Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාතෘත්වය අගයන ලෝක මවුවරුන්ගේ දිනය

ලොව වටා ජාතීන් බොහොමයක් මවටත්, මාතෘත්වයටත් ගරු කිරීම සහ ඇගයීම උදෙසා වසරකට වරක් සැමරුම් දිනයක් වෙන්කර තිබෙනවා. මෙම දිනය රටින් රටට වෙනස් වුවත්, බොහෝවිට මාර්තු හෝ මැයි මාසවල දී මවුවරුන්ගේ දිනය සමරන ජාතීන් බහුලයි. ශ්‍රී ලාංකිකයිනුත් මෑතක සිට මෙම මවුවරුන්ගේ දිනය සැමරීමට හුරුව සිටිනවා. මේ ලිපිය ඒ මවුවරුන්ගේ දිනය පිළිබඳවයි.

මව්වරුන්ගේ දිනය සඳහා රතු කානේශන්. (thegenealogyguide.com)

මාතෘත්වය සැමරීමේ ඉතිහාසය

වර්තමානයේ සිදුවෙන මවුදින සැමරුමට සම්බන්ධයක් නොමැති වුවත්, ක්‍රිස්තු පූර්ව යුගයන්වල පවා මාතෘත්වය සමරනු ලැබූ බවට සාධක හමුව තිබෙනවා. ආදි ග්‍රීකයින් සහ රෝමානුවන් මේ අතරින් විශේෂයි. සුළු ආසියාවේ වන්දනාමාන කෙරුණු “කිබලේ” නම් මාතෘ දේවතාවිය පිදීමට රෝමානුවන් විසින් “හිලේරියා” නම් උත්සවයක් පවත්වනු ලැබුවා. එමෙන්ම රීආ නම් මාතෘ දේවතාවිය පිදීමට ද පුරාතන යුගයේ මෙවැනි උත්සව පැවැත්වුණා. මෙම චාරිත්‍ර විධි වල බලපෑමෙන් වර්තමාන මවුවරුන්ගේ දිනය බිහිවූවා යැයි මතයක් පැතිර ඇතත්, එහි සත්‍යතාවයක් නැහැ.

එමෙන්ම ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානුවන් විසින් සමරනු ලබන “Mothering Sunday” නම් උත්සවය ආශ්‍රිතව මව්වරුන්ගේ දිනය ඇරඹුනා යැයි ද මතයක් ඇතත්, එම උත්සවයේ දී ඔවුන් විසින් තමාව බෞතීස්ම කරනු ලැබූ “මාතෘ” පල්ලියට යෑම විනා, “මාතෘත්වය” සැමරීමක් නම් නොකරන බව කිව යුතුයි.

කෙසේ නමුත්, සුළුතරයක් සංස්කෘතීන් සහ ජාතීන් වලට අයත් ජනයා පුරාතනයේ සිට පැවතෙන මෙම උත්සවයන් ආශ්‍රිතව දී මව්වරුන්ගේ දිනය සමරනවා වීමට ඉඩකඩ තිබෙනවා.

මවුවරුන්ගේ දිනයේ ආරම්භය

ඇනා ජාර්විස්. (HelloGiggles)

වර්තමානයේ අප විසින් සමරන මවුවරුන්ගේ දිනය ප්‍රථම වරට සැමරුණේ 1908 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ, බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ දී යි. ඇනා ජාර්විස් නම් සමාජ ක්‍රියාකාරිනියක් විසින් ග්‍රැෆ්ටන් හි ශාන්ත ඇන්ඩෲගේ මෙ‍තෝදිස්ත පල්ලියේ දී තම මව අනුස්මරණය කරමින් පැවත්වූ උත්සවයක් මෙම ජාත්‍යන්තර සැමරුම් දිනයට උපත ලබා දුන්නා. 1905 වසරේ සිටම ජාර්විස් විසින් මෙය නිල සැමරුම් දිනයක් බවට පත්කිරීමට උත්සාහ ගනිමින් සිටියා. 1908 දී ඇමරිකානු කොන්ග්‍රසය විසින් මෙම දිනය නිල වශයෙන් පිළිගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් ඉවත දැම්මේ ඉන්පසු “නැන්දම්මාවරුන්ගේ දිනයක්” ද හඳුන්වා දීමට සිදුවනු ඇතැයි කියමින්. කෙසේ නමුත් ජාර්විස්ගේ උත්සාහය ද ජනතා සහායද නිසා 1911 දී ඇමරිකා එක්සත් ජනපදයේ දී මෙම උත්සවය නිල වශයෙන් සමරනු ලැබුවා.

පළමු මව් දින සැමරුම පිළිබඳව වූ පුවත්පත් ලිපියක්. (blog.genealogybank.com)

මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ මෙම දිනය ආරම්භ වූයේත්, ලොව පුරා සැමරෙන්නේත් “මවගේ දිනය”, එනම් Mother’s Day යනුවෙන් මිස, අප වහරේ සඳහන් වන ආකාරයට සියළු මවුවරුන්ගේ දිනය ලෙස නොවීමයි. මෙම දිනයට උපත ලබා දුන් ජාර්විස් විශේෂයෙන්ම අවධාරනය කළේ මෙම දිනයේ දී සිදුවිය යුත්තේ සෑම පවුලක් විසින් එම පවුලේ මවට උපහාර පිදීම විනා, සමස්ථයක් ලෙස මව්වරුන්ව උපහාරයට ලක්කිරීම නොවන බවයි. කෙසේ නමුත් වර්තමානයේ දී එම මූලික අරමුණ වෙනස් වී තිබෙනවා.

1908 දී පළමුවෙන්ම මව්වරුන් සැමරුන ග්‍රැෆ්ටන් හි ශාන්ත ඇන්ඩෲස්ගේ පල්ලිය වර්තමානයේ දී ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයේ දේවස්ථානය (International Mother’s Day Shrine) ලෙස හැඳින්වෙනවා.

ලොව වටා මවුවරුන්ගේ දිනය

මවුවරුන්ගේ දිනය ලොව වටා රටවල් 46ක සැමරෙනවා. මේ රටවල් අතරින් බොහොමයක් ඇමරිකා එක්සත් ජනපදය අනුගමනය කරමින් මැයි මස දෙවන ඉ රු දිනයේ මෙම උත්සවය සමරනවා. ඇතැම් ක‍තෝලික රටවල කන්‍යා මරිය තුමියගේ දිනයේදීත්, තවත් රටවල කාන්තා දිනයේදීත් මෙම උත්සවය සැමරීම සිදුවෙනවා.

ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයේ දේවස්ථානය. (Preserve West Virginia)

මෙම දිනයේදී බොහොමයක් ජනයා තම මව වෙනුවෙන් පල්ලියේ දී යාඥා කරන අතර, තම මව කෙරෙහි ඇති ආලය දැක්වීම පිණිස ත්‍යාගයන් සහ මල් ලබා දෙනවා.

මවුවරුන්ගේ දිනය වාණිජකරණය වීම

මවුවරුන්ගේ දිනය හඳුන්වාදුන් ජාර්විස්ම එම දිනය වර්ජනය කිරීමට ව්‍යාපාරයන් දියත් කළ බව ඔබ අසා තිබෙනවා ද?

හෝල්මාර්ක් සමාගම 1920දශකයේ නිකුත්කළ කාඩ්පතක්. (Hallmark Ideas)

1920ගණන්වල මුල් භාගයේ දී හෝල්මාක් සමාගම ඇතුළු තවත් සමාගම් ගණනාවක්  මවුවරුන්ගේ දින සුබ පැතුම්පත් වෙළඳපොළට හඳුන්වාදුන්නා. ජාර්විස් මෙම අදහසට විරුද්ධ වුණේ එමඟින් මෙම සැමරුම් දිනය වාණිජකරණයට ලක්වන බවට පෙන්වා දෙමිනුයි. වෙළඳ සමාගම් මගින් මෙම දිනයේ මූලික අරමුණ විනාශ කරමින්, එම දිනයේ වැදගත්කම සූරාකන බව විශ්වාස කළ ඇය, මව්වරුන්ගේ දිනය වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ඇරඹූ අතර, අදාල සමාගම් වලට විරුද්ධව නඩු පවරන බවට ද තර්ජනය කළා. ජාවිස්ගේ තර්කය වූයේ සිදුවිය යුත්තේ තම මව කෙරෙහි ඇති හැඟීම් දක්වමින් තමන් විසින්ම තම මවට ලිපියක් ලියනවා හෝ කාඩ්පතක් සාදනවා විනා, මිළදී ගත් සුබපැතුම් පතක් ඇය වෙත යැවීම නොවන බවත් එසේ කිරීමෙන් මෙම දිනය සැමරීමේ මූලික හරය විනාශ වන බවත්ය.

මෙම විරෝධතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස මහජන සාමයට බාධා කරන බවට චෝදනා කරමින් 1925දී ජාර්විස්ව සිර භාරයට ගනු ලැබුවා.

ලස්සන ෆ්ලෝරා සමාගමේ ෆේස්බුක් පි‍ටුවේ මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පලවුණු දැන්වීමක්. (Facebook)

වර්තමානයේ දී බහුතරයක් ලාංකිකයින් විසින් මවුවරුන්ගේ දිනය සමරනු ලබනවා. විවිධ සමාගම් විසින් මල්, සුබපැතුම් පත්, ඇඳුම් පැළඳුම් වලට විශේෂ වට්ටම් ලබාදෙන නිසා බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගේ මව්දින සැමරුම තම මවට මල් පොකුරක් හෝ සුබපැතුම් පතක් ලබාදීමට සීමා වී තිබෙනවා. ඔබේ මවට ඔබේම අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව තිබියදී වෙනකෙකු විසින් ලියන ලද යමක් ඔබේ මවට ලබා දෙන්නේ ඇයි? මිළදී ගත් සුබපැතුම් පතකට වඩා, ඔබ අතින්ම ලියැවුණු කවියක්, පද පේළි කීපයක්, හෝ ඔබ විසින්ම සාදන ලද කාඩ්පතක් ඔබේ මව අගය කරනු ඇති නේද?

කවරයේ පින්තුරය: (thegraphicsfairy.com)

මුලාශ්‍ර: history.com

Related Articles