Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතාලි ක්‍රමයට ආහාර පිසීමට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය

දකුණු යුරෝපයේ මධ්‍යධරණී ප්‍රදේශයට අයත් රටක් වන ඉතාලිය මුල් කරගෙන ගොඩනැගුනු ආහාර රටාව, මේ වන විට මුළු ලෝකයේම ජනප්‍රිය වී ඇත්තේ එහි ඇති රසවත්භාවය නිසාම ය. ඇත්ත වශයෙන්ම එම ආහාරවල රසවත්බවට අමතරව ඉතාලි ආහාර සංස්කෘතිය කෑම මේසය හුදෙක් ආහාර ගන්න ස්ථානයකට සීමා නොකර, මතකයන් රැස් කරන, පවුලේ සියල්ලන් එකමුතු වන අවස්ථාවක් බවට පත් කිරීමත් මෙම ජනප්‍රියත්වයට හේතුවක් විය හැකියි.

ඉතිහාසය

අතීතයේ රෝම අධිරාජ්‍යයේ නායකයින් තම ආහාර වශයෙන් පිළිස්සූ මස්, මාළු, වයින්, සහ පිටරටින් ගෙන්වූ ආහාර පාන සුලභව භාවිතා කරද්දී, සාමාන්‍ය ජනයා තම ආහාරයට අද අප ඉතාලි ආහාර ලෙස හඳුන්වන වයින්, පාන්, ඔලිව් තෙල්, සහ එළවළු වර්ග එක් කරගෙන තිබුණි. රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමෙන් පසු ඉතාලියේ එක් එක් ප්‍රදේශයන්ට අනන්‍ය වූ විවිධ ආහාර වර්ග (උදාහරණ: මිලාන්හි රිසෝටෝ, නේපල්ස්හි පීසා) ඉතාලි ආහාර ලෙස ප්‍රසිද්ධියට පත්වුණි. 

අත්‍යාවශ්‍ය වන අමුද්‍රව්‍ය

ඉතාලි ආහාරවලට, ඒවායේ විශේෂ රසය ලබාදෙන අමුද්‍රව්‍ය සහ කුළුබඩු කීපයක්ම තිබේ. ඉතාලි ආහාර ඉතාලි රසටම පිසිනවා නම් මෙම ද්‍රව්‍ය යොදාගෙන ආහාර පිසීම අනිවර්ය ය. එම අමුද්‍රව්‍ය පහත පරිදියි.

ඔලිව් තෙල්

ශ්‍රී ලාංකික ක්‍රමයට ආහාර පිසීමේ දී පොල් තෙල් භාවිතා වන්නාක් මෙන්, ඉතාලි ආහාර පිසීමේ දී සුලභව භාවිතා වන්නේ ඔලිව් තෙලුයි. පිසීමට භාවිතා කරනවාට අමතරව, සලාද වැනි අමුවෙන් අනුභව කරන ආහාර මතට ඒවායේ රසය වැඩි කිරීම සඳහා ඔලිව් තෙල් මඳ වශයෙන් වත් කරන අතර, ඇතැම් පාන් වර්ග ඔලිව් තෙල්වල ගිල්වා ආහාරයට ගැනීම ද සිදු කෙරේ. 

ඔලිව් තෙල් සඳහා “ද්‍රවමය රත්‍රන්” යන අන්වර්ථ නාමය ද භාවිතා වන්නේ ඉතාලි ආහාර සඳහා ඔලිව් තෙල් කොතරම් වටිනවා ද යන්න හුවා දැක්වීමට ය.

ඔලිව් තෙල් (https://www.foodnavigator.com)

බැල්සමික් විනාකිරි

ඉතාලියේ මොදීනා සහ එමීලියා-රොමඤ්ඤා යන ප්‍රදේශයන්හි නිපදවන මෙම අඳුරු පැහැති විනාකිරි වර්ගය ආහාර රසගැන්වීමට සහ සලාද මතට වත් කිරීමට බහුලව යොදාගන්නකි.  මිදි ගෙඩි, ඇට හෝ පොතු ඉවත් නොකර සම්පූර්ණයෙන්ම මිරිකීමෙන් ලැබෙන යුශය අධි සාන්ද්‍ර වන තුරු ගින්නෙන් රත් කිරීමෙන් පසු සති තුනක් පමණ පැසීමට තබා, ඉන්පසුවත් වසර 12ක් පමණ බැරල්වල බහා තැබීමෙන් පසු මේ විනාකිරි නිපදවේ.

බෝල්සමික් විනාකිරි (https://www.gourmetfoodstore.com)

සුදු ළුෑණු

සුදු ළුෑණු යනු ඉතාලියේ සෑම ප්‍රදේශයකම නිපදවෙන ආහාර වර්ගවලට පොදුවූ,  ඉතා සුලභව භාවිතා කරන අමුද්‍රව්‍යයක් බවට පත්වී ඇත්තේ එයට ආවේණික වූ විශේෂ රසය සහ සුවඳ නිසා ය. විශේෂයෙන්ම තෙම්පරාදු කෙරූ සුදුළුෑණු ඉතාලි ආහාර සෑදීමේ දී බහුලව භාවිතා කරනු දක්නට හැකියි. 

18 සහ 19 වන ශතවර්ශයන්හි දී සුදු ළූණු සැලකුනේ ඉතාලියේ දුප්පතුන් පමණක් අනුභව කරන ආහාරයක් ලෙස යි. නමුත් 20 වන සියවස වන විට ඉතාලි ජාතිකයින්  ඔලිව් තෙල් යොදා තෙම්පරාදු කරන ලද සුදු ළුෑණු ආහාර රස ගැන්වීම සඳහා බහුලව යොදාගනු දක්නට ලැබුණි.

සුදු ළුෑණු (https://www.webmd.com)

පැස්ටා

පිටි, බිත්තර, ඔලිව් තෙල්, වතුර, සහ ලුණු එකතු කර සාදන පැස්ටා, එහි හැඩය සහ ඒවා මුලින් නිර්මාණය කෙරුණු ප්‍රදේශය අනුව නොයෙක් නම්වලින් නම් කර තිබේ. උදාහරණ ලෙස සිහින්, දිග නූල් වැනි පැස්ටා ස්පැගටි  ලෙසත්, රෝමය නිජබිම් කරගෙන නිපදවුනු දිගු, පැතලි පැස්ටා ෆෙටුචිනි ලෙසත්, විකර්ණාකාර කොන් ඇති බට හැඩැති පැස්ටා පෙන්නේ පැස්ටා ලෙසත්, පිරවුමක් සහිත කොට්ට හැඩැති පැස්ටා රැවියෝලි ලෙසත්, කුඩා වක් වූ බට හැඩැති පැස්ටා මැකරෝනි ලෙසත් හඳුන්වනු ලැබේ.

මේ වන විට ලොව පැස්ටා වර්ග 350ක් හෝ ඊටත් වඩා ඇති බව සලකයි. 

පැස්ටා (https://www.jessicagavin.com)

තක්කාලි

දහසය වන සියවසේ දී ඉතාලියට හඳුන්වාදුන් බෝගයක් වන තක්කාලි, දකුණු සහ මධ්‍යම ඇමරිකාව නිජබිම් කරගත් බෝගයකි. ඇමරිකාව යටත් කරගැනීමට පැමිණි ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් විසින් මෙය යුරෝපයට හඳුන්වා දුන් අතර, මුල් යුගයේ දී ඉතාලියානුවන් විසින් විෂ සහිත ඵලයක් ලෙස සැක කෙරී ඇත. නමුත් වර්තමානය වන විට එය ඉතාලි ආහාර සංස්කෘතියේ මූලිකම අමුද්‍රව්‍යයක් බවට පත්වී තිබේ.

තක්කාලි (https://bonnieplants.com)

ඔරිගානෝ

වියළුෑ ඔරිගානෝ පත්‍ර සෝස් වර්ග, පීසා වර්ග, සලාද, සහ මස් මාංශ වර්ගවල රසය වැඩිදියුණු කිරීම සඳහා බහුලව යොදාගැනේ. මධ්‍යධරණී ප්‍රදේශයට ආවේණික වන ඔරිගානෝ ශාකය මින්ට් පවුලට අයිති වන්නකි. 

ඔරිගානෝ ශාකයෙන් නිපදවන තෙල්වල සුගන්ධය සහ තීව්‍රතාව, එම තෙල් නිපදවීමට යොදාගත් ශාක වැවූ ප්‍රදේශයේ පස, කාලගුණය, සෘතු භේදය වැනි කරුණු රාශියක් බව රඳා පවතින බව කියැවේ.

ඔරිගානෝ (https://www.sugros.com)

බැසිල්

ඉන්දියාව නිජබිම් කරගත් බැසිල් ශාකය අතීත වෙළෙන්දන් මධ්‍යධරණී ප්‍රදේශයට ගෙන යනු ලැබීය. ඉන්දියාව තුළ ප්‍රචලිත තුල්සී ශාකය ද මෙම බැසිල් ශාකය අයත් පවුලටම අයත් වන්නකි. 

සුගන්ධවත්, මින්ට් රසැති බැසිල් පත්‍ර ඉතාලි ආහාර වට්ටෝරුවල බොහෝවිට දැකිය හැකි අමුද්‍රව්‍යයක් වන අතර විශේෂයෙන් තක්කාලි සෝස්, පෙස්ටෝ සෝස්, සහ සලාද වර්ග සඳහා බැසිල් භාවිතා කරනු ලැබේ. 

බැසිල් (www.medicalnewstoday)

ඉතාලි චීස්

අතීත රෝම ජාතිකයින් ආහාර සඳහයා බොහෝ චීස් වර්ග භාවිතා කළෝ ය. අද වන විටත් ඉතාලි ආහාර බොහෝමයක චීස් අඩංගු වේ. රසය, මතුපිට ස්වභාවය, තද ගතිය හෝ මෘදු බව, වර්ණය වැනි නිර්ණායක අනුව බෙදුණු චීස් වර්ග රාශියක් ඉතාලි ආහාර පිසීමේ දී භාවිතා වන අතර, ඒවායේ ස්වභාවය සළකා විවිධ ආහාර සඳහා විවිධ චීස් වර්ග යොදා ගැනේ.

මේ අනුව බොහෝවිට මොසරැල්ලා චීස් පීසා වර්ග සෑදීමේ දීත්, පාමසාන් චීස් පැස්ටා වර්ග සහ රිසෝටෝ සඳහාත්, පෙකොරීනෝ සහ බුරාටා යන චීස් වර්ග සලාද සඳහාත්, මස්කපෝනි චීස් අතුරුපස සෑදීමේ දීත් භාවිතා වේ. මීට අමතරව ආසියාගෝ, ෆොන්ටීනා, ගෝගොන්සෝලා, පාමිජානෝ රෙජියානෝ, රිකොටා, සහ ටොලේජියෝ වැනි තවත් බොහෝ චීස් වර්ග ඉතාලි ආහාර පිසීමේ දී භාවිතා වනු දැකිය හැකියි.

චීස් වර්ග (http://blog.vorrei.co.uk)

වයින් වර්ග

ලෝකයේ ප්‍රමුඛතම වයින් නිශ්පාදකයා වන ඉතාලියේ වයින් නිපදවීමට ගන්නා මිදි ප්‍රභේද 500කට අධික ප්‍රමාණයක් වගා කෙරේ. ඉතාලියේ දෛනික වයින් නිශ්පාදනය හෙක්ටො-ලීටර මිලියන 42ත් 51ත් අතර අගයක් ගනී. රතු වයින් සහ සුදු වයින් යන වර්ග දෙකම ඉතාලි සංස්කෘතිය තුළ බහුලව භාවිතා වන අතර මස් වර්ග, සෝස් වර්ග වැනි ආහාර පිසීමේ දීත්, ආහාර අනුභවයේ දී බීමක් වශයෙනුත් වයින් නිරන්තරයෙන් භාවිතා කරනු ලැබේ. 

වයින් වර්ග ( https://www.fairprice.com.sg )

බිම්මල්

වසර දහස් ගණනක් පුරාවට ඉතාලි ජාතිකයින් බිම්මල් ඔවුන්ගේ ආහාරයට එකතු කරගෙන තිබේ. මධ්‍යතන යුගයේ දී ඉතාලියේ පෝසිනි නම් බිම්මල් ප්‍රභේදය යුරෝපය පුරා අලෙවි වූ බව ද, එකල බිම්මල්වල විෂ සහිත හෝ රහිත බව බිම්මල නිරීක්ෂණය කිරීමෙන් පැවසිය හැකි විශේෂඥයින් සිටි බව ද සඳහන් වේ. පෝසිනි බිම්මල්වලට අමතරව ෆින්ෆර්ලි, ඇවෝලි, ෂැම්පිනොන්, චියොදිනි, පියොපිනි වැනි බිම්මල් ප්‍රභේදයන් රැසක් ඉතාලිය තළ වගා කෙරේ. 

ප්‍රෝටීන බහුල ශාකමය ආහාරයක් වන බිම්මල්, ඉතාලි ආහාර රටාවේ දී විවිධ ක්‍රම අනුව පිස ගැනීමට අමතරව, පැස්ටා සහිත ආහාර වට්ටෝරු සඳහා සහ පීසා වර්ග මත ඇතිරීම සඳහා බොහෝ විට භාවිතා වේ.

බිම්මල් (https://carlaazevedocooking.wordpress.com)

Related Articles