Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දුර්වල ආහාර පුරුදු නිසා අපට මඟහැරෙන මුලද්‍රව්‍ය

වර්තමානය වන විට අපගේ ආහාර පුරුදු බොහෝ සෙයින් වෙනස් වීමකට ලක්වී ඇත. නමුත් ඒ වෙනස් වී තිබෙන්නේ යහපත් දිශාවකට නම් නොවේ. ඇත්තටම අපි ආහාරයට ගන්නේ මොනවාද? කුසගින්නක් ආ සැනින් කොහේ හෝ තැනකින් කුමන හෝ පිටි ආහාරයක් ගෙන තේ එකක් හෝ සීතල පානයක් සමග ගැනීමට අපි පුරුදුව සිටිමු. එමෙන්ම නිවසේ ආහාර පිසින විටද බොහෝ විට එක් එළවළුවක් හා හොද්දක් සමග බත් පිස ඒවා ආහාරයට ගැනීමට පෙළඹී සිටින අතර එසේත් නැතිනම් fried rice එකකින් හෝ කොත්තුවකින් වේල පිරිමසා ගැනීමට බොහෝ අය පුරුදුව සිටී.

ඇත්තටම අප කුඩා කාලයේදී ඉගෙන ගන්නා සමබල ආහාර වේල අද දින වන විට පොත පතට පමණක් සීමාවී තිබේ. එය එසේ වී ඇත්තේ බොහෝ විට වර්තමානයේ මිනිසාගේ කාර්යබහුලත්වය වැඩිවීම නිසා විය හැකිය. දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සරිලන ආදායමක් ලබාගැනීමට නම් නිවසේ එක් අයෙක් පමණක් රැකියාවක නිරතවීම ප්‍රමාණවත් නොවන අතර, දිනෙන් දින වැඩිවන අනෙකුත් අවශ්‍යතා හා උවමනා නිසා කාන්තාවටද අද දින වන විට රැකියාවක නිරතවීමට සිදුවී හමාරය. මෙසේ වැඩිවන කාර්යබහුලත්වය සමඟ “සමබර ආහාර වේල” යන සංකල්පය මඟහැරීයාම ඇත්තටම සිදුවිය හැක්කකි. නමුත් මෙම දුර්වල ආහාර පුරුදු නිසා සිරුරට අවශ්‍යවන අංශුමාත්‍ර මුලද්‍රව්‍ය බොහොමයක් අපට නොලැබී යන බව ඔබ දන්නවාද?

අංශුමාත්‍ර මුලද්‍රව්‍ය යනු මොනවාද?

අංශුමාත්‍ර මුලද්‍රව්‍ය යනු ජීවී සෛල හා පටක තුල සුළු ප්‍රමාණයකින් අන්තර්ගත වන ඛණිජ වර්ග වේ. මේවා අප සිරුරට අත්‍යවශ්‍ය වන හා, අත්‍යවශ්‍ය නොවන ලෙස කාණ්ඩ 2කට බෙදා වෙන්කළ හැකිය. මෙම අංශුමාත්‍ර මුලද්‍රව්‍යයන් සිරුර තුල විවිධ වූ කෘත්‍යයන් ඉටු කරන අතර ඒවා විවිධ වූ ප්‍රමාණයන්ගෙන් අප සිරුරට අවශ්‍ය වේ. ඒවා අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණු විට අප සිරුරට නොයෙකුත් රෝගී තත්ත්ව ඇතිවේ. එමෙන්ම මෙම මුලද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා ශරීරගත වීමෙන් විෂවීමේ තත්වයක්ද ඇතිවිය හැකිය. එම නිසා මෙම මුලද්‍රව්‍යයන් අවශ්‍ය ප්‍රමාණයට හා නියමිත පරිදි අප ආහාර ඔස්සේ ලබාගත යුතු වේ.

අපගේ දුර්වල ආහාර පුරුදු නිසා මෙසේ අපට මඟහැරී යන මුලද්‍රව්‍ය කිහිපයක් පිළිබඳව පහතින් විස්තර කර ඇත.

යකඩ (Iron)

අප සිරුරේ ඇති සියලුම සෛල තුල යකඩ අඩංගු වේ. මෙම යකඩ හිමෝග්ලොබින් අණු තුලද සංඝටකයක් ලෙස පවතී. යකඩ මගින් ඔක්සිජන් අණු හිමෝග්ලොබින් අණුවලට බැඳ තබාගෙන මුළු සිරුර පුරාම රුධිරය ඔස්සේ ඔක්සිජන් පරිවහනයට දායක වේ. ඊට අමතරව මාංශපේශිවල අඩංගු මයෝග්ලොබීන්(myoglobin) තුලද යකඩ අන්තර්ගත වී ඇත.

යකඩ අඩංගු ආහාර

යකඩ බහුල වශයෙන්ම අඩංගුවන්නේ මස්වර්ග හා පීකුදු වලය. ඊට අමතරව මාළු හා බිත්තරවලද, කිරි, යෝගට්, බටර් හා අනෙකුත් ක්ෂිරමය ආහාරවලද, එමෙන්ම රටකජු හා අනෙකුත් ධාන්‍ය වර්ගවලද, එළවලුවලද යකඩ අඩංගු වේ.

යකඩ අඩංගු ආහාරවලින් සමහරක්.(organicauthority.com)

යකඩ ඌනතාවය

ළදරුවන්, කුඩා දරුවන්, ගර්භණි මව්වරුන් හා කිරිදෙන මව්වරුන්ගේ සිරුරු තුල යකඩ සඳහා වන ඉල්ලුම වැඩිය. තමන්ට අවශ්‍ය වන යකඩ ප්‍රමාණය වැඩි නිසා මෙම පුද්ගලයන් හොඳින් යකඩ අඩංගු ආහාර ලබාගත යුතුය. ඇතැම් අවස්ථාවලදී ආහාර මගින් ලබාගන්නා යකඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ විට යකඩ පෙති ලබාදීමද සිදුකරනු ලබයි. ගර්භණි මව්වරුන්ට සායනවලදී අනිවාර්යයෙන්ම යකඩ පෙති ලබාදීම සිදුවේ.  මෙලෙසින් සිරුරට අවශ්‍ය යකඩ ප්‍රමාණය නිසි පරිදි ලබා නොගතහොත් යකඩ ඌනතාවය ඇතිවේ. යකඩ ඌනතාවයේදී පහත රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.

  • ඇඟ සුදුමැළි වීම.
  • අලස බව හා නිද්‍රාශීලි බව.
  • ක්ලාන්තය.
  • දිවෙහි ඇතිවන වේදනා රහිත කුඩා තුවාල.
  • මුඛයේ කොන් වණවීම.
  • ඉතා පහසුවෙන් කැඩීයන නියපොතු.
  • හැන්දක් මෙන් වකගැසුණු  නියපොතු(“spoon shaped” nails).

මුඛයේ කොන් වණවීම හා දිවෙහි ඇතිවන කුඩා තුවාල.(orcee.com)

“spoon shaped” නියපොතු.(keywordsuggest.org)

සින්ක් (Zinc)

අප සිරුර තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලට දායකවන එන්සයිම 200කට වඩා වැඩි ගණනක සංඝටකයක් ලෙස සින්ක් අඩංගු වේ. සෛල තුල සිදුවන න්‍යෂ්ටික අම්ල සංශ්ලේෂණය, සෛල ප්‍රතිජනනය, පටක වර්ධනය හා අලුත්වැඩියාව යන ක්‍රියාවලදී සින්ක් ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරනු ලබයි.

සින්ක් (Zinc) අඩංගු ආහාර

සින්ක් වැඩි වශයෙන්ම අඩංගු ආහාර ලෙස බෙල්ලන්, ගවමස් හා අනෙකුත් රතු පැහැති මස් වර්ග හැඳින්විය හැකිය. මීට අමතරව බිත්තර, චීස්, කිරි, යෝගට්, ධාන්‍යවර්ගවලද, නිවුඩු සහල්වලද සින්ක් බහුල වශයෙන් අඩංගු වේ.

සින්ක් (Zinc) ඌනතාවය

අප සින්ක් අඩංගු ආහාර නොගැනීම නිසා සිරුරට අවශ්‍ය සින්ක් ප්‍රමාණය නියමිත මට්ටමට වඩා අඩුවූ විට සින්ක් ඌනතාවය ඇතිවේ. සින්ක් ඌනතාවය නිසා අපගේ සිරුරේ පහත දැක්වෙන රෝගී තත්ත්ව ඇතිවිය හැකිය.

  • ස්නායු දුර්වලතා ඇතිවේ. මේ නිසා ශ්‍රවණය, දෘෂ්ටිය, රසය දැනීම සංවේදනයන් වල දුර්වලතා ඇතිවිය හැකිය.
  • සිරුරේ ප්‍රතිශක්තීකරණ හැකියාව අඩුවේ.
  • ආහාරවලට හා වටපිටාවේ ඇති විවිධ අංශුවලට(දුවිලි, පරාග) ආසාත්මිකතා තත්වයන් ඇතිවිය හැක.
  • හිසකෙස් තුනී වී කැඩීයාම සිදුවේ.
  • නිතර පාචනය තත්වයන් ඇතිවිය හැකිය.
  • කුරුලෑ හා දද ඇතිවිය හැකිය.

සින්ක් ඌනතාවය නිසා ඇතිවන දද.(rd.com)

කොපර් (Copper)

කොපර්, එසේත් නැත්නම් තඹ මුලද්‍රව්‍යයද අප සිරුරේ සියලුම සෛල හා පටක තුල දක්නට ලැබෙන මුලද්‍රව්‍යයකි. එයද අප සිරුරේ සිදුවන පරිවෘත්තීය ක්‍රියා රාශියකට දායක වේ. කොපර් රතු රුධිරාණු සෛල සංශ්ලේෂණයට වැදගත් වන අතර ස්නායු සෛල හා ප්‍රතිශක්තීකරණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමටද දායක වේ.

කොපර් (Copper) අඩංගු ආහාර

කොපර් බහුල වශයෙන් අඩංගු ආහාර ලෙස ගවමස් පීකුදු, සූරියකාන්ත ඇට, පරිප්පු දැක්විය හැකිය. මීට අමතරව ආමන්ඩ් (Almands), කොළ පැහැති එළවළු හා කොකෝවා ප්‍රතිශතය අධික චොක්ලට් (Dark chocolates) වල කොපර් ඉහළ ප්‍රමාණයකින් අඩංගු වේ.

කොපර් අඩංගු ආහාරවලින් සමහරක්.(simplybeauty411.com)

කොපර් (Copper) ඌනතාවය

අප සිරුරට අවශ්‍ය පරිදි කොපර් නොලැබුණු විට කොපර් ඌනතා තත්වයක් ඇතිවිය හැක. එහිදී පහත රෝගී තත්වයන් ඇතිවිය හැකිය.

  • රක්තහීනතාවය.
  • ඉක්මනින් මහන්සිවන ගතිය.
  • ආතරයිටිස් (Arthritis).
  • අස්ථි පහසුවෙන් බිඳීයාමට නැඹුරුවීම.
  • ප්‍රතිශක්තීකරණ හැකියාව අඩාල වීම.

අයඩින්(Iodine)

අයඩින් අප සිරුරේ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලට අත්‍යවශ්‍යවන මුලද්‍රව්‍යයකි. අපගේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ශ්‍රාවය කරන තයිරොයිඩ් හෝමෝනවල සංඝටකයක් ලෙස අයඩින් ක්‍රියාකරයි. එමෙන්ම අස්ථි වර්ධනය හා මොළය වර්ධනය සඳහාද අයඩින් බෙහෙවින් උපකාරී වේ.

අයඩින් අඩංගු ආහාර

අයඩින් බහුල වශයෙන්ම මුහුදු ආහාරවල (මුහුදු ශාක හා මත්ස්‍යයන්) අඩංගු වේ. එමෙන්ම බිත්තර, යෝගට්, චීස් හා අනෙකුත් ක්ෂිරමය ආහාරවලද සැලකිය යුතු ලෙස අඩංගුය. අයඩින් සහිත ලුණු ආහාරයට එක්කර ගැනීමෙන්ද අපට අවශ්‍ය අයඩින් ප්‍රමාණය ලබාගත හැක.

අයඩින් ඌනතාවය

සිරුරේ ඉල්ලුමට සරිලන අයඩින් ප්‍රමාණය ආහාර ඔස්සේ නොලැබුණු විට අයඩින් ඌනතාවය ඇතිවිය හැකි අතර එහිදී පහත සඳහන් රෝගී තත්ත්ව ඇතිවිය හැක.

  • ගලගණ්ඩය.
  • සීතල දරාගැනීමේ හැකියාව අඩුවීම.
  • අලස බව හා මස්පිඩු දුර්වල වීම.
  • මානසික ඒකාග්‍රතාව අඩාල වීම.
  • අසාමාන්‍ය ලෙස සිරුරේ බර වැඩිවීම.

අයඩින් ඌනතාවය නිසා ඇතිවන ගලගණ්ඩය.(commons.wikimedia.org)

ඉහතින් සඳහන් කරන ලද අංශුමාත්‍ර මුලද්‍රව්‍යවලට අමතරව තවත් අප සිරුරට අත්‍යවශ්‍යවන මුලද්‍රව්‍ය රාශියක් පවතින අතර ඒවාද අප ආහාර ඔස්සේ ලබාගත යුතු වේ. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, මේදය, විටමින් හා ඛනිජවර්ග නියමිත ප්‍රමාණයන්ගෙන් අඩංගු ආහාරවේල් ගැනීම මගින් මෙම මුලද්‍රව්‍ය ඌනතාවයන් පහසුවෙන් වළක්වා ගත හැකිය. ඒ සඳහා උදාහරණ ලෙස නිවුඩු සහල් බත්, මස් සහ මාළු වර්ගයක්, ධාන්‍ය වර්ග, එළවළුවක්, පලා වර්ගයක් අඩංගුවන පරිදි ආහාරවේල සකසා ගැනීම කළ හැකිය. එමෙන්ම ක්ෂීරමය ආහාර හා පළතුරුද ආහාරයට ගැනීමෙන් සියලුම අත්‍යවශ්‍ය අංශුමාත්‍ර මුලද්‍රව්‍ය අප සිරුරට ලැබීම නිසා ඒවා ඌනතාවයෙන් රෝගී තත්වයන් ඇතිවීම පහසුවෙන් වළක්වා ගත හැකිය.

කවරයේ පින්තූරය (newmindjournal.com)

මුලාශ්‍ර:

  1. Hoffbrand’ s Essential Haematology
  2. www.humanillness.com
  3. www.nap.edu
  4. www.umm.edu
  5. www.thyroidfoundation.org

Related Articles