Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බලන්න වටින ශ්‍රී ලාංකීය කෙටි චිත්‍රපට පහක්

කෙටි චිත්‍රපට කිව්වහම නම් ලංකාවේ ඒ තරම් ප්‍රසිද්ධියට පත් නොවුනත් ලාංකිකයන් බොහෝ දෙනෙක් කාලයක පටන් කෙටි චිත්‍රපට නිර්මානයට සම්බන්ධ වෙලා තියෙනවා. මෙයින් සමහරක් නම් අති විශිෂ්ටයි; මේවාට ජාත්‍යන්තර අවධානය පවා යොමු වුන එක්ක ඇත්තටම පුදුමයක් නෙවෙයි.

ඒත් සැලකිය යුතු නිර්මාණ ගණනක රංගනය අතින් වගේම පසු නිෂ්පාදනය අතිනුත් අඩු පාඩු සහිතයි. (මේවා සමහරක අධ්‍යක්ෂකයන් විශේෂ ප්‍රයෝග පාවිච්චි කරලා තියෙන්නේ පිස්සුවෙන් වගේ) කොහොම වුණත් මේ ලිපිය ලියන්න පාදක කර ගත්තු අධ්‍යයනය වෙනුවෙන් අපි චිත්‍රපට බැලුවා දවසක් පුරාවට. ඒ බලපු හැම කෙටි චිත්‍රපටයකම වගේ පිළිගන්න පුළුවන් විදිහේ කතාවක් තිබුණා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අතරින් අපිට හිතුනු විදිහට හැම කෙනෙක්ම නැරඹිය යුතුමයි කියල හිතුනු චිත්‍රපටි කිහිපයක් ගැන මෙහෙම ලියන්න හිතුණා.

HTM – සචිත්‍ර එදිරිවීර (2015)

 

මේ චිත්‍රපට අතරින් ළඟදීම ආපු එකෙන් පටන් ගන්න හිතුවා. ලංකාවේ ඉන්න අසහාය තරුණ නිර්මාණකරුවෙක් වන සචිත්‍ර “සචී” එදිරිවීර අධ්‍යක්ෂණය කළ නිර්මාණයක් 2015 අවුරුද්දේදී පිට වුණා. HTM කියලා නමක් දීල තිබුණු මේ කෙටි චිත්‍රපටිය හාස්‍යය මිශ්‍ර වූ බොහොම තීව්‍ර වගේම හිත උණු කරවන එකක්. මේ සියලු හැඟීම් විනාඩි 11ක් තුලට කැටි වෙලා තිබුණා.

මෙහි රංගනයෙන් දායක වෙලා තිබුණේ සචීගේ කලින් කෙටි චිත්‍රපටය වුනු “Welding Within” හි ප්‍රධාන චරිතය රඟ පාපු යශෝධ සූරියප්පෙරුම, ජනප්‍රිය නළු ඩොමික් කෙලර් සහ මරිස්සා ජෑන්ස්.

Wildlings Within – සචිත්‍ර එදිරිවීර (2014)

 

2014දී සචී එළියට දාපු “Welding Within” කෙටි චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ෆැන්ටසි එකක්. විනාඩි 11ක් පුරා දිවෙන මේ නිර්මාණයට රොමේනියාවේ “Clujshorts” චිත්‍රපට සම්මානය හිමි වුණා. මෙහි තියන විශේෂත්වය වුණේ සිනමා රූපණයේ තිබුණු සුන්දරත්වය. හැම දේකටම වැටිලා තිබුණු පෙනෙන නොපෙනෙන ආලෝකය, යොදා ගත්තු ස්ථානය වගේම භාවිත වුණු කැමරා කෝණ; දකින ඕනෑම කෙනෙකුගේ හිතට එන එක දෙයක් තිබුණා… “පුදුම ලස්සනයි!”

නමුත් වැදගත්ම දේ මේ සිනමා රූපණය ඇතුලේ කතාවේ වටිනාකම දිය වෙලා යන්න නොදී තිබුණු එක. තිර රචනය ටිකක් සිත් බිඳින සුළුයි, ඒත් හැම නිර්මාණයක්ම සතුටින් අවසන් නොවන නිසා අපි එය දරා ගත්තා.

කලිනුත් කිව්වා වගේ මෙහි ප්‍රධාන චරිතයට පණ දුන්නේ යශෝධ සූරියප්පෙරුම. වේදිකා නළුවෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වන රුවින් ද සිල්වාත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

Ciao – ඉල්හම් හොසේන් (2012)

 

කාලයක් හොර පාරෙන් රට යන එක ජනප්‍රිය තේමාවක් වුන කාලේ නිර්මාණයක් මේ. ඉල්හම් හොසේන්ගේ මේ කෙටි චිත්‍රපටය ගෙතෙන්නෙ බෝට්ටුවකින් ඉතාලි යන මිනිස්සු දෙන්නෙක් වටා. හැම අතින්ම වෙනස්, හැම පැත්තෙන්ම ආගන්තුක දෙන්නෙක් එකම අරමුණක් තුල එකම මගක යනවා. ලංකාද්වීපයෙන් එපිට වඩා හොඳ ජීවිතයක් සොයා යන්නයි මේ දෙන්නා බෝට්ටුවට ගොඩ වෙන්නේ.

ඒ ගත වන විනාඩි 16 තුලදී හොසේන් ඔබව බලාපොරොත්තු දල්වා ගත් මිනිසුන්, සැකයෙන් එකිනෙකාට උදව් කරන මිනිසුන්, බලාපොරොත්තු කඩ වී සිහි විකල් වූ මිනිසුන් සහ මරණයට තමා රැගෙන යන්න ඉඩ දී බලා සිටින මිනිසුන් වෙත සමීප කරනවා. නමුත් ඒ සියලු හැසිරීම් අයිති එකම මිනිසුන් දෙපලකටයි.

Ciao වෙත සම්මාන දෙකක්ම හිමි වුණා, එකක් 2012 ඉතාලි-ශ්‍රී ලංකා චිත්‍රපට උළෙලේ හොඳම නිර්මාණයට, අනෙක 2012 දෙරණ ලක්ස් සම්මාන උළෙලේ හොඳම නිර්මාණයට. 8 වන සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙල සඳහා 2013දි තිර ගත වෙන්නත් Ciao ට අවස්ථාව හිමි වුණා.

Hue – තිවංක මිහිරාන්

 

මේ කෙටි චිත්‍රපටයට සම්මාන ලැබුණද කියලා කියන්න බැරි වුණත් මේ විනාඩි 4ක කෙටි චිත්‍රපටය ආන්දෝලනාත්මක බව නම් කියන්න පුළුවන් සහතිකවම. රට පුරා ජාතිවාදය ඇවිලුණු යුගයක Hue මගින් ආදරය ප්‍රමෝට් වෙනවා. කතාව පැත්තකින් තියලා හිතුවොත් මේ කෙටි නිර්මාණයේ සිනමා රූපණයට නම් සම්මාන හිමි විය යුතුමයි. අපේ ප්‍රියතම රූප රාමුව උස තණකොළ අතරින් මතු වන මහලු මිනිසාව රූගත කර ඇති විදිහ. මේ ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතු නිර්මාණයක්.

Elephant – Odyssey

 

තවත් චිත්‍රපට තියෙද්දී මේකම බලන්න ඕන ඇයි? හේතුව මේ නිර්මාණයට ඇති අවස්ථාව.  රුවින් ද සිල්වා, ජෙහාන් මෙන්ඩිස්, රචකයා අශෝක් ෆෙරී… මේ නම් ඇහුවම ඔබ දන්නවා මේ නිර්මාණයට අවස්ථාවක් ඇති බව. රෙහාන්ගේ  වෙබ් අඩවියේ පුංචි සාරාංශයක් දැක ගන්න පුළුවන්;

“Elephant කොළඹ ඉහළ පැලැන්තිය ගැන වේදනාත්මක ප්‍රකාශනයක්. බුබුලක දිවි ගෙවද්දී, ජීවිතය බදා නොගෙන විඳින්න බැරි වෙද්දී එන අභියෝග ගැනයි කතා කෙරෙන්නේ. මේ නිර්මාණය දිවෙන්නේ තමන්ට කියා ජීවිතයක් අහිමි වූ ඉහළ පැලැන්තියේ පවුලක් වටා.”

“Elephant is a harrowing drama about the Colombo elite in Sri Lanka. It deals with the challenges of living in a bubble where it is near-impossible to lead one’s life without prying into it. The film follows an upper class family in the city, negatively affected by a lack of anonymity”

විනාඩි කිහිපයකට සීමා වුණත් කෙටි චිත්‍රපට කියන්නේ පැය ගණනක් පුරා දිවෙන සිනමා නිර්මාණයක් තරමටම සෑදීම අභියෝගයක් වූ කලාවක්. නරඹන්නාගේ හැඟීම් මේ තරම් කෙටි කාලයක් තුල මේ තරම් විචලනය කරන්න හෝ හිතට දැනෙන අදහසක් මත ඔහු ඇද බැඳ තබා ගන්නටත්; මේ සියල්ල මනා තිර රචනයක්, රංගන කෞශල්‍යයක්, කැමරාකරණයක්, ආලෝකකරණයක්, ශබ්ද පරිපාලනයක්, සංස්කරණයක් මත ගොඩ නගන්නත්, සියල්ල මිනිත්තු කිහිපයක් තුල මුදා හරින්නටත් අසහාය හැකියාවක් අවශ්‍යයි. අපි විශ්වාස කරනවා අප ඔබ වෙත ගෙන ආ මේ කෙටි චිත්‍රපට අප මේ දුන් පැහැදිලි කිරීම මනාව නිරූපණය කරන නිර්මාණයන් හතරක් බව. ඔබේ සිතට මේ නිර්මාණ නරඹා දැනුණු යමක්, මැවුණු යමක් හෝ සිතන්නට යමක් පහල වුණා නම් මේ කාරණයත් සැළකිල්ලට ගන්න. ශ්‍රී ලංකාව තුල හැකියාවන් පිරි පිරිස් ඇති තරම් සිටිනවා. ඔවුන් අනාගතයේ තව දුරටත් කෙටි චිත්‍රපට නිර්මාණකරණය කරා යොමු වෙද්දී අපිට ඒවා නරඹන්නත්, තවත් අන්තර්ජාතික සම්මාන මේ රටට් ගෙන එනවා දකින්නත් වාසනාව හිමි වේවි. ඒ හීනයත් හිතේ තියාගෙන සමු ගන්නම් එහෙනම්.

Related Articles