Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංහල සිනමාවේ සන්ධිස්ථාන සනිටුහන් කළ චිත්‍රපට 3ක්

වසර 75 ක් පැරණි සිංහල සිනමා වංශකතාවේ මේ වන විට චිත්‍රපට දහසකට වැඩි ප්‍රමාණයක් නිපදවී ඇති අතර මින් කිහිපයක් විවිධ කාරණා හේතුවෙන් සුවිශේෂී වෙනවා. සිංහල සිනමාව නම මානයකට ගෙනයමින්, එහි දිශානතිය වෙනස් ම මඟකට යොමු කරන්නට සමත් වූ එවැනි චිත්‍රපට කිහිපයක් පිළිබඳවයි මේ සටහන.

01). රාජකීය වික්‍රමය (1925) – නිපදවුණු පළමු ශ්‍රී ලාංකීය චිත්‍රපටය

ශ්‍රී ලංකාවේ  මුලින්ම  චිත්‍රපටයක් තැනෙන්නේ 1920 දශකයේ තරම් ඈත අතීතයක යි. 1923 වසරේදී රූපගත කිරීම් සිදුකළ ‘රාජකීය වික්‍රමය’ නම් වූ එය නිහඬ චිත්‍රපටයක්. මෙය එකල කොළඹ නගරයේ සුවිසල් නිවසක රූගත කොට තිබූ අතර, ඊට අමතරව කෝට්ටේ දියවන්නා ඔය ඉවුරේ ද රූගත කිරීම් සිදුකර තිබුණු බැව් සඳහන් වෙනවා.

මෙය නිපදවා ඇත්තේ ටී.ඒ.එෆ් නූර්බායි නම් ව්‍යාපාරිකයා යි. ඔහු එකල විදේශීය චිත්‍රපට ලංකාවට ගෙන්වා ප්‍රදර්ශනය කළ අයෙක් වෙනවා. මෙලෙස විදෙස් චිත්‍රපට වලට ලංකාවේ හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබීමත්, ලාංකීය චිත්‍රපටයක් දැක බලා ගැනීමේ ආශාව මෙරට ප්‍රේක්ෂකයාට දැඩි ලෙස ඇති බැව් වටහාගැනීමත් සමඟ ඔහු මෙලෙස දේශීය චිත්‍රපටයක් නිපදවීමට අදිටන් කරගෙන තිබෙනවා.

ප්‍රධාන චරිතය නිරූපණය කළ ඇන්. ඇම් පෙරේරා- dailymirror.lk 

 

රාජකීය වික්‍රමය චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙස නූර්බායි තෝරාගෙන තිබුණේ ඉන්දීය ජාතික අධ්‍යක්ෂකවරයකු වන ගුප්තා නමැත්තා යි. එකල චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමෙහිලා සමත් කිසිදු පුද්ගලයෙක් ලංකාවේ නොවීම ඊට හේතුව යි. නළු නිළි කැල ලෙස ශ්‍රීලාංකිකයන් ම  තෝරා ගැනීමට ඉටාගත් නූර්බායි මෙහි ප්‍රධාන පුරුෂ චරිතය ලෙස තෝරාගත්තේ එකල තරුණ නීති ශිෂ්‍යයකු ව සිටි, පසුකාලීනව දේශපාලනඥයෙකු හා ප්‍රාඥයෙකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වූ ඇන්. ඇම් පෙරේරා යි.

මීට අමතර ව ප්‍රධාන නිළි චරිතය ලෙස සිබිල් පීම් නම් බර්ගර් ජාතික තරුණිය තෝරා ගත් ඔහු සෙසු චරිතවලට ග්‍රේෂන් පෙරේරා, එරික් වීරසේකර, ඇන්. ජී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් යන ශිල්පීන් තෝරා ගෙන තිබුණා. මේ කාලයේ ඉන්දියාවේ පවා සිනමාවට කාන්තාවන්ගේ සහභාගීත්වය අවම මට්ටමක පැවති අතර, කාන්තා චරිත බොහොමයක් පිරිමින් රඟ දක්වන ප්‍රවණතාවක් දක්ණට තිබුණා. එලෙස සිදුවන වටපිටාවක රාජකීය වික්‍රමයට සැබෑ කාන්තාවක් යොදා ගැනීම සුවිශේෂී කරුණක් වෙනවා.

මෙම චිත්‍රපටය 1925 දී මුලින් ම ඉන්දියාවේ දී තිරගත කළ අතර, එය බොම්බායේ පමණක් නොව සිංගප්පූරුවේ පවා තිරගත කර තිබුණා. එහෙත්  එය ලාංකික ප්‍රේක්ෂකයන්ට පෙන්වීමට පෙර බොම්බායේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වී ගියේ ඉතා අවාසනාවන්ත ලෙස යි.

කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රුක්මණී දේවි හා බී.ඒ .ඩබ්ලිව්. ජයමාන්න- Sundaytimes.lk

 

02). කඩ වුණු පොරොන්දුව (1947 ) – ශ්‍රී ලංකාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය

ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස සැලකෙන්නේ 1947 වසරේ ජනවාරි මස 21 වනදා රූගත කෙරුණු කඩවුණු පොරොන්දුව චිත්‍රපටය යි. මිනර්වා රංගන සම්ප්‍රදායෙන් හැඩවුණු මෙය නිෂ්පාදනය කළේ එස්. එම් නායගම් ය. පිටපත ලියූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මෙහි ප්‍රධාන පුරුෂ චරිතය රඟපෑවා. මෙහි කාන්තා ප්‍රධාන භූමිකාව රඟ දක්වමින් රුක්මණී දේවිය සිනමාවට පිවිසි අතර, මීට අමතර ව එඩී ජයමාන්න, හ්‍යුගෝ ප්‍රනාන්දු, බර්ට්‍රම් ප්‍රනාන්දු, ජෙමිනි කාන්තා, ඇසිලින් බාලසූරිය, සූරියරාණි පෙරේරා, එස්. ඩී එලිසබෙත් වැනි නළු නිළියන් රාශියක් මෙහි රංගනයෙන් දායක වුණා.

කඩවුණු පොරොන්දුව සම්පූර්ණයෙන් ඉන්දියාවේ දී නිෂ්පාදනය කළ අතර, මදුරාසියේ චිත්‍රකලා චිත්‍රාගාරය තුළ රූගත කර, සංස්කරණය කර තිබුණා. මෙය ඉදිරිපත් කළේ චිත්‍රකලා මූවිටෝන්ස් සමාගම යි. මෙහි අධ්‍යක්ෂවරයා ජ්‍යෝතිෂ් සිංහා වන අතර, මුලින් ම තිරගත වූයේ කොළඹ කිංස්ලි සිනමා ශාලාවෙ යි. මෙම මොහොත අත්විඳින්නට විශාල ජනකායක් එහි එක් රොක් වී සිටියා.

 රේඛාව චිත්‍රපටයේ දසුනක්- Sundaytimes.lk

 

03). රේඛාව (1956) – ස්වභාවික දර්ශන තලවල රූපගත කළ පළමු සිංහල සිනමාපටය

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණු රේඛාව චිත්‍රපටය මුලින් ම තිරගත වූයේ 1956 වසරේ දෙසැම්බර් මස 28 වන දින යි. සීමා සහිත සිලෝන් තියටර්ස් සමාගමේ බෙදාහැරීමක් වූ මෙහි කැමරා අධ්‍යක්ෂණය විලියම් බ්ලේක් සිදු කර ඇත, රේඛාව, ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ පළමු සිංහල සිනමා අධ්‍යක්ෂණය යි.

එය සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ හේතු ගණනාවක් නිසා යි. ඒ වන තුරු හුදු ඉන්දියානු ආභාසයක් සහිතව, වාණිජ අරමුණු පෙරදැරි කොටගෙන නිර්මාණය වූ සිංහල චිත්‍රපට කලාවට ස්වදේශිකත්වයක් හා සම්භාව්‍ය අර්ථකථනයක් ලබා දුන්නේ රේඛාව යි. මෙතෙක් ඉන්දියානු චිත්‍රාගාර තුළ කළ රූගත කිරීම් වෙනුවට, එළිමහන් දර්ශන තල යොදාගෙන පළමු වරට එළිමහනේ රූගත කළ සිංහල චිත්‍රපටය ලෙස රේඛාව ඉතිහාසගත වන අතර, අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් පළමු වරට නියෝජනය කළ සිංහල චිත්‍රපටය වන්නේ ද රේඛාව යි.

එය ප්‍රංශයේ කාන්ස් උළෙල 1957 වර්ශයේ නියෝජනය කළ අතර 1956 වසර සඳහා වූ දීපශිඛා සම්මානයෙන් ද පිදුම් ලැබුවා. මීට අමතරව කර්ලෝවිවාරි සිනමා උළෙල, එඩින්බරෝ සිනමා උළෙල, ස්ටැම්ෆඩ් සිනමා උළෙල වැනි විදේශීය සිනමා උළෙල ගණනාවක් ම මෙය නියෝජනය කළේ ඒ සඳහා සුදුසුකම් ලද පළමු සිංහල චිත්‍රපටය බවට පත් වෙමින්. කෙසේ නමුත් මෙය ලංකාවේ දී වාණිජ ව අසාර්ථක වූයේ මෙතෙක් කාලයක් ප්‍රේක්ෂකයා හුරු ව තිබූ ‘වට්ටෝරුවෙන්’ එය බැහැරව තිබීම නිසා යි.  ඉන් අධෛර්යයමත් නොවුණු ලෙස්ටර් ඇතුළු පිරිස මින් විශාල අඩිතාලමක් දමාගනිමින් ලාංකීය සිනමාව නව මානයකට රැගෙන ගියා.

රේඛාවේ රංගනයෙන් ආනන්ද වීරකෝන්, මල්ලිකා පිලපිටිය, ඩී.ආර් නානායක්කාර, අයිරාංගනී සේරසිංහ, ශේෂා පලිහක්කාර, රොම්ලස් ද සිල්වා වැනි ව්‍යක්ත ශිල්පීන් දායක වූ අතර, මෙහි සංස්කරණය ටයිටස් තොටවත්ත ද, කලාඅධ්‍යක්ෂණය ශේෂා පලිහක්කාර ද සංගීත අධ්‍යක්ෂණය සුනිල් ශාන්ත ප්‍රමුඛ පිරිසක් ද සිදු කළා.  මර්සලීන් ජයකොඩි පියතුමන් මෙහි ගීත පද මාලා රචනා කර තිබුණා. පසු කලෙක ලාංකීය සිනමාවේ පතාක යෝධයෙක් වූ ගාමිණී ෆොන්සේකා මෙහි කාර්මික ශිල්පී භූමිකාවකට පණ පෙවූ අතර, සුළු චරිතයකට රංගනයෙන් ද දායක වී තිබුණා. ඩෙරික් ඩෙනිස් මෙහි වේෂ නිරූපණ කටයුතු සිදු කළා. මෙහි දෙබස් රචනා කර තිබුණේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා යි.

රන්මුතු දූව- sarasaviya.lk

 

04). රන් මුතු දූව (1962) – පළමු සිංහල වර්ණ චිත්‍රපටය

1962 වසරේ තිරගත වූ රන්මුතු දූව චිත්‍රපටය සැලකෙන්නේ සම්පූර්ණයෙන් වර්ණයෙන් නිපදවූ පළමු සිංහල චිත්‍රපටය ලෙස යි. මෙය නිෂ්පාදනය කළේ විශිෂ්ට රංගන හා නර්ථන ශිල්පියකු වන ශේෂා පලිහක්කාර යි. මයික් විල්සන් හා හා පුරා කියා පළමු වරට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් මේ හා එකතු වුණා. මෙය මුලින්ම තිරගත වූයේ 1962 වසරේ ඔක්තෝබර් මස 8 වන දින යි. (සමහර තැනෙක අගෝස්තු 10 ලෙසද සටහන්ව ඇත )

රන් මුතු දූව කිහිප ආකාරයකින් ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රබල සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. ප්‍රථම වර්ණ සිංහල චිත්‍රපටය වීමට අමතරව, දිය යට දර්ශන ඇතුළත් ව තිබෙන පළමු සිංහල චිත්‍රපටයත් රන් මුතු දූව යි. ඩබ්ලිව්. ඩී අමරදේවයන් පළමු වරට චිත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂණයෙන් එක් වූ අතර, නන්දා මාලිනිය හා නාරද දිසාසේකර එක්ව ගී ගයමින් සම්මානයට පාත්‍ර වුණා. මෙහි තිර පිටපත සහ කැමරාකරණයත් සිදුකළේ මයික් විල්සන් ය. මෙය යුරෝපීය ජාතිකයෙක් සිංහල චිත්‍රපටයකට මේ සා විශාල දායකත්වයක් ලබා දුන් පළමු වතාව යි. කීර්තිමත් විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් ද මෙහි නිෂ්පාදනයෙන් දායක වුණා. චිත්‍රපටය රූගත කළේ ප්‍රධාන වශයෙන් ත්‍රීකුණාමලය අවට පෙදෙසේ යි.

රන් මුතු දූවට ගාමිණී ෆොන්සේකා, ජීවරාණි කුරුකුලසූරිය, ජෝ අබේවික්‍රම, ශේෂා පලිහක්කාර, ශේන් ගුණරත්න, වින්සන්ට් වාස්, ඇන්තනී සී. පෙරේරා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වුණා. මෙහි සංස්කරණ කටයුතු සිදු කළේ ටයිටස් තොටවත්ත යි.

කවරයේ ඡායාරූපය - රේඛාව චිත්‍රපටයේ රූපරාමුවක් - dailynews.lk 

මූලාශ්‍ර:

films.lk

Sundaytimes.lk

Colombotelegraph.com

Related Articles