ලක්ෂ ගණන් රොද බඳින නල්ලූර් කන්දසාමි කෝවිලේ තේරු උලෙළ

ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් පිරිසක් එක් වන යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ අගෝස්තුවේ පවත්වන තේරු උත්සවය වර්ෂ 2019 සිට නිසි පරිදි පැවැත්වීමට අවස්ථාව ලැබුණේ නැහැ.

2019 දී පාස්කු ප්‍රහාරය නිසාත්, ඉන් පසු එළඹි අවුරුදුවල කොවිඩ් වසංගත අවදානම නිසාත් එයට පැමිණෙන ජනතාවට සීමා පැනවුණා. කොවිඩ් අඩු වූ නිසා මෙවර විශාල පිරිසක් නල්ලූර් මංල්‍යයට එක්වන බව පැවසෙනවා. මේ එහි සුලමුල විමසා බැලීමක්.

 පෙර වසරක තේරු මංගල්‍යය පැවති අවස්ථාවක්- dinamina.lk

යාපනය නගරයේ සිට පේදුරුතුඩුව දක්වා විහිදෙන ඒ. බී. 71 මාර්ගයේ කිලෝමීටර 3ක් පමණ දුරින් තමයි සුප්‍රකට නල්ලූර් කෝවිල පිහිටා තිබෙන්නේ. මුරුගන් හෙවත් කන්දසාමි දෙවියන් උදෙසා වෙන් වූ නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයේ කොඩි එසවීමේ මංගල්‍යය හා වීදි සංචාරය පසුගිය අගෝස්තු 02 වැනිදා සිට ආරම්භ වුණා.

ඉන් පසු එළඹෙන දින 25ක් පුරා දේව පූජා රැසක් නල්ලූර් කන්දසාමි කෝවිලේ පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත යි. කොඩියේට්‍රම්, මන්ජම්, අරුනගිරිනාතර් උච්චවම්, කාර්තිගල් උච්චවම්, සුර්යෝච්චවම්, සන්තානාගෝපාලර්, කයිලාස වාහනම්, කජාවල්ලි මහාවල්ලි, වේලි විමානම් තන්ඩඋත්පානි උච්චවම්, ඔරුමුග තිරුවිසා, සප්පාරම්, තේර්, තීර්තම් පූන්ගවානම් වාරියාර් පූසල් නමින් වූ විවිධ උත්සව මෙම දින 25 තුළ පැවැත්වෙනවා.

උත්සව කාලයට නල්ලුර් සැණකෙළි සිරිය

උත්සව කාලයට නල්ලුර් පෙදෙස ම සැණකෙළි සිරි ගන්නවා. ප්‍රදේශයේ බොහෝ ව්‍යාපාරිකයන් එකතු වී පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීමට දන්සල් පැවැත්වීමත් එහි දී දැකගත හැකි යි. විවිධ බඩු පිරුණු තාවකාලික සල්පිල් කඩවලින් ද, විවිධ අන්දමේ රසකැවිලි කඩවලින් ද පිරුණු මංමාවත් මේ පළාතට ගෙනෙන්නේ අමුතුම සිරියාවක්.

දෙවියන්ට බැතිමත් නල්ලූර් අවට වැසියන් තම ව්‍යාපාරික ස්ථාන, නිවෙස් ඉදිරිපිට කෙසෙල් ගසින්, ගොක් රැහැනින්, සරසා කහ දියර ඉස හැඩකර තිබෙනු දකින්නත් පුළුවන්.

 උත්සව සිරි ගත් කෝවිල තුළ පූජාවක් – nalluran.com facebook page

මෙවර නල්ලූර් කෝවිලේ වාර්ෂික තේරු උත්සයට පැමිණෙන බැතිමතුන්ට කොවිඩ් අවදානම ද සැලකිල්ලට ගනිමින් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් දේව පූජාවලට සහභාගි වන ලෙසට ද යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුම් දී තිබෙනවා.
මෙයට වසර කිහිපයකට කලින් පැවැත්වූ උත්සවවලට නම් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වීම සාමාන්‍ය දෙයක්. එය උතුරේ වැඩි ම ජන සංඛ්‍යාවක් එකතු වන පූජනීය උත්සවය යි. 

පුරා මසකට ආසන්න කාලයක් නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජා පැවත්වෙන අතර මේ කාලයේදී කෝවිල වටා දින 20ක් තේරු රථය ඇදගෙන යාම ද සිදුවෙනවා. එහිදී සියලු බැතිමතුන් සිය බාර ඔප්පු කිරීමත් සිදුවෙනවා. ශන්මුහර් දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් විශාල තේරු රථය කෝවිල වටා ඇති වීදි දිගේ ගමන් කරන්නේ කඹ යොදා ගනිමින් ඇදීමෙනු යි. එය ඇදීමට උඩුකය නිරාවරණය කරගත් දුප්පත්, පොහොසත් පිරිමි බැතිමතුන් දහස් ගණනක් එක්වෙනවා.

කන්දසාමි කෝවිල – wikipedia.org

නල්ලූර්හි යාපනේ රාජධානිය

ක්‍රිස්තු වර්ෂ 1215 පමණ ලංකාවට සිදුවූ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසුව ඇරඹි යාපන රාජධානියේ අගනුවර ලෙස පැවතුණේ නල්ලූර් නගරය යි. යාල්පාන වෛපව මාලය නම් පැරණි ග්‍රන්ථයෙහි සඳහන් විජය කුලංකෙයි රජු මහාංවංශයෙහි සඳහන් කාලිංග මාඝ ලෙස සැක කරනවා.

මුලින් නල්ලූරය අගනුවර ලෙස යොදා ගත්තේ ගිංගෛයි ආරියන් නමින් ප්‍රකට වූ විජය කුලංකෙයි චක්‍රවර්තී රජු යි. ඔහු නල්ලුර් අගනුවර වටා ආරක්ෂා සංවිධාන යොදා එහි මාලිගා ඉදි කර තිබෙනවා. ඔහුගේ කාලය තුළ දී කෛලානාතර් කෝවිල, කන්දස්වාමි කෝවිල ආදී කෝවිල් කිහිපයක් ම තනා තිබෙනවා.

 කෝවිලට නුදුරින් පිහිටි පැරණි මාලිගයට අයත් ගොඩනැගිල්ලක් සංකිලි තෝප්පු-wikipedia.org

යාපනය විටෙක ප්‍රබල රාජ්‍යයක් ව පැවති අතර ගම්පොළ යුගයේ රජවරුන්ට එම රාජධානියට කප්පම් ගෙවීමට පවා සිදුවුණා. කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු රජු දිවයින ම එක්සේසත් කිරීමේ අරමුණින් උතුරේ යාපන රාජ්‍යය මුදා ගැනීමට පිටත් කළේ සපුමල් කුමාරය යි. ඔහු ක්‍රිස්තු වර්ෂ 1450 දී උතුරේ සටනින් ජයගත් අතර අවුරුදු 17ක් යාපනය පාලනය කරනවා.

පසුකාලයේ දී හය වැනි භුවනෙකබාහු නමින් කෝට්ටේ රජ වෙනවා. ඉන් අවුරුදු 17කට පසුව යළිත් ස්වාධීන වන උතුර පෘතුගීසින් පැමිණ 1591 දී එයට බලපෑම් කරන තෙක් පවතිනවා. විජය කුලංගෛ චක්‍රවර්තී රජුගේ පටන් රජවරු 12 දෙනෙක් යාපනය පාලනය කළ බව යාල්පාන වෛපව මාලෙයි පොතේ සඳහන් වෙනවා. පෘතුගීසින් 1620 දී අන්තිම චක්‍රවර්ති රජු මරා කෙළින් ම එහි පාලනය තමන් යටතට ලබා ගන්නවා.

 තේරු පෙරහරක් කෝවිලේ ඉදිරිපසින් යන අයුරු-nalluran.com facebook page

නල්ලූර් කන්දසාමි කෝවිල

යාල්පාන වෛපව මාලයට අනුව මෙම කෝවිල 13 වන සියවසේදී තනන්නේ කාලිංග මාඝ රජුගේ ඇමතිවරයකු වූ බුවනෙකබාහු යි. මේ ගැන යාල්පාන වෛපව මාලෙයි පොතේ මෙසේ සඳහන් වෙනවා:

‘‘රජුගේ නියෝගය ලත් භුවනෙකබාහු ඇමති නල්ලූර්හි කන්දසාමි කෝවිල ගොඩනැංවීම ආරම්භ කළේය. අට්ටාල බහීප්‍රාකාර සහිත දේවාලය, ශාලිවාහන ශකවර්ෂයෙන් අටසිය හැත්තෑවට පැමිණි වර්ෂයෙහි ගොඩනංවා නිමවන ලද්දේය. පාරිශුද්ධ ජලයෙන් ස්නානය කිරීමට සහ දේවාලයන්හි පුදපූජා කිරීමට ද රජ ඇමති දෙදෙනා එම අවුරුද්දෙහිම කීරමලයට පැමිණියෝය.
පෙරියමානන් තුල්ලාර්හට මුනුපුරුවූ ද සිතම්බර තිඩච්චතාරගේ පුත්වූද සින්නමානන් තුල්ලාර් තෙම කන්දසාමි කෝවිලේ පුජක පදවියට පත් වූයේය‘‘ ( යාපාපටුන වංශ කතාව හෙවත් යාල්පාන වයිපව මාලය, සංස්: මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා අභයසිංහ, 31 පිට ).

 තේරු රථය තැබීමට ඉදිකළ ගොඩනැඟිල්ල -wikipedia.org

එහි රජවරුන්, බ්‍රහ්මණ පූජකයන්, සොල්දාදුවන් සහ වෙනත් සේවා සපයන්නන් සඳහා අලංකාර ගොඩනැගිලි පැවති බව පැවසෙනවා. උස් බිත්ති සහිත පැරණි කන්දස්වාමි කෝවිල ආරක්ෂක බළකොටුවක් ද වුණා.

තුන්වන නල්ලුර් කන්දස්වාමි කෝවිල ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම යාපනය රාජධානිය පාලනය කළ සපුමල් කුමාරයා 15 වැනි සියවසේ දී සිදුකර තිබෙනවා. නල්ලුර් කෝවිල ආසන්නයේ රජ මාලිගාව පිහිටා තිබූ අතර පිවිසුම් ද්වාර හතරක් කෝවිලේ සිව්පසින් පිහිටා තිබෙනවා. කෝවිලේ ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට මුහුණලා තිබෙනවා.

උත්සවයට පැමිණි බැතිමතුන්- nalluran.com facebook page

 

යාපනය පෘතුගීසින් අල්ලාගත් පසු මේ කෝවිල විනාශ කරනවා. ඒ 1624දි යි. වර්තමානයේ දී මුල් ම නල්ලුර් කෝවිල තිබු ස්ථානයේ ඇත්තේ පෘතුගීසීන්ඉදි කළ, පසුව ප්‍රතිසංස්කරණයට ලක්වූ ශාන්ත ජේම්ස් පල්ලිය යි. පෘතුගීසින්ගේ විනාශය නිසා මෙහි පැරණි රාජධානියේ ප්‍රමාණවත් තරම් නටබුන් නම් දැක ගැනීමට ලැබෙන්නේ නැහැ.

පසුව ලන්දේසි යටත් විජිත යුගයේ දී එකල කුරුක්කල් වලව් නම් ප්‍රදේශයක ලන්දේසි කච්චෙරියේ සරප් ලෙස සේවය කල රගුනාථ මාපාන මුදලියර් නම් තැනැත්තා විනාශ වූ කෝවිල නැවත ගොඩනැංවීමට මහන්සි වුණා. ඒ වර්ෂ 1734දි යි. ඒ අනුව හතරවැනි වරටත් කෝවිල ඉදි වුණා. අද දක්නට ලැබෙන්නේ ඉන්පසුව වඩාත් සංවර්ධනය කර ඉදි වූ කෝවිල හතරවන කන්දසාමි කෝවිලයි.

මෙකල කෝවිල ඉදිකර ඇත්තේ ගඩොල් සහ ගල් භාවිතයෙන් වන අතර එහි පියස්ස සෙවිලි කර ඇත්තේ පොල් අතුවලින්. මුල් ම කෝවිලේ තිබී ඇත්තේ කුඩා ශාලා දෙකක් පමණ යි. සියවස් ගණනාවක් පුරා කෝවිලෙහි පරිපාලන කටයුතු භාරව කටයුතු කරන ලද්දේ රගුනාථ මාපාන මුදලියර්ගේ පරම්පරාවේ පුද්ගලයනුයි. අද වන විට කෝවිල පාලනය වන්නේ භාරකාර මණ්ඩලයක් මගින්.

 මෑතක දී ඉදිකළ ගෝපුරයක්- wikipedia.org

නූතන යුගය

කෝවිලේ නූතන ඉතිහාසයේ ‘ස්වර්ණමය යුගය’ 1890 දී 7 වැනි භාරකාරයා ලෙස නල්ලුර් කෝවිලට පත්වන ආරුමුග මාපාන මුදලියර්ගෙන් ඇරඹෙනවා. ඔහු කෝවිලට නවාංග රාශියක් එකතු කරනවා. ඝණ්ඨාර කුලුන ඔහු ඉදිකරවන්නේ 1899 දි යි. 1964 වර්ෂයෙන් පසු කෝවිල් සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර එය ලංකාවේ විශාලත ම හින්දු කෝවිල් සංකීර්ණය බවට පත්කර තිබෙනවා.

2011 අගෝස්තු මාසයේදී ‘ශන්මුහ රාජා ගෝපුර’ නමින් මහල් නවයකින් යුත් ගෝපුරයක් ද විවෘත කෙරුණා. වර්ෂ 2015 දී කෝවිලට උතුරින් ඇතුළුවීම සඳහා නව දොරටුවක් ලෙස තවත් ගෝපුරයක් විවෘත වුණා. එය ගුබෙරා රාජා ගෝපුර නමින් හැඳින්වෙනවා.

කවරයේ ඡායාරූපය- පෙර වසරක තේරු මංගල්‍යයක අවස්ථාවක්- dinamina.lk 

 මූලාශ්‍ර :
lankadeepa.lk
යාපාපටුන වංශ කතාව හෙවත් යාල්පාන වයිපව මාලය, සංස්: මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා අභයසිංහ,
ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය- 1 කාණ්ඩය 11 භාගයකවරය: කෝවිලේ පෙරහර අවස්ථාවක්- nalluran.com facebook page

Related Articles