාජයක් බලාපොරොත්තු වෙන පුද්ගලයො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම බලාපොරොත්තු වෙනවා මීට වඩා සාධාරණ සමාජයක්. එතකොට මේක බලන කෙනෙක්ට හිතෙනවා නම් ඒකට උත්තරය තියෙන්නෙ වමේ කියලා ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ.

සහෝදරයා ටෙලි නාට්‍යය ඇතුළෙ ජාතිකත්ව ගැටළුව පිළිබඳව කතිකාවතක් ගොඩ නැගෙමින් තිබෙන බව පෙනෙනවා. ඔබේ ප‍්‍රවේශය කුමක්ද ඒ සම්බන්ධයෙන් ?

මෙහි මූලික පෙළඹුම ගන්න තියෙන්නෙ මම මගේ ජීවිතයට තරම් අනෙකාගේ ජීවිතයට කොච්චර ගරු කරනවාද කියන තැන ඉඳන්. ඒ කියන්නෙ සිංහල දෙමළ මුස්ලිම් කසාද බැන්දට මේක හරියන්නෙ නැහැ. ඒවා නිකං අහඹු සීමිත කුලක ප‍්‍රතිඵල විතරයි. පළවෙනියටම මට මගේ ජීවිතේ වටින තරම්ම අනෙකාගේ ජීවිතය වටිනවා සහ ඊට ගරු කරනවා කියන ප‍්‍රවිශ්ඨය තමයි ශිෂ්ඨාචාරයක් විදියට අපේ සමාජය අත්පත් කරගන්න  ඕන දේ. ඒක ජාතික ආගමික වගේ කාරණාවලින් නෙමෙයි. අනෙකාගේ ජීවිතයට ගරුකිරීම කියන මූලික කාරණයක් තියෙන්නෙ. ඒක මිනිස් ශිෂ්ඨාචාරයේ මිනිස්සු අපිට කලින් අත්පත් කරගත්තා දියුණු සමාජ වල. නමුත් අපි තවම පරිණාමනය වෙමින් යන්නෙ.

’දියුණු සමාජයක්’ නොවෙයි කියන්නෙ, අපි ඉන්නෙ සමාජ ක‍්‍රම විකාශනයේ කුමන ආස්ථානයක ද ?

අපි වැඩවසම් තත්ත්වයෙන් ගැලවෙන්නෙ අපේ උවමනාවකට නෙමෙයි. ඒක ලෝක බල දේශපාලනයේ වෙච්ච සිද්ධියක්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ රුසියාව ජර්මනියට පහර දීලා ඒ බළ ඇණිය බිඳුනට පස්සෙ සහ බි‍්‍රතාන්‍යයට තවදුරටත් අධිරාජ්‍ය පවත්වගෙන යන්න බැරි වෙනකොට ඒගොල්ලන්ට දාලා යන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපි ඉල්ලා සටන් කරපු එකක් නෙමෙයි. එහෙම ඉල්ලලා දැනෙන සටනක් කළෙත් නැහැ අපි. ඉන්දියාවට නිදහස හම්බවෙනකොට අපිටත් හම්බවෙනවා.

මේක හරියට අර චතුරාර්ය සත්‍යය වගේ තමයි. ඒ කියන්නෙ මේක අපි අවබෝධ කරගන්න  ඕන දෙයක්. ඒ කියන්නෙ  අපි දුක් විඳින්න  ඕනේ. අපි දුක් විඳිමින් ඉන්න බව දැනෙන්න  ඕනෙ. ඊට අමතරව මීට වඩා යහපත් සමාජ ජීවිතයක් තිබෙන බව දැනගන්නත්  ඕනෙ. මේක වෙනස් කළ හැකි බව හිතන්නත්  ඕනෙ. නමුත් අපි තාම ඉන්නෙ අර දුක් විඳින අවධියේ. තාම තේරුම් ගත්තෙ නැහැ අපි දුක් විඳිමින් ඉන්නවා කියලා. එතකොට අපි තාම ඉන්නෙ අර වැඩවසම් තැනම තමයි.

සයිබර් අවකාශය ඇතුළෙ “සහෝදරයා” මේ වෙනකොට සාපේක්ෂව ලොකු කතාබහක් හදන්න සමත් වෙලා තිබෙනවා. සයිබර් අවකාශයෙන් එහා ලෝකය සහෝදරයා ගැන කියවමින් ද ඉන්නෙ ?

නැහැ. මම හිතන්නෙ නැහැ. මම කොහොමත් සයිබරයේ හැදෙන සංවාදය අධි විනිශ්චයට ලක් කරගන්නෙ නැහැ. ඒකෙන් අපේ සමාජයේ චලනය හොයන්න බැහැ. ඒ නිසා සයිබර් අවකාශයේ අපේ මිතුරන් දන්නවා මේ ගැන. නමුත් එළියෙ සමාජය මේ පිළිබඳව දන්නෙ නැහැ. එතකොට තමයි අපිට සිද්ධ වෙන්නෙ අර පරණ නිර්මාණකරුවාට වඩා වෙනස් වෙන්න. නිර්මාණය කරලා, ‘ආ මම මේක කළා’ කියලා පැත්තකට වෙලා ඉන්නෙ නැතුව, මේක ප‍්‍රචාරය සහ මිනිස්සු අතරට ගෙන යාම නිර්මාණයේම කොටසක් විදියට පිළිගන්න වෙනවා. දැන් වෙනකොට අපි ඒක තේරුම් ගනිමින් ඉන්නවා. මම හිතනවා අපිට පස්සෙ මීට වඩා ක‍්‍රමිකව ක‍්‍රමාණුකූලව මිනිස්සුත් එක්ක සංවාදයට යන්න නිර්මාණකරුවෝ ඉදිරිපත් වෙයි කියලා. මිනිස්සුන්ට මේක ගෙනියන්න තියෙන එකම විදිය ජනමාධ්‍යයනෙ. ඉතින් අපිට තිබෙන්නෙ රේඩියෝ එක හෝ ප‍්‍රින්ට් මීඩියා පමණයි. ඒක හරහා අපි උත්සාහ කරනවා මේක මිනිස්සු අතරට ගෙනියන්න.

“සහෝදරයා” කතාව ගොඩනැගිලා තිබෙන්නෙ දේශපාලනය ඇතුළත් බරසාර කතාන්දරයකින්. එතකොට මේ බරසාර දේශපාලනය දරාගන්න සයිබරයේ ගැවසෙන කියවන අයට පුළුවන් වේවි. නමුත් එතනින් එහා ඉන්න පොදු සමාජයට මේ කතාවේ තිබෙන බර දරන්න පුළුවන් වෙයිද ?

ඔබ ඔය අහන ප‍්‍රශ්නයේ යටි අදහසක් තියෙනවා. ඒ කියන්නෙ මගේ ටාර්ගට්  ඕඩියන්ස් එකත් එක්ක මගේ ගනුදෙනුව ගැනත් ඔය ප‍්‍රශ්නය ඇතුළෙ මතුවෙනවා. ඕඩියන්ස් ගැන කල්පනා කරද්දි මම එක්තරා උත්සාහයක් දැරුවා කතන්දරය ඇතුළෙදි ඔය දෙකම පවත්වගන්න. තාක්ෂණිකව වෙන උපක‍්‍රම වගයක් නාට්‍ය ඇතුළෙ පාවිච්චි කළා. උදාහරණයක් විදියට මහ සමාජයට නාට්‍යය ඇතුළෙ කතා කරන දාර්ශනික දේවල් බර නම් මහ සමාජයට එල්ලෙන්න පුළුවන් පුද්ගල ඛේන්ද්‍රීය මානව සම්බන්ධතා ගණනාවක් මේක ඇතුළෙ තිබෙනවා. උඩ ලේයර් එක විදියට. ඒක යට තමයි අර කියන සාකච්ඡාව සිද්ධ වෙන්නෙ. එතකොට මම කල්පනා කළා, ලංකාව වෙනස් වෙන්නෙ ලංකාවෙ තීන්දු තීරණ ගැනීමකදිනෙ. එතකොට මේ වෙලාවෙ රටේ ඉන්නවා එක්තරා පිරිසක්, ඔවුන් කිසියම් බරසාර දේවල් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් පිරිසක්. එතකොට අර කතන්දරේ තිබෙන බරසාර කොටසෙදි මම ඒගොල්ලන්ව ටාර්ගට් කර ගන්නවා. හේතුව, ඒගොල්ලො තමයි මේ සමාජයේ අනාගතයේ තීන්දු තීරණ ගන්නෙ. එළියෙ මහ සමාජය සංකල්පීයව සහ භෞතිකව ඉතා ඉක්මනට මිය යනවා. හැබැයි තරුණ කණ්ඩායමක් ඉන්නවා අනාගතයේ තීන්දු තීරණ ගන්න. ඒගොල්ලොත් එක්ක කරන ගනුදෙනුවෙදි මම ටිකක් බරට කතා කරනවා.

ඇතැම් නිර්මානකරුවො කියනවා පුද්ගලයන් ප‍්‍රබුද්ධ කිරීමට වඩා සමාජය ප‍්‍රබුද්ධ කිරීම කළ යුතුයි කියලා. තවත් කොටසක් කියනවා සමාජයට ප‍්‍රබුද්ධ කිරීමට වඩා පුද්ගලයන් ප‍්‍රබුද්ධ කිරීම හොඳයි කියලා. මේ කාරණා දෙකෙන් ඔබේ තෝරාගැනීම මොකක්ද නිර්මාණකරනය හරහා ?

මගේ විශ්වාසය තිබෙන්නෙ තනි පුද්ගල උත්සාහයන් ගැන. කොහොමත් අනාගතයේදී අපේ රටේ සහ ලෝකයේ සමාජ ව්‍යාපාර හෝ දේශපාලන ව්‍යාපාර හැදෙන්නෙ නැහැ. අපි කොච්චර ආස වුණත් උරෙනුර ගැටිලා කරන දේශපාලනය කණ්ඩායම් විදියට ඒක ඉස්සරහදි දකින්න ලැබෙන එකක් නැහැ. හැදෙන්නෙ තනි පුද්ගල දේශපාලන ව්‍යාපාර. ඒ කියන්නෙ, තමන් තමන් ඉන්න තැනක ඉඳලා කරන දේශපාලන ව්‍යාපාර තමයි හැදෙන්නෙ. ඒක තනි පුද්ගලයෙක් විදියට වෙනස් වෙලා දේශපාලන තීරණයක් ගනිද්දි එළියට එන්න පටන් ගන්නවා. එතකොට පුද්ගල කේන්ද්‍රීයව කෙනෙක්ව වෙනස් කිරීම කියන එක අපිට හිතන්න සිද්ධ වෙනවා. තනි පුද්ගලයෙක්ව වෙනස් කළාට ඒක සමස්තයක් විදියට ගත්තාම සමාජයක් විදියට එකට තීන්දු ගන්න තැනකට එනවා.

පිටපත් රචකයො පිටපත් ලියන්නෙ බොහෝ වෙලාවට තමන්ගේ උවමනාවටම නෙමෙයි. එය නිෂ්පාදකවරයාගේ උවමනාවට හෝ අධ්‍යක්ෂවරයාගේ උවමනාවට විය හැකියි. එතනදි පිටපත් රචකයා ලියන්නේ තමාගේ අභ්‍යන්තරයම නෙමෙයි. මේ ගැන පිටපත් රචකයෙක් විදියට ඔබ කොහොම ද දකින්නෙ ?

වෘත්තීය වශයෙන් රචකයෙක් වුණාම වෙළඳපළේ තමන්ගේ නිර්මාණය විකිණෙනවා කියන එක අපිට ප‍්‍රතික්ෂේප කරන්නම බැහැ. මම කලාකාරයෙක් නෙමෙයි. මම නිර්මාණකාරයෙක්. මොකද මම රාජ්‍යයෙන් හෝ වෙන කිසිම ආයතනයකින් අනුග‍්‍රහය ලබන කෙනෙක් නෙමෙයි. එතකොට මගේ පැවැත්ම සඳහා වෙළඳපළ ඇතුළෙ විකිණීම වැදගත් වෙනවා. ඒ පදනම මත හිටගෙනම උත්තර දුන්නොත් එහෙම හැමවිටම මම අධ්‍යක්ෂකවරුත් එක්ක වැඩ කරද්දි මට සේන්දු වෙන්න පුළුවන් මානයක් තමයි මම හොයාගත්තෙ, කතන්දර ලියද්දි. ඒ කියන්නෙ මම නොදන්න අඳුරක අතපත ගාන තැනකට මම ගියෙම නැහැ. මම දන්න මුල්ලම තමයි මම අල්ල ගත්තෙ අධ්‍යක්ෂවරුත් එක්ක වැඩ කරද්දිත්; ලියද්දිත්. ඒ නිසා මම හිතන්නෙ අර ඛේදවාචකයට මුහුණ දෙන්න මට සිද්ධ වුණේ නැහැ.

අපේ රටේ මිනිස්සු කියවීමෙන් සහ රසවිඳීම් වලින් ඈත් වෙලා, රූපවාහිනියට පමණක් කොටු වෙලා කියලා හිතෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද ?

මිනිස්සුන්ට කලාව රසවිඳින්න පුළුවන් වෙන්නෙ විවේකයක් තියෙනවානම් විතරයි. විවේකය කියලා කියන්නෙ අතිරික්ත ශ‍්‍රමයට. නමුත් වර්තමානයේ බැංකු නිලධාරීයාගේ ඉඳලා පල්ලෙහා දක්වාම අද වැඩ කළේ නැත්නම් අද කන්න නැහැ. අතිරික්ත ශ‍්‍රමය හරි අඩුයි. අතිරික්ත ශ‍්‍රමය තියෙන්නෙ වෙන කණ්ඩායමක් ගාව. අතිරික්ත ශ‍්‍රමය හෙවත් විවේකය අපි අත්පත් කරගෙන නැහැ. දෙවෙනි කාරණය තමයි, කලාව කියල කියන්නෙ තව දුරටත් දේවත්වයට පත් කරපු, අහසින් නිකන් පාත්වෙන දෙයක් නෙමෙයි. ඒකත් චින්තන නිශ්පාදන ක‍්‍රියාවලියක්. ඒකට මිලක් යනවා. ඒක මිලදී ගන්න ඕනෙ. ඒ මිල දී ගැනීමේ ක‍්‍රය ශක්තිය හැමෝටම නැහැ. උදාහරණයක් විදියට, පොතක් සල්ලි වලට ගන්න ඕනෙ පොතක් බලන්න නම්. චිත‍්‍රපටියක් බලන්න නම් ටිකට් එකක් ගන්න  ඕනෙ. ඒ කියන්නෙ කලාව අපිට මිලදී ගන්න සිද්ධ වෙනවා. අපේ අති බහුතරයකට ඒ හැකියාව නැහැ. නැවත වතාවක් ඒකට හේතුව ඒගොල්ලො ගාව අතිරික්ත ශ‍්‍රමය නැහැ. එතනදි ඒ මිනිස්සුන්ට තිබෙන එකම සංස්කෘතික මෙවලම තමයි ටෙලිවිෂන් එක. එතකොට ඒ ටෙලිවිෂන් එක ඇතුළේ මොනවද පුරවන්නේ කියන එක අතිශය දේශපාලනිකයි. මේ වෙලාවේ ටෙලිවිෂන් එකේ හැසිරීම එක්තරා විදියක දේශපාලනික තත්ත්වයක්. ඒ කියන්නෙ, ටෙලිවිෂන් එකට පුළුවන් දේශපාලනික මෙවලමක් අධ්‍යාපනික මෙවලමක් සංස්කෘතික මෙවලමක් විදියට පාවිච්චි කරන්න.

අනිත් එක කලාව කියන එක බුර්ෂුවා පංතියේ පංති මෙවලමක් කරන්නෙ නැතුව, සාමාන්‍ය පොදු මිනිස්සුත් එක්ක සංවාදයකුත් හොඳ ගනුදෙනුවකුත් හදාගන්න පුළුවන් මෙවලමක් ටෙලිවිෂන් එක. කලාව හැමවිටම බුර්ෂුවා වෙන්නෙ පාංතික ලක්ෂණයක් වෙන්නෙ ඒක මිලදී ගන්න බැරි වෙනකොට. නමුත් ටෙලිවිෂන් එක හරහා ඒක කඩන්න පුළුවන්. වැඩේ තියෙන්නෙ  ටෙලිවිෂන් එක ලාබයම අරමුනු කරගත්ත පුද්ගලික නාලිකා අතට පත්වෙලා තිබෙනවා. පුද්ගලික නාලිකා කියලා කියන්නෙ තනි පුද්ගලයෙක්ගේ අයිතියක්. ඒකෙ ඉන්න වෙළෙන්දාගේ අභිමතය තමයි ටෙලිවිෂන් එකේ අභිමතය වෙන්නෙ. එයාගෙ දේශපාලන අභිමතය තමයි ටෙලිවිෂන් එකේ අභිමතය වෙන්නෙ. එතකොට එයාගෙ ටෙලිවිෂන් නාලිකාව පුරවන්නෙ ඒවගෙන්. ඒගොල්ලො මේ වෙලාවෙ රටේ සමාජය ගැන හිතන්නෙ නැතුව අදේශපාලනය පුරවමින් ඉන්නවා. මෙතනදි තමයි රජය වැදගත් වෙන්නෙ. සාමාන්‍ය මිනිස්සුන්ගේ අයිතියක් වන ගුවන් කාල අවකාශයට  පෞද්ගලික නාලිකා ඇවිල්ලා මොනවද පුරවන්නෙ කියන එක සම්බන්ධයෙන් රජයකට වගකීමක් තියෙන්න ඕනෙ. හේතුව, රජය වග කියන්න ඕනෙ රටේ සංස්කෘතික අවකාශය ගැන. නමුත් රජය ටෙලිවිෂන් එක පොදුජන මෙවලමක් කියන එක බාරගෙන නැහැ.

ඔබ කලාව තුළ සැලකිය යුතු දුරක් ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම පිටපත් රචනය පැත්තෙන්. මේ පැමිණි ගමන් මඟ නිවැරැදියි කියලා ඔබට හිතෙනවද ?

ඕනම කෙනෙකුට වරදින්න පුළුවන් සහ ඕනම කෙනෙකුට ඒකෙන් නිවැරැදි මාවතට එන්න අයිතියක් තියෙනවා. දේශපාලනිකවත් එහෙමයි, සාමාජයීය පැත්තෙදි සහ කලාව ඇතුලෙදිත් එහෙමයි. මගේ භාවිතාව ඇතුලෙදි නම් මට හිතුනෙ නැහැ මම ගමන් කළ පාර වැරදුනා කියලා. ඒක එහෙම වෙන්න තව හේතුවකුත් තිබෙනවා. මොකද නිර්මාණයක් හරහා පේ‍්‍රක්ෂකාගාරය තුළ මට ගොඩනැගෙන සංවාදය. ඒක හරහා නැවත වතාවක් මටම රිෆ්ලෙක්ට් කරනවා මම යන පාර හරි කියලා. එතකොට මම නැවත හැරිලා බලද්දි මට හිතුනෙ මම හරි පාරෙ ගියා, නමුත් හැමවිටම හිතුනා තාම හරියට කියා ගත්තෙ නැහැ කියලා. එතකොට මම හැම වෙලේම කළේ මම කියමින් හිටපු කතන්දරේ වෙන චරිත, වෙන සිද්ධි හරහා නැවත නැවතත් ඒකම හෙළි කරගන්න හදපු එක. ඇත්තටම මම තාම කියලා තිබෙන්නෙ එකම කතාවක්. හැම එකක් ඇතුළෙම කියන්න උත්සාහ කරන්නෙ එකම කතාවක්.

Related Articles