Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගරා වැටුණු සමාජයෙන් තහංචි දැමු ජිවිත හතරක්: Lipstick Under My Burkha

Lipstick Under My Burkha යනු මේ වසරේ ලොව පුරා කතාබහට ලක්වූ සුවිශේෂී සිනමා නිර්මාණයකි. පසුගිය ජුලි 21 දා සිට තිරගත වීම ඇරඹුණු මෙය ලොව පුරා සිනමාහල්වල තිරගත විය.  මෙහි කතා ප්‍රස්තුතය වන්නේ ඉන්දීය සමාජය තුල ස්ත්‍රිය මුහුණ පාන නිදහස පිලිබඳ අර්බුදයයි. තම සැබෑ ආශාවන් ඉටුකර ගත නොහැකිව රහස් ජිවිත ගතකරන අවධීන් හතරක කාන්තාවන් සිව් දෙනෙකු තම ආශාවන් හඹා යාමට දරන උත්සහයන් මෙහි ඉදිරිපත් කරයි. පැරණි වැඩවසම් ලක්ෂණ සහිත සමාජය තුල කාන්තාව දෙස බැලීමේ දුර්වලකම මෙන්ම එහි අමනුශිකබවද මෙයින් වඩාත් හොඳින් නිරුපණය කරයි. මෙය ඉන්දියාවට පමණක් නොව ලාංකීය සමාජයටද ස්ත්‍රිය පිඩාවට පත්කරවන සමාජ-ආර්ථික ක්‍රමය පිලිබඳ බොහෝ දේ උගත හැකිවන සේ සමාජයේ  කපා පෙන්වන හරස්කඩක් බඳුය. මෙහි නමෙහි ‘Burkha’ යනුවෙන් තිබුණද එය හුදෙක් මුස්ලිම් කාන්තාවගේ බුර්කාව පිලිබඳ අදහසක් නොවේ. මුළු මහත් සමාජය තුළ ස්ත්‍රියගේ හැඟීම්, නිදහස, අයිතීන් ආවරණය කරනු ලබන සියලුම සංස්කෘතික ආර්ථික තත්ත්වයන් පිලිබඳ පොදු සංකේතයකි.

twimg

ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන අලන්ක්‍රිතා ශ්‍රීවස්තවා (Alankrita Shrivastava) විසින්ම රචනා කොට, තිර රචනය සකස් කොට අධ්‍යක්ෂණය කිරීම මෙහි ඇති සුවිශේෂිතාවයකි. මේ වනවිට Lipstick Under My Burkha නිර්මාණය ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව IMDB දර්ශකයේ 6.9 ක අගයක් ගනී..

මේ සඳහා ලැබී ඇති සම්මාන ගණන 8ක් වන අතර තවත් දෙකක් සඳහා නම්කරනු ද ලැබිය.

IMDB

අධ්‍යක්ෂිකා අලන්ක්‍රිතා ශ්‍රීවස්තවා (openthemagazine)

මෙහි නිෂ්පාදනය Prakash Jha Production විසින් කරන ලද අතර ප්‍රදර්ශනය Ekta Kapoor Studio මගින් සිදු කරන ලදී.

මෙය මෙම වසරේ (2017) ජනවාරි මසදී ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය වන Central Board of Film Certification (CBFC) මගින් ප්‍රදර්ශනය තහනම් කරනු ලබනවා.

ලිංගිකත්ව දර්ශන තිබීම, පරුෂ වදන් අඩංගු වීම, අසැබි දෙබස් අඩංගු වීම සහ සමාජයේ එක් කොටසක් වෙත සංවේදී වීම යන චෝදනා මෙන්ම ‘ස්ත්‍රී කේන්ද්‍රීය වීම, ඔවුන්ගේ ෆැන්ටසිය ජිවිතයට ඉහලින් තිබිම’ යනුවෙන්ද චෝදනාවක් ඇතුලත් කරනු ලැබ ප්‍රදර්ශනය ප්‍රතික්ෂේප කරනු ලැබුණා. මේ නිසා සමාජයේ දැඩි දෝෂදර්ශනයට ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය ලක්වනවා.

ප්‍රදර්ශනය තහනම් කළ ලිපිය (i0.wp)

නමුත් තත්පර කිහිපයක් ඉවත්කර මෙම නිර්මාණය රට තුළ ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගන්නා අධ්‍යක්ෂකවරිය නැවත ප්‍රදර්ශනය සඳහා ඉල්ලුම් කරනු ලබනවා. ඉන් පසුව අවසර ලබා ගෙන ජුලි 21 දා සිට ඉන්දියාවේ තිරගත කිරීම් ආරම්භ කරනු ලබනවා. ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග සමාජය තුල ස්ත්‍රියගේ නිදහස පිලිබඳ සංවාදයක් ගොඩනැගීමටද මෙය මග පාදනු ලබනවා.

රංගනය

ප්ලබිතා බෝතකුර් – රෙහානා අබිදී ලෙසත්,

ආහනා කුම්රා – ලීලා ලෙසත්,

කොන්කොනා සෙන් ශර්මා – ශිරින් අස්ලාම් ලෙසත්,

රත්නා පතාක් – ඌෂා පරමාර් ලෙසත් මෙහි ප්‍රධාන චරිත හතරට පණ පොවයි.

සමස්ථ කතාව දිවෙන්නේ මෙම චරිත හතර වටාය.

indianexpress

සාරාංශය

ඉන්දියාවේ කුඩා නගරයක් වන බෝපාල්හි ගරා වැටුණු ‘හවායි මන්සිල්’ නම් ගොඩනැගිල්ලේ ජිවත්වන පවුල් හතරක විවිධ වයස්වල කාන්තාවන් හතර දෙනෙක් මෙහි කතා නායිකාවන් වේ. මෙම ගරා වැටුණු ගොඩනැගිල්ල මෙහි ජිවත්වන මිනිසුන්ගේ වැඩවසම් ලක්ෂණවලම ප්‍රකාශනයක් ලෙස හඳුනාගත හැකිය.

පළමුව හමුවන්නේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. ඇය රෙහානා අබිදී වන අතර නිදහස් ජිවිතයක් ගත කිරීමට ලැදි අතර, ගායනයට හා නර්තනයටද හැකියාවන් දක්වයි. ඇගේ ප්‍රියතම ගායිකාව වන්නේ Miley Cyrus ය.  නමුත් ඇගේ ආශාවන්ට දෙමාපියන්ගෙන් ඉඩක් නොලැබේ. ඇයව සංස්කෘතික අධිපත්‍යකට යටත් කරමින් නියම කරනු ලබන ඇඳුම වන්නේ බුර්කාවයි. එසේම ඇය නිහඬව අධ්‍යාපන කටයුතු කරන දැරියක් ලෙස තබා ගැනීමට දෙමාපියන් නිරන්තර වෙහෙස ගනියි. මේ නිසා ඇය නිවසේ සිට නගරය තෙක් බුර්කාවෙන්ද ඉන් පසුව තමන් කැමති පහසු ඇඳුමට මාරු වේ. මෙසේ සරසවියේදී තමන්ට ප්‍රිය නිදහස උපරිමයෙන් බුක්ති විඳීමට උත්සහ කරයි.

spoiltmodernwoman

දෙවනුව, විවාහ කරදීමට සුදානම්ව සිටින ලීලා නිදහස් ජිවිතයක් ගත කිරීමට ආශාවෙන් සිටියි. ඇය තමන්ගේම රුපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අතර දිල්ලිය බලා යාමටත් මුදල් ඉපයීමටත් සිය පෙම්වතා සමග සිහින දකියි. නමුත් මව පමණක් සිටින ඇය ධනවත් පවුලකට විවාහ කරදීමට මව තීරණය කරන්නේ ආර්ථික දුෂ්කරතාවන් නිසාය. දුප්පත් ඡායාරුප ශිල්පියෙකු හා පෙමින් වෙලී සිටින ඇය සතුට සොයා යන්නේ ඔහු වෙතයි.

shespielsblog

සැමියා සෞදි අරාබියේ රැකියාවට ගිය අතරතුර ලෙස සැමියාට රහසින් ‘මැජික් ප්‍රඩක්ට්ස්’ නම් වෙළඳ ආයතනයක අලෙවි නියෝජිතවරියක් ලෙස සේවය කරන ශිරින් අස්ලාම් නම් විවාහක කාන්තාව අනෙක් චරිතයයි. ඇයට රැකියාවක් කිරීමට සැමියා ඉඩ ලබා නොදෙන අතර පවුලේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් දීමටද සැමියා අසමත්ය. මේ නිසා ඇය රහසින් රැකියාවේ නිරත වෙමින් පවුලේ අවශ්‍යතා ඉටු කරයි.

එසේම ඇය සැමියාගේ ලිංගික අධිපත්‍යට නතු කරගෙන සිටියි. ඇගේ ශරීරය ඇයට හිමි නැති සැමියාගේ අවශ්‍යතා ඉටු කිරීමට පමණක් පවතින මෙවලමක් ලෙස සැමියා වන රහීම් සිතයි. ශිරින්ට ලිංගිකත්වයේදී  සතුටක් නොලැබෙනවා පමණක් නොව එය ඇයට බලහත්කාරයක්ද වේ. ඇයට වේදනා විඳිමින් ඉවසා දරා ගැනීමට සිදුවන අතර උපත් පාලනය හරියාකාරව ඉටු කරගැනීමට නොහැකි වීම නිසා ගබ්සා කිහිපයක්ද සිදු කිරීමට සිදුව ඇත. මේ නිසා ඇයට වෛද්‍ය උපදෙස් හිමිවන්නේ සැමියාට උපත්පාලන කොපු භාවිතා කරන ලෙසයි. නමුත් රහීම් එය ප්‍රතික්ෂේප කරමින් සිය අවශ්‍යතාව ඉටු කරගැනීමට කටයුතු කරයි. පවුල තුළ පුරුෂයාගේ ලිංගික ආධිපත්‍ය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ අප සමාජයේත් සත්‍යය ලෙසම සිදුවන පුවතක් ශිරින් ප්‍රේක්ෂකයා වෙත සාර්ථකව ගෙන එයි.

theladiesfinger

සිව්වන චරිතය ලෙස හමුවන්නේ ‘නැන්දා’ ලෙස සියලු දෙනා හඳුන්වන සැමියා කලකට පෙර මියගිය වයස අවුරුදු 55ක් වූ උෂාය. ‘හවායි මන්සිල්’ හිමිකාරිණිය​ වන ඇය සිය ආගමික පොත්පත් තුල සඟවා ගනිමින් සරාගික නවකතා කියවයි. සැමියාද අහිමිව ජිවත් වූ ඇය සිය ආශාවන් සංසිඳුවා ගැනීමට උත්සහ කළේ මෙසේ ලිංගික ප්‍රමෝදය සහිත නවකතා කියවීම තුලිනි. ඇයට පිහිනීමට ආශාවක් ඇතිවන අතර ඒ සමඟ පිහිණුම් ගුරුවරයා වන තරුණයා පිළබඳ ආශාවන් ඇති කරගනියි. නමුත් ඒ සඳහා ඉඩක් නොලැබෙන බව දන්නා ඇය ඔහු සමග සිය ආශාවන් ඉටු කරගැනීමට භාවිතා කරන්නෙ දුරකථනයයි. වයස 55ක ඇයට ලිංගික ආශාවන් පැවතිය හැකි බව පිලිගනිමටවත් සුදානම් නැති සමාජයක් හමුවේ ‘ඌෂා’ ගේ චරිතයෙන් ඇයටද ආශාවන් පවතින බව කීමට අලන්ක්‍රිතා උත්සහ කරයි.

bollywoodlife

මෙසේ සාරාංශ කර දැක්වූ කොටස්වලට එහා යන විස්තරාත්මක, රසවත් මෙන්ම සංවේදී කතා පුවතක් Lipstick Under My Burkha තුල අඩංගු වන අතර ස්ත්‍රිය පිලිබඳ පුරුෂයාත් සමාජයත් දකින පටු දෘෂ්ටිය නිසා ඇය පත්ව ඇති අසරණභාවය පෙන්වා දීමට අධ්‍යක්ෂක තුමිය දක්වා ඇති දස්කම පැසසිය යුතුය.

මෙහිදී විසඳුම ඇත්තේ කොහිද යන්න පෙන්වා ප්‍රේක්ෂකයා රාමුවකට කොටු කිරීමට අධ්‍යක්ෂකවරිය උත්සහ නොකරයි. ඇගේ උත්සාහය වන්නේ යථාර්තයේදී ස්ත්‍රිය මුහුණ දෙන ගැටළු පිලිබඳ සමාජයේ දෑස් විවර කිරීමටයි.

ජාත්‍යන්තර මාධ්‍යය විසින්ද නිර්මාණය පිළිබඳව වාර්තා කිරීම තුලින් ඒ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ අවධානයක් හිමිව තිබු බව පැහැදිලිය. සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඇලන්ක්‍රිතා ශ්‍රීවස්තිවා පලකළ අදහස් කිහිපයක් මෙසේයි.

media.npr

ඇය පවසන පරිදි ඇයට මුලදී ඇගේ ජීවිතය නිදහස් තමන්ට කැමති ලෙස ගතකල බව සිතා සිටියත් පසුව එය එසේ නොවන බවත් තමන්ගේ නිදහස සම්පුර්ණයෙන් තමන්ට හිමි නොවන බවත් ඇයට වැටහී ඇත. මේ නිසා ඇය තමන්ගේ අත්දැකීම්වලින් පන්නරය ලබා සමස්ථ කාන්තාව නියෝජනය වන සේ චරිත හතරක් ඔස්සේ මෙම චිත්‍රපටය නිර්මාණය කොට ඇත.

ඔබ මෙයට මුස්ලිම් සහ හින්දු කාන්තවන් යොදාගත්තේ මන්දැයි විමසන විටදී ඇය ප්‍රකාශ කරන්නෙ ‘පුරුෂාධිපත්‍යය ආගමක් නොහඳුනන’ බවයි.

ප්‍රදර්ශන ආයතනයක් සොයාගනිමේදීද දුෂ්කරතාවට පත්වූ බව ප්‍රකාශ කරන ඇය ඉන්දියාවේ ප්‍රදර්ශන ආයතන නව විකල්ප මතවාද සහිත නිර්මාණ සඳහා ඉඩ ප්‍රස්තා ලබා දීමට දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කරයි.

koimoi

CBFC විසින් සිය නිර්මාණය තහනම් කිරීමෙන් පසුව ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යය පවා සිනමාව තුල ස්ත්‍රිය කෙරෙහි දැක්ම පිළිබඳව සාකච්ඡාව​ ඇරඹු බව ඇය පවසයි. තවද කාන්තාව කේන්ද්‍ර කරමින් කළ නිර්මාණයක් නිසා එය තහනම් කළ පාලක මණ්ඩලය පිළිබඳ ඇය සිය දැඩි අප්‍රසාදය පළ කරයි.

පාලක මණ්ඩලය විසින් කොටස් ඉවත්කර පෙන්වීමට ඉල්ලීම නිසා සිනමා නිර්මාණයට හානියක් වේ දැයි සිතුවාද යන ප්‍රශ්නය හමුවේ ඇය ලබාදුන් පිළිතුර වුයේ ඔවුන් කිසිම විටෙක කොටස් ඉවත් කිරීමක් ඉල්ලා නොසිටි බවත් සම්පුර්ණයෙන්ම තම නිර්මාණය ප්‍රතික්ෂේප කිරීම සිදුකල බවය. මෙම පණිවිඩය සමාජගත කිරීමේ අවශ්‍යතාව නිසා තමන් ස්වේච්චාවෙන් තත්පර කිහිපයක් ඉවත් කර නැවත ඉල්ලුම් කළ බවත් ඇය ප්‍රකාශ කරන ලදී.

Lipstick Under My Burkha සඳහා විශාල ජනතා ප්‍රසාදයක් ආදරයක් හිමි වූ බවත් මෙය ඉදිරියේ නිදහස් සිනමාවක පෙර නිමිති පහළ වීමක් ලෙසද ඇය ප්‍රකාශ කළාය.

පුර්ව ප්‍රචාරක කටයුතුවලදී [Ekta Kapoor ද සිටියි] (hamaraphotos)

මෙම වටිනා නිර්මාණය නරඹා මෙහි අප ඉදිරියේ නිරාවරණය කරන සමාජ යථාර්තය අවබෝධ කරගැනීමටත් අප රට තුළද විවිධාකාරයෙන් පිඩාවට හිංසාවට පත්වන ස්ත්‍රිය පිලිබඳ තේරුම් ගැනීමටත් ඔවුන් වෙනුවෙන් හඬක් වීමටත් උත්සුක වන ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමු.

Prakash Jha Productions

(නිල පුර්ව ප්‍රචාරක පටයක්)

කවරයේ පින්තුරය: dailynewsegypt

මුලාශ්‍ර:

https://www.salon.com

http://www.imdb.com

Related Articles