Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ ජනතා නියෝජිතයන් නිතර යන එන සිංගප්පූරුවේ පිහිටි තරු පහේ රෝහල

අපේ රටේ පෞද්ගලික රෝහල් විශාල සංඛ්‍යාවක් තිබුණත් ඒ හැම එකකටම වඩා අප රටේ නිතර​ කතාබහට ලක්වන​ විදෙස් පුද්ගලික රෝහලක් තියෙනවා. ඇත්තම කිව්වොත් මේ ලිපිය ලියන මම ඇතුළු අප​ බොහෝ දෙනෙකුට ඒ රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා කියන්නේ අමාරු නෙවෙයි කරන්නම බැරි දෙයක්.

නමුත් අප​ අතර මේ රෝහල හරිම ප්‍රසිද්ධයි. වෙන හේතුවක් නිසා නෙවෙයි, ඒ රට පාලනය කරන්න අප​ විසින්ම තෝරාපත් කරගත් අපේ දේශපාලනඥයන් සමහරෙක් තමන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගන්න මේ රෝහලට දුවන නිසා.

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල. මේ ලිපිය ලියැවෙන්නේ එම රෝහල පිලිබඳ යම් දැනුමක් ඔබ වෙත ගෙන ඒමේ අරමුණිනුයි.

ආරම්භය

මවුන්ට් එලිසබෙත් රෝහල (කෙටි නාමය ‘මවුන්ට් ඊ’) ඉදිකිරීම ආරම්භ කරනු ලැබුවේ 1976 වසරේදීයි. වසර තුනක් පුරා සිදුකරනු ලැබූ ඉදිකිරිම කටයුතුවලින් අනතුරුව එය නිල වශයෙන් 1979 වසරේ දෙසැම්බර් 08 වන දින මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කරනු ලැබුවා.

මෙම රෝහල මහත් ප්‍රසිද්ධියක් උසුලන්නේ හෘදරෝග චිකිත්සාව, පිළිකා, ස්නායු වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රයන් ත්‍රිත්වයටයි. නමුත් අනෙකුත් සියළුම ආකාරයේ ලෙඩ රෝගවලට ප්‍රතිකාර ලබා දීම ඔවුන් විසින් සිදු කරනවා.

මවුන්ට් එලිසබෙත් නොවීනා රෝහල (Parkway Holdings)

1995 දී පාක්වේ හෝල්ඩින්ස් නම් වෛද්‍ය සේවා සමාගමක් විසින් මෙම රෝහලේ හිමිකාරත්වය තමන් වෙතට පවරා ගනු ලැබුවා. මෙය මැලේසියාවේ ක්වාලා ලම්පූර් කේන්ද්‍ර කරගත් IHH Healthcare නම් සමාගමකට අයත් සිංගප්පූරු සමාගමක් වනවා.

මවුන්ට් එලිසබෙත් යන නාමය යටතේ රෝහල් දෙකක් මෙම සමාගම සතුයි. ‘මවුන්ට් එලිසබෙත්’ රෝහල (Mount Elizabeth Hospital) සහ ‘මවුන්ට් එලිසබෙත් නොවීනා’ රෝහල (Mount Elizabeth Novena Hospital) යනු එම දෙකයි. මවුන්ට් එලිසබෙත් නොවීනා රෝහල විවෘත කෙරුණේ 2012 දී.

පහසුකම්

ආසියා පැසිෆික් කලාපයේ පිහිටා තියෙන පහසුකම් අතින් විශිෂ්ටතම රෝහල මෙය බව බොහෝ දෙනා විසින් අවිවාදයෙන් යුතුව පිළිගනු ලබනවා. මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට එම කලාපයේ නන් දෙසින් රෝගීන් පැමිණෙන්නේ ඒ හේතුව නිසායි.

මවුන්ට් එලිසබෙත් නොවීනා රෝහල සතුව කාමර 333ක් පමණ තිබෙන අතර මවුන්ට් එලිසබෙත් රෝහල සතුවත් කාමර 345 ක ප්‍රමාණයක් තිබෙනවා.

මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රසූත කාමරයක් (Beautiful Chaos)

එලිසබෙත් රෝහල සතුව වෙනම ‘රාජකීය කාමරය​ක්’ (royal suite) ඇති අතර, එය මීට වසර ගණනාවකට පෙර බෘනායි රජ පවුලේ පරිහරණය වෙනුවෙන් ඔවුන් විසින් ඉදිකරනු ලැබුවක්. එම අංගනය මේ වන විට මහජන පරිහරණය සඳහා පරිත්‍යාග කිරීමට එම රජ පවුල කටයුතු කර තිබෙනවා.

මෙම රෝහල්වල සාමාන්‍ය පහසුකම් ලෙස වර්ග කර තිබෙන්නේ පහත දැක්වෙන ඒවායි.

  • රෝහල් කාමර පහසුකම්
  • මාතෘ වාට්ටු පහසුකම්
  • හදිසි අනතුරු සහ හදිසි අවස්ථා සේවාවන්
  • දැඩි සත්කාර ඒකකය
  • සැත්කම් ඒකකය
  • දෛනික ශල්‍යකර්ම

මීට අමතරව ඒ ඒ රෝගාබාධ වෙනුවෙන් වෙනම ඒකකයන් රෝහල විසින් ස්ථාපිත කර තිබෙනවා.

මවුන්ට් එලිසබෙත් නොවීනා රෝහලේ විමසීම් කවුන්ටරය (Parkway Holdings)

මෙම රෝහලෙන් එයට ඇතුළු වන රෝගීන්ට ලබා දෙන ඇති විශිෂ්ට සේවය සහා අධි සුඛෝපබෝගී පහසුකම් නිසා මේවා හැඳින්වෙන්නේ තරු පන්තියේ රෝහල් ලෙසයි. එය අප විසින් මෙම ලිපියට අමුණා ඇති පින්තූර දෙස බැලීමෙන් ඔබටත් තහවුරු කරගැනීමට හැකියාව ලැබෙනු ඇති.

කාමර වර්ග

මවුන්ට් එලිසබෙත් රෝහලේ කාමර, වර්ග 7 කට බෙදා තිබෙනවා. ඒ පහත දැක්වෙන අයුරින්.

  • තනි කාමර – මේවා එක් රැයකට සිංගප්පූරු ඩොලර් 678 සිට ඉහළට වෙන් කරගත හැකියි.
  • ඇඳන් දෙකේ කාමර – එක් රැයකට ඩොලර් 340 සිට ඉහළට
  • ඇඳන් හතරේ කාමර – එක් රැයකට 276 සිට
  • විශේෂ සුඛෝපබෝගී කාමර – එක් රැයකට ඩොලර් 1149 සිට
  • විශේෂ අමුත්තන් සඳහා සැකසූ කාමර – එක් රැයකට ඩොලර් 3,888 සිට
  • Daffodil/Magnolia මාතෘ කාමර – එක් රැයකට ඩොලර් 2519 සිට
  • රාජකීය අංගනයේ කාමර – එක් රැයකට ඩොලර් 5399 සිට

මවුන්ට් එලිසබෙත් නොවීනා රෝහලේ කාමර වර්ග කර ඇත්තේ මේ අයුරිනුයි.

  • A පන්තියේ කාමර – එක් රැයකට සිංගප්පූරු ඩොලර් 428 සිට ඉහළට
  • තනි කාමර – එක් රැයකට ඩොලර් 682 සිට ඉහළට
  • රෝගියාගේ කැමැත්තට අනුව සැකසූ තනි කාමර –  එක් රැයකට ඩොලර් 755 සිට ඉහළට
  • Junior Suite – එක් රැයකට ඩොලර් 1350 සිට ඉහළට
  • Regal Suite – එක් රැයකට ඩොලර් 9000 සිට ඉහළට

(2017 අගෝස්තු 31 වනදා සිංගප්පූරු ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් 112 ක් පමණ වුණා)

සම්මාන සහ ගරු බුහුමන්

සපයන සේවාවන්හි ගුණාත්මකභාවය නිසාම මවුන්ට් එලිසබෙත් රෝහල අන්තර්ජාතික සම්මාන කිහිපයකින්ම පිදුම් ලබා තිබෙනවා.

1994 වසරේදී ආසියා පැසිෆික් කලාපයේ ISO 9002 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ ප්‍රථම රෝහල සහ ආසියානු කළමනාකරණ සම්මානයෙක් පිදුම් ලැබූ ආසියාවේ ප්‍රථම පෞද්ගලික රෝහල ලෙස නම් දැරීමට මවුන්ට් ඊ සමත්වුනා. ඉන්පසුව 1998 වසරේ ව්‍යාපාර විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන සිංගප්පූරු තත්ත්ව සහතිකය මෙම රෝහලට හිමිවුණා. 2000 වසරේදී ජනතා සංවර්ධන තත්ත්ව සහතිකය ද මෙම රෝහල හිමි කර ගනු ලැබුවා.

මවුන්ට් එලිසබෙත් නොවීනා රෝහලේ සිනමන් කාමරය (The Business Times, Singapore)

සමූහ ලිංගික අඩත්තේට්ටමකට ලක් වී මිය ගිය ඉන්දියාවේ ‘දාමිණි නිර්භයා’ නම් අන්වර්ථ නමින් හැඳින්වුන තරුණිය ඊට පෙර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන්දියානු රජය විසින් යවනු ලැබුවේත් මෙම රෝහලටයි. එමෙන්ම රජිනි කාන්ත් ඇතුළු ප්‍රසිද්ධ ඉන්දීය නළු නිලියන් ගණනාවකම මෙම රෝහලේ ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

ඉතින් අපේ රටේ දේශපාලකයන් මෙතරම් උනන්දුවෙන් මේ රෝහල කරා ඇදෙන්නේ කුමන හේතුවක් මත ද යන්න මෙම ලිපිය කියවීමෙන් ඔබට සුළු හෝ අවබෝධයක් ලබා ගැනීමට ඔබට දැන් හැකියි නේද?

Cover Image: මවුන්ට් එලිසබෙත් රෝහල​ (Parkway Holdings)

Related Articles