මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

අද වන විට සමස්ත ලෝකයම, කොරෝනා වෛරසය හේතුවෙන් බියෙන් ඇලලී ගොස් ඇත. මිලියනයකට අධික ලෝවැසියන් පිරිසක් මේ වන විට මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති අතර, පනස් දහසකට අධික පිරිසකට මේ රෝගය හේතුවෙන් සිය ජීවිත අහිමි වී ඇත. අද තත්ත්වය මෙසේ වෙද්දී, අප මේ කියන්නට යන්නේ 1950 දශකයේ දී ජපාන වැසියන් මුහුණ දුන් එවැනිම රෝගයක් පිළිබඳව ය.

මිනමාටා රෝගයට ගොදුරු වූ පෙදෙස්/ Mineshi Sakamoto 

ජපානයේ මිනමාටා යනු 1950 දශකයේ දී ජීවත් වීමට මනා පරිසරයක් තිබූ සුන්දර ප්‍රදේශයකි. වෙරළබඩ මිනමාටා ප්‍රදේශය නැවුම් මුහුදු ආහාර ලබා ගත හැකි ප්‍රදේශයක් ද විය. එමෙන්ම එවකට රසායනික පොහොර කර්මාන්ත ශාලාවක් වූ CHISSO Co-operation කර්මාන්ත ශාලාව ද මිනමාටා ප්‍රදේශයේ පැවතීම නිසා රැකියා අතින් ද මිනමාටා ප්‍රදේශයට අහේනියක් වූයේ නැත.


එහෙත් මේ සුන්දර කතාව වැඩි කල් පැවතියේ නැත. 1956 අප්‍රේල් 21 වන දින මස වයස අවුරුදු පහක පමණ දැරියක් ඇවිදීමේ හා කතා කිරීමේ අපහසුතා මත රෝහල්ගත කළ අතර, දින කිහිපයකට පසුව ඇයගේ සොහොයුරිය ද එම රෝග ලක්ෂණයන් මතම රෝහල ගත කෙරිණි. මේ ගැන සැක සිතුනු සෞඛ්‍ය බලධාරීන් මිනමාටා ප්‍රදේශයේ නිවාස පරීක්ෂා කළ අතර, මේ රෝග ලක්ෂණ සහිත වෙනත් රෝගීන් ද ඔවුන් විසින් සොයා ගැනිණි. 1956 මැයි මස පළමුවෙනි දා රෝහල් අධ්‍යක්ෂකවරයා මෙය මධ්‍යම ස්නායු පද්ධතියට බලපාන රෝගී තත්ත්වයක් බව ප්‍රකාශ කර සිටි අතර, බහුතර රෝගීන් මිනමාටා ප්‍රදේශයෙන් හමුවීම හෙතුවෙන් මෙම රෝගයට "මිනමාටා රෝගය" ලෙස හැඳින්විණි.


වහා ක්‍රියාත්මක වූ ජපාන රජයේ සෞඛ්‍ය හා සමාජ සුබසාධන අමාත්‍යංශය මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළේ ය. එම කමිටුව මිනමාටා ප්‍රදේශයේ වැසියන්ගෙන් සාක්ෂ්‍ය විමසද්දී වැදගත් කරුණු කීපයක් අනාවරණය විය. එම ප්‍රදේශයේ වැසියන් කියා සිටියේ කලක සිටම, මිනමාටා ප්‍රදේශයේ මුහුදු වෙරළට මියගිය මත්ස්‍යයින් ගොඩගසන බවත්, කපුටන් වැනි පක්ෂින් මැරී වැටෙන බවත් ය. ඔවුන්ගේ වැදගත්ම සාක්ෂ්‍යය වූයේ කලෙක පටන් මෙම ප්‍රදේශයේ බළලුන් ඇවිදීමේ අපහසුතාවයකින් පෙළෙන බව යි. ඔවුන් එම බළලුන් නටන බව පැවසීමත්, එම ලක්ෂණය පෙර කී රෝගයට සමාන වීමත් නිසා, මෙය පොදු පාරිසරික සාධකයක් නිසා ඇතිවන බව කමිටුවට වැටහී ගියා. 


ඒ අනුව ඔවුන් මුහුදුබඩ ආශ්‍රිතව සිදුකර ලද පරීක්ෂණවල දී, මුහුදේ මෙතිල් මර්කරි නම් රසදිය සංයෝගය බහුල වශයෙන් අඩංගු බව තහවුරු වුණා. 1959 දී ප්‍රකාශිත වාර්තාව මඟින් මිනමාටා රෝගයට සෘජු හේතුව රසදිය බැරලෝහය සහිත මාළුන් ආහාරයට ගැනීම බව තහවුරු කර තිබුණා.

මිනමාටා රෝගයේ ප්‍රතිඵල

තව දුරටත් සිදුකරන ලද පරීක්ෂණවල දී අනාවරනය වුයේ චීසෝ කර්මාන්ත ශාලාව පිට කරන අපද්‍රව්‍ය හරහා බැර ලෝහය මුහුදට මිශ්‍ර වූ බව යි. ජපානයේ අධික කෘෂි රසායනික ඉල්ලුමට සරිලන ලෙස 1930 අග භාගයේ දී  මෙම කර්මාන්ත ශාලව සිය නිෂ්පාදනය ඉහළ දමා තිබුණා. ඔවුන්ගේ පොහොර නිෂ්පාදනනය සඳහා අවශ්‍ය ඇසිටැල්ඩිහයිඩ් නිපදවීමට මර්කරි සල්ෆේට් උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කර තිබුණා. මෙම උත්ප්‍රේරකය පැති ප්‍රතික්‍රියාවකට භාජනය වෙමින් මෙතිල් මර්කරි නිපදවා තිබුනා. මෙම කර්මාන්ත ශාලාව අපජලය මුදා හැර තිබුණේ කෙලින්ම මුහුදට යි. එහි වූ බැර ලෝහය මත්ස්‍යයන්ගේ ශරීරගත වූ බවත්, ඉන් අනතුරුව එම මත්ස්‍යයින් අනුභවයෙන් එම විෂ ද්‍රව්‍යය මිනිසුන්ට, බළලුන්ට, හා පක්ෂීන්ට ශරීරගත වූ බවත් තීරණය විය. 2001 මාර්තු මස වන විට මෙම රෝගාබාධයට ගොදුරු වූ 2,265ක ගෙන් 1,784 මිය ගිය බව වාර්තාවන්වල සඳහන් වුව ද, එම පිරිස ඊට වඩා වැඩි බව විශ්වාස කරනවා. එමෙන්ම මෙම රෝගය නිසා අළුතින් බිහි වූ ළදරුවන් අංගවිකල තත්ත්වයට පත් වූවා. මෙම ව්‍යසනයට වගකිව යුතු චිසෝ ආයතනය මිලියන ගණනක් වන්දි ගෙවූ අතර අදටත් මේ සම්බන්ධ නඩු උසාවියේ විභාග වෙමින් පවතී. 


කෙසේ වෙතත් ජපානය දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව බටහිර රටවල් මත යැපුනු බැවින් ජපාන රජය මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට මැලි වූවා. එම ප්‍රදේශය පවිත්‍රකරණය කෙරුනේ ඉන් වසර 12කට පසුව යි. ඊට අමතරව ජපානය විසින් විවිධ පරිසර පනත් සම්මත කරන්නට යෙදුනා. 1967 පරිසර දූෂණය වැලැක්වීමේ පනත, 1970 ජල දූෂණය වැලැක්වීමේ පනත හා 1970 අපද්‍රව්‍යය මුදාහැරීමේ පනත ඒ පනත් අතරින් කිහිපයක්.

මිනමාටා සම්මුතිය

2013 දී, රටවල් 140කට වැඩි පිරිසකගේ එකතුවෙන් රසදිය සහ ආශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ මිනමාටා සම්මුතිය බිහි වුණා. වගන්ති 35කින් සමන්විත එම සම්මුතියට මේ වන විට ලංකාව ද අත්සන් තබා තිබෙනවා. මුල දී ඇමරිකාවේ බුෂ් පාලනය මෙම සම්මුතිය කෙරෙහි දැක්වූයේ එදිරිවාදී ආකල්පයක්. බ්‍රිතාන්‍යය, ඉන්දියාව ඔස්ට්‍රේලියාව, කැනඩාව මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමට කාලයක් ඉල්ලා සිටියා. ඔබාමා ජනාධිපති දූරයට පත් වීමෙන් අනතුරුව ගත් තීරණ මෙම සම්මුතියේ ප්‍රගමනයට හේතුවූවා. එම සම්මුතියට අනුව නව රසදිය කැනීම් කටයුතු තහනම් වනවා. දැනට පවත්වා ගෙන යන කැනීම් කටයුතු සදහා වසර 15ක පමණ කාලයකට අවසර ලැබෙනවා. 

වැඩි විස්තර: http://www.mercuryconvention.org/