Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපූරු ආහාර ඇසුරුම් ක්‍රම

ආහාරයක තත්ත්වය වැඩි කාලයක් රඳවා පවත්වා ගැනීම අද ලෝකයේ ඉතා අත්‍යවශ්‍ය කාරණාවක් වී තිබෙනවා. විශේෂයෙන් වැඩි වන ලෝක ජනගනහනය හමුවේ ආහාර වැඩිපුර නිෂ්පාදනය කිරීමෙන් පසු ගබඩා කිරීම ද ප්‍රවාහනය ද වැඩි වැඩියෙන් සිදුවන බැවින් ඒ සියළු තත්ත්වයන්ට ඔරොත්තු දෙන ලෙස ආහාර සැකසිය යුතු යි. එමෙන්ම එම ආහාරයේ තත්ත්වය උපරිම ආහාරයෙන් රැකිය යුතු යි. මේ සඳහා විවිධ රසායනික ද්‍රව්‍යයන් ආහාර වලට එක් කිරීම සිදුවුණත් එය සෞඛ්‍යමය වශයෙන් ඒ තරම් හිතකර නැහැ. මේ නිසා එයට විකල්පයක් වශයෙන් එම ආහාරයන් ඇසුරුම් කිරීමේ දී නව ක්‍රම අනුගමනය කිරීමට මිනිසුන් පෙලැඹුණා. නවීන තාක්ෂණය, නිර්මාණශීලීත්වය, හා ප්‍රායෝගික බව නියමාකාරයෙන් යොදාගනිමින් ඉතාම මෑතක දී ලෝකයට හඳුන්වා දෙන ලද පහත දැක්වෙන ආහාර ඇසුරුම් ක්‍රම ගැන ඔබ දැනුවත් ද බලන්න.

ආහාරයට ගත හැකි අසුරණය

packagingdigest.com

මේ තාක්ෂණය ආරක්ෂාකාරී මෙන්ම ඉතා පරිසර හිතකාමී ක්‍රමයක් ලෙස ද හැඳින්විය හැකි යි. මෙහි දී යම් ආහාරයක අසුරණය එය ආහාරයට ගැනීමේ දී ගලවා ඉවත් නොකොට, ඒ සමඟම ආහාරයට ගැනීමට හැකි ලෙස සැකසීම සිදු කෙරෙනවා. හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක ප්‍රතිඵලයක් ලෙස මෙලොවට බිහි වූ මේ ආහාරයට ගත හැකි අසුරණ මේ වන විට නිවිති සිවි, ලෙමන් සිවි මෙන්ම, චෙරි ගෙඩියේ සිවි ද යොදාගෙන අත්හදා බලා තිබෙනවා.

ආහාරයට ගත් හැකි අසුරණ පිළිබඳ ජගත් කතාබහ මෑතක දී ඇති වුණත් ඇත්තෙන්ම එහි ආරම්භය මඳක් අතීතයට දිව යනවා. ජපානයේ ‘බොන්ටන් අමෙ‘ නම් රසකැවිල්ල සහල් වලින් සාදාගත් ආහාරයට ගත හැකි අසුරණයකට බහා භාවිත කිරීමට ජපන් වැසියෝ හුරු වී තිබෙන්නේ මීට වසර සියයකටත් පෙර යි.

ක්ෂුද්‍ර අසුරණය

packagingdigest.com

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ අසුරණ වර්ගය තනා තිබෙන්නේ නිණිති තාක්ෂණය යොදා ගනිමිනුයි. ජලය, ජලයේ දියවන බහුඅවයවිකයක්, හා මැටි කොටස් යන අමුද්‍රව්‍ය වලින් සුසැදි ඉතා තුනී පටලයක් වන මෙය මිනිස් කෙස් ගසකට වඩා දහස් වාරයකටත් වඩා තුනී වෙනවා. විද්‍යාඥයින් පවසන අන්දමට මේ අසුරණය ප්ලාස්ටික් වලට වඩා බොහෝ සෙයින් පරිසර හිතකාමී වන අතර වීදුරු තරම පරිවාරක ගුණ වලින් සමන්විත වෙනවා.

මේ අතර බේයර් නම් රසායනික ද්‍රව්‍ය හා ඖෂධ නිෂ්පාදන සමාගම මැටි ක්ෂුද්‍ර අංශු යොදාගෙන Durethan නම් දෘඪ පටලයක් තනා තිබෙනවා. එය ඔක්සිජන්, තෙතමනය, කාබන් ඩයොක්සයිඩ් යන සියල්ලටම පරිවාරකයක් ලෙස ක්‍රියා කොට ආහාර ද්‍රව්‍ය නරක් වීම වලක්වනවා. මීට අමතරව නැනොකොර් නාම් නිණිති තාක්ෂණ ප්‍රවර්ධක සමාගමක් විසින් ක්ෂුද්‍ර ස්ඵටික එබ්බවූ ප්ලාස්ටික් අසුරණයක් සාදා ඇති අතර එමගින් බියර් වල ඔක්සිජන්  ඉවතට නිදහස් වීමට නොදී රඳවාගන්නා නිසා ඒවා මාස 18ක් යන තුරු ඉතා හොඳ තත්ත්වයේ තබා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

වර්තමානය වන විට ඉතා දැඩි ලෙස කත බහ ඇති වී තිබෙන මෙම ක්ෂුද්‍ර ඇසුරුම් ක්‍රම පිළිබඳව ලෝ ප්‍රකට සමාගම් වන පෙප්සිකෝ, මැක්ඩොනල්ඩ් වැනි සමාගම් ඇස ගසාගෙන සිටිනවා.

සුහුරු අසුරණය

minipakr.com

වර්තමාන ලෝකයේ කාර්යබහුලත්වයත් සමඟ ආහාරයක දවටනයක් මඟින් එහි තත්ත්වය දැක්විය හැකි නම් එය කෙතරම් පහසුවක් වේ ද? ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල දෙකක් ක්‍රාෆ්ට් සමාගම හා එක්ව සිදු කරන ලද පර්යේෂණ කිහිපයක් නිසා මෙවැන්නක් බිහි වී තිබෙනවා. මෙසේ නිෂ්පාදනය කරන ලද අසුරණය ‘විද්‍යුත් දිවක්’ ලෙස ක්‍රියා කරන අතර එහි දී අසුරණයට අමුණන ලද රස සංවේදී ප්‍රතිග්‍රාහක මඟින් ආහාරය හොඳ තත්ත්වයේ පවතී ද නැද්ද යන්න පරිභෝජකයාට දන්වනවා. ආහාරයේ තත්ත්වය අනුව අසුරණයේ වර්ණ වෙනස් වීමකට භාජනය වීම තුලින් මෙලෙස එහි තත්ත්වය නිරූපණය කිරීම සිදු වෙනවා.

මීට අමතරව නෙදර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් ආහාරයේ තත්ත්වය නරක් වීමේ අවදානමක් පැන නැඟුණොත් පමණක් පරීරක්ෂක ද්‍රව්‍ය මුසු වන ආකාරයේ සුහුරු අසුරණයක් නිමවා තිබෙනවා. ඇමෙරිකානු හමුදා සුහුරු ආහාර අසුරණ භාවිතා කරන්නේ විෂ මුසු කිරීම් වැනි ක්‍රියා වලින් ආරක්ෂා වීම සඳහායි.

විෂබීජ වලට ප්‍රතිරෝධී අසුරණ

ipi-singapore.org

මේ වර්ගයේ ආහාර අසුරණ විෂබීජ වලට එරෙහිව ආහර වලට යාන්ත්‍රික ආරක්ෂාව ලබා දෙනවා පමණක් නොවේ, ඒවාට එරෙහිව සටන් ද කරනවා. ඊශ්‍රායල ජාතිකයෙකු වන රොනෙන් ගොට්ස්මන් විසින් නිපදවන ලද ‘කිලර් පේපර්’ නම් රිදී අංශු මිශ්‍රිත ආහාර අසුරණය කාර්යයක්ෂ්ම ලෙස විෂබීජ ආහාරයෙන් ඈත් කර තබනවා. මීට අමතරව කොඩැක් සමාගම විසින් තවත් විෂබීජ ප්‍රතිරෝධී අසුරණයක් නිපදවා ඇත්තේ ඔක්සිජන් උරාගැනීම මඟින් බැක්ටීරියා වර්ධනය අවම කෙරෙන යාන්ත්‍රණයක් සහිතවයි.

ජලයේ දියවන අසුරණ

thekitchn.com

මොනොසොල් නම් ජලයේ දියවන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ඇමෙරිකානු සමාගමක් විසින් ජලයේ දියවන ආහාර අසුරණ වර්ගයක් නිෂ්පාදනය කර තිබෙනවා. දෘඪ පටලයක් වන මේ අසුරණය මද උණුසුම් ජලයෙහි ද දිය වන අතර වැඩි උණුසුම් ජලයෙහි ඉතා සීඝ්‍රයෙන් දිය වනවා. මෙය ආහාරයට ගැනීමට ද සුදුසු වන අතර විශේෂ රසයකින් තොර යි. මොනොසොල් සමාගම මෙම අසුරණය පිටි කරන ලද පාන වර්ග, ධාන්‍ය, සුප්, හා සෝස් වර්ග වැනි ආහාර ද්‍රව්‍ය සඳහා නිර්දේශ කරනවා. වර්තමානය වන විට මෙය තවත් වැඩි දියුණු කිරීමට පර්යේෂණ සිදු වනවා. විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අරබයා මේ අසුරණය යොදා ගැනීමට හැකි වන පරිදි සකස් කිරීමට මෙහි නිෂ්පාදකයින් යුහුසුළුව ක්‍රියා කරමින් සිටිනවා.

ස්වයං උෂ්ණත්ව යාමක අසුරණ

edrinktests.blogspot.com

ඉතා සීඝ්‍රයෙන් වැඩිවන ආහාර ඉල්ලුම හා ඒවා වැඩි කාලයක් ප්‍රවාහනය කිරීමට සිදුවීම යන කරුණු නිසා ආහාරයේ අවශ්‍යතවය මත එහි උෂ්ණත්වය ස්වයංක්‍රීයව සකසාගත හැකි අසුරණ කාලානුරූපීව ඉතා වටිනා නිෂ්පාදනයක් බවට පත් වී තිබෙනවා.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතිනමුත් ඉතා නුදුරු අනාගතයේ දී මෙවැනි අසුරණ වෙළඳපොළට පැමිණෙන පෙර ලකුණු පෙන්වමින් ජෝස්ප් නම් අන්තර්ජාතික සමඟමක් මඟින් ස්වයංක්‍රීයව උෂ්ණත්වය සකසාගන්නා සිසිල් බීම අසුරණයක් නිපදවා තිබෙනවා. ‘චිල් කෑන්’ නමින් හඳුන්වා ඇති මෙය එහි අඩංගු කරන පානයෙහි උෂ්ණත්වය ප්‍රශස්ත පරිදි සකසීමට සමත්. මයික්‍රොකූල් නම් තාක්ෂණයට අනුව සකසා ඇති මේ අසුරණය අවට වාතයේ අඩංගු කාබන් ඩයොක්සයිඩ් අධිශෝෂණය කොට මිනිත්තු කිහිපයක් වැනි කෙටි කාලයක් තුල ෆැරන්හයිට් අංශක 30කින් පමණ සිය අන්තර්ගතයේ උෂ්ණත්වය අඩු කිරීමට සමත්.

මීට අමතරව හීට්ජීනි හා ක්‍රවුන් හෝල්ඩින්ග්ස් නම් සමාගම මඟින් මඟින් හීට්ජීනි නම් උෂ්ණත්වය ඉහළ දමාගත හැකි අසුරණයක් නිපදවා තිබෙනවා. මෙම අසුරණය මිනිත්තු දෙකක කාලයක් තුල සිය අන්තර්ගතය ෆැරන්හයිට් අංශක 145 දක්වා ඉහළ දමා ගැනීමට සමත්.

කවරයේ පින්තූරය -bioalaune.com

මූලාශ්‍ර:

  1. fooddive.com
  2. tech.co

Related Articles