කන්‍යාභාවයට මිලක් පැතූ ජපන් ගේෂාවෝ

ජපානය කිව්ව ම පූජියාමා, සකුරා මල්, පෞරාණික පන්සල්, සුෂී ඇතුළු මතකෙට එන දේවල් කිහිපයක් තියනව. ඒ අතරිනුත්, ආකර්ෂණීය වර්ණ පිරුණ කිමෝනාවන්ගෙන් සැරසුණු, සුදු පාටින් මුහුණ පාට කර ගත්ත, ලස්සන කොණ්ඩා මෝස්තරවලින් හැඩවුණු ගේෂාවන් කියන්නේ ජපන් සංස්කෘතිය ගැන කතා කරනකොට අමතක කරන්න බැරි කොටසක්.

ලෝකයේ බොහෝ දෙනෙක් ගේෂාවන් කියන්නෙ ජපන් ගණිකාවන් යයි ඉතා වැරදි පින්තූරයක් මවාගෙන හිටියත්, ගේෂා යන්නෙහි සැබෑ අර්ථය සහ ඔවුන්ගේ කාර්‍යය භාරයන් බොහොම වෙනස්. ගේෂා geisha 芸者 යන වචනයේ මුල් *කන්ජි අක්ෂරයෙන් කලාවත්, දෙවෙනි කන්ජි අක්ෂරයෙන් පුද්ගලයා යන අදහසත් දෙනවා. ඒ අනුව වචනයේ පරිසමාර්ථයෙන් ම ඔවුන් කලාවේ නිරත වන පුද්ගලයන් හෙවත් රසවින්දනය සපයන්නන්.

(*හිරගනා, කතකනා සහ කන්ජි යනුවෙන් ජපන් ලේඛන විධි 3කි. අප භාවිතයට ගන්නා අක්ෂරවල ඇත්තේ ශබ්දයක් පමණක් වුවත්, බොහෝවිට කන්ජි අක්ෂරයකට වචනයක තේරුමක් ඇත.)

ගේෂාවන්ගේ ප්‍රධාන කාර්යභාරය විදිහට සැලකුවේ තම දක්ෂතා උපයෝගී කර ගනිමින්, ගායනය වාදනය රංගනය ආදී සාම්ප්‍රදායික ජපන් කලාංගවල නිරත වීම සහ එයින් සිය අනුග්‍රාහකයන් තෘප්තිමත් කිරීම. ඊට අමතර ව sado හෙවත් තේපැන් සංග්‍රහ ඉදිරිපත් කිරීම, චාරු ලේඛන කලාවේ ( calligraphy) නිතර වීම, ikebana හෙවත් මල් සැකසීම් කලාව ප්‍රගුණ කිරීම සහ සිය අනුග්‍රාකයන් සමඟ සංවාදයේ යෙදෙමින් ඔවුන් සතුටු කිරීමත් ඔවුන්ගේ වෘත්තියේ කොටසක් වුණා.

ගේෂාවක්
ගේෂාවක් – mykyotophoto.com 

ඉතිහාසය

ගේෂාවන් ගැන කතා කරනකොට මතකෙට එන්නේ රූමත්, පියකරු කාන්තාවන් වුණත්, එහි ඉතිහාසය දෙස බැලීමේ දී මේ වෘත්තියේ ආරම්භකයන් ලෙස සලකන්නේ පුරුෂයන්. Taikomochi හෝ Hokan නමින් හැඳින් වූ මොවුන් සිය වැඩවසම් අධිපතීන්ගේ පසෙකින් රැඳෙමින් ඔවුන්ට යුද උපායමාර්ග ඇතුළු උපදෙස් ලබාදීමත්, සංගීතය, නර්ථනය, රංගනය වැනි කලාංගවලින් ඔවුන් තෘප්තිමත් කිරීමත් සිදු කළා.

 16 වැනි ශතවර්ෂය වන විට ඔවුන් උපදේශකයන්, කතාන්දර කියන්නන් (storytellers), ප්‍රහසන ශිල්පීන් සහ සංවාදයේ යෙදෙන්නන් ආදී ලෙස සිය වෘත්තීය වපසරිය වෙනස් කිරීම්වලට ලක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 17 වෙනි සියවස වන විට ගේෂා වෘත්තියට කාන්තාවන් සම්බන්ධ වීම ආරම්භ වූ අතර 17 වෙනි සියවන මැද භාගය වන විට පිරිමි ගේෂාවන් අභිබවා කාන්තා ගේෂාවන්ගේ වර්ධනය සිදු වුණා.

රංගනයක යෙදෙන පිරිමි ගේෂාවක්
රංගනයක යෙදෙන පිරිමි ගේෂාවක් – ethnicjewelsmagazine.com 

ඕර්ඉන් (Oiran), ගේෂා (Geisha) සහ යූජෝ Yūjō

මධ්‍යතන යුගය කියන්නේ ජපාන ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරාසයක්. අධිරාජ්‍යයාගේ පාලන බලය ගිලිහී ගොස්, බලවත් සමුරායිවරුන් ජපානය පාලනය කළ ඒ සමයේ දී සිදුවුණ විශාල වෙනස්කම්වලින් ජපානයට හැකියාව ලැබුණා ලෝක බලවතෙක් දක්වා නැඟී සිටීමට අවශ්‍ය වුණ අත්තිවාරම සකස් කරගන්න. මධ්‍යතන යුගයේ, වර්ෂ 1603 සිට 1868 දක්වා දිවෙන කාල සීමාව හඳුන්වන්නේ එදෝ සමය විදිහට.

වර්තමානයේ දී තෝකියෝව ලෙස හඳුන්වන අතීත එදෝ නගරය මූලික කර ගෙන ගොඩනැඟුණු එම කාලයේ දී “අනුග්‍රාහකයන්/පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමේ” කාර්‍යයභාරය වෙනුවෙන් බොහෝ කණ්ඩායම් පෙනී සිටියා. ඒ අතරින් වඩාත් කතා බහට ලක් වූවේ ඕර්ඉන් (Oiran), ගේෂා (Geisha) සහ යූජෝ Yūjō යන පාර්ශවයි.

ඕර්ඉන් යනුවෙන් හැඳින්වූයේ ඉතා ඉහළ පන්තියේ පුද්ගලයන් සඳහා රස වින්දනය සැපයීම සිය මූලික රාජකාරිය කරගත් කාන්තාවන්. මොවුන් රූපයෙන් මෙන් ම දක්ෂතාවලින් ද පරිපූර්ණ අය ලෙස සැලකුවා. සිය රැකියාව වෙනුවෙන් සාහිත්‍ය හෝ ස්වාභාව ධර්මය සම්බන්ධ අන්වර්ථ නම් යොදා ගත් මොවුන් ඉතා ඉහළ මිලක් සිය සේවා වෙනුවෙන් අය කළා.

ඕර්ඉන් සඳහා වන අතවැසියකු ලෙසටයි ගේෂා කියන තනතුර බිහිවුණේ. ඕර්ඉන්වරියන්ගේ සේවය ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් සමඟ කිසිදු සම්බන්ධතාවක් ඇති කරගැනීම ගේෂාවන්ට තහනම් වූ නමුත් 18වෙනි සියවසේ ආරම්භයත් සමඟ ඔවුන් ඕර්ඉන් කුලකය අභිබවමින් ඉදිරියට ආවා. මිලෙන් අඩු වීම සහ සොයා ගැනීමේ පහසුව වැනි සාධක නිසා ම සමාජයේ ධනවත් පුද්ගලයන් වගේ ම සමුරායිවරුන් අතරත් ඉතා ඉක්මනින් ජනප්‍රිය වන්න ගේෂාවන්ට හැකියාව ලැබුණා. 19වෙනි සියවස වන විට ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වුණ ශේෂාවන්, ඉතා කෙටි කාල සීමාවක් තුළ ජපානය පුරා සිය අණසක පැතිරීමට සමත් වුණා.

ඕර්ඉන් සහ ගේෂා යන දෙපාර්ශවය ඉහළ සහ ධනවත් මධ්‍යම පාන්තිකයන් සමඟ ගනුදෙනු කරන අතරවාරයේ, සමාජයේ සෙස්සන් සමඟ කටයුතු කළේ යූජෝ යනුවෙන් හැඳින්වූ කාන්තාවන්. ඕර්ඉන් සහා ගේෂාවන් අවස්ථානුකූලව සිය පාරිභෝගිකයන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූවත් ඔවුන්ගේ මූලික කාර්‍යයභාරය වුණේ රසාස්වාදය සැපයීම. යූජෝ කාන්තාවන් සැලකුවේ ලිංගික ශ්‍රමිකයන් ලෙස යි.

ඉතා බරැති කොණ්ඩා සැරසිල්ලකින් සහ අධික වටිනාකමකින් යුතු කිමෝනාවකින් සැරසී ඕර්ඉන් කාන්තාවක්
ඉතා බරැති කොණ්ඩා සැරසිල්ලකින් සහ අධික වටිනාකමකින් යුතු කිමෝනාවකින් සැරසී ඕර්ඉන් කාන්තාවක් – fromjapan.info

 

Geiko, Maiko and Shikomisan

ගේෂාවක් බවත් පත්වීම කිසිසේත්ම ලේසි පහසු කටයුත්තක් වුණේ නැහැ. ඒ වෙනුවෙන් අවුරුදු 5කට වඩා වැඩි කාලයක් පුහුණුවීම් කරන්නට ඔවුන්ට සිදුවුණා. අවුරුදු 14, 15 වයස් සීමාවේ දී පටන් ගන්නා පුහුණුවේ මූලික අදියරේ දී ඔවුන් හැඳින්වූයේ Shikomisan ලෙස යි. ඔකියාව කියන විශේෂ නමින් හැඳින්වූ ගේෂාවන්ගේ නවාතැනේ නැවතිලා, වසරක් අවසානයේ පවත්වන Shikomi විභාගය වෙනුවෙන් සූදානම් වෙන්න Shikomisan කෙනෙකුට සිදු වුණා.

හැසිරීම, නර්නතය වගේ ම ඉදිරිපත් කිරීම් කළ යුතු ආකාරයත් වසරක් පුරාවට ප්‍රගුණ කරපු Shikomisan කෙනකු ඇය මුහුණ දෙන විභාගයෙන් සමත් වුණොත් ඉන් ඉදිරියට ඇය හැඳින්වුණේ ‘මඉකෝ'(Maiko) කියන නමින්. ගේෂා කෙනෙක් යටතේ තමන්ගේ අවසන් පුහුණුව ලබන්නට මඉකෝ කෙනකුට අවස්ථාව ලැබුණා. වසර 5ක් පුරාවට ලබාදෙන ඒ පුහුණුවෙන් අනතුරුවයි ඇයට අවස්ථාව ලැබෙන්නෙ ගේෂාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන්නට.

ගේෂාවන් ගත කරන සුවපහසු ජීවිතේට ඇති ආසව නිසා ම සිය කැමැත්තෙන් ඔකියාවන් සහ සම්බන්ධ වුණ ගෑහැනු ළමයින් සිටියත්, බහුතරයක් ගේෂාවන්ට තිබුණේ තමන් කැමැත්තෙන් තෝරගත්ත ජීවිතයක් නෙවෙ යි. ණය බරෙන් මිරිකුණු, ඇතැම් දුප්පත් මව්පියන්ට තිබුණ එක ම විසඳුම වුණේ තමන්ගේ දියණිය ඔකියාවකට විකිණීම. අම්මා හෙවත් okā-san හෙවත් ඔකියාවේ භාරකාරිය තමන් වෙත එන ගෑනු ළමයින් මුදලට ලබාගත්තේ ඔවුන් ඉතා හොඳ අනාගත අයෝජනයක් බව දැනගෙන.

වසර 5කට අධික කාලයක් පුරා ගැහැනු ළමයෙක් වෙනුවෙන් ලබාදෙන ගේෂා පුහුණුව සඳහා සැලකිය යුතු වියදමක් දරන්නට ඇයට සිද්ධ වුණා. ගේෂාවක් බවට පත්වීමෙන් පසුව ඒ සියලුම වියදම් okā-sanට ලබාදෙන්නට ගේෂාවන් බැඳී සිටිනවා. සමහර ගේෂාවන් okā-sanට තමන්ගේ ණය ගෙව්වේ, “කන්‍යාභාවය” වැඩි ම ලංසුවකට විකුණලා.

ගේෂාවක් බවට පත්වෙන හැමෝට ම පැහැදිලි ඉලක්කයක් තිබුණා. ඒ, Danna කියල හඳුන්වපු, තමා වෙනුවෙන් ජීවිත කාලේ පුරාවට ම වියදම් දරන්න ඉදිරිපත් වෙන අනුග්‍රාහකයෙක් හොයාගන්න එක. වයස්ගත වුණාට පස්සේ තමන්ට සුරක්ෂිත අනාගතයක් ලබාදෙන්න Danna කෙනකුට පුළුවන් බව ගේෂාවන් දැනගෙන හිටියා.

ගේෂාවන්ගේ වර්තමානය

අද වන විට ගේෂාවන් ලෙස වෘත්තියේ නියැළෙන්නෙ 1000කට ආසන්න ප්‍රමාණයක් පමණ යි. කියෝතෝ නගරය ආශ්‍රිත ව බහුල ව දකින්නට ලැබෙන ඔවුන්, තෝකියෝ සහ කන්සාවා නගරවලත් විසිර පැතිර සිටිනවා. Ryōtei කියන සුඛෝපභෝගි, සාම්ප්‍රදායික අවන්හලේ දී වගේ ම tea houses නමින් හැඳින්වෙන තේපැන් සාද පවත්වන අති විශේෂ ස්ථානවලටත් ගේෂාවන් බහුල වශයෙන් එක්රැස් වෙනවා. ඔවුන් සමඟ සම්බන්ද වෙන්න අවස්ථාව ලැබෙන්නේ ඉතාම විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට පමණ යි. ගේෂාවන් සමඟ රාත්‍රී ආහාරයක් ගන්න ඔබටත් පුළුවන්. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න වගේ ම මාස ගණනාවක් මඟ බලා ගෙන ඉන්නත් ඔබට සිදු වෙනවා.

 

ගේෂාවකගේ මතක – Memoirs of a Geisha චිත්‍රපටිය

චීයෝට තිබුණේ වතුර වගේ ගැඹුරු ඇස් දෙකක්. අම්මා නිතරම කිව්ව විදිහට චීයෝත් වතුර පාරක්; කිසිම දේකට නවත්තන්න බැරි, කොහොමහරි කොහෙන්හරි විදිහක් හොයාගෙන ඉස්සරහට ම යන වතුර පාරක්. දවසක් මේ පුංචි වතුර පාරට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතේ කවමදාකවත් නොහිතු ව තැනක ගිහින් නතර වෙන්න, ඒ ‘ඔකියා’වක. තමන්ගේ පියා කියෝතෝ නගරේ වෙළෙන්දකුට විකිණූ චියෝ මිල දී ගන්නේ ඔකියා හෙවත් ගේෂා නිවහනක හිමිකාරියක්. එදා ඉදලා චියෝට සිද්ධවෙනවා “ගේෂාවක්” වීම වෙනුවෙන් සූදානම් වෙන්න.

තමන් තෝර නොගත්ත ජීවිතයක් ඇතුළේ අතරමං වුණ චීයෝට, චෙයාමන් කියල හඳුන්වපු කරුණාවන්ත, කඩවසම් පිරිමියා මුණගැහෙන්නේ පාලමක් උඩ දී. සෑහෙන්න කාලෙකට පස්සේ තමන්ට කරුණාවන්ත ව කතා කරපු එක ම මනුස්සයා විදිහට චෙයාමන්ට පුළුවන් වෙනවා පුංචි චියෝගේ හිත දිනා ගන්න. චෙරි දාපු අයිස් පලමක් වගේ ම තමන්ගේ ලේන්සුවෙ ඔතපු කාසියක් චියෝගේ අතට දෙන චෙයාමන් පිටවෙන්නේ චියෝගේ හිතත් හොරකම් කරගෙන.

Memoirs of a Geisha චිත්‍රපටියේ දර්ශනයක්
Memoirs of a Geisha චිත්‍රපටියේ දර්ශනයක් – www.1zoom.me

මාසෙකට සෑහෙන්න බත්,මාළු ගන්න පුළුවන් තරම් වටින චෙයාමන් දුන්න කාසිය, දුවගෙන ගිහින් දෙවියන්ට පූජා කරන චියෝ ප්‍රාර්ථනා කරන්නේ එක ම එක දෙය යි. ඒ එයාට ගේෂාවක් විදිහට චෙයාමන්ට සේවය සපයන්න අවස්ථාව ලැබෙන්න කියල.ඒත් ඒ ප්‍රාර්ථනේ ඉෂ්ඨ කරගන්න එක හිතන තරම් ලේසි වෙන්නෙ නැහැ.

නොහිතපු බාධක, පාවාදීම් වගේ ම දෙවෙනි ලෝක යුද්ධය නිසා දවසින් දවස ඇහිරෙන තමන්ගේ හීනේට යන්න චියෝට පුළුවන් වෙයි ද ? එයාගේ හිත හොරකම් කරගත්ත චෙයාමන් ගාවට යන්න පුළුවන් කමක් ලැබෙයි ද ?

සියවස් ගාණකට කලින් තිබුණ ජපානේ, පැය දෙක හමාරක් ඇවිදින්න යන්න කැමති නම්, කලාවෙන් නොදන්න ඉතිහාසයක් ගැන දැනගන්න කැමති නම්, මඟ නොහැර චියෝගේ මතක පොත කියවල බලන්න කියල අපි ඔබට ආරාධනා කරනවා.ගේෂාවකගේ මතක – Memoirs of a Geisha චිත්‍රපටියේ රචනය සහ අධ්‍යක්ෂණය – Rob Marshall. එය නිෂ්පාදනය කළේ Steven Spielberg, Douglas Wick, Lucy Fisher යන අය යි.

 

Related Articles