පස් පංගුවම ගුණ දෙන මුරුංගාවල විස්මය

මුරුංගා ගස් රජරට වියළි කලාපයේ ගම්වල වැටවල්වල, බඩවැටිවල දකින්න ලැබෙන ගසක්. මුරුංගා ක්‍රමානුකූලව වගා කිරීමක් නම් ලංකාවේ දකින්න අමාරු යි. මුරුංගා වාරෙට කැලෑවට හැදෙන ගස්වල කරල් කඩා විකිණීමට ගැමියන් පුරුදුව හිටියා. මෑතක සිට මුරුංගාවල තිබෙන ඔසු ගුණය ගැන විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවීමත් සමග එයට ලොව පුරා ඉල්ලුම වැඩිවෙලා. දැන් ලංකාවෙත් මුරුංගා කොළවලින් තේ වැනි නිෂ්පාදන සකස් කරනවා.

ගසේ වගතුග

ආශ්චර්යයේ ගස- theconservation.com

මුරුංගා ශාකය සමහර රටවල හඳුන්වන්නේ “ආශ්චර්යයේ ගස” යන අරුතින් ‘The Miracle Tree’ කියලා යි. එයට හේතුව වන්නේ මෙම ශාකයෙන් ප්‍රයෝජන ගණනාවක්ම තිබීම යි. තව ද, මෙම ශාකයේ ඇති ඉහළ පෝෂණීය ගුණයන් සහ අනෙකුත් වටිනාකම් හේතුවෙන් ද මෙවැනි අන්වර්ථ නාමවලින් මුරුංගා ගස හඳුන්වනවා. 

මුරුංගා ගසේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාව යි. “මුරුංගා” යන සිංහල නම ද “මුරිංගා” යන දෙමළ වචනයෙන් බිඳී ආවක්. මුරුංගා ගසේ ඵලය එහි කරල යි.

සැම්බියාවේ මුරුංගා වගාවක්- daily.mail.co.zm

මුරුංගා ගස අයත් වන්නේ Moringaceae කියන කුලයට යි. ගස විද්‍යාත්මකව හඳුන්වන්නේ Moringa oleifera කියලා යි. මෙම ශාකය මීටර් හතේ සිට දහයක් දොළහක් උසට වැඩෙන අතර, කඳ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 45ක් පමණ ඝනකමට  වැඩෙනවා. මුරුංගා ගස් හයිය නම් නැහැ. ගසේ කඳ සුමුදු වන අතර සුදු අළු පැහැයක් ගන්නවා. වියළි කලාපයේ බහුලව වැඩෙන මේ ගස තෙත් හා අතරමැදි කලාපයන්වල ද දකින්න පුළුවන්. ආසියානු රටවල්වල මෙන්ම අප්‍රිකානු රටවල්වල ද මේ ගස හොඳින් වැවෙනවා.

පස් පංගුවම ගුණ යි

මුරුංගා පත්‍ර -africanews.com

හුඟදෙනෙක් නොදැන සිටියත් මේ ගසේ කොළ, මල්, කරල්, පොත්ත, මුල් යන පස් පංගුවම අගනා ඔසු ගුණයෙන් යුක්ත යි. කොළ, මල්, හා කරල් එළවළුවක් ලෙස භාවිතයට ගන්නා අතර, පොතු හා මුල් වෙදකම්වලට යොදා ගන්නවා. 

දේශීය වෙදකමේ දී සර්ප විෂට එරෙහිව මුරුංගා පොත්ත බහුලව යොදා ගන්නවා. ගසේ තුවාල වූ කඳින් හටගන්නා ලාටු ද ඖෂධ ලෙස යොදාගන්නවා. මුරුංගා කරල් වෑංජනයක් ලෙස සකසා ගැනීම කා අතරත් ප්‍රචලිත යි. අතීතයේ සිටම ඉන්දිය ජනතාව විවිධ ක්‍රමවලට මුරුංගා කොළ ආහාරයට ගෙන තිබෙනවා. අතීතයේ ගම්වල සිව්පා සතුන් සපා කෑ විට සහ දෙබර, බඹර, ගෝණුසු සතුන් දෂ්ට කළ විට මුරුංගා පොතු මිටට කන හුණු සමග අඹරා අත් බෙහෙතක් ලෙස තුවාල වූ තැන ගැල්වීම සිදුකළා.

කරල් සහ මල් -flickr.com

මුරුංගා කොළවල විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම්  බහුලව අඩංගු යි. මුරුංගා කොළ යුෂ බාල, තරුණ, මහලු කාටත් ගුණදායක බීමක්. කොළ මැල්ලුම ද ජනප්‍රිය අහාරයක්.

එදත්, අදත් ගෘහිණියන් අච්චාරු සෑදීමේ දී අච්චාරු පැසවීම සඳහා මුරුංගා පොතු එක්කරනවා. එපමණක් නොව මුරුංගා පොතු වියළා කුඩුකර කුළුබඩුවක් ලෙස ද දෛනිකව ව්‍යාංජන රසවත්කර ගැනීමට එක්කරගත හැකියි.

කොළ හා දළුවල රසය

වැටේ මුරුංගා-wikipedia.org

මුරුංගා ගසේ කොළ හා දලු රසවත් බැදුමක් විදිහටත් සකසාගත හැකියි. ඉස්සන්, කකුළුවන් වැනි ව්‍යාංජන පිළියෙල කිරීමේ දී මුරුංගා කොළ ටිකක් ඊට එක්කිරීම ගැමි ගෘහිණියන්ගේ සිරිතක් වුණා. ඒ, ඇතැම් ආහාරවල විෂ ඉවත් කිරීමේ හැකියාව මුරුංගා කොළ සතවීම නිසා බව කියැවෙනවා. මුරුංගා කොළ විෂබීජ නාශකයක් නිසා අජීර්ණය වැනි උදරාබාධ සෑදීම පවා වළකිනවා.

වගා කරන්නෙ කොහොම ද?

මුරුංගා මල් -wikipedia.org

මුරුංගා ඉතා පහසුවෙන් වගාකළ හැකි පළිබෝධ අනතුරු නැති ගසක්. හොඳින් මෝරපු අතු කැබැලි කිහිපයක් කපා නොසෙල්වෙන සේ තරමක් ඈතින් සිටුවාගත යුතු යි. සිටුවීමේ දී පැළ දෙකක් අතර සෙන්ටිමීටර් 10 – 20 අතර පරතරයක් තබාගත යුතු යි. එම දඬු කැබැලි පැළවෙනතුරු දිනපතා උදය, සවස ජලය සම්පාදනය කළ යුතු වෙනවා. මුරුංගා ගස හොඳින් අතු ඉති දමා වර්ධනය වූ පසු මල් හටගන්නවා. මුරුංගා ගස්වලට විශේෂ සාත්තුවක් අවශ්‍ය වන්නේ නැහැ. 

ව්‍යංජනයට සැකසූ කරල් -dinamina.lk

මුරුංගා සිටවා මාස හයක් ඇතුළත මල් පිදීම දක්නට පුළුවන්. තෙත් කලාපීය ප්‍රදේශවල මේ මල් පිපීම දැකිය හැකි වන්නේ අප්‍රේල් සහ ජුනි මාස අතර දී යි. මුරුංගා කරල් සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් විස්සක්, හතළිස් පහත් අතර දිගට වැඩෙන අතර සෙන්ටිමීටර් එකක පමණ විශ්කම්භය සහිත බීජ මෙම කරල් තුළ දැකිය හැකියි. මුරුංගා ශාකය ඉතා හොඳින් වැඩෙන්නේ pH අගය 6.3-7 අතර වූ සාමාන්‍යයෙන් ආම්ලික පසෙහි යි. මුරුංගා පත්‍රවලට ඇති අධික ඉල්ලුම නිසා මේ වන විට අපේ රටෙත් සමහර පෙදෙස්වල මුරුංගා වගාව ආරම්භකර තිබෙනවා. ඒ අතර මොණරාගල වැල්ලවාය අවට විශේෂයෙන් සඳහන් කළ හැකියි.

මුරුංගා කොළ හා කරල්වල ගුණ

සරුවට වැඩුණු කරල්-  youtube.com

මුරුංගා කොළවල මෙන්ම කරල්වලත් ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගු යි. මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩි බව හෙළිවී තිබෙනවා. මුරුංගා කොළවලට ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව පවතින බව කියනවා. ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාව ද තිබෙනවා. මුරුංගා කොළ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට අගනා ඖෂධයක්. මුරුංගා කරල්වල 20% – 30%ත් ඇමයිනෝ අම්ලය අඩංගු යි. ෆ්ලේවොනොයිඩ, ෆි‍නොලික් අම්ලය, ඔමෙගා අම්ල වැනි සිරුරට හිතකර සංඝටක රාශියක් අඩංගු යි.

මේ නිසා මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළ යි. ශරීරයේ ඇති ප්‍රතිඔක්සිකාරක එන්සයිම වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස්, ග්ලුටතයෝන් පෙරොක්සිඩේස්, ග්ලුටතයෝන් රිඩක්ටේස්, සහ කැටලෙස් සක්‍රිය කිරීමේ හැකියාව මුරුංගා සතුබව සොයාගෙන තිබෙනවා.

විටමින් සී හා කැල්සියම් පිරිලා

මුරුංගා ඔසුවක්- blog.kulkikulifoods.com

මුරුංගාවල අඩංගු විටමින් C ප්‍රමාණය දොඩම්වල මෙන් 7 ගුණයක් බව හෙළිව තිබෙනවා. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරිවල මෙන් 4 ගුණයක්. මුරුංගාවල අඩංගු පොටෑසියම් ප්‍රමාණය කෙසෙල්වල මෙන් 5 ගුණයක් පමණ වෙනවා. යකඩ ප්‍රමාණය නිවිතිවල මෙන් 2 – 3 ගුණයකට වඩා ඉහළ යි.

බෝනොවන රෝගවලට දිවඔසුවක්

මුරුංගා නිපැයුම් කිහිපයක්- minihistbanker.com

කොළවල පිළිකා නාශක ගුණ ඉතා ඉහළ යි. විශේෂයෙන් මොළයේ පිළිකා මර්දනයට හැකියාව පවතින බවට විශ්වාස කෙරෙනවා. කොලෙස්ටරෝල් පාලනය කර හෘදය වස්තුව ආරක්ෂා කරනවා. අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කිරීමටද හැකියාවක් පවතින බවට ද අනුමාන කෙරෙනවා. රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට මුරුංගාවලින් ලැබෙන්නේ අනගි සහායක්.

මුරුංගාවලට මව්කිරි ස්‍රාවය ඉහළ දැමීමට කිරීමට හැකි බව කියනවා. ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට මුරුංගා උපකාරි වෙනවා.

මුරුංගා ඇටවල ගුණ

ගුණ පිරි මුරුංගා ඇට- aththammageathbeheth.blogspot.com

මුරුංගාවල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව පවතිනවා. යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කිරීම කරන්නට පුළුවන් වුණත්, මේ යකඩ මස් මාලුවල යකඩ වගේ පහසුවෙන් අවශෝෂණය වෙන්නේ නම් නැහැ. ශාකමය යකඩ ඒ වගෙයි.

මුරුංගා ඇටවල විටමින් E ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් Eවලින් ලැබෙන ගුණ ඉහළින්ම ලැබෙනවා. මුරුංගා ඇට මඟින් අක්මාවේ ෆයිබ්රෝසිස් තත්ත්වය ඇතිවීම වැළැක්වීමට උපකාර කරන බව කියැවෙනවා. මුරුංගා වකුගඩු ආරක්ෂා කිරීමට සමත්. ග්‍රෑම් 100ක පෝෂණය ගතහොත් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7ක් ද, ප්‍රෝටීන් ග්‍රෑම් 2.5 ක් ද අඩංගු යි. විටමින් A, විටමින් B1, විටමින් C, කැල්සියම් ද ඇතුළත්.

නූතන මුරුංගා නිපැයුම්

මුරුංගා තේ බොමු -thebetterindia.com

අද මුරුංගා පත්‍ර කුඩු කර කරල් වශයෙන් මෙන්ම පෙති වශයෙන් ද රටවල් රාශියක වෙළෙඳපොළේ දකින්න ලැබෙනවා. මුරුංගා තේ ද ජනප්‍රිය නිපැයුමක්. මුරුංගා ඇටවලින් තෙල් ද නිපදවනවා. ඒ ආහාරමය අතිරේකයක් වශයෙන්. ඉන්දියාවේ මුරුංගා ආශ්‍රිත නිපැයුම් බහුලව හදනවා. මේවා ඉහළ මිල ගණන්වලට විකිණෙන බව අන්තර්ජාලය පිරික්සීමේ දී පේනවා. ඒත් අපේ වැඩිදෙනෙක් වැටවල්වල ඉබේ පැළවෙල මුරුංගා ගස්වලින් කිසි ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

සිරිලක ගස්කොළන් අත්පොත- පරි. අතුල විජයසිංහ

Dinamina.lk

herbalvoice.lk

healthline.com

කවරය- මුරුංගා පත්‍ර සහ පත්‍ර කුඩුකර තනනා කරල්- blog.kulkikulifoods.com

Related Articles