Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරුම පුදුම ලෝකයේ අමුතු උත්සව 6ක්

මිනිසුන් සමාජ සත්ත්වයන් ය. වසර 250,000 කට පමණ පෙර හෝමෝ සේපියන්ස්ගේ ආරම්භයේ සිට, මිනිසුන් ජීවත්වීම සඳහා අනුවර්තනය වීමේ දී ඔවුන් ගොඩ නඟා ගත් සමාජයක අදහස්, සිරිත් විරිත් සහ සමාජ හැසිරීම ආදිය අපි සංස්කෘතිය යනුවෙන් හඳුන්වමු.

අප ජීවත් වන මෙම ලෝකය කෙතරම් පුදුමාකාරද යන්න සොයා බැලීමට අවැසි නම් ලොව පුරා  මෙකී විවිධ සංස්කෘතීන් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. විවිධ සංස්කෘතීන් පිළිබඳ හැදෑරීමේ දී ඒවායේ ඇති විචිත්‍රත්වය, පුදුමාකාර බව සහ ඇදහිය නොහැකි දේත් අපට හමුවනු ඇත. එය සංස්කෘතික පැවැත්ම යනුවෙන් හැඳින්විය හැකි ය.  මේ සංස්කෘතික පැවැත්ම ඉදිරියට ගෙන යාමට මිනිසුන් විවිධ ක්‍රියාකාරකම් තම ජීවිතවලට එකතු කර ගෙන ඇත. ඒවා උත්සව යනුවෙන් හැඳින්වේ. ලෝකයේ විවිධ සංස්කෘතින්වලට අදාළ, ඇදහිය නොහැකි අරුම පුදුම එවන් උත්සව හයක් පිළිබඳ මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

සිඟිත්තන් තැබූ මෙට්ට මතින් පැන යන වෛර්ණ ඇඳුම් ඇඳි පුද්ගලයෝ – www.chinadaily.com.cn

1). දරුවන් මතින් පැන යාමේ උත්සවය – ස්පාඤ්ඤය

කුඩා දරුවන්ගේ ‍බෞතීස්ම කිරීමේ උත්සවයක් ලෙස හැඳින්විය හැකි මෙම දරුවන් මතින් පැන යාමේ උත්සවය ස්පාඤ්ඤයේ පැවැත්වෙන ප්‍රාදේශීය උත්සවයකි. මෙම උත්සවය පාස්කු ඉරිදා දිනයෙන් දින  60 කට පසු සිදු වේ. වයස අවුරුදු එකකට අඩු, ගෙවුණු වසරේ දී උපත ලැබූ සිඟිත්තන් පාපයෙන් ගලවනු පිණිස මෙම උත්සවය පවත්වයි. එක්තරා ආකාරයක ආගමික උත්සවයක් වන මෙම උත්සවයේ ආරම්භය වසර 1600 කට පමණ පෙර සිදු වී ඇති බව විශ්වාස කෙරේ.

බිය උපදවන වෛවර්ණ ඇඳුමින් යක්ෂයන් මෙන් සැරසී, මාර්ගවල ඇතිරූ කොට්ට සහ මෙට්ට මත තැබූ සිඟිත්තන්ගේ ශරීරවලට උඩින් පැන යන පිරිමින්ගේ දර්ශනය මෙම උත්සවයේ දී දැකිය හැකි අතර එය ඉතා හාස්‍යය උපදවන අවස්ථාවක් බව වාර්තා වේ. එමඟින් සිඟිත්තන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කෙරේ.

මිය ගිය තම මුතුන් මිත්තන්ගේ සිරුරු නැවත පිරිසුදු කිරීම – www.dailymail.co.uk

2). මුතුන්මිත්තන් මළවුන්ගෙන් නැඟිටුවීම – ඉන්දුනීසියාව

ඉන්දුනීසියාවේ සුලවේසි කඳුකර ප්‍රදේශයක ජීවත්වන ගෝත්‍රික ජනවර්ගයක් වන ටොරාජන් ජනයා තම මියගිය ඥාතීන්ට ගෞරවය දැක්වීම සඳහා මුතුන්මිත්තන් මළවුන්ගෙන් නැඟිටුවීමේ මෙම අරුම පුදුම උත්සවය පවත්වයි. ටොරාජන් ජනයා විශ්වාස කරන පරිදි මරණය අවසාන පියවරක් නොව, අඛණ්ඩ අධ්‍යාත්මික ජීවිතයක පළමු  පියවර වේ.  උපතට, විවාහයට  වඩා ඉහළ වටිනාකමක් මෙම ගෝත්‍රික ජනයා මරණයට ලබා දීම සිදු කරයි.

තම පවුලේ අයකු නිවසින් බැහැර ව සිටිය දී මිය ගියහොත් ඔවුන් එම දේහය තම නිවසට කෙසේ හෝ රැගෙන ඒම සිදු කරයි. ටොරාජන් මිනිසුන් විශ්වාස කරන්නේ මිය ගිය පුද්ගලයකුගේ ආත්මය සෑම විටම ඔවුන්ගේ උපන් ගමට අයත් වන්නක් බව ය. එබැවින් ඔවුන් මිය ගිය තම ඥාතීන් සැමරීමට මෙම උත්සවය සතියක් පුරා පවත්වයි. මෙය සෑම වසර තුනකට ම වරක් පැවැත්වෙන අතර එහි පළමු පියවර මිය ගිය තම ඥාතීන්ගේ සිරුරු තැන්පත් කර ඇති ස්ථානයෙන් පිටතට ගැනීම ය. ඉන් අනතුරු ව ඒ සිරුරු නහවා පිරිසුදු කරයි.

පිරිසුදු කිරීම අවසන සිරුරු නැවත නිවෙස් වෙත රැගෙන යනු ලබයි -www.dailymail.co.uk

අනතුරුව අවසන් කටයුතු සිදු කිරීමේ දී ඇන්ද වූ, පැරණි වූ වැරහැලි වූ ඇඳුම් ඉවත් කර නව ඇඳුම් අන්දවා නිවෙස් වෙත රැගෙන යන මෙම මියගිය ඥාතීන්ට ඔවුන් ජීවත් ව සිටියදී කෑමට බීමට ආසා කළ ආහාර පාන ලබා දීම සිදු කරයි. පසුව මනේනේ (Manene) නමින් හැඳින්වෙන උත්සවයක දී මියගිය පුද්ගලයන් සමඟ ජීවත්ව සිටින සියලු දෙනා පවුලේ ඡායාරූප සඳහා පෙනී සිටිති. මෙම උත්සවයේ අවසානයේ දී මීහරකුන් මරා ඔවුන්ගේ මස් ගම්වාසීන් අතර බෙදා හදාගෙන පිසීමෙන් හා නැවත මියගිය ඥාතීන් සොහොන් ගැබ් හී තැන්පත් කිරීමෙන් උත්සවය අවසන් කරයි.

විශාල නාගයන්ට  පූජා පවත්වා පසුව කිරි, පලතුරු ආදිය ද ලබා දෙයි – english.jagran.com

3). නාග පංචමී උත්සවය – ඉන්දියාව

අගෝස්තු හෝ ජුලි මාසයේ දී පැවැත්වෙන මෙම නාග පංචමී උත්සවය ඉන්දියාවේ පැවැත්වෙන අරුම පුදුම උත්සවයකි. එහිදී ජනයා සර්ප දෙවිවරුන්ට නමස්කාර කරන අතර ඉන් තම පවුලේ අයට  ආශිර්වාද ලබා ගනී. උතුරු ඉන්දියාවේ බෙංගාලය, මහාරාෂ්ට්‍රය සහ දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රසිද්ධියට පත් මෙම උත්සවය සඳහා  විෂ ඝෝර නාගයන් සහභාගී කර ගැනෙයි.

සර්පයන් වන්දනාමාන කිරීමේ සම්ප්‍රදාය ඉන්දියාවේ ඈත අතීතයේදී ද දක්නට ලැබිණි. ඒ නාගයන් බ්‍රහ්ම දෙවියන් සමඟ සෘජුව ම සම්බන්ධ වන බවට පවතින විශ්වාසය නිසා යි. නාග පංචමී දින බැතිමත්තු නාගයන්ගේ රුව රැගත්  පිළිමවලට පුද පූජා පවත්වති. මෙම පූජා සඳහා කිරි, පලතුරු සහ මල් ඇතුළත් වේ.

නටඹුන් අතරේ තැබූ පළතුරු කුළුණක් මත නැගී පළතුරු රසවිඳින වඳුරෙක් -www.atlasobscura.com

4). වඳුරන්ගේ සාදය – තායිලන්තය

සෑම වසරක ම නොවැම්බර් මස අවසාන ඉරිදා, තායිලන්තයේ පැරණිත ම නගරවලින් එකක් වන ලොප්බුරිහි පදිංචිකරුවන් පවත්වන මෙමඟින් දහස් සංඛ්‍යාත වඳුරන්ගේ කුසගිනි නිවීම සිදුකරයි. නගරයේ පුරාණ නටබුන් අතර වාසය කරන වඳුරන් වෙනුවෙන් දැවැන්ත භෝජන සංග්‍රහයක් පවත්වන අතර ප්‍රදේශවාසීන් පලතුරු මූර්තිවලින් ඔවුන්ගේ නිවෙස් අලංකාර කරති. උත්සවය සදහා පලතුරු, සලාද සහ වෙනත් පැණි රස ආහාර සහිත විශාල මේස පැනවීම සිදුකරයි.

ලොප්බුරිහි වැසියන් වඳුරන් කරදරකාරී සතුන් විශේෂයක් ලෙස නොසලකන අතර ඔවුන් වඳුරෝ ගෞරවයක් සේ සලකති. වඳුරන් මර්දනය කිරීම සඳහා කිසිදු ආකාරයක උගුල් ඇටවීමක් හෝ රසායන ද්‍රව්‍ය යෙදූ ආහාර තැබීමක් හෝ වෙඩි තැබීමක් සිදු නොකරන අතර මෙම සාදය පවත්වා ඔවුන්ගේ කුසගිනි නිවීම මහත් සතුටට කරුණක් සේ සලකති.

අඩු කාලයකදී වැඩිම පණුවන් ප්‍රමාණයක් සොයා  ගැනීම සඳහා තරඟ වදිමින් – www.coastandcountry.co.uk

5). පණුවන් සෙවීමේ සැණකෙළිය – එංගලන්තය

පණුවන් සෙවීම සඳහා සැණකෙළියක් පවත්වන බව ඇසූවිට එය අපගේ හාස්‍යයට ලක්වෙන නමුත් එංගලන්තයේ එවන් උත්සවයක් මහත් සැණකෙළි ස්වරූපයෙන් පවත්වයි. ඩෙවෝන් නගරයේ ජනයා පවත්වන මෙම සැණකෙළිය සෑම මැයි මසක ම දිනයකදී පවත්වයි. තිදෙනකුගෙන් යුත් කණ්ඩායම්වලට බෙදී තමන්ට වෙන් කර ඇති පිට්ටනි කොටසකින් විනාඩි 15 ක් තුළ වැඩිම පණුවන් ප්‍රමාණයක් අල්ලා ගැනීම මෙම උත්සවයේ අරමුණ යි.

තරඟය ඉතා කෙටි කාලයකින් අවසන් වුව ද නරඹන්නන්ට විනෝදාස්වාදය සැපයීම  සඳහා දවස පුරා ක්‍රියාකාරකම් රාශියක් පැවැක්වෙන මෙම උත්සවය ඉතාම උද්යෝගී ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි.

දේව රූප ගෙන යාම සංකේතවත් කරමින් විචිත්‍ර ඇඳුමින් සැරසුණු ළමයින් ඔසවා ගෙන යෑම – Captihongkongcheapo.comon

6). චියුන් චායූ බනිස් උත්සවය – හොංකොං

සියවසකට පමණ පෙරදී හොංකොං හී චියුන් චායූ ප්‍රදේශය පුරා වසංගතයක් පැතිර ගිය අතර ප්‍රදේශවාසීන්  පාක් තායි විහාරයට භාර හාර වීම සිදුකිරීමෙන් මෙම වසංතය පහව ලිය බව පැවසේ. එයින් පසු ප්‍රදේශවාසීහු නව චාරිත්‍රයක් ආරම්භ කළහ. වර්ණවත් පෙළපාලි පවත්වමින් දේව ප්‍රතිමා ප්‍රදර්ශනය කිරිම සංකේතවත් කරමින් කුඩා දරුවන් කනු මත සිටවා ඔසවාගෙන යෑම  මෙහිදී සිදුවේ. 

බනිස් මත සලකුණු කරන ලද  චීන අක්ෂරය  -rove.me

වඩාත් වැදගත් චාරිත්‍රය වන්නේ  බනිස් දහස් ගණනක් පිළිස්සීම යි. මෙම බනිස් මතුපිට  ‘සාමය’ අරුත් ගැන්වෙන චීන අක්ෂරයක්  මුද්‍රා තබයි. දහස් ගණනක් බනිස් සෑම තැනක ම විකිණීමට තබා ඇති අතර  ඔබට තල, නෙළුම් හෝ රතු බෝංචි පේස්ට් වැනි පිරවුම්වලින් යුත් බනිස් වර්ග තෝරා ගත හැකි ය.

 

දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේ අවසානයට බනිස් කුළුණ තරණය කිරීමේ අංගය පැවැත්වෙයි. බනිස්වලින් ආවරණය වූ මීටර් 20 ක කුළුණක් මතට නැඟීමට තරගකරුවන් අතර පවතින්නේ දැඩි තරගයකි. බනිස් කුළුණේ බනිස් අලවා ඇති අතර එම  කුළුණ තරණය කරන්නන් බනිස් උපරිම ප්‍රමාණයක් ගලවා ගැනීම සිදු කළ යුතු ය.

බනිස් කුළුණ තරණය කිරීම – www.timeout.com

මෙය මධ්‍යම රාත්‍රියේ දී  සිදුවන්නේ හොංකොං දිවයිනේ පැරණිත ම හා වැදගත් ම පන්සල වන පාක් තායි පන්සල ඉදිරිපිට දී වීම විශේෂත්වයයි. මෙය නරඹන්නන්ට විනෝදය ගෙන එන සැමරුම් උත්සවයක් වන අතර දහස් ගණන් ජනයා මෙම බනිස් උත්සවය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර  මිලදී ගැනීමට කැමැත්තක් පළ කරති.

කවරයේ ඡායාරූපය - තායිලන්තයේ සුලවේසි හි මලවුන්ගෙන් නැගිටවීමේ උත්සව දර්ශනයක් - www.dailymail.co.uk  

මූලාශ්‍ර:

listverse.com 

www.dailymail.co.uk 

traveloutlandish.com

www.timeout.com 

Related Articles