ඔබේ විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්යද?

වර්තමාන සමාජය “විවාහය”, නොඑසේ නම් “කසාදය” යන සංකල්පය බොහෝ ඉහලින් පිළිගනී. “කසාදය ” යනු නීතිය සැකසු සංකල්පයක් පමණි. අපගේ මුතුන්මිත්තන්ගේ කාලයේ මෙම නීතිමය සංකල්පය දක්නට නොලැබුනද ඔවුන් ඉතා සාමකාමී ප්‍රීතිමත් පවුල් ජීවිත ගත කරන ලදී.

විවාහයේ ඉතිහාසය

ඉංග්‍රීසින් අප රටට පැමිණීමට පෙර ලංකාව තුල තිබුනේ බහු විවාහ ක්‍රමයකි. මෙහිදී විවාහ ලියාපදිංචියක් සිදු නොවූ අතර එක ගැහැනියක් පිරිමින් කීපදෙනෙකු හා ජීවත් වු අතර එක් පිරිමියෙක් ගැහැනුන් කීපදෙනෙකු  හා එකට ජීවත් වීය. ඉංග්‍රීසින්ගේ පැමිණීමෙන් පසු ලංකාව තුල තිබු බහුවිවාහ ක්‍රමය නැති කර ඒක විවාහ ක්‍රමය ගෙන එන ලදී.

ඒක විවාහ ක්‍රමයට අනුව කසාදය ලියාපදිංචි කල යුතු විය. මෙහිදී එක් ගැහැනියකට විවාහ විය හැක්කේ එක් පිරිමියෙක් සමග පමණක් වන අතර එක් පිරිමියෙකුට විවාහ විය හැක්කේ එක් ගැහැනියක් සමග පමණි. ඔවුන්ට දෙවන විවාහයක් කර ගැනීමට නම් පළමු විවාහය දික්කසාද කල යතුය.

ඉංග්‍රීසින් මුලින්ම විවාහ ලියාපදිංචිය හදුන්වා දුන්නේ 1882 දිය. විවාහ ලියාපදිංචිය හදුන්වාදුන් කාලයේ ඉංග්‍රීසි නීතිය වූයේ ලියාපදිංචි කර නැති කසාද මගින් ඉපදෙන දරුවන් නීත්‍යනුකුල නැති බවයි. මෙම නීතියත් සමග ලංකාවේ දරුවන් බොහොමයක් නීත්‍යනුකුල නොවන බවට පත්විය. ඊට හේතුව වුයේ බොහෝ දෙමාපියන් ඔවුන්ගේ කසාදය ලියාපදිංචි කර නොතිබීමයි. මෙම හේතුව නිසාම ඉංග්‍රීසින්ට ඔවුන් ගෙන ආ නීතිය අවලංගු  කිරීමට සිදුවිය. ඉංග්‍රීසින් නැවතත් 1895 දී විවාහය ලියාපදිංචි කිරීමේ නීතිය ගෙන එන ලදී. නැවත එය 1896 දී අවලංගු කරන ලදී. අද ලංකාව තුල කසාදය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. සමහර ලියාපදිංචි කර නැති කසාද උසාවිය මගින් වලංගු කසාද ලෙස පිළිගනී. මේ අනුව අද ලංකාවේ සිදු කල හැකි විවාහ වර්ග දෙකකි.

  1. ලියාපදිංචි විවාහ
  2. චාරිත්‍රානුකූල විවාහ

දැන් අපි විමසා බලමු මේ විවාහ ක්‍රම දෙක අතර ඇති වෙනස්කම්.

ලියාපදිංචි විවාහ

(thaiembassy.com)

සාමාන්‍ය ජීවිතයේදී කසාදයක් “රේජිස්ටර්” කිරීම ලෙස හදුන්වන්නේ මෙයයි. මෙම කසාද ඉහලම තත්වයේ ඒවා ලෙස සැලකේ. එයට හේතුව නම් “විවාහ සහතිකය” ලෙසින් හදුන්වන ලියවිල්ලක් විවාහ වෙන දෙදෙනාටම මේ සමග  ලැබීමයි. දැනට ලංකාවේ කසාද ලියාපදිංචි කිරීම පනත් (ව්‍යවස්ථා) තුනක් අනුව සිදු කරයි.

  • 1907 අංක 19 දරන විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත

සාමාන්‍ය නීතිය, දෙමල පුද්ගලයන්ට අදාල වන තේසවලමෙයි නීතිය හා විවිද පුද්ගලික නීති වලින් පාලන වන අය අතර සිදුවන මිශ්‍ර කසාද මේ පනතින් පාලනය කරයි. උදාහරණයක් ලෙස- උඩරට නීතියෙන් පාලනය වෙන ගැහැණියක් හා පහත රට නීතියෙන් පාලනය වන පිරිමියෙක් කසාද බදිනවිට, ඒ කසාදය මේ පනත යටතේ සිදු කරයි.

  • 1952 අංක 44 දරන උඩරට විවාහ හා දික්කසාද පනත

මේ යටතේ කසාද බැදිමට හැකි වන්නේ උඩරට නීතියෙන් පාලනය වන අයට පමණි. කසාදය සිදු කල හැක්කේද උඩරට ප්‍රදේශයක පමණි. මෙම විවාහ සිදු කරන්නේ ඒ සදහා පත්කර ඇති “ උඩරට විවාහ ලේකම් වරුන්” විසින්ය.

  • 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත

මේ යටතේ කසාද බැදිමට හැකි වන්නේ මුස්ලිම් අයට පමණි. මෙම විවාහ සිදු කරන්නේ ඒ සදහා පත්කර ඇති “ මුස්ලිම් විවාහ ලේකම් වරුන්” ය. කසාදය ලියාපදිංචි කරන්නේ “නිකා” උස්සවය ලෙස හදුන්වන මුස්ලිම් විවාහ උත්සවය පැවැත්වීමෙන් පසුවයි.

චාරිත්‍රානුකූල විවාහ

ccn.com

මෙහිදී කසාදය ලියාපදිංචි කිරීමක් සිදු නොවේ. තමන් අයිති ආගම, ජාතියට අනුව චාරිත්‍ර සිදු කරයි. චාරිත්‍රානුකූල විවාහද කලින් සදහන් කල ප්‍රධාන පනත් තුන යටතේ වෙනස් වේ.

  • 1907 අංක 19 දරන විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත

චාරිත්‍රානුකූල විවාහ ගැන මෙහි සදහනක් නොමැත. ලියාපදිංචි කර නැති චාරිත්‍රානුකූල කසාදයක් වලංගු නැත කියා මේ පනතේ කොතැනක වත් කියා නැත. එනිසා මේ පනත යටතේ සිදුකර ඇති චාරිත්‍රානුකූල කසාද උසාවිය විසින් පිළිගනී.

  • 1952 අංක 44 දරන උඩරට විවාහ හා දික්කසාද පනත

ලියාපදිංචි කර නැති විවාහ “නීත්‍යානුකුල නැත” ලෙස මෙහි දක්වා ඇත. එම නිසා මෙම පනත යටතේ කර ඇති චාරිත්‍රානුකූල කසාද උසාවිය විසින් පිළිගන්නේ නැත. ඒවා උඩරට ප්‍රදේශයක ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

  • 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත

කසාදයක් ලියාපදිංචි කර නැති වීම මත පමණක් එම කසාදය අවලංගු නොවන  ලෙස මෙම පනතේ දක්වා ඇත. ඒ නිසා ඉස්ලාම් නීතියට අනුව ලියාපදිංචි කර නැති චාරිත්‍රානුකූල කසාදයක් උසාවිය පිළිගනී.

චාරිත්‍රානුකූල කසාදය සිදු කල යුතු ආකාරය ගැන කිසිවක් ඉහත පනත් වල කියා නැත. එම නිසා චාරිත්‍රානුකූල කසාදය පිළිබද අප රටේ නීතිය බොහෝදුරට උසාවි මගින් ලබා දෙන නඩු තීන්දු වලින් නිර්මාණය වී ඇත. චාරිත්‍රානුකූල කසාදය වලංගු ලෙස සැලකීමේදී උසාවිය තවත් බොහෝ කරුණු සලකා බලයි. ඒවා නම්

  • විවාහ වන දෙදෙනා විවාහයට අවශ්‍ය වයස සම්පුර්ණ කර තිබේද යන්න,
  • විවාහ වන දෙදෙනා කලින් විවාහ වී ඇතිනම් ඒවා නඩු තීන්දුවකින් දික්කසාද කර තිබේද යන්න,
  • තහනම් විවාහ සම්බන්ධතා ඇති දෙදෙනෙකු විවාහ විය නොහැක. උදාහරණ – පියෙකුට ඔහුගේ දුව කසාද බැදිය නොහැක, එකම දෙමව්පියන්ගෙන් ඉපදුනු දරුවන් දෙදෙනෙකුට කසාද බැදිය නොහැක.

ශ්‍රී ලංකාව තුල විවිධ සංස්කෘතියන්ට අයත් අය ජීවත් වන අතර  ඔවුන් කසාදයකදී සිදුකරන චාරිත්‍ර එක සමාන නැත. උදාහරණයක් ලෙස සිංහල මිනිසුන්ගේ කසාද චාරිත්‍ර වලට වඩා මුස්ලිම් හා හින්දු මිනිසුන්ගේ කසාද චාරිත්‍ර වෙනස් වේ.

එම නිසා උසාවිය විමසන්නේ විවාහ වූ දෙදෙනා ඔවුන්ගේ සංස්කෘතින්ට අයිති චාරිත්‍ර නිවැරදි ලෙස සිදුකර ඇතිද යන්නයි. ලංකාවේ දැනට ලියාපදිංචි කසාද හා චාරිත්‍රානුකූල කසාද යන දෙකම පිලිගත්තත්, උසාවියක් ඉදිරියේ ඉතා ලේසියෙන් කසාදයේ වලංගු බව ඔප්පු කර හැක්කේ ලියාපදිංචි කිරීම මගිනි.

මේ කරුණු සියල්ල සලකා බැලීමේදී විවාහයක් ලියාපදිංචි කිරීම වඩා උචිත බවක් හැඟේ

කවරයේ පින්තුරය – Cakap Kahwin

මුලාශ්‍ර –

  • Block II, Family law, Open University Sri Lanka.
  • Ponnambalam, Shirani. Law and the Marriage Relationship (Stamford Lake Press:1987)
  • Boberg, PQR. Law of Persons and the Family (Juta:1991)

Related Articles