Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වේගයෙන්, හොඳින් සහ ගැඹුරින් ඉගෙන ගන්නට ක්‍රම – 1 කොටස

මිනිසා කියන්නේ තමා වටා ඇති හැම දේ ගැනම කුතුහලයෙන් පිරුණු, ස්වයංව මොළය දියුණු කරගන්නා ජීවි කොට්ඨාශයක්. ඒ වුණාට පන්තියෙදි පාඩමක් අහගෙන ඉන්න ගියාම මොන දේ කෙසේවෙතත් නින්ද ගැන නම් අපිට පුදුම කුතුහලයක් තමයි තියෙන්නේ.

මෙහෙමයි ඉතින්, හීන හැබෑ කරගන්න නම් නිතර නිදාගන්න එක හොඳ දෙයක්, නැද්ද? හැබැයි ඉතින් මෙහෙම විහිළු කර කර හිටියාට අපිට ඉස්සරහට යන්න බැහැනෙ. ඒ සඳහා විෂය කරුණු හොඳින් ධාරණය කරගෙන විභාග වලට මුහුණ දීම වගේ ම ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගැනීම සහ රට දැය වෙනුවෙන් යමක් කරන්නට අවශ්‍ය වෙනවා.

අධ්‍යාපනය වේගයෙන්, හොඳින් සහ ගැඹුරින් ලැබීම සඳහා ලොව පිළිගත් සාර්ථක ක්‍රම රැසක් අන්තර්ජාල මූලාශ්‍ර රැසකින් ගොනු කරගත් මේ ලිපි මාලාවෙන් ඔබට දැනගන්නට ලැබේවි.

“හොඳින්” පාඩම් කිරීමට:  සෞඛ්‍යමය සූදානම

“ආරෝග්‍යා පරමා ලාභා” හෙවත් නීරෝගීව සිටීම උතුම් ම ලාභය බව දැනෙන්න නම් අපිට උණක් හෙම්බිරිස්සාවක් හැදෙන්නම ඕන. ඒ වෙලාවට පාඩමකට හිත යොදවන එක කෙසේ වෙතත් ජීවත් වෙන්න හිත හදාගන්නත් අමාරුයි. ඒ නිසා ඉගෙන ගන්න පසුබිම සැකසීමට හොඳ සෞඛ්‍යයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි.

1- උදේට රජෙක් වගේ, රෑට හිඟන්නෙක් වගේ කන්න

(ytimg.com)

කෑම තමයි අපි නිතරම වරද්දවා ගන්නා දේ. රෑට හිඟන්නෙක් වගේ කන්න කීවාම අඩුවෙන් කනවා වෙනුවට බඩ පිරෙන්නම කොත්තුවක් කෑවාම උදේට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ?

එහෙම වුණාම උදේට කන්නත් ප්‍රියතාවයක් නැතිව යන නිසා එහෙමම ඉඳලා දවල්ට තමයි කන්නේ. මේ ක්‍රමය කොහෙත්ම සාර්ථක නැහැ. රෑට නිදහසේ නින්ද යන්නට, උදේට ප්‍රබෝධයෙන් නැගිටින්නට නම් රෑ කෑම අඩු වෙන්නට ඕන. එතකොට උදෙන් ම බඩගිනි වෙන නිසා අත්‍යාවශ්‍ය කෑම වේලක් නමුත් අපිට නිතර මඟ හැරෙන උදේ කෑම වේල ගන්නට අවශ්‍යතාවය ඇති වෙනවා. උදේට ශරීරය ප්‍රබෝධමත්ව ඉන්නට උත්සාහ කරනවා. ඒ සඳහා ප්‍රෝටීන සහ අනෙකුත් පෝෂක වර්ග ඊට අවශ්‍ය වෙනවා.

ඒත් අපි උදේට කෑවේ නැත්නම් ඒවා ලබා ගැනීමට නොහැකි වීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්නේ හිසරදයක් ද ලබාදෙමින්. ඉතින්, උදේ කෑම රජෙක් වගේ ගන්න කියලා පැරැන්නෝ කියන්නේ කටකහනවාටම නෙවෙයි.

2- වැඩ කරන අතරතුර කම්මැලි හරින්න

(livestrongcdn.com)

එක දිගට බොහෝ වේලා වාඩි වෙලා ඉඳිද්දී කකුල් සහ කොන්ද රිදෙන්නට ගැනීම සාමාන්‍ය දෙයක්. එමඟින් අපේ අවධානය වෙනතක යොමු වෙන්නේ රිදීම කෙසේවෙතත් මෙසේ එකම ඉරියව්වකින් සිටීම හරහා දේහ අවයවවලට ලැබෙන රුධිර ප්‍රමාණය අවම වීමෙන්.

හෘදය පොම්පයක් වුණාට අපේ චලන හරහා ද රුධිරගමනය සඳහා සහාය ලැබෙනවා. එනිසා කකුල්, දෑත් මඳක් දිගහැර ඉරියව්ව මාරු කිරීම හෝ ටිකක් වෙලා හිටගෙන ඉඳලා නැවත වාඩිවීම හරහා නැවුම් බවක් සහිතව නැවත පාඩමට අවධානය යොමු කරන්න හැකියි. මෙසේ කිරීම නිසා මනසට විවේකයක් ලැබීම, අවධානය නැවුම් වීම, රුධිර ගමනය යාමනය වීම සහ නිදිමත නැතිව යාම සිදුවෙනවා.

ඔබ ගණිත ගැටළුවක හෝ ක්‍රියා නොකරන පරිගණක කේතයක හිරවෙලා හිටියා නම් මෙමගින් ඊට නව පසෙකින් බලන්නට අවස්ථාව ලැබීම නිසා පහසුවෙන් එය විසඳාගන්නටත් හැකියාව ලැබෙනවා.

3- ස්නානය කරන්න

(gotosurvive.com)

මේ ක්‍රමය නම් රෑට පාඩම් කරන අයට නම් ගැලපෙන එකක් නෙවෙයි. නමුත් ඔවුන්ට හවස පාඩම් කරන්නට පටන් ගන්නට ප්‍රථම ස්නානය කරන්නට පුළුවන්. මෙසේ දහවල් කාලයේ පාඩම් කරන අයට පාඩම අතරතුර විවේකයක් වශයෙන් හෝ ආරම්භයට පෙර අවම වශයෙන් ඇඟ සෝදා ගන්නට හැකිනම් නැවුම්, පිවිතුරු භාවයක් මෙන් ම උණුසුම් කාලගුණ තත්ව නිසා මනස විපිලිසරවීම වළක්වා ගන්නට පුළුවන්. කකුල් වතුරේ දාගෙන පාඩම් කරනවාට වඩා මේ ක්‍රමය සෞඛ්‍ය හිතකර වගේ ම ස්නානයට අපහසුතා තිබෙනවා නම් තෙමන ලද රෙදි කැබැල්ලකින් ශරීරය තෙත මාත්තු කිරීම ද කළ හැකියි.

“වේගයෙන්” අධ්‍යයනයට: සිහිකැඳවීමේ උපක්‍රම

විෂය කරුණු වේගයෙන් ග්‍රහණය කරගන්නට අපිට තිබෙන ප්‍රධාන බාධාවක් තමයි කලින් කළ දේවල් අමතකව යාම. මේ නිසා නැවත නැවතත් එක ම කොටස්වල කාලය ගත කරන්නට සිදුවීමෙන් විෂය නිර්දේශය අවසන් කරගන්නට ද ගතවන කාලය නිතැතින් වැඩිවෙනවා.

උගත් දේවල් පහසුවෙන් නැවත මතක් කරගන්නට පුළුවන් නම් මේ ප්‍රශ්ණය විසඳා ගන්නට පුළුවන්.

1- ගීත ශ්‍ර‍වණය කරන්න

(emaze.com)

කාර්යයක් කරන්නට ප්‍ර‍ථම ගීත ශ්‍රවණය කිරීමෙන් එහි කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි බව එක්සත් රාජධානියේ වේල්ස් සරසවිය මඟින් කළ අධ්‍යයනයක් හරහා පෙන්වා දෙනවා.

එසේම කැමති හෝ අකමැති ගීත ශ්‍රවණය කිරීම අනුව ද කිසිදු බලපෑමක් නොවන බව එය වැඩිදුරටත් දක්වද්දී ශ්‍රවණය කළ යුතු ගීත වර්ගය කුමක්ද යන්න මෙයට බලනොපාන බව NatGeo නාලිකාවේ Brain Games වැඩසටහන හරහා කළ ප්‍රායෝගික අත්හදා බැලීමක් හරහා පෙන්වා දෙනු ලබනවා.

2- වේගයෙන් කියවාගෙන යන්න

(cloudfront.net)

සෙමින් හැම වචනයම ගැන සිතමින් හෝ මතක තබා ගනිමින් කියවීම වෙනුවට වේගයෙන් කියවාගෙන යාමේදී මතක තබා ගැනීම පහසු වෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මෙම ක්‍රමය නිසා වැදගත් විෂය කරුණු මගහැරී යන බවයි.

එහෙත් ඇමරිකානු මනෝ විද්‍යා සංගමය පෙන්වා දෙන පරිදි එය සාර්ථක ක්‍රමවේදයක් වන අතර නූතන වීඩියෝ නිපැයීම් කලාවේදී ද මෙය භාවිතයට ගෙන තිබෙනවා. පරිගණකය හරහා මේ ක්‍රමය භාවිතා කරන්නට ඔබට spreeder.com වෙබ් අඩවිය හරහා පුළුවන්. එමඟින් ඔබ ලබාදෙන ඡේදය වචනයෙන් වචනය තුන් ගුණයක වේගයෙන් පෙන්වාගෙන යනවා.

–ඉදිරියට: පාඩම් කරන ක්‍රමය සහ අවධානය සකසා ගැනීම

අපි ඉගෙනීම සඳහා භාවිතා කරන ක්‍රමශිල්ප පිළිබඳව මීළඟට සාකච්ඡා කරන්නට පුළුවන්. දිගටම පොත දිහාම බලාගෙන ඉඳිද්දී කම්මැලි හිතෙන එක, ෆෝන් එක අතට අරගෙන ෆේස්බුක් ස්ක්‍රෝල් කරන්නට හිතෙන එක වෙනුවට වෙනස් ආකාරවලින් පාඩම් කරනවා නම් වැඩි කාලයක් විෂය කරුණු සමඟ ගත කරන්නට හැකි වෙනවා.

අධ්‍යයන කටයුතු කිරීමේ ප්‍රධාන ආකාර තුනක් යටතේ දෘශ්‍යමය, ශ්‍රවණමය සහ ක්‍රියාකාරකම් පදනම් කරගැනීම දක්වන්නට පුළුවන්. අපි ඉදිරි ලිපියේදී මෙම ක්‍රමයන් ද භාවිතා කරමින් පාඩම් කිරීම සාර්ථක කරගත හැකි තවත් ආකාරයන් පිළිබඳව සොයා බලන්නට සූදානම්.

මූලාශ්‍ර: mindthesciencegap.org, oedb.org, psychologicalscience.org, onlinelibrary.wiley.com

Related Articles