Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

selfie ගැන නොදන්න කථා

selfie හෙවත් සෙල්ෆිය යන්න සිංහල භාෂාවට අළුතින්ම එක්වූ වචනයයි. එමෙන්ම ඉතා වේගයෙන් ලොව පුරා ජනප්‍රිය වූ වචනය ලෙස ද selfie යන වචනය හඳුන්වා දිය හැකිය. ලොව පුරා කවුරුත් පාහේ හොඳින් දන්නා සෙල්ෆිය ශ්‍රී ලංකාවේ ද අස්සක් මුල්ලක් නෑර ප්‍රසිද්ධ වචනයකි. දැනට වසර කිහිපයකට පෙර මෙරට ප්‍රසිද්ධ වූ සෙල්ෆිය ගැන කථාබහ නැවත අළුත් වූයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී සෙල්ෆියක් ගැනීමට ගිය සහෝදරයින් දෙදෙනෙකු දුම්රියේ ගැටී මියයාමත් සමඟ ය. මීට සමාන පුවතක් එම සිදුවීමට පසුදින රුසියාවෙන් වාර්තා විය. එනම් රුසියාවේ ප්‍රිමොර්ස්කි ක්රායි හි නාඩෙස්ඩින්ස්කි හි දුම්රිය මාර්ගයක් අසල සෙල්ෆියක් ගැනීමට ගිය ළමුන් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකු දුම්රියේ ගැටී මිය යාමයි. මෙම සිදුවීම් දෙක මඟින් පැහැදිලි වන්නේ සෙල්ෆිය රුසියාවට ද ඊට සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ශ්‍රී ලංකාවට ද එකසේ බලපෑම් ඇති කරන බවයි.

“සෙල්ෆි “යේ ඉතිහාසය

රොබට් කොර්නෝලියස්. (wikipedia.org)

ලෝකයේ සෙල්ෆි ජනප්‍රිය වී ඇත්තේ මෑතකදි වුවත් එහි උපත 1839 වර්ෂය තරම් ඈතට දිව යයිග මුල්ම සෙල්ෆි ඡායාරූපය ලබා ගත් පුද්ගලයා ලෙස රොබට් කොර්නෝලියස් (Robert Cornelius) නැමති ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා ඉතිහාසයට එකතු වේ. වර්ෂ 1839 දී තාක්‍ෂණය නොදියුණු යුගයක තමාගේ ඡායාරූපය තමාම ගැනීමට ඔහුට ලොකු උත්සාහයක් දරන්නට ද සිදුව තිබේ. ඔහුගේ මෙම ඡායාරූපය කැමරාවකින් ආලෝකය නිකුත් කිරීමත් සමග ගන්නා ලද ලොව පළමු ඡායාරූපය ලෙසද හදුන්වා දිය හැක.

ලොව ප්‍රථම සෙල්ෆි ඡායාරූපය (wikipedia.org)

එසේම 1900 වර්ෂයේදී Kodak Brownie box camera වක් ආධාරයෙන් කාන්තාවක් විසින් කැඩපත ඉදිරියට ගොස් ගන්නා ලද ඡායාරූපය කාන්තාවක් විසින් ගන්නා ලද පළමු සෙල්ෆි ඡායාරූපය ලෙස හඳුන්වා දිය හැක. තමාගේ ඡායාරූපය තමන් විසින්ම ලබාගැනීමේ අවශ්‍යතාව පසු කලෙක කොතරම් දියුණු වූයේද යන්න එකළ පැවති සාමාන්‍ය කැමරා සමඟ භාවිත කළ හැකි Self-timer නැමති උපාංගය සුප්‍රකට කැමරා ලෙන්ස් නිපදවන සමාගමක් වන Leica Camera AG විසින් නිපදවීමෙන් පැහැදිලි වෙයි. ඡයාරූප ශිල්පියාට තමන් ද ඇතුළුව ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වූ විට මෙම උපාංගය කැමරාවට සවිකොට තත්පර ගණනක් ඇතුළත කැමරාව ස්වංයක්‍රියව ක්‍රියාතමක කරවීමේ හැකියාව තිබුණි. පසු කළක සාමාන්‍ය SLR කැමරා මෙම timer පහසුකම සමඟම නිපදවීම සෙල්ෆි ඡායාරූප ශිල්පයේ තවත් පියවරක් ඉදිරියට යාමක් ලෙස හැදින්විය හැකිය.

Self-timer නැමති උපාංගය කැමරාවට සවිකරන ආකාරය. (wikipedia)

වසර 2000 ජුනි මාසයේ දී කැමරාවක් සහිත ප්‍රථම ජංගම දුරකථනය Samsung විසින් නිපදවූ අතර එම ජංගම දුරකතනයෙන් ලබාගන්නා ඡායාරූප නැරඹිමට පරිගණකයක් ඊට සම්බන්ධ කළ යුතු විය. මෙම ගැටළුවට විසඳුම් වශයෙන් 2000 වසරේ නිපදවූ Sharp J-SH04 දුරකථනය ලබාගන්නා ඡායාරූප නැරඹීමේ පහසුකම් ද සමඟ නිපදවූ ප්‍රථම දුරකථනයයි.

ඡායාරූප ගත හැකි
සහ නැරඹිය හැකි මුල්ම ෆෝනය Sharp-J-SH04 (digitaltrends.com)

එතැන් පටන් විවිධ ආකාරයෙන් ජංගම දුරකථනවල සිට ස්මාර්ට්ෆෝනය දක්වා තාක්ෂණය දියුණු වීමත් සමඟ කැමරාව සඳහා ප්‍රමුඛත්වයක් හිමිවිය. අතැති ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීමට තිබූ හැකියාව නිසා බොහෝ දෙනෙකු තමන්ගේ ඡායාරූපය තමන් විසින්ම ලබාගැනීමට උනන්දු විය. මුලින් පසුපස කැමරාව භාවිතයෙන් සෙල්ෆි ගැනීම ඇරඹුනු අතර එම අවශ්‍යතාව මැනවින් තේරුම් ගත් දුරකථන සමාගම් වසර  2003   දී ඉදිරිපස කැමරාවක් සහිත ස්මාර්ට්ෆෝනයක් නිපදවීමට සමත්විය.

ඉදිරිපස කැමරාවක් සහිත මුල්ම ෆෝනය Sony-Ericsson-Z1010 – (gallery.dpcdn_.pl)

Sony Ericsson Z1010 සහ Motorola A835 එලෙස ඉදිරිපස කැමරා සහිත හඳුන්වා දුන් ජංගම දුරකථන වන අතර මේ වනවිට පසුපස කැමරාව හා සමාන උසස් තත්වයේ ඡායාරූප ලබාගැනීමේ ඉදිරිපස කැමරා සහිත ස්මාර්ට්ෆෝන් වෙළඳ පළට හඳුන්වා දී තිබේ. මෙයින් පැහැදිලි වන්නේ සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා ජනතාව තුළ ඇති උනන්දුව ක්‍රමයෙන් වර්ධනය වූ බවයි.

“සෙල්ෆි“ කියන වචනය හැදුනේ කොහොමද?

මෙන්න මෙහෙමයි වචනේ හැදිලා තියෙන්නේ.

සෙල්ෆි යන වචනය ප්‍රථම වතාවට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරය වීම ආරම්භ වන්නේ 2002 වර්ෂයේ සැප්තැම්බර් මස 13 වෙනි දිනයි. එනම් සෙල්ෆි යන වචනය පළමුවෙන්ම භාවිත කරන ලද්දේ එම දිනයේ ඕස්ට්‍රේලියාවේ පැවති අන්තර්ජාල සංසදයේදීය. එතැන් පටන් සෙල්ෆි යන වචනය ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වන ලදී.

මුල්ම කැමරා ෆෝනය සම්බන්ධයෙන් පළවූ බීබීසී වාර්තාව.

Selfie යන්න ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ හඳුන්වා ඇත්තේ “A photograph that one has taken of oneself, typically one taken with a smartphone or webcam and shared via social media.“ වශයෙනි. එනම් “තමා විසින්ම ලබාගන්නා තමාද පෙනී සිටින ඡායාරූපයක් මෙන්ම බොහෝ විට ස්මාර්ට්ෆෝනයක් හෝ වෙබ් කැම් ආශ්‍රයෙන් ලබාගෙන සමාජ මාධ්‍ය වෙත යොමුකරන ඡායාරූපයක්“ යන්න එහි අදහසයි.  2013 වසරේ ඉංග්‍රීසි ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රිසි ශබ්ද කෝෂයේ “වසරේ වචනය “ බවට පත්වූයේ ද Selfie යන වචනයයි. ලොව බොහෝ භාෂා වල selfie යන ඉංග්‍රිසි වචනයට ස්වදේශික වචන නැත. ශ්‍රී ලංකාවේද තත්වය එසේම ය. මේ සඳහා සිංහල වචනයක් මෙතෙක් නිර්මාණය වී නැත. මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි මහතා සිය මුහුනු පොතේ ඇතැම් ස්ථානවලදී සෙල්ෆි ඡායාරූප පළකරන්නේ “සියැපියක්“ ලෙස හඳුන්වමිනි.

“සෙල්ෆි “ මානසික විකෘතිතාවක් ද?

සුප්‍රකට මිස්ටර් බීන් කථාමාලාවේ සෙල්ෆි ඡායාරූපයක් ගත් අවස්ථාවක් (uniquefacts.net)

ඇමරිකාවේ කැලිෆෝනියා හි San Diego සරසවියේ මහාචාර්යවරයෙක් වන Jean Twenge මහතා ලෝක ප්‍රකට ටයිම්ස් සඟරාවට The Me Me Me Generation ලෙස ලිපියක් ලියමින් පවසන්නේ සෙල්ෆි යනු උමතුවක් බවයි.

එසේම තමාගේ රූපයට සහ මමත්වයට අතිශය ආශා වුණ වත්මන් පරපුර The Me Me Me Generation ලෙස ඔහු හඳුන්වනවා දී තිබේ. එසේම රුසියානු පර්යේෂණ කණ්ඩායමක් කළ දැවැන්ත පර්යේෂණයකින්ද ලොවට හෙළි කර ඇත්තේ වත්මන් ලෝකයේ සාමූහික උමතුව මෙම සෙල්ෆි මේනියාව මඟින් පෙනෙන බවයි.

එසේම එංගලන්ත සහ ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ සෙල්ෆි ඡායාරූප හේතුවෙන් කාන්තාවන් සිය සිරුර සහ පෙනුම පිළිබඳ සෘණාත්මක ආකල්ප වර්ධනය කර ගන්නා බවයි.

මනෝවිද්‍යාඥයකු වන සිග්මන් සිග්මන් ෆ්‍රොයිඩ් පෙන්වා දී ඇත්තේ ද තමාගේ පින්තූරය තමාම රසවිඳීම මානසික විකෘතිතාවක් බවයි. කිසියම් කෙනෙක් ඕනෑවට වඩා තමාගේ රූපයට කැමැත්තක් සහ අසීමිත රාගයක් දක්වන්නේ නම් එය මනසේ අඳුරු ස්වරූපයක් බව මනෝ විශ්ලේෂකයන් පෙන්වා දෙයි. තමාගේ රූපය දිහා බොහෝ වෙලාවක් බලාගෙන සිටීම, තමා අතිශයින්ම රූමත් යැයි හෝ කඩවසම් යැයි සිතීම, තමා බොහොම අභිමානවත් පුද්ගලයෙක් යැයි නිතර සිතීම මෙහි ලක්‍ෂණ බවද ඔවුන් පෙන්වා දෙයි.

සෙල්ෆි ගැන තවදුරටත් විස්තර ඔබ වෙත මීළඟ ලිපියෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

මූලාශ්‍ර- digitaltrends.com, quora.com, en.oxforddictionaries.com, en.wikipedia.org

කවරයේ පින්තුරය: Youth.SG

Related Articles