Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවර්තන කලාපයේ ඇපල් හෙවත් අඹ

මොනවද මුත්තේ මොකද කරන්නේ,

මොකටද ඔබ මේ බිම හාරන්නේ,

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි,

අඹ ඇටයක් සිටුවන්නට හාරමි

එස් මහින්ද හිමියන් විසින් රචනා කළ මුත්තා හා සිඟිත්තා අතර වන සංවාදය තුළින් නිරුපණය වන්නේ මුත්තා කෙළෙහිගුණ සැළකීම උදෙසා අඹ පැළයක් සිටුවන බවයි. මේ සංවාදය සඳහා අඹ ශාකයම යොදා ගැනීම ඈත අතීතයේ සිටම අඹ වල තිබු වැදගත්කම අවධාරණය කරන සිද්ධියක් ලෙස හදුන්වන්නට පුළුවන්.

ඉතින් අද මේ ලිපිය තුළින් අප ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ අඹ පළතුරක් ලෙස එහි ඉතිහාසය, අඹ වල පෝෂණය, ශ්‍රී ලංකාවේ අඹ වගාව හා ලෝකයේ අඹ උත්සව පිළිබඳවයි. ඔබත් අඹ ගැන තව දේවල් දන්නවානම් ඒවා comment එකකින් සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.

පළතුරු ලෝකයේ රජාගේ සම්භවය හා ඉතිහාසය

අඹ ප්‍රභේද කිහිපයක්. (amazing-wallpaper)

අඹ ප්‍රභේද කිහිපයක්. (amazing-wallpaper)

අඹ සම්භවය වී ඇත්තේ බෙංගාල බොක්ක අවට පිහිටි නැගෙනහිර ඉන්දියානු, බුරුම හා අන්දමන් දුපත් කලාපයේයි. එම කලාපයේ වසර 4000කට පෙර අඹ තිබූ බවට සාක්ෂි ලැබී තිබෙනවා. පසුව ඒවා ඉන්දු චීන හා පිලිපීන ආශ්‍රිත කලාප වලදී ප්‍රභේදනයට ලක්වී ඉන්දු චීන හා පිලිපීන අඹ නම් උප අඹ වර්ග නිර්මාණය වී තිබෙනවා. පළතුරු ලෝකයේ රජු මෙන්ම නිවර්තන කලාපයේ ඇපල් (Tropical Apple) ලෙසද හදුන්වන අඹ ශ්‍රී ලංකාවට හදුන්වා දී ඇත්තේ ඉන්දියාවයි.

බුද්ධ කාලයේ මෙන්ම චෝල හා පාණ්ඩ ආක්‍රමණ වලදීද අඹ මෙරටට හදුන්වා දෙන්නට ඇතැයි සැලකෙනවා. රජ කාලයේදී තම හිතවත් රටවල රාජ්‍ය නායකයන් සමඟ මිත්‍රත්වය වර්ධනය කරගැනීම උදෙසා ලබා දුන් තෑගිබෝග අතර අඹද තිබූ බව සදහන්. හොද තත්වයෙන් නඩත්තු කළ අඹ උයන් පෙර රජකළ පැවති බව මහාවංශයේ සදහන් වෙනවා. කෙසේ නමුත් ලංකාවට ඉන්දියානු අඹ හදුන්වා දීමේදී විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙන්නේ පෘතුග්‍රීසි වෙළදුන්ය.

මැද පෙරදිගට හා අප්‍රිකානු කලාප වලට අඹ හදුන්වාදී ඇත්තේ පර්සියානු වෙළදුන් විසින්. 17 වන සියවසේදී එම ප්‍රදේශ වලින් අඹ ලබාගන්නා පෘතුගීසි නාවිකයින් බ්‍රසීලයටත්, බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලටත් අඹ ව්‍යාප්ත කරනවා. අද වන විට ධ්‍රැව ප්‍රදේශ, කාන්තාර හා තෙත් බිම් හැරුණු විට සෑම කලාපයකම පාහේ අඹ ශාකය වර්ධනය වී තිබෙනවා.

වර්තමාන අහිතකර පරිසර තත්වයන් මඟහරවාගෙන වර්ධනය වියහැකි අඹ ප්‍රභේද අභිජනනය හා වරණය මඟින් නිපදවා ඇත. ලෝක අඹ නිෂ්පාදනයෙන් 75%ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ නිවර්තන හා උප නිවර්තන රටවල් විසිනුයි. ඉන්දියාව ලොව ප්‍රධානතම අඹ නිෂ්පාදකයා වන අතර මෙක්සිකෝව හා චීනයද අඹ නිෂ්පාදනය අතින් ඉහළ ස්ථානයක පසු වනවා.

ප්‍රභේද

ඉන්දියානු අඹ වෙළදසැලක් (Getty Images)

ඉන්දියානු අඹ වෙළදසැලක් (Getty Images)

අඹ අයත් වන්නේ Anacardiaceae කුලයටයි. මෙම කුලයේ විශේෂ 41ක් පමණ අඩංගු වෙනවා. අඹ වඩා හොදින් ඵල දරන්නේ ජල සම්පාදන තත්ව යටතේ වියළි කලාපයේයි. තෙත් කලාපයේ අධික වර්ෂාවත්, උණුසුම් ආර්ද්‍ර නිවර්තන තත්වයත් ඇති විට අඹ සිය ප්‍රජනන ක්‍රියාවලිය දුර්වල කර වැඩි වර්ධන වේගයක් පෙන්වා අඩු ඵලදාවක් ලබා දෙනවා. දැනට ලෝකය පුරා එකිනෙකට වෙනස් අඹ ප්‍රභේද 1365ක් පමණ හඳුනාගෙන තිබෙන අතර ඉන්දියාවේ පමණක් සොයාගෙන ඇති අඹ ප්‍රභේද ගණන 1000ක්. නේපාලයේ එම ගණන 132ක් පමණ වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ සොයා ගතහැකි විශේෂ ගණන 54ක් පමණ වෙනවා.

අඹ මුලක් උඩින් පැන්නත් ඇති

සාමාන්‍ය ප්‍රමාණයේ අඹ ගෙඩියකින් දිනකට අවශ්‍ය තන්තු ප්‍රමාණයෙන් 40%ක් පමණ සම්පූර්ණ වෙනවා. (www.stylecraze.com)

සාමාන්‍ය ප්‍රමාණයේ අඹ ගෙඩියකින් දිනකට අවශ්‍ය තන්තු ප්‍රමාණයෙන් 40%ක් පමණ සම්පූර්ණ වෙනවා. (www.stylecraze.com)

අපේ පැරැන්නන් නිතර දෙවේලේ කියන කියමනක් තමයි ප්‍රධාන ආහාර වේලකින් පසුව අඹ මුලක් උඩින් ගමන් කලත් එය ශරීරයට ගුණදායකයි යන්නයි. ඒ තරමටම අඹ වල පවතින ජීර්ණය කිරීමේ හැකියාව ඉහළයි. ජීර්ණය පහසු කිරීම උදෙසා අඹ සතු සුවිශේෂී ගුණයක් වන්නේ එහි පවතින පැපෙන් වැනි ආමාශයට හිතකර එන්සයිමයි. මෙයට අමතරව එම ගුණය පැපොල් වලත් පවතිනවා.

අඹ යනු ගතට මෙන්ම සිතට පහසුව දනවන පළතුරක්. එය විටමින්, ඛනිජ ලවණ වලින් මෙන්ම ප්‍රතිඔක්සිකාරක (antioxidants) වලින්ද සමන්විත වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ අඹ ගෙඩියකින් දිනකට අවශ්‍ය තන්තු ප්‍රමාණයෙන් 40%ක් පමණ සම්පූර්ණ වෙනවා. වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයන්ගේ වැයවන පොටෑසියම් නැවත සපුරා ගැනීමට හැකි හොදම මාර්ගය වන්නේ අඹ ආහාරයට එක් කර ගැනීමයි. ශ්‍රී ලාංකිකයන්ට අඹ වල ගුණය වැඩි දුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නොවන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙක්ම අඩුම තරමේ අඹ වර්ග 10ක්වත් රස බලා තිබෙන නිසයි. මෙය කියවන ඔබ සමහර විට අඹ වර්ග 25- 30ක් රස බලා තිබෙන්නත් පුළුවන්.

ශ්‍රී ලංකාවේ අඹ වගාවේ තත්වය

ආහාර වලට අඹ යොදා ඇති අවස්ථාවක් (www.dinner4two.com)

ආහාර වලට අඹ යොදා ඇති අවස්ථාවක් (www.dinner4two.com)

ශ්‍රී ලංකාවේ සුලභ දසුනක් වන අතුපතර විහිදී ගිය අඹ ගස් අපේක්ෂිත අයුරින් ඵල දරන්නේ නෑ. සාමාන්‍යයෙන් මෙම ගස් නඩත්තු කිරීම හෝ බෝග පාලනය කිරීම සිදු වන්නේත් නැහැ. ප්‍රධාන කඳ  සුර්යාලෝකයට යොමු වන පරිදි පරපෝෂිත අතු කපා ඉවත් කිරීම, කොළදාව අඩු කිරීම හා ක්‍රමවත් කප්පාදුවකට ලක් කිරීම වගා කරුවන්ට කළ හැකි අතර අදාළ වගකිව යුතු පාර්ශවයන් විසින් අඹ වගාව දිරිමත් කර අවාරයේ අඹ හට ගැන්වීමේ තාක්ෂණික ක්‍රමයන් හදුන්වා දීම, ලපටි අඹ අකලට හැලි යාම වැළක්වීමට ක්‍රම හදුන්වා දීම, තවාන් ක්‍රම හා බද්ධ කිරීමේ ක්‍රම මඟින් අඹ පැළ නිෂ්පාදනය කිරීම, ජල සම්පාදන පහසුකම් ඇති වියළි කලාපීය ප්‍රදේශ වල අඹ උයන් ඇති කිරීම, උපදේශන සේවා ලබා දීමෙන් අඹ ආශ්‍රිත ආහාර නිෂ්පාදන ගෘහාශ්‍රිත කර්මාන්තයක් බවට පත් කිරීම වැනි කාර්යන් කළ යුතු වෙනවා.

අඹ උත්සව

දිල්ලි අඹ උත්සවයේ අවස්ථාවක් (www.youtube.com)

දිල්ලි අඹ උත්සවයේ අවස්ථාවක් (www.youtube.com)

අඹ ගැන කතාකරන විට ඉන්දියාවේ අඹ උත්සව පිළිබඳව කතා නොකරම බෑ. ඒ තරම්ම ඉන්දියාවේ අඹ ජනප්‍රිය මෙන්ම ජාතික පළතුරද වෙනවා. ඉන්දියාවේ අඹ ගස ආදරයේ සංකේතය ලෙසද බලාපොරොත්තු ඉටු කර දිය හැකි ශාකයක් ලෙසද සලකනු ලබනවා.

අඹ වාරය එනතුරු නොඉවසිල්ලෙන් ඇඟිලි ගනින ඉන්දියානු ජාතිකයන් එම කාලයේ අඹ හා බැදුණු නොයෙක් උත්සව පවත්වනවා. ඒ අතරින් විශාලම අඹ උත්සවය පැවැත්වෙන්නේ ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නගරයේයි. සෑම වසරකම ජූලි මාසයේ දින තුනක් පුරා මෙය පැවැත්වෙනවා. දිල්ලි සංචාරක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන මෙම උත්සවයේදී එකිනෙකට වෙනස් අඹ විශේෂ 400කට වඩා වැඩි ගණනක් ප්‍රදර්ශණය කරනවා. අඹ කේන්ද්‍ර කරගනිමින් විවිධ ක්‍රීඩා ඉසව් ගණනාවක් පැවැත්වෙනවා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම තරඟයට අඹ කෑමේ තරඟ පවා තිබෙනවා. දිල්ලි අඹ උත්සවය හැරුණු කොට හයිද්‍රාබාද්, කල්කටා, මුම්බායි හා චන්දිගාර් නගර වලද අඹ උත්සව දකින්නට පුළුවන්.

ශ්‍රී ලංකාවේද 2009න් පසුව අඹ කේන්ද්‍ර කරගනිමින් විවිධ උත්සව පවත්වන්නට ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය සමත් වී තිබෙනවා.

මේ ලිපිය තුළින් අපි ගෙන ආවේ අඹ හා බැඳි ඉතිහාසය, අඹ ප්‍රභේද, අඹ වල ගුණදායක බව හා ලෝකයේ පවතින අඹ උත්සව පිළිබඳ විස්තර ටිකක්. මෙවන් රසයෙන් හා ගුණයෙන් අනූන පළතුරෙන් අප නිසියාකාරයෙන් ප්‍රයෝජන ලබා ගන්නවද යන්න නැවත සිතා බැලිය යුතු වෙනවා.

කෘෂිකර්ම උපදේශක සමන් කොළඹගේ මහතා හා කළ සංවාදයක් ඇසුරෙන්.

Related Articles