Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිල්ලිය වසාගත් විෂ දුමාරය

මිනිසාට පමණක් නොවේ සතා සීපාවාට ද පිරිසිදු වාතය මූලික අවශ්‍යතාවක්. මිනිසෙකුට ආහාර නොමැතිව දින ගණනක් මෙන්ම ජලය නොමැතිව පැය ගණනක් ජීවත් විය හැකි මුත් ආශ්වාස කිරීමට වාතය නොමැති වුවහොත් මිනිත්තු කිහිපයක්වත් ජීවත් විය නොහැකියි. තමා අවට ඇති වාතය ආඝ්‍රානය කිරීමෙන් දරුණු රෝගාබාධ ඇති කළ හැකි විෂ රසායනික ශරීරගත වනවා නම් එය කොයි තරම් නම් අවාසනාවන්ත තත්ත්වයක් ද? ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය හා ඒ තදාසන්න ප්‍රදේශ වල ජනයා වර්තමානය වන විට මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබෙනවා. මේ තත්ත්වය ඇති වීමට වගකිව යුත්තන් මිනිසුන්ම වීම කොයි තරම් දෛවෝපගත ද?

නවදිල්ලි නුවර වසාගත් විෂ දුම 2017 නොවැම්බර් 8 වනදා වන විට සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් කරමින් තිබූ අයුරු-AFP Photo

සිද්ධිය සැකෙවින්

මේ වසරේ නොවැම්බර් මස ආරම්භයත් සමඟම කවදත් දූෂණය වූ වාතයක් සහිත නගරයක් වන නවදිල්ලිය වසා මිහිදුමක් මෙන් දුමාරයක් පැතිරී ගියා. දිල්ලිය හා අවට ඇති කර්මාන්තශාලා වලින් පිටවන දුමාරයෙන් හා වාහන වලින් නික්මෙන දුම් රොටු වලින් මෙන්ම ආසන්න ප්‍රදේශ වල සිදුවන අනවසර වගා බිම් ගිණි තැබීම් නිසා ඇති වී ඇති මේ දුමාරය නිසා දිල්ලිය අවට වාතාශ්‍රය ආඝ්‍රාණය සඳහා නුසුදුසු තත්ත්වයට පත් වී තිබෙනවා. කොටින්ම මේ වන විට නව දිල්ලිය අවට වාතය කොයි තරම් භයානක තත්ත්වයකට පත් වී තිබෙනවාද යත් එහි අඩංගු ශරීරයට අහිතකර අංශු වල සාන්ද්‍රණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත අගයන් වලට වඩා තිස් ගුණය ද ඉක්මවා තිබෙනවා.

වගාබිම් අනවසරයෙන් ගිණි තැබීම විෂ දුමාරය ඇති වීමට එක් ප්‍රධාන හේතුවක්-bbc.com

මෙ වන විට වෛද්‍යවරුන් දිල්ලිය හා අවට ප්‍රදේශ වල තත්ත්වය ‘ඉතා භයානක’ ලෙස දක්වා තිබෙනවා. මේ විෂ වාතයට නිරාවරණය වීම දිනකට දුම් වැටි 50ක් බීම හා සමාන බව ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දිල්ලියේ පාසැල් වසා දැමුණු අතර බොහෝ දෙනා නිවෙස් වලටම වී කාලය ගත කරනවා. එම වාතය ආඝ්‍රාණය කිරීමම වේදනාකාරී බව සංවේදී පෙනහළු ඇත්තන් පවසනවා.

මේ නව දිල්ලිය මුහුණ දුන් දරුණුම විෂ දුමාරය වන මුත් පසුගිය වසර කිහිපය තුළ මේ නගරයට දූෂණය වූ වාතය හා විෂ දුමාර ආගන්තුක දේ වූයේ නැහැ. පසුගිය වසර වලත් වසරේ මේ කාලයේ දී අඩු වැඩි වශයෙන් මේ තත්ත්ව ඇති වී තිබෙන අතර එන්න එන්නම තත්ත්වය දරුණු වෙනවා. නව දිල්ලියේ ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ආනන්ද් කුමාර් පවසන ආකාරයට මේ වන විට දුම් පානයෙන් තොර තරුණ තරුණියන්ගේ පෙනහළු වලත් දුම් බොන්නන්ගේ මෙන් කළු පැහැ ලප පවා ඇති වී තිබෙනවා. මේ නිසා පෙනහළු පිළිකා වැළඳීමේ අවදානමත් ඉතා දැඩි වී තිබෙනවා.

පෙනහළු හා සබැඳි රෝග උත්සන්න වෙයි

නව දිල්ලි නුවර මේ තත්ත්වය නිසා රෝගී වී රෝහල් කරා පැමිණෙන රෝගීන්ගේත් සාමාන්‍ය තත්වයට වඩා 30 -35 % අතර වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මේ අතරින් ඇදුම වැනි උපතින්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වලින් පෙළෙමින් සිටින් දරුවන් ඉතාම දැඩි පීඩාටට ලක් වී තිබෙනු දැකගත හැකියි. ඒ කෙසේ නමුත් මේ විෂ දුමට නිරාවරණය වීමේ වඩාත් හානිදායක සෞඛ්‍ය ගැටළු ඇති වන්නේ දීර්ඝ කාලීනව බව විශේෂඥයින් ප්‍රකාශ කරනවා.

විෂ දුම ආඝ්‍රාණයෙන් වැළකීමට උත්සාහ දරන ළමුන් -india.com

දිල්ලියේ විෂ දුමාරයේ බරපතල කම

වායු දූෂණය හා ඒ නිසා පරිසරයේ විෂ දුමක් ඇති වීම පසුගිය කාලයේ නව දිල්ලිය, බීජිං, ලොස් ඇන්ජලීස් හා ටෙහෙරාන් වැනි නඟර වල දකින්නට ලැබුණා. මානව ක්‍රියාකාරකම් නිසා නිකුත් වන නයිට්‍රජන් ඔක්සයිඩ් හා විවිධ වාෂ්පශීලී සංඝටක වල එකතු වීම නිසා මේ දුමාරය ඇති වෙනවා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහි හානිදායක බව නිර්ණය කිරීමට PM2.5 නම් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. එම දර්ශකයේ උපරිමය 500 ක් වන අතර 0 හා 50 අතර හොඳ තත්ත්වයක වාතයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. මේ දර්ශකයේ 201 ත් 300 ත් අතර ‘දුර්වල හෝ අහිතකර තත්ත්ව සහිත වාතය’ ලෙස හැඳින්වෙන අතර පසුගිය වසරේ නොවැම්බර් මසදී දිල්ලියේ මේ අගය 439.8 ක් දක්වා ඉහළ ගොස් තිබුණා. එය ඉතාම අනතුරුදායක තත්ත්වයක් ලෙස සැලකෙනවා. මෙවර තත්ත්වය විශ්වාස කළ නොහැකි තරම් දරුණු කරමින් වායු තත්ත්ව දර්ශකයේ 1010 ක් තරම් විශාල අගයක් පෙන්වා තිබෙන්නේ එම දර්ශකයේ උපරිමය වන 500 දෙගුණයකින් පමණ පසු කරමින්.

නවදිල්ලිය අවට වාතයේ දූෂණයේ තරම-indianexpress.com

සංස්කෘතික උත්සවත් හරහට හිටියි

දීවාලි උත්සවයේදී දල්වන ගිණිකෙළි දිල්ලියේ විෂ දුමේ තවත් එක් මූලාශ්‍රයක්-indianexpress.com

දැන් වසර කිහිපයක්ම හොල්මන් කර මෙවර දරුණු ලෙසම නව දිල්ලිය අරක් ගත් විෂ දුමාරයට ප්‍රධානතම හේතු ලෙස වාහන හා කර්මාන්තශාලා වලින් පිට කෙරෙන දුමාරය මෙන්ම වගා බිම් වල අස්වැන්න නෙලා අනවශ්‍ය කොටස් වලට ගිණි තැබීමෙන් නිකුත් වන දුම, ශීත කාලය ආසන්න නිසා අඩු උෂ්ණත්වයකට පත් වී, ඝණත්වය වැඩි වීම නිසා පොළොව ආසන්නයේ රැඳී තිබෙන වාතය හා මුසු වීම සැළකුණත් ඉන්දියානුවන් උත්සවශ්‍රීයෙන් ඔක්තෝබරයේ සමරන ‘දීවාලී’ උත්සවයත් මේ ගැටළුවට උඩගෙඩි දී තිබෙනවා. එහිදී දවාලන ලද ගිණිකෙළි වැනි දේ වලින් නැඟෙන දුමාරයත් මේ දුම් පද්ධතියට එකතු වී නොවැම්බරයේ දිල්ලිය විෂ වායු උඳුනක් මෙන් කර තිබෙනවා. තත්ත්වය තවත් බැරෑරුම් වීමට හේතු වී ඇත්තේ නොවැම්බර් මස නව දිල්ලියට වැටෙන වැස්ස ද අවම තත්ත්වයක තිබීමයි. වැස්ස වැස්සොත් අවට වාතයේ විවිධ අංශු නැවත පොළොවට වැටීම සිදුවන නිසා බෝහෝ දිල්ලි වැසියන් අකලට වහින වර්ෂාවක්වත් බලාපොරොත්තුවෙන් ගිණි මද්දහන වුවත් හිරු නොපෙනෙන තරම් ඝණ දුම් රොටු ඔස්සෙන් අහස දෙස බලා සිටින්නේ ගන්නට වෙන විකල්පයක් ඉතිරි වී නැති නිසායි.

හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග

මේ වසරේ උද්ගත වී ඇති විෂ දුමාර ගැටළුවට වර්තමානය වන විට ක්ෂණික විසඳුම සෙවීම අසීරු වී තිබෙනවා. ඒ නිසා ස්වභාවිකවම එය තුරල් වී යන තුරු ඉවසා හිඳීමට ඉන්දියානු ජනතාවට සිදු වී තිබෙනවා. ඒ කෙසේ නමුත් අනාගතයේ මෙවැන්නක් සිදුවීමේ ඉඩකඩ අවුරා දැමීමට ඉන්දියානු රජය දැනටත් සැලැසුම් අඳිමින් සිටිනවා. හැකි ඉක්මනින් නව දිල්ලියේ වාහන වලට ඊයම් අඩු , පරිසරයට හිතකර නව ඉන්ධන වර්ග හෝ තත්ත්වයෙන් උසස් ඉන්ධන හඳුන්වා දීමටත්, විදුලිය භාවිතයෙන් දිවිය හැකි වාහන ප්‍රචලිත කිරීමටත් ඔවුන් උත්සාහ දරනවා. මීට අමතරව ගොවීන්ට සිය අස්වැන්න ලබා ගැනීමන් පසු වගා බිම් ගිණි තැබීම වෙනුවට නවීන ක්‍රම භාවිතයෙන් ඉතිරි වූ කසල ඉවත් කිරීම සඳහා ප්‍රතිපාදන සැපයීමට ඉන්දීය රජය අදිටන් කරගෙන සිටිනවා.

හරිත නඟර වලට මිනිසුන් අනාගතයේ යොමු විය යුතුව තිබෙනවා -asiagreenbuildings.com

ඉන්දියාවේ පමණක් නොව විෂ සහිත වාතාශ්‍රය ඇති වීම මේ වන විට ලොව පුරාම ගැටළුවක් බවට පත් වී තිබෙනවා. මේ නිසා ලොව සියළුම රට වල රජයන් පැරණි, පරිසරයට හානිදායක ක්‍රම වලින් ඉවත් වී හරිත සංකල්ප වලට යාමේ දැඩි අවශ්‍යතාව දිල්ලියේ මෙම වායු ගැටළුවෙන් ලොවට පසක් වෙනවා.

කවරයේ පින්තූරය -2016 වසරේ නොවැම්බර් මස නවදිල්ලි නුවර වසාගත් විෂ දුම – Money Sharma/ AFP

Related Articles