41 වසරකට පසු අළු මතින් ලොව දිනන යාපනය පුස්තකාලේ

යාපනය මහජන පුස්තකාලයට ගිනි තබා මේ ජූනි මාසයට අවුරුදු  41ක් පිරුණා.  ශ්‍රී ලංකා ඉතිහාසයට එක් කළු පැල්ලමක් එක් කරමින් දකුණේ ඇතැම් අඥාන දේශපාලනඥයන් ගොස් සිදු කළ මේ අපරාධය ගැන ලෝකය පුරා අදටත් කතා වෙනවා.

උතුරේ තරුණයන් තුළ දකුණේ ජනතාව කෙරෙහි වෛරයක් ඇති වී ත්‍රස්තවාදය වර්ධනය වීමටත් යම් ආකාරයකින් යාපනය මහජන පුස්තකාලයට ගිනි තැබීමේ සිදුවීම බල පෑ බව දේශපාලන විචාරකයන් පවසනවා.

 යාපනය පුස්තකාලය සහ එය ඉදිකිරීමට මුල් වූ චෙල්ලප්පා – Lankadeepa.lk

පුස්තකාලය ඊ පොත්ගුලක් වෙයි

ගිනි තැබීමෙන් පසු වසර ගණනාවක් නටබුන් ගොඩනැගිල්ලක් ලෙස අබලන් ව පැවති පුස්තකාලය පසුව අලුතින් ඉදි කිරීම 1998 දී ආරම්භ කෙරුණා. ඒ පැරණි ගොඩනැඟිල්ලේ සැලසුමට ම අනුව යි. ඒ සඳහා දකුණේ යහපත් මිනිසුන්ගේ ආධාර උපකාර ද විශාල වශයෙන් ලැබුණා. එය නව ගොඩනැඟිල්ලේ යළිත් විවෘත කළේ 2001 දි යි.

මෙම පුස්තකාලට පාලනය වන්නේ යාපනය මහ නගර සභාව මඟින්. ගිනි තැබීමෙන් 41ක් වසරක් ගත වන මේ අවස්ථාවේ දී යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් බවට පත් කිරීම සඳහා මේවන විට මූලික කටයුතු ආරම්භ කොට අවසන්. එම සැලසුම අවසන් කිරීමට නම් තව ටික කලක් ගතවේවි. එමඟින් ලොව ඕනෑම තැනක සිටින පුද්ගලයකුට යාපන මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනවා.

 පුස්තකාලයේ පුවත්පත් අංශය-  Sundayguardianlive.com

අද පුස්තකාල පහසුකම්

පුස්තකාලයට ග්‍රන්ථ මිලදී ගැනීම සඳහා නගර සභාව වසරකට මිලියනකට අධික මුදලක් වෙන් කෙරනවා.   යාපනය මහජන පුස්තකාලයේ අද වන විට ඇති පොත්පත් ප්‍රමාණය 99000කට වැඩි යි. මේ වන විට එයට බැඳී පොත්පත් ලබා ගන්නා සහ විමර්ශන අංශය භාවිත කරන  සාමාජිකයන් සංඛ්‍යාව 3000කට අධික යි. අධ්‍යයන ශාලා භාවිත කිරීමට පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් ද පර්යේෂකයන් ද විශාල පිරිසක් දිනපතා පැමිණෙනවා.

යාපනය පුස්තකාලයට රජයෙන් මෙන් ම, විදෙස් තානාපති කාර්යාලවලින් ද බොහෝ ආධාර ලැබී තිබෙනවා.  ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, අමෙරිකානු හා චීන තානාපති කාර්යාල මඟින් ද එයට ආධාර රැසක් ලබා දී තිබෙනවා.

ගිනි තැබීමට පෙර පුස්තකාලය – Blogsmw. wordpress.com

යාපනයට පුස්තකාලයක් 

යාපනය ප්‍රදේශයේ විසූ කේ. එම්. චෙල්ලප්පා නම් පුද්ගලයා තමයි දැනුම අන් අය සමඟ බෙදා හදා ගැනීමේ අරමුණින් වසර 1933 දී සිය නිවසේ නොමිලේ පවත්වාගෙන යන පුස්තකාලයක් ආරම්භ කර තිබෙන්නේ. ඒ පොත් කිහිපයක් සහ පුවත්පත් සහ සඟරා සුළු ප්‍රමාණයකින්. චෙල්ලප්පාගේ අදහස ටිකින් ටික යාපනය සමාජයේ ප්‍රචලිත වුණා.  පොත්පත් කියවීමට ළැදි පිරිසක් එකතු වී  1934 ජුනි මස 09 වැනිදා රැස් වී පුස්තකාලයක් පිහිටුවා ගැනීම සඳහා කමිටුවක් පත්කර ගත්තා.
කමිටුවේ සභාපති පුටුව හිමිවුණේ එවකට යාපනය මහාධිකරණ විනිසුරු අයිසැක් තම්බයියාට යි.   කේ. එම්. චෙල්ලප්පා ලේකම් ධුරයට පත්වුණා.

මෙම  කමිටුවේ අරමුණ වුණේ විධිමත් පුස්තකාලයක් පටන් ගැනීම. ඒ අනුව  1934 අගෝස්තු 01 වැනිදා යාපනය රෝහල් වීදියේ විදුලි බල ස්ථානය ඉදිරිපිට කුලියට ගත් කුඩා කාමරයක පුස්තකාලයක් විවෘත කෙරුණා. ආරම්භයේ දී මෙම පුස්තකාලයෙහි තිබුණේ පොත් 844 ක් සහ පුවත්පත් සඟරා 30 ක් පමණ යි. උදේ 8 ට විවෘත කළ එය සවස 7.30 වන තෙක් විවෘත ව තැබුවා. පුස්තකාලයේ පොත් සංඛ්‍යාව ටිකින්ටික වැඩිවුණා.  වැඩි ඉඩකඩක් සහිත ගොඩනැඟිල්ලක් එයට අවශ්‍ය වුණා. 1934 දෙසැම්බර් 20 දින පැවැත් වූ කමිටු සාකච්ඡාවක දී ගත් තීරණයක් මත 1935 ජනවාරි 01 දින සිට යාපනය ප්‍රධාන වීදියේ කුලියට ගත් ගොඩනැඟිල්ලකට එය ගෙන ගියා. පුස්තකාලයේ පාලනය යාපනය නගර  සංවර්ධන සභාවට ද බාර දුන්නා.

පුස්තකාලයට යාපනේ ලොකු ඉල්ලුමක්

පුස්තකාලය භාවිත කරන යාපනේ ජනතාව දිනෙන් දින වැඩි වුණා. මේ නිසා එයට ම වෙන්වූ අලුත් ස්ථිර ගොඩනැඟිල්ලක අවශ්‍යතාව මතුවුණා. අලුත් ගොඩනැඟිල්ලක් තැනීමට නගර සභාවට මුදල් තිබුණේ නැහැ.

අරමුදල් සපයා ගැනීම පිළිබඳව සෙවීමට යාපනයේ පළමු පුරපතිවරයා වූ සෑම් සභාපතිගේ ප්‍රධානත්වයෙන් සමුළුවක් පැවැත්වුණා. එහි දී ඉදිරිපත් වූ යෝජනා අනුව  ඉන්දීය කලාශිල්පීන් යොදා ගෙන නැටුම් හා සංගීත සංදර්ශන පැවැත්වීම, සැණකෙළියක් පැවැත්වීම, ලොතරැයි විකිණීම වැනි දේ සිදු වූ අතර මෙයින් සංවිධායකයන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වැඩි මුදලක් එක්රැස් වුණා.

පුස්තකාල ගොඩනැගිල්ලේ අලංකාරය- charithmania.blogspot.com

පුස්තකාලය ඉදිවෙයි

පුස්තකාලය ගොඩනැඟීම සඳහා වන කමිටුවට චෙන්නායි සිට ලංකාවට පැමිණි ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ කේ. එස්. නරසිම්මන් සහ  පුස්තකාල විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ මහාචාර්ය එස්. ආර්. රංගනාදන් ද ඇතුළත් ව සිටියා. පුස්තකාල ගොඩනැඟිල්ල නිර්මාණය කර ඇත්තේ, ගෘහ නිර්මාණ ශිල්පී කේ. එස්. නරසිම්මන්. ඔහු ඉන්දු අරාබි ගෘහ නිර්මාණ අංග සකලනයෙන් ගොඩනැඟිල්ලට සැලසුමක් ඇන්ඳා. 1954 මාර්තු 29 වන දින මුල් ගල තැබුණු පුස්තකාල ගොඩනැඟිල්ලේ මුල් අදියර 1959 වනවිට නිම කළා.

එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මෙම පුස්තකාලයේ ප්‍රථම අදියර යටතේ ප්‍රධාන අංශය1959  ඔක්තෝබර් 11 දා දී  විවෘත ‍කළා.  යාපනයේ ජනයා අතර පුස්තකාලය අභිමානයේ සංකේතයක් වුණා.  ඉන්දියාවෙන් සහ වෙන රටවල් වලින් පවා ප‍ර්යේෂකයන් පැමිණ මෙම පුස්තකාලය පරිහරණය කිරීමට පටන් ගත්තා.

1967 නොවැම්බර් 03 දින ළමා අංශයක් ද එහි  විවෘත කෙරුණා. 1971 වසරේ දේශන, සම්මන්ත්‍රණ, සාහිත්‍ය හා සංස්කෘතික ක්‍රියාකාරකම් පැවැත්වීම සඳහා බිම් මහලේ ශ්‍රවණාගාරය නිම කර විවෘත වුණා. 1977  දී යාපනයේ තිබූ අමරිකන් සෙන්ටර් පුස්තකාලය වසා දැමීමත් සමඟ එහි සංරක්ෂණය වූ තවත් පොත් රාශියක් ද යාපනය මහජන පුස්තකාලයට එක් වුණා.

 ගිනි තැබූ පුස්තකාල ගොඩනැඟිල්ලේ දුක්බර දසුන – gopalanravindran.wordpress.com

1981 මැයි 31 දා

වර්ෂ 1981 වන විට රාජ්‍ය පාලනයේ බලය බෙදා හැරීමේ ප්‍රාදේශීය මට්ටමක් සඳහා යෝජනා වී තිබූ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය භාර ගැනීමට ප්‍රධාන දෙමළ පක්ෂය වුණු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එකඟ වී සිටියා. එම නව දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය සඳහා ප්‍රචාරක රැස්වීම් 1981 වන විට  පැවැත්වෙමින් තිබුණා. එවක ආණ්ඩු පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයත් එම මැතිවරණයේ තරගකරුවෙක් බවට පත්ව සිටියා.

1981 මැයි 31 වැනිදා ඉරිදා දිනයක්. අප්පාපිල්ලේ අමිර්තලිංගම් ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තරග කරන යාපනය සංවර්ධන සභා ඡන්දය නිමිත්තෙන් පැවති එම පක්ෂයේ අවසන් රැලිය යාපනය ඇල්ෆ්‍රඞ් දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.  ප්‍රචාරක රැලිය පැවති ස්ථානයේ රාජකාරි කටයුතුවල යෙදී සිටි සිංහල පොලිස් නිලධාරීන් දෙදෙනකු ත්‍රස්තවාදී කල්ලියක ඝාතනයට ලක් වුණා. වෙඩි තැබීමේ චෝදනාව ඒ වන විට පැවති ත්‍රස්ත කල්ලියක් වූ ප්ලොට් සංවිධානයට එල්ල වුණා.

පොලිස් නිලධාරින්ගේ ඝාතනය දඩමීමා කරගෙන දකුණෙන් ගොස් සි‍ටි දාමරිකයන් මැරකම් පටන් ගත්තා. මැතිවරණ රාජකාරිවලට පොලිස් නිලධාරීන් රැසක් යාපනයට ගොස් සිටි අතර මැරකම්වලට ඔවුන් ද වගකිව යුතු බවට චෝදනා එල්ල වුණා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය කාර්යාලයට  මැරයන් එදින රාත්‍රියේ ගිනි තැබුවා.  ගෙවල්වල සිටි දෙමළ මිනිස්සු හතර දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් ඝාතනය කළා.  යාපනය මන්ත්‍රී වී. යෝගේෂ්වරන්ගේ නිවෙසට ද පහර දී විනාශ කළා.

 පුස්තකාලය ගිනි තැබීමෙන් දුකට පත් පුස්තකාලයාධිපතිනිය රූපවතී නඩරාජා -twitter.com

යාපනේ හදවත ගිනි ගනී

මැයි 31 මැදියම් රැයේ ජුනි මාසය ලබන විට යාපනය වැසියන්ගේ හදවත ලෙස සැලකුණු පුස්තකාලයත් තම ගිනිදළුවලට යටකරන්නට දකුණේ දාමරිකයන්ට හැකිවුණා. එය ශිෂ්ට ලෝකය ම කම්පනයට පත් කළ සිදුවීමක්. පුස්තකාලය ගිනි තැබීමට දාමරිකයන්ට පොලිස් නිලධාරින්ගේ ද සහාය ලැබි තිබෙන බව ප්‍රකාශ වුණා.  

සිංහල පොලිස් නිලධාරීන් මැරීමේ පළිය ගැනීමට පොලිසිය හා මැරයන් එකතුව මේ අපරාධය කළ බව පැවසුණා. කෙසේවුවත් එම මැර ක්‍රියාවල ස්වභාවය අනුව පෙනෙන්නේ ඒවා කල්තබා සංවිධානය වී සිට කළ විනාශකාරී ක්‍රියා බව යි. රූපවතී නඩරාජා තමයි පුස්තකාලය ගිනි තබන විට එහි ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය ලෙස කටයුතු කළේ. පසු කාලයේ ඇය එංගලන්තයට ගොස් එරට පදිංචි වුණා. එංගලන්තයේ සිටින අතර  ‘‘යාපනය මහජන පුස්තකාලය එදා සහ අද‘‘ යන අරුත සහිත පොතක් දෙමළ බසින් ඇය ලිව්වා. ඒ පොත බොහෝ දෙමළ පාඨකයන්ගේ අවධානයට ලක් වුණු කෘතියක්. 

 අබලන් වුණු ගිනිගත් ගොඩනැඟිල්ල – Sangam.org

 

පුස්තකාලය විනාශ වන විට, එය පොත් සහ අත්පිටපත් 97,000කට අධික ප්‍රමාණයක් අඩංගු වුණා. ඉතා දුලබ පොත් මෙන් ම අත්පිටපත් එහි තැන්පත් කර තිබුණා. ඒ අතර ප්‍රසිද්ධ පිරිස් පරිත්‍යාග කළ පෞද්ගලික පොත් එතකු ද එහි වූවා. යාපනයේ පුස්තකාලය ගිනි ගත් පුවත ඇසූ ආචාර්ය හයිසින්ත් සිංගරායර් ඩේවිඩ් පියතුමා එදින ම හෘදයාබාධයකට ලක් ව රෝහල් ගත කළා. ඒ අසනීපයෙන් ඔහු  ජුනි 01 දින හිමිදිරියේ ම මිය  ගියා.

 ගිනි තැබීමෙන් පසු- Sangam.org

ගිනිතිබ්බේ මෙහෙමයි

පුස්තකාලය ගිනි තැබීමට සහභාගි වූ අයකු පසුකාලීනව කළ පාපොච්චාරණයක් වෛද්‍ය රුවන්.එම්. ජයතුංග තම ‘ප්‍රභාකරන් සාධකය පිළිබඳව මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක්’ කෘතියේ මෙසේ සඳහන් කර තිබෙනවා:

මේ පුද්ගලයා කියූ පරිදි ඔහු සමඟ සිටි පුද්ගල කණ්ඩායමක් මුලින්ම පෙට්‍රල් සහ වැලි පිරවූ අරක්කු බෝතලයකට පාන්කඩයක් ඔබා එම පාන්කඩය පත්තු කොට එය පුස්තකාලයට විසි කරන ලදි. මෙම බෝතලයේ හතරැස් ව කපන ලද රබර් සෙරෙප්පුවක කොටස් ද වූයෙන් ගින්න තදින් ඇවිලුනේය. මේ අතර අයෙක් ගින්නක් ගින්නක් කියා කෑ ගැසුවේය. ඒ සමඟ ම කලින් සූදානම් වී සිටි පිරිසක් ගින්න නිවීමට වතුර විසී කරන්නාක් මෙන් පෙට්‍රල් හෝ භූමිතෙල් සහිත බාල්දි ගින්නට විසී කළෝය. මේ නිසා ගින්න බුර බුරා පත්තු වන්නට විය. පුස්තකාලයේ තිබුණු පොත්වලට ද ගින්න ඇවිලුනෙන් සුළු වේලාවක් තුළදී යාපනය පුස්තකාලය දැවී යන්නට විය. අඳුරු අහස රත් පැහැ ගැන්විණි. ගින්න ඉතා අධික උෂ්ණත්වයක් ජනිත කළ නිසා ගිනි තැබුවෝ මඳක් ඈතට ගොස් මේ දර්ශනය නරඹමින් ප්‍රීති ඝෝෂා කළහ. ඒ අතරවාරයේ යාපනයේ දෙමළ ජනතාව පුස්තකාලය අසලට විත් තම අධ්‍යාත්මය ගිනිගන්නා අයුරු සහ ඒ නිසා අපරාධකරුවන් සතුටින් උදම් වන අයුරු දුටුවෝය.“

  නව ලොවට යාමට සැරසෙන පොත්ගුල-  charithmania.blgspot.com

අගමැති සමාව ගනී

යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව 2016 වසරේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දි පැවසුවා. අගමැතිවරයා එසේ සමාව ඉල්ලා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ 2016 දෙසැ. 06වැනි දා පාර්ලිමේන්තුවේ දී ඇතිවූ උණුසුම් වාදයක් අතරතුරදීයි.

“අපේ කාලේ පුස්තකාලේ ගිනි තිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා, සමාව ඉල්ලනවා” අගමැතිවරයා  පවසා සිටියා. මේ සිදුවීමට සම්බන්ධ අය නිදැල්ලේ සිටි අතර ඔවුනට එරෙහි ව අද දක්වා කිසිදු අධිකරණ ක්‍රියාමර්ගයක් ගත්තේ නම්  නැහැ.

කවරයේ ඡායාරූපය-  ගිනි තබා සිව් දශකයකට පසු යාපනය පුස්තකාලය - wikipedia.org

මූලාශ්‍ර:

bbc.com

Lankadeepa.lk

Dinamina.lk

gopalanravindran.wordpress.com

Related Articles