Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

13 වැනි දා සිකුරාදා ඇත්තට ම අසුබ දවසක් ද?

ඔබ කවදා හෝ දිනක හූනකු හඬන ශබ්දයක් ඇසීම නිසා නිවසින් පිටවීම ප්‍රමාද කර තිබේ ද? නිවස අසල බළලුන් රංචුවක් පොරකනු ඇසී එය අසුබ පෙරනිමිත්තක් බව පවුලේ අය සමඟ සාකච්ඡා කර තිබේ ද? උදෑසන ම ගමනක් යන විට හිස් කළයක් රැගත් අයකු හමු වුවහොත් යන ගමනේ අරමුණ සාර්ථක නොවනු ඇතැයි සිතා තිබේ ද?

කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති වුවත් මෙවැනි විශ්වාස ලාංකේය සමාජයේ තවමත් මුල් බැසගෙන තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට වසර සිය ගණනකට පෙර පැවති තත්ත්වය පිළිබඳව සලකන විට මේ වන විට මේ විශ්වාස ටිකෙන් ටික අඩු වෙමින් පැවැතියත් සැලකිය යුතු පිරිසක් තවමත් ඒවායේ එල්බ සිටිති.

13 වැනි සිකුරාදා පිළිබඳ සමහරුන් දක්වන බිය පිළිබඳ කාටූනයක්- www.ctif.org

කෙසේ වෙතත් ලාංකේය සමාජයේ පමණක් නොව යුරෝපා රටවල පවා මෙවැනි විශ්වාස පවතී. ඉන් එකක් ලෙස ’13 වැනි දා සිකුරාදා’ අසුබ බවට වන මතය හැඳින්විය හැකි ය. සියවස් ගණනාවක් තිස්සේ සමාජගත ව පවතින මෙම මතය සම්බන්ධ කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සොයා බලමු.

යුරෝපයේ පවතින සුබ-අසුබ පිළිබඳ මත

යුරෝපයට ආවේණික අසුබ ගෙන දෙන දෑ පිළිබඳ මත කිහිපයක් වේ. කළු පැහැති බළලෙක් මාර්ගයක් හෝ නිවෙසක් අසල රැඳී සිටීම එවැනි අසුබ ලකුණක් බව යුරෝපීයයෝ විශ්වාස කරති. ඊට අමතර ව කණ්නාඩියක් බිඳී යාම වැනි සිදුවීම් ද අසුබ යමක පෙරනිමිති බව ඔවුහු විශ්වාස කරති. ඉහළට ඔසවා ඇති ඉණිමගක් යටින් යාමට සිදුවීම ද අසුබ ලකුණකැයි ඔවුහු විශ්වාස කරති.

13 වැනි දා සිකුරාදා පිළිබඳව තවත් දැන්වීමක් – www.pinterest.com 

එවැනි විශ්වාසයන් අතර තවත් එකකි- 13 වැනි සිකුරාදා දිනය අසුබ බව. බටහිර සාහිත්‍යයේ සඳහන් වන ආකාරයට 12 සැලකෙන්නේ අංග සම්පූර්ණ බව සංකේතවත් කරන අංකයක් ලෙස යි. විශේෂයෙන් ම නත්තල් කාලය දින 12ක් වීම, වසරකට මාස 12ක් තිබීම, ග්‍රීක සාහිත්‍යයේ එන හෙරක්ලිස් (රෝම සාහිත්‍යයේ හර්කියුලිස්)ට ශ්‍රම 12ක් වීම වැනි කරුණු ඊට හේතු වී තිබේ.  කෙසේ වෙතත් 12 ට පසු එන 13 අවාසනාව ගෙන දෙන බවට ඔවුහු විශ්වාස කරති. එය ආරම්භ වූයේ කුමන කාල වකවානුවකදී ද යන්න පිළිබඳ නිශ්චිත ව පැවැසිය නොහැකි වුවත් එය සියවස් ගණනාවක් තිස්සේ සමාජගත වී ඇති විශ්වාසයකි.

හම්මුරාබි නීති සංග්‍රහයෙන් ඉවත් වූ 13 වැනි වගන්තිය

බැබිලෝනියානු රාජ වංශයට අයත් පළමු රජු ලෙස සැලැකෙන හම්මුරාබි රජ සමයේ රචනා කර ඇති හම්මුරාබි නීති සංග්‍රහය ක්‍රිස්තු පූර්ව 1755-1750 අතර කාලය තුළ ලියැවුණු එකක් බව සොයාගෙන තිබේ. එය ඉතාමත් විධිමත් ව සම්පාදනය කර ඇති නීති සංග්‍රහයකි. ඇඟිල්ලක හැඩයෙන් යුතු විශාල කළු ගලක රචනා කර ඇති එහි නීති 282ක් සටහන් කර තිබේ. කෙසේ වෙතත් එහි 13 වැනි අංකය දරන නීතියක් සඳහන් නොවේ. එය සටහන් කිරීමේ දී සිදු වූ අත්වැරදීමක් බව ඉතිහාසඥයන්ගේ මතය වුවත් තවත් පිරිසක් පවසන්නේ එය, 13, අසුබ අංකයක් බව තහවුරු කෙරෙන අවස්ථාවක් බව යි.

හම්මුරාබි නීති සංග්‍රහය සටහන් කර ඇති ගල් කණුව – www.misterdann.com

අවසන් රාත්‍රී භෝජනය

බයිබලයේ සඳහන් වන්නේ අවසන් රාත්‍රී භෝජනයට සහභාගී වූ පිරිස ජේසුස් වහන්සේ සහ ඔහු පාවා දුන් ජුදාස් ද ඇතුළුව 13ක් බව යි. ඊට පසු දින, එනම් සිකුරාදා දින ජේසුස් වහන්සේට කුරුසියේ තබා ඇණ ගැසූ දිනය වේ. අමුත්තන් 13 දෙනකුට අසුන් ගත හැකි ආකාරයෙන් සකසා තිබූ අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳ ව වන කතා පුවත නිසා මේසයක අමුත්තන් 13 දෙනකු සිටීම අසුබ කරුණක් බව විශ්වාස කිරීමට කිතුණු බැතිමතුන් යොමු වූ බව කියැවේ.

සිකුරාදා අසුබ දවසක් ලෙස සැලකීමට හේතු වූයේ ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසූ දිනය සිකුරාදාවක් වීම නිසා බව ද පැවැසේ. එමෙන් ම ඒව, ආදම්ට ඇපල් ලබා දුන්නේ සහ කායින් සිය සහෝදරයා වූ ආබෙල් මරා දැමුවේ ද සිකුරාදා දිනවල දී බව විශ්වාස කෙරේ.

අවසන් රාත්‍රී භෝජනය දැක්වෙන සිතුවමක් – www.smithsonianmag.com

දහ තුනේ කල්ලිය

19 වැනි සියවසේ අගභාගයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ විසූ විලියම් ෆොලර් නමැති පුද්ගලයෙක් 13 හා බැඳුණු අසුබවාදී අදහස් දුරු කිරීමට උත්සහ කළේ ය. විශේෂයෙන්ම ඔහු අමුත්තන් 13 දෙනකු කෑම මේසයක අසුන්ගෙන සිටීම අසුබ බවට වන මතය දුරු කිරීමේ අරමුණින් ‘දහතුනේ කල්ලිය’ නමින් කණ්ඩායමක් පිහිටුවී ය.

හිටපු අමෙරිකානු ජනාධිපතිවරුන් සිව් දෙනෙක් වන චෙස්ටර් ඒ. ආතර්, ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්, බෙන්ජමින් හැරිසන් සහ තියඩෝර් රූස්වෙල්ට් පවා කලක් මෙම කණ්ඩායමේ සාමාජිකයන් ව සිටි බව කියැවේ.

දහතුනේ කල්ලිය පිළිබඳ කාටූනයක් – www.theparisreview.com

එම කණ්ඩායම සෑම මසක ම 13 වැනි දින, එක්තරා අවන්හලක 13 අංකය දරන කාමරයේ රාත්‍රී ආහාරය ලබා ගැනීමට පුරුදු වී සිටියහ. ඔවුන් ඊට පෙර ඉණිමගක් යටින් ද ගමන් කළහ (ඉහළට ඔසවා ඇති ඉණිමගක් යටින් ගමන් කිරීමට සිදුවීම ද යුරෝපා රටවල සැලකෙන්නේ අසුබ ලකුණක් ලෙසයි). ඊට අමතර ව ඔවුන් ““Morituri te Salutamus,”- අප අතර සිටින මිය යන්නට ආසන්න පුද්ගලයන් ඔබට ආචාර කරති)” යනුවෙන් සටහන් කර තිබූ බැනරයක් ද භාවිත කර තිබේ.

පොප් සංස්කෘතියේ සඳහන් වන 13 වැනි සිකුරාදා

13 වැනි දා සිකුරාදා හා බැඳුණු විශ්වාසයන්හි සන්ධිස්ථානයක් ලෙස 1907 දී අමෙරිකානු කතුවරයකු වූ තෝමස් විලියම් ලෝසන් රචිත ‘Friday, the Thirteenth’ නවකතාව ප්‍රකාශයට පත් වීම හැඳින්විය හැකි ය. නිව්යෝර්ක් නගරයේ ජීවත් වූ කොටස් තැරැව්කරුවකු වෝල් වීදියේ කලබලයක් ඇති කිරීමට උත්සහ කරන අයුරු පිළිබඳ ව කතාවක් එහි කියැවේ.

‘Friday, the 13th’ නවකතාව – www.amazon.com

ඊට අමතරව 1980 දී තිරගත වූ ‘Friday the 13th’ චිත්‍රපටය ද මෙම විශ්වාස හා බැඳී ඇති එකකි. එය මුහුණ ආවරණය කර ගත් ජේසන් නම් ඝාතකයෙක් වටා ගෙතුණු චිත්‍රපටයකි. එම චිත්‍රපටය අනුසාරයෙන් චිත්‍රකතා, වීඩියෝ ක්‍රීඩා සහ හැලොවීන් ඇඳුම් වැනි බොහෝ දේ බිහි විය.

ජේසන් – www.indicnire.com

13 වැනි සිකුරාදා සිදු වූ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්

ක්‍රිස්තු වර්ෂ 1307 ඔක්තෝබර් 13 වැනි දා සිකුරාදා ප්‍රංශයේ හතරවැනි පිලිප් රජුගේ අණින් ‘Knights Templar’ නම් කණ්ඩායමට අයත් සෙබළුන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 12 වැනි සියවසේ දී කුරුස යුද්ධ පැවති කාලය තුළ බිහි වූ ඉතාමත් රණශුර කණ්ඩායමක් බව පැවැසේ. ඔවුන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත්තත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතු වූ මුලික කරුණ ඔවුන් සතුව තිබූ මිල මුදල් ලබාගැනීමට රජුට අවශ්‍ය වීම යි. ටික කලකට පසුව ඔවුන් හිස ගසා මරා දමා තිබේ. එය 13 වැනි දා සිකුරාදා අසුබ බවට වන මතය ඇති වීමට හේතු වූ කරුණ බව සමහරුන්ගේ මතය යි.

‘Knights Templar’ – www.quora.com

මෑතකාලීන ඉතිහාසයේ ද 13 වැනි දා සිකුරාදා සිදු වූ අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් සඳහන් වේ. ඒ අතර ජර්මනිය, මහා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගයට බෝම්බ හෙළීම (1940 සැප්තැම්බර් 13 වැනි සිකුරාදා), මහත් ආන්දෝලනයකට තුඩු දුන් අමෙරිකා එක්සත් ජනපදයේ ක්වීන්ස් හි Kitty Genovese ඝාතනය (1964 මාර්තු 13 වැනි සිකුරාදා), බංග්ලාදේශයේ ඇති වූ සුළි කුණාටුවකින් පුද්ගලයන් 300,000කට වැඩි පිරිසක් මිය යාම (1970 නොවැම්බර් 13 වැනි සිකුරාදා), ඇන්ඩීස් හිදී චිලි රාජ්‍යයට අයත් ගුවන් යානයක් අතුරුදහන් වීම (1972 ඔක්තෝබර් 13 වැනි සිකුරාදා), සුප්‍රසිද්ධ රැප් ගායක Tupac Shakur ගේ මරණය (1996 සැප්තැම්බර් 13 වැනි සිකුරාදා), සහ පුද්ගලයන් 30කට මරු කැඳවූ ඉතාලි මුහුදේ නැව් අනතුර (2012 ජනවාරි 30 වැනි සිකුරාදා) ප්‍රධාන තැනක් ගනී.

බකිංහැම් මාළිගයට බෝම්බ හෙළීම නිසා හානි වී තිබූ අයුරු (දෙවැනි එළිසබෙත් රැජනගේ පියා (හයවැනි ජෝර්ජ් රජු) සහ මව (එළිසබෙත් රැජන) ද ඡායාරූපයේ සිටී – www.royal.uk

කවරයේ ඡායාරූපය- www.ctif.org

මූලාශ්‍ර- www.history.com

www.cnn.com

www.independent.co.uk

Related Articles