ලංකාවේ අපේ කෑම වේලෙ පරිප්පු, පපඩම් කියන්නෙ හරියට පිඟානෙ තියෙන පරිප්පුයි පපඩම්නුයි වගේ නේද? ඔව්, ඒ දෙකට සමාන කරන්න පුළුවන් දෙයක් ලෝකෙ නෑ වගේ ම නිකං හරි එහෙම කළොත් ඒක මහා අගෞරවයක්. ඒ තරම් සමීප ළබැඳියාවක් තමයි මේ දෙකත් එක්ක අපිට තියෙන්නේ. මොන තරම් ජාති තිබුණත් මේවා නැත්නම් ආහාර වේල සම්පූර්ණ නැහැ වගෙයි.

හැබැයි ඉතින් මේ රාජකීය ආහාරයන්ගෙන් එකක් වන පරිප්පුවලට නිවිති දාන එක හරියට හුඟ දෙනෙක්ට යුද්ධ ප්‍රකාශ කරලා තර්ජනය කළා වගේ තමයි- ආහාරයට අනංමනං කරනවාට එච්චරට ම අකමැත්තක් තමයි තියෙන්නේ. මමත් පොඩි කාලෙ නිවිතිවලට ආස නෑ. හැබැයි Popeye කාටූන් එකේ නිවිති කාලා ඇඟට හයිය අරගෙන වැඩදාන හැටි දැක්කාට පස්සෙ නම් කන්න හුරුවුණා. ඔන්න මේ කියන්න යන්නෙත් නිවිති කතාවක් තමයි. නිවිතිවලට අපිට අකමැත්තක් දැනෙන්න හේතුව විද්‍යාත්මක හොයලා බලන්නයි හදන්නේ. මේක ගෙදරට එහෙම පෙන්නන්න නම් යන්න එපා, කන්නෙ නැතිකොට බැණුම් අහද්දි විද්‍යාත්මකව ම අහගන්න පුළුවන් වේවි.

නිවිති කන්න ඔච්චර අමාරු ඇයි?

(ecolobox.com)

ව්‍යංජනවලට වඩා විශේෂයෙන්, නිවිති සලාදයක් විධියට කෑවා ම දත්වල කටුක ගතියක් දැනෙන්න පටන් ගන්නවා. හරියට මොනවා හරි දත්වල බැඳිලා වගේ දිවට තේරෙනවා. ඒ, නිවිති පත්‍රවල තිබෙන අධික ඔක්සලික් අම්ල ප්‍රමාණය නිසායි.

මේ රසායනිකයේ ස්වාභාවික ප්‍රභවයන් බොහොමයක් සොබාදහමෙන් හමුවුණත් නිවිති වලට පදිරි වෙන්න වෙනත් කිසිම ශාකයකට හැකි වෙලා නැහැ. නිවිති ජාති ජාති ගොඩක් තිබුණත් එයින් Spinacia oleracea L.යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ප්‍රභේදයේ තමයි වැඩිම ඔක්සලික් අම්ල සාන්ද්‍රණයක් තිබෙන්නේ.

ඇයි නිවිතිවල ඔක්සලික්ම තියෙන්නේ වෙන මොකක් හරි ලික් එකක් නැතුව? ඒකට හේතුව තමයි කෘමි හානි වළක්වා ගැනීම. ස්වාභාවිකවම කෘමීන්ට ආහාරයට ගන්න බැරි වෙන්න තියෙන අම්ලයෙන් ම තමයි අපිටත් නිවිති කන්න අප්‍රියතාවයක් ඇතිවෙන්නේ. මේ ආරක්‍ෂණ උපක්‍රම හැරුණාම පෝෂ්‍ය ගුණ රැසකින්ද නිවිති සමන්විත වෙනවා. විටමින් A වල පුරෝගාමියෙක් වන බීටා කැරොටීන්, ලුයෙටින්, ෆෝලේට්, විටමින් C, පොස්පරස්, පොටෑසියම්, යකඩ සහ කැල්සියම් ඒ අතර තිබෙනවා. ඒකෙන් කියැවෙන්නේ නිවිති පරණ වෙද්දි මළකඩ කෑමේ දැඩි අවධානමක් තිබෙනවා, මොකද මේකෙ යකඩ තියෙන නිසා.

(shutterstock.com)

නිවිති ආහාරයට ගනිද්දී, මුඛයේදී සැපීමේදී ඔක්සලික් අම්ලය නිවිතිවල ම අඩංගු කැල්සියම් සමඟ මුව තුළදී ප්‍රතික්‍රියා කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙසින් ජලයේ ඉතා අඩුවෙන් දියවන කැල්සියම් ඔක්සලේට් (CaOx) ස්ඵටික ඇතිවෙනවා. ඉතින් මේවා මුඛය පුරා එහෙ මෙහෙ ගිහින් රැඳුනා ම කැට කැට වගේ දිවට සහ මුඛ අභ්‍යන්තරයට අපහසුතාවයකින් යුක්තව දැනෙන්නට පටන් ගන්නවා.

නිවිති නොකා ඉන්න හේතුවක් නම් හොය හොයා හිටියේ, මෙන්න එකක් – මෙහෙම හැදෙන කැල්සියම් ඔක්සලේට් වකුගඩුවලට නම් සුභදායී නැහැ. බීට්, ස්ට්‍රෝබරි, චොකලට්, තේ, තිරිඟු කුරුට්ටද අධිකව ආහාරයට ගැනීමෙන් මුත්‍රාවල ඔක්සලේට් පරිමාව වැඩි කිරීම සඳහා බලපානවා. කලින් සඳහන් කළා වගේ, මේවා ජලයේ දියවන ප්‍රමාණය ඉතා අඩු නිසා වකුගඩුවල තැන්පත් වෙමින් මුත්‍රා ගල් හදනවා.

ප්‍රශ්ණයක් පෙන්නලා, ඒක ඉතුරු කරලා යන පුරුද්දක් අපිට නෑ. ඒකට විසඳුමකුත් තියෙන්නම ඕන. වැඩියත් ම Popeye ට මුත්‍රාගල් හැදුනොත් මොකක්ද මේ ජීවිතේ තේරුම? ඒ හින්දා ඔක්සලික් අම්ලය අඩු කරන ලද නිවිති ප්‍රභේද නිපදවීම සඳහා විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

එතකොට රහට කන්න පුළුවන් නිවිති ඇත්තෙම නැද්ද?

(pinterest.com)

ස්වාභාවික නිවිති ප්‍රභේද විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒවා අතර ඔක්සලික් අම්ලට අඩු නිවිති වර්ගත් තිබෙන නිසා මේ දෙක අභිජනනය කිරීමෙන් අඩු ඔක්සලික් අම්ල ප්‍රමාණයක් සහිතව අප ආහාරයට ගන්නා නිවිති ශාකයක් උපදවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඇමරිකාවේ ආකන්සා විශ්ව විද්‍යාලයේ ශාක ව්‍යාධිවේද අංශයේ මහාචාර්ය ජිම් කොරල්ගේ නායකත්වයෙන් යුත් පර්යේෂක කණ්ඩායමක් මෙම ‘ඕනෑම කෙනෙක්ට ආහාරයට ගත හැකි ආකාරයේ නිවිති වර්ගයක්’ තැනීමේ මෙහෙයුමෙහි නිරතව සිටිනවා.

නිපැයෙන හැම ප්‍රභේදයක ම ඔක්සලික් අම්ල ප්‍රමාණ මනිමින් කරන්නට ගියොත් මෙම ක්‍රියාවලිය පහසුවෙන් සහ ඉක්මණින් අවසන් කරගන්නට වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා ඔවුන් ජානමය ලක්‍ෂණ පරීක්‍ෂා කරමිනුයි ඉදිරියට යන්නේ. ඒත් ඒ විතරක්ම මදි- ඔවුන්ට අවධානය යොමු කරන්නට තවත් පැති රැසක් තිබෙනවා. මානව අනුභවයට නිපදවන නිසා විශේෂයෙන් රස පිළිබඳව සැලකිලිමත් වෙන්නට අවශ්‍ය යි. ඒ වගේ ම කෘමි ආරක්‍ෂණය සඳහා ඇති ඔක්සලික් අම්ලය අවම කරනවා කියන්නේ බෝග වගාවකදී එය ප්‍රවේශම් කරගන්නට වැඩියෙන් වගාකරුවන්ට සිදු වෙනවා. ඉතින් අපේ ගොයියෝ මේකට වස ගහලා වෙළඳපොළට දානවා කියන්නෙ ඉතින් අර මේවායෙ තිබිච්ච ලික් එකෙන් වකුගඩු අමාරුවක් හැදිලා මැරෙන එක සැපයි.

ඔක්සලික් අම්ලය ඉවත් කළහොත් කෘමි අවධානම වැඩි වීම නිසා ඔවුන් සම්පූර්ණයෙන් ම ඔක්සලික් ඉවත් කරන්නේ නැහැ. ඉතින් අපට බලපෑමක් නොවන තත්තවය තෙක් අඩු කිරීමෙන් කෘමීන්ට පමණක් අපහසුවන තත්වයක් දක්වා එය පත්කරගෙන තිබෙනවා.

ඉතින් මේ නිපැයුම මෙලොව එළිය දකිනකම් ශරීරයට යකඩ ඕනෑ කියලා ගෙදර තියෙන බයිසිකලය කාලා හරියන්නෑනෙ? නිවිති කන්නත් ආසනම් කරන්න තියෙන්නේ හොඳින් තම්බා ගැනීම හෝ ව්‍යංජන ලෙස පිළියෙළ කිරීමයි. මං හිතන්නෙ දැන් තේරෙනවා ඇති අම්මා; පරිප්පුවලට ම නිවිති ටික දාලා ශේප් වෙන්නේ ඇයි කියලා. හැබැයි සලාද වශයෙන් ආහාරයට ගන්නවා නම් ඒ මතට දෙහි හෝ ලෙමන් යුෂ එක් කර ගැනීමෙන් ඔක්සලික් අම්ලය ජලයේ දියවන ප්‍රමාණය වැඩිකර ශරීර අහිතකර බවත්, දත්වලට දැනෙන අමිහිරි බවත් අවම කරගත හැකියි.

නිවිති ගැන මොනවා හරි විශේෂ අත්දැකීම් ඔබටත් තියෙනවා ද? එහෙනම් අපිත් එක්ක බෙදාහදා ගන්නත් අමතක කරන්න එපා.

මුලාශ්‍රය: hindustantimes.com

කවරයේ පින්තුරය: chowstatic.com